අරගලයේදී තුවාල ලැබූ 46 ක් තවමත් රෝහලේ – මාධ්‍යවේදීහු 11 දෙනෙකුත් ඒ අතර

119

ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට වහා ඉල්ලා අස්වන ලෙසට පෙරේදා (09 වැනිදා) කොළඹ කොටුව ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ තර්ටන් විදුහල අසල පිහිටි පෞද්ගලික නිවස අසලදී ඇතිවූ සිදුවීම්වලදී තුවාල ලැබූ මාධ්‍යවේදීන් 11 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 107 දෙනෙකු කොළඹ ජාතික රෝහට ඇතුළත් කර ඇත. බොහෝ දෙනා පොලිස් පහරදීම්, වෙඩිතැබීම්වලට ලක්ව රෝහල් ගතකර ඇත.

මින් එක් පුද්ගලයකුගේ තත්ත්වය බරපතළ බවත් ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් කොළඹ ජාතික රෝහල් ප්‍රකාශිකාවක් ‘දිවයින’ ට ඊයේ (10 වැනිදා) පැවසුවාය.

තුවාල ලැබූ අය අතර කාන්තාවන් දස දෙනෙකු වන බව ද අය සඳහන් කළාය. තුවාල ලැබූවන්ගෙන් පිරිසක් ඊයේ (10 වැනිදා) දහවල් වනවිට රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගිය බවත්, තවත් 46 දෙනකු හදිසි අනතුරු අංශයේ තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් ඇය කියා සිටියේය.

තුවාල ලැබූවන් අතර සිරස නිව්ස් ෆස්ට් හා දෙරණ රූපවාහිනී නාලිකාවල මධ්‍යවේදීන් 11 දෙනකු හා ආරක්ෂක අංශ සාමාජිකයන් 5 දෙනෙකු ප්‍රතිකාර ලබන බව ද ඇය පැවසුවාය.

ආරක්ෂක අංශවල වෙඩි ප්‍රහාරවලට ලක්ව තුවාල ලැබූ තිදෙනෙක්ද රෝහලේ ප්‍රතිකාර ලබති.

මෙලෙස තුවාල ලබා රෝහල් ගතකර ඇති පිරිස ගාල්ල, රත්නපුර, කොට්ටාව, අනුරාධපුර, මහනුවර, බලංගොඩ ඇතුළු විවිධ ප්‍රදේශවලින් අරගලයට පැමිණි ජනතාව බවද ඇය සඳහන් කළාය.

පෙරේදා රාත්‍රි විරෝධතාකරුවන් පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස අසල විරෝධතාවයේ යෙදෙන අයුරු මාධ්‍ය වෙත වාර්තා කිරීමට ගිය පිරිස නිව්ස් ෆස්ට් හා දෙරණ මාධ්‍යවේදීන් පිරිසට පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් බැටන් පොලු හා ගිනි අවි මිටවලින් පහරදීම හේතුවෙන් ඔවුන් තුවාල ලබා රෝහල් ගත කර ඇත.

හේමන්ත රන්දුනු, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්


advertistmentadvertistment