අරගලයේ දෝංකාරය සහ මිනිස්කමේ ඕම්කාරය!

50

“මේ අහපන් නිකොලායි, තවදුරටත් උඹ බොරු කරන්න එපා. පසුගිය කාලයේ ඔබ ජනතාව ආරක්ෂා කළේ නැහැ. ජනතාවට සතුරුකම් කළා. මින්පසුව අපට ඔබව එපා. මේ රටට කොමියුනිස්ට් පාලනයත් එපා. ඔබ රුමේනියාවේ ජනාධිපතිවරයාට සුදුසු නැහැ. ඔබ මේ රටේ පාලකයා නෙවෙයි.”

වසර ගණනාවක් තිස්සේ ඊනියා කොමියුනිස්ට් පාලනයෙන් බැට කමින් ඒකාධිපති වියරුවක සිරවී සිටි රුමේනියාවේ ජනතාව එක දවසක් වීදි බැස එහෙම කෑ ගැසුවා.

ඒ දවස තමයි 1989 වසරේ දෙසැම්බර් 22 වැනිදා. ඒ මිනිස්සු පාරට ගෙන්නුවේ නිකොලොයි විසින්මයි. ඒ වෙනකොට රුසියාවේ කොමියුනිස්ට් පාලනය බිඳ වැටෙමින් තිබුණා. නමුත්, රුමේනියාවේ කොමියුනිස්ට් පාලනය ශක්තිමත් බව පෙන්නන්න නිකොලොයිට අවශ්‍ය වුණා. ඒ වෙනුවෙන් ජාතිය අමතන්න ඔහුට අවශ්‍ය වුණා. රුමේනියානු ජනතාව අසූදාහක් අගනගරය වෙත කැඳෙවුවා.

රුමේනියාවේ කොමියුනිස්ට් පාලනය ඉතාමත්ම ශක්තිමත්. මේ රටේ පාලනය එසේ බිඳවැටෙන්නේ නැහැ. එයට මා ඉඩ තියන්නේ නැහැ. රුමේනියාවේ ස්වාධීනත්වය, අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට මම හැමවිටම කටයුතු කරනවා. “ඔබ සැමගේ යහපත් අනාගතය වෙනුවෙන් මම කටයුතු කරනවා කියලා පොරොන්දු වෙනවා.” නිකොලායි සියසෙක්කු තමන්ගෙ දේශනය ආරම්භ කළේ එහෙම. මිනිත්තුවක් දෙකක් ගත වුණා.

හිටි ගමන් එක් තැනකින් හූ හඬක් මතුවුණා. තත්පර කිහිපයක් තුළ හූ හඬ ගිගුම් දෙන්න පටන් ගත්තා. තත්පර තිහක් පමණ ගත වන විට අසූදාහක් මිනිස්සු නොනවතින හූවක් ආරම්භ කළා. මේ මහා හූව නිකොලොයි ට දරාගන්න අපහසු වුණා. දශක ගානක් තමන් වැජඹෙමින් සිටි මහේශාක්‍ය සිහින පාරාදීසය තමන් විසින්ම කැඳවාගත් ජනතාව ඉදිරිපිට සුනුවිසුනු වුණා. කරකියාගත නොහැකි වූ ඔහු මයික්‍රෝපෝනයට දිගට, හරහට තට්ටු කරන්නට වුණා. ඒ අතරේ ඔහුගේ බිරිඳ වූ උප අගමැති ධුරය දැරූ එලීනාද ‘නිශ්ශබ්ද වෙයල්ලා’ නිශ්ශබ්ද වෙයල්ලා’ යනුවෙන් කෝපයෙන් කෑගසන්නට වූවා.

එහෙත්, පිටාර ගලන වේදනාව විසින් ජනතාව තවදුරටත් ශක්තිමත් කළා.

සියසෙන්කො මේ අතරේ යුද හමුදාව සහ පොලිසිය ගෙන්වා ඔවුන් ලවා ජනතාවට බැටන්පොලු සහ කඳුළු ගෑස් ප්‍රහාරයන් එල්ල කිරීමට කටයුතු කළා. ඊට යුද ටැංකි පවා අයත් වුණා. ප්‍රහාරය ආරම්භ වුණා. සෙබළු හතර අතේ වෙඩි තියන්නට වුණා. සමහර සෙබළු මේ ජන අරගලයට නිහඬව ආශිර්වාද කළා. නමුත් සමහර සෙබළුන් එල්ල කළ ප්‍රහාරවලින් විශාල පිරිසක් තුවාල වුණා. තරුණයන් විශාල පිරිසක් මරණයට පත් වුණා.

නමුත් ටික වෙලාවකින් ජනතාවට වෙඩි තැබූ හමුදාව අවි අනෙක් පසට හැරෙවුවා. ජනතාව සමඟ ජනාධිපති මන්දිරයට කඩාවැටුණු හමුදාව ජනාධිපති අත්අඩංගුවට ගත්තා.

‘හූ හඬ’ හරහා ඇරැඹි එම අරගලය අවසානයේදී මහා ජයග්‍රහණයක් සහ මහා ශෝකාන්තයක් බවටද පත්වුණා. නඩු විභාගයකින් පසුව හරියටම 1989 දෙසැම්බර් 25දා නත්තල් දවසේ උදෑසන අධිකරණ තීන්දුව ලැබුණේ, මෙම යුවළට වහාම වෙඩිතබා ඝාතනය කර දමන ලෙසට. මේ වගේ සිදුවීම් ඉතිහාසයේ මෙන්ම වර්තමානයේත් උදාහරණ ලෙස ඕනෑතරම් හමුවෙනවා. ජනතා අරගල කියන්නේ ආයුධ සන්නද්ධ ලේ වැකි සංහාර වලට වඩා ශිෂ්ට සම්පන්න සහ නිර්මාණශීලී තැනකට වර්තමානයේ පැමිණ තිබෙනවා. එහි ආසන්නම උදාහරණය විදිහට ලංකාව හඳුන්වා දෙන්නට පුළුවන් කමත් තියෙනවා.

ඒකාධිපතිත්වය අද වන විට ලෝකයෙන් වේගයෙන් දුරස් වන පාලන රටාවක්. දියුණු පුරවැසියන් තම පරමාධිපත්‍ය බලය අද වෙනදාට වඩා ප්‍රයෝජනයට ගන්නවා. බලතල බෙදීම යනු ප්‍රංශ දේශපාලන විද්‍යාඥයකු වූ බරොන් ඩී මොන්ටිස්කු විසින් හඳුන්වන ලද ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යවලට ගත හැකි ආදර්ශනයක්. බලතල බෙදීමට යෝජනා කරන්නන් විශ්වාස කරන්නේ ඒ මඟින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාවන බවත් දුෂ්ට ඒකාධිපතිවරුන් බලයට පත්වීමට හරස්වීමත් සිදුවන බවත්. නමුත් බොහෝ දුෂ්ඨ පාලකයන් උත්සාහ කරන්නේ බලතල බෙදා ගැනීම වෙනුවට බලතල තමා ළඟ රඳවා ගැනීමට. ඇත්තටම එහි අවසානය ඛේදවාචකයක්. රාජ්‍ය බලය අයුතු ලෙස යොදාගෙන පුරවැසියන් පාලනය කිරීමේ ක්‍රමවේදය ඉතා බරපතළ ලෙස අප රටක් ලෙස අත්දැක තිබෙනවා. ඒ හේතුකොටගෙන පුරවැසියන් සහ පාලකයා අතර සම්බන්ධතාව වඩාත් අවාසනාවන්ත ලෙස දුරස් වී තිබෙනවා. අපේ රටේ සිදු වූ පුරවැසි අරගලය අදටත් වඩා ඓතිහාසික පුරාවෘත්තයක් ලෙස සටහන් වන්නේ අනාගතයේ දවසක. මේ රටේ මේ වකවානුවේ සිදු වෙමින් පවත්නා පුරවැසි අරගලය අනාගතයේ දී අරුම පුදුම ඉතිහාසගත සාක්ෂි බවට පත්වනවාට සැකයක් නැහැ. ඕනෑම මිනිස් අරගලයක සිදු විය හැකි අඩුලුහුඩුකම් සාමාන්‍යයෙන් අසාමාන්‍ය නැහැ. ඒ ඊට සම්බන්ධ වන කිසිවෙකු සර්වතෝභද්‍ර නොවන නිසා. පෘථග්ජන මිනිසුන් ලෙස කාගේ අතිනුත් අඩුපාඩුකම් වැරදි සිදුවෙන්නට පුළුවන්. නමුත් අවසාන අරමුණ ශිෂ්ට සම්පන්න නම්, එතෙක් සිදුවන කුඩා කුඩා අතපසුවීම් සොබාදහහමේ සාධාරණත්වය විසින් නිවැරදි කරනවට සැක නැහැ.

ඔවුන් ඉල්ලා සිටියේ මේ සාම්ප්‍රදායික ජනතාවට සංවේදී නොවන ප්‍රභූ දේශපාලනයේ නිමාවක්. ඔවුන් ඉල්ලා සිටියේ නව දේශපාලන සංස්කෘතියක්. ඔවුන් ඉල්ලා සිටියේ සංවේදී බව, වගවීම, ජනතාවට උත්තර බැඳීම, නීතියේ ආධිපත්‍යය, සමානාත්මතාව වැනි වටිනාකම්වලින් සහ සද්භාවයෙන් යුතු සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී පාලන යුගයක්.

එනයින් ගත් කල ශ්‍රී ලංකාවේ පුරවැසි අරගලයත් අනාගතයේදී, වැටි වැටී නැගිටිමින් බහුතර ජනතාවගේ ආශිර්වාදයෙන් මුදලේ බලය හා ප්‍රභූ බලය පරදවමින්, ජනතා අභිලාෂයන් දින වූ සාර්ථක අරගලයක් ලෙසින් සුවිශේෂී තැනක අනාගතයේදී සඳහන්වනවා නොඅනුමානයි.

ඉම්තියාස් බාකීර් මාකාර්

advertistmentadvertistment
advertistmentadvertistment