අරගලය මැද සහ හෙට

1722

රනිල් වික්‍රමසිංහ ජනාධිපති බවට පත්වීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් කෙරුණු ප්‍රකාශයක් පිළිබඳව අවධානය යොමු කරමින් අද මේ තීරුව අරඹනු ලැබේ. රටේ නායකත්වය ලැබිය යුත්තේ සුජාතභාවය හිමි කණ්ඩායමකට බව විමල් තම ප්‍රකාශයෙන් දක්වා ඇත. එමගින් ඔහු අඟවන්නේ රනිල් වික්‍රමසිංහගේ බල කඳවුරට රට පාලනය කිරීම සඳහා අයිතියක් නැති බවය. මේ රට පාලනය කිරීම සඳහා සුජාතභාවය හිමි කණ්ඩායමක් සොයන්නට ගියොත් එවැනි කණ්ඩායමක් කිසිදාක හමුවන්නේ නැත. එබැවින් Option දෙකක් තිබේ. ඉන් පළමුවැන්න නම් සුජාතභාවය හිමි කණ්ඩායමක් පිට රටකින් ගෙන්වා රට පාලනය කිරීම භාරදීමය. දෙවැන්න වන්නේ සුජාතභාවයට බම්බු ගසා ගන්නැයි කියා වැඩේ කරන්නට පුළුවන් කෙනකු ලවා රට පාලනය කිරීමය. වැඩේ කල් ඇද්දොත් තෙලුත් නැත, ගෑසුත් නැත, කන්නත් නැත, බොන්නත් නැත. දේශපාලන සුජාතභාවය අනුභව කළ නොහැක. ඒවා පොම්ප කර වාහන දුවවීමටද නොහැක. ගිනි පුලිඟු දේශපාලනඥයකු වන විමල් වීරවංශගේ ප්‍රගතිශීලී ජාතිකවාදී මතය සමග අප හැමවිටම එකඟය. එහෙත් ඔහු කරන්නට බැරි මඟුල් කියන විට අප එයට විරුද්ධය.

ගෝල්ෆේස් ජනතා අරගලය මෙවැනි ඉරණමකට පත්වෙතැයි අපි නිකමටවත් කල්පනා නොකෙළෙමු. අප හැමවිටම හිතාගෙන හිටියේ අරගලකරුවා බලවත් බවය. ගෝඨාභය රාජපක්ෂ පවා අරගලකරුවන්ගෙන් බේරී පලා ගියේ යුද ජයග්‍රහණයේ සැබෑ අයිතිකරු තමා නොවන බව ඔප්පු කරමිනි. ශ්‍රී ලංකාව ඉතා නරක ආර්ථිකයක් අභිමුව දුක් විඳිමින් සිටී. රටේ ප්‍රමුඛ ධනපති පවුල් 600 ක් ඇරුණුකොට සෙසු සියලුම පුරවැසියෝ නැති බැරිකමේ අපේක්ෂා භංගත්වයෙන් පීඩනයට පත්ව සිටින්නාහ. මේ රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ පළවාහැරීම සඳහා පාරට බසින්නේ එදිනෙදා ජීවිතය පවත්වාගෙන යෑම කරන්නට බැරිම වූ තැනදීය. ගෝල්ෆේස් අරගලය ගෝඨා ගෝ ගම යන සන්නාමය යටතේ නිර්පාක්ෂික සහ නිරාගමික පදනමකින් ඉතා සුළුවෙන් පටන් ගන්නා ලදී. ඉන්පසු බලා සිටිද්දී මේ ව්‍යාපාරය ප්‍රසාරණය විය. එය කොතරම් පුළුල් වීද යත් අන්තිමේදී අරලියගහ මන්දිරය, ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අගමැති කාර්යාලය යන පරිශ්‍ර හතරම ආක්‍රමණය කිරීමට තරම් ශක්තිමත් විය.

එහෙත් මේ ව්‍යාපාරයට ලැබුණු නායකත්වයේ අපරිනතභාවය පිළිබඳ අප තුළ කිසියම් නොපැහැදීමක් අදටත් පවතී. අරගලයේ මුල් පුටුවල සිටි අයගෙන් ප්‍රමුඛත්වය ලැබෙන්නේ රැට්ටා නමැති යූ ටියුබ් කරුවාටය. අප අරගලය ගැන හිත හදාගත්තේ විප්ලවය සම්බන්ධයෙන් ලෙනින් කියන ලද කියමනක් සිහිගන්වා ගෙනය. විප්ලවය හැම විටම අශුද්ධ බව ලෙනින් කීවේය. විප්ලවය තුළ මිනී මැරුම්, ස්ත්‍රී දූෂණ, කොල්ලකෑම් සොරකම් කිරීම් යන සියලු පාපී අමුද්‍රව්‍ය තිබේ. එහෙත් විප්ලවයේ අවසන් පලය පාරිශුද්ධය. අශුද්ධ විප්ලවයක් මගින් පන්ති භේදයෙන් තොර සමාජයක් බිහිකළ හැකිය. ලෙනින්ගේ ඉහත සඳහන් කියමන ගෝල්ෆේස් අරගලයට සමපාත කරගැනීමට අපි නිතර උත්සාහ කළෙමු. ගෝඨාභය රාජපක්ෂ ලංකාවෙන් නික්ම ගිය පසුද අරගලය නැවතුනේ නැත. ඉන්පසු අරගලකරුවෝ ජනාධිපති මන්දිරයද ජනාධිපති ලේකම් කාර්යාලයද අල්ලා ගත්හ.

අරගලය පිළිබඳ විශේෂ අර්ථ නිරූපණයක් කාල් මාක්ස් ට තිබේ. ඔහු කියන පරිදි අරගලය මගින් වෙනස් කළ යුත්තේ පුද්ගලයා නොව ක්‍රමයයි. අරගලකරුවන් සිස්ටම් චේන්ජ් එකක් ලෙස හඳුන්වන ලද්දේ කාල් මාක්ස් ගේ අර්ථ නිරූපණය වුවද එය ප්‍රයෝගිකව ඉටුකර ගැනීමට ඔවුන්ට බැරි විය. එයට හේතු වූයේ ඇතමුන් ගෝඨාභය සහ මහින්ද ජනාධිපති මන්දිරයෙන් සහ අරලියගහ මන්දිරයෙන් පලා ගිය පසු ඔවුන් එම රාජ්‍ය දේපළ කානිවල් සහ සර්කස් බවට පත්කරගෙන පිස්සු කෙළීමය. මේ පිස්සු කෙළිය නිසා පෙර කී රාජ්‍ය දේපළවලට විශාල හානියක් සිදුවිය. ඉකුත් බ්‍රහස්පතින්දා රැයේදි අරගලකරුවන් එලවා දමා සියලු රාජ්‍ය දේපළ තමන් භාරයට ගැනීම සඳහා ආණ්ඩුව විසින් නිමිත්ත ලෙස පාවිච්චි කරන ලද්දේ අරගලකරුවන් එම දේපළ අපහරණය කරනු ලැබීමය.

අරගලකරුවන්ගේ ප්‍රමුඛ ඉල්ලීම වූයේ ගෝඨාභය සහ මහින්ද ගෙදර යා යුතු බවය. මෙය කළ හැකි කාරණයකි. එබැවින් ඒ දෙදෙනා වහා බලයෙන් ඉවත් වූහ. එතනදී අරගලකාරයන් විසින් කළ යුතුව තිබුණේ අලුත් පාලකයන්ට කිසියම් අවස්ථාවක් ලබාදී ඔවුන් රට පාලනය කරන හැටි නිරීක්ෂණය කර දෙවැනි පියවරකට යෑමටය. එසේම සිකුරාදා දවල් දෙකට අරගල භූමිය අතහැර ගෙවල් බලා යන බව අරගලකරුවන් විසින් කියනු ලැබ තිබිණ. එහෙත් මේ පණිවුඩය කිසිදු ආකාරයකින් ආණ්ඩුවට සන්නිවේදනය නොකරන ලදී. අරගලකරුවන් කළ යුතුව තිබුණේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා තම අරමුණ ආණ්ඩුවට දැන්වීමය. සැම දෙයකටම යූ ටියුබ් එක අදහස් පළකිරිම සඳහා යොදා ගන්නා අරගකරුවන් ඒ ඔස්සේ හෝ මෙම පණිවිඩය දිය යුතුව තිබිණි . ඒ නිසා ආණ්ඩුව සහ අරගලකරුවන් අතර සන්නිවේදනය ගැටළුවක් තිබු බව පැහැදිලිය.

ප්‍රජාතන්ත්‍රවාදී අරගලයකට පහරදීම ජාත්‍යන්තර මට්ටමේ වරදකි. මේ අයිතිය ඇති රටවල් තුනක් ලෝකයේ තිබේ. ඉන් පළමුවැන්න ඇමරිකාවය. දෙවැන්න රුසියාවය. තෙවැන්න චීනය ය. කොමියුනිස්ට් කොරියාවේ ජනයා නම් ගල් ගැන මිස අරගල ගැන අසාවත් නැත.

අපගේ අදහස වන්නේ අරගලකරුවන් සහ ජනාධිපති වික්‍රමසිංහ කිසියම් මැද තැනකට පැමිණිය යුතු බවයි. අරගලකරුවන් ඔවුන් දරන රැඩිකල් මතවාදයෙන් ටිකකට ඉවත්වී ලිබරල් මතවාදයකට අවතීර්ණ වුණොත් කිසියම් යහපත් ප්‍රතිඵලයක් ලබා ගැනීමට හැකිවන බව අපි විශ්වාස කරමු. අරගලය යනු ඇඟට දැනෙන ගතියක් තියෙන වචනයකි. එහෙත් හරියාකාරව ඇඟට වැදුණු පසු අරගලය නිසා ඉබේම මළ පහ වන්නේය. අපි හැමදෙනාම අරගලයෙන් මදකට මිදී සම්මුතිවාදයට එළඹිය යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment