අරගලයේ සම්මුතීන්ට පිටින් කාටවත් යළි දේශපාලනය කරන්න බෑ – කුමාර් ගුණරත්නම්

135

ව්‍යවස්ථාව දේව වාක්‍යයක් නොවන බව ඔප්පු වුණා:

පොහොට්ටුවට තිබුණු ජනවරමත් අහෝසියි

බැසිල් පරණ සෙල්ලම් දාන්න එපා

හරියට වැඩ නොකරන පාලකයන් යළි කැඳවීමේ බලය ජනතාවට හිමිවිය යුතුයි


ගෝල්ෆේස් අරගලයේ සම්මුතීන්ට පිටින් කිසිවකුට යළි ශ්‍රී ලංකාවේ දේශපාලනය කළ නොහැකි යැයි පෙරටුගාමී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් කුමාර් ගුණරත්නම් මහතා ඊයේ (10 දා) පැවසීය.

නුගේගොඩ පිහිටි එම පක්ෂ කාර්යාලය පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඒ මහතා මේ බව කීවේය.

ව්‍යවස්ථාව දේව වාක්‍යයක් සේ සලකා ඒ ඇතුළේම විසඳුම් සෙවිය යුතුය යන්න මිත්‍යාවක් බව අරගලය විසින් ඔප්පු කර ඇතැයි ද ඔහු කීවේය. හැටනව ලක්ෂයක ජනවරමක් තිබූ ජනාධිපතිවරයා ඉල්ලා අස් වනවාය කියන තැනට පත් කළේ ජනතාව තමන්ගේ බලය සෘජුවම පාවිච්චි කිරීමෙන් මිස ව්‍යවස්ථාව ඇතුළේ නොවේය යන්න සෑම දෙනාම තේරුම්ගත යුතුව ඇතැයි ද ඔහු කීවේය. අරගලය යනු රටේ අලුත්ම නීතිය හා සම්මුති යැයි ද ඔහු පැවසීය.

කුමාර් ගුණරත්නම් මහතා මෙසේද පැවසීය.

සමහරුන්ට අරගලය ගැන විශ්වාසයක් තිබ්බෙ නෑ. නමුත් ජනතාව එකතුවෙලා ඒක කරලා පෙන්නුවා. අරගලයේ ජයග්‍රහණය රටේ සෑම පුරවැසියෙක්ම ලැබූ ජයග්‍රහණයක්.

ජනතා විරෝධය හමුවේ ජනාධිපතිවරයාගේ ජනවරම අහෝසි වුණා වගේම පොදුජන පෙරමුණට තිබූ ජනවරමත් අහෝසි වුණා. ඒ නිසා පාර්ලිමේන්තුව ඇතුළේ මන්ත්‍රී ආසන ගණන කියමින් ඉලක්කම් විජ්ජා දාන්න එපා කියලා අපි බැසිල්ලට මතක් කරනවා.

අරගලයේ අපේක්ෂාවන්ට පිටින් කාටවත් මින් ඉදිරියට දේශපාලනය කරන්න බෑ. ඡන්දෙ දීලා ඕන දෙයක් වෙච්චාවේ කියලා අවුරුදු පහක් ජනතාව පැත්තකට වෙලා හිටපු යුගය ඉවරයි. දැන් ජනතාව සෘජුවම රාජ්‍ය පාලනයට මැදිහත් වෙනවා. ගෝල්ෆේස් අරගලකරුවන් ක්‍රියාකාරී සැලැස්ම නමින් යෝජනාවලියක් 09 දා ජනාධිපති මන්දිරයේ සිට ඉදිරිපත් කළා. පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඊට එකඟයි. අපි ළඟ ඊට එහා ගිය යෝජනාවලියක් තියනවා. රැඩිකල් යෝජනා සහිත නව ජනතාවාදී ව්‍යවස්ථාවක් සම්මත කර ගත යුතුව තිබෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුවෙන් එළියේ ජනතා බලයක් ගොඩ නැඟිය යුතුයි. අරගලයේ ඉල්ලීම එයයි. ඒ වගේම පාලකයන් හරියට වැඩ කරන්නෙ නැත්නම් ඔවුන් යළි කැඳවීමේ බලය ජනතාවට සෘජුව හිමිවිය යුතුයි. එම කරුණු නව ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතුයි. ජනමතවිචාරණ කැඳවීමේ බලය ජනතාවට ම හිමිවිය යුතුයි. පාලකයන් හරියට වැඩ කරන්නේ නැති කොට ඔවුන් නැවත කැඳවීමේ බලය ජනතාවට හිමිවිය යුතුයි කිව්වම සමහරු අහනවා එහෙම දේවල් ලෝකෙ කොහෙද තියෙන්නෙ කියලා. කොහේවත් නැත්නම් අපි ඒක ශ්‍රී ලංකාවේ ම පටන්ගත යුතුයි. ස්විස්ටර්ලන්යේ ඩෙන්මාකයේ එවැනි ක්‍රම තියෙනවා. මුළු පාර්ලිමේන්තුවටම තිබුණ ‘මැන්ඩේට්’ එක අහෝසි වුණා. ඒ නිසා කවුරුවත් පරණ සෙල්ලම් දාන්න එපා. බලය අයිති ජනතාවට. අරගලය හරහා ගොඩනැඟුණු ජනතා බලය ව්‍යුහගත කරන්න ඕනේ. ස්ථාවර කරන්න ඕන. ඒකට ජාතික කවුන්සිලයක් පිහිටුවන්න ඕනෙ. ඒ හරහා ‘ජන අරගල සභා’ පිහිටුවන්න ඕන. මේ අරගලය නවතින්නෑ. හැඩතල වෙනස් වෙනවා පමණයි. දියවන්නාවෙන් එළියේ ජනතා බලය ස්ථාපිත කළ යුතුමයි. අරගලය ඉදිරියට යන්නේ අලුත් දේශපාලන වටිනාකමක් සහිතවයි.

පීඩාවට පත් ජනතාවට හදිසි ආර්ථික සහන දිය යුතුයි. සොරාකෑ මුදල් වගේම ධන කුවේරයන්ගේ මුදල් ඒ සඳහා යෙදවිය යුතුයි. බදු ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතුයි. ජනතා ජයග්‍රහණ තහවුරු කිරීම සඳහා අරගලය පෙරට යනවා. සමහරු කියනවා දැන් රට අරාජික වෙයි කියලා. අපි වගකීමෙන් කියනවා එහෙම වෙන්නේ නෑ කියලා.

අනුරාධ හිරිපිටියගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment