අරගලය මෙන්ම මන්දිර ද අපගේය

1211

System Change  අරගලයේ මූලික ජයග්‍රහණය ලබන්නට අරගලකරුවෝ සමත් වී සිටිති. පසුගිය 8 වැනිදා රාත්‍රියේ සිට 9 වැනිදා රාත්‍රිය දක්වා සිදුකරන ලද මහත් ආයාසකර ජන අරගලයකින් පසු ආරක්ෂක වැට කඩොලු බිඳ හෙළා ජනාධිපති නිල නිවස (ජනාධිපති මන්දිරය), ජනාධිපති ලේකම් කාර්යාලය හා අගමැති නිල නිවස නොහොත් අරලියගහ මන්දිරය තමන්ගේ අණසක යටතට ගන්නට ඔවුහු කටයුතු කළහ. මේ වන විටත් එහි බලය පවත්වාගෙන යන්නෝ අරගලකාමීහුමය. ආරක්ෂක අංශ වැටෙන් පිට සුපුරුදු ආරක්ෂක රාජකාරි කටයුතුවල නිරතව සිටින බව පෙනෙන්නට ඇති අතර ඊයේ (11දා) වන විට ජන අරගලය, ජන ගඟක් බවට පත්වී මේ සුපිරි මන්දිර දැකබලා ගැනීමට පැමිණෙන ජනයාගෙන් කොළඹ පිරී ඉතිරී යනු දකින්නට ලැබේ.

 රටේ පාලකයන්ගේ වරදින් පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල්, ගෑස්, ආහාර, ඖෂධ, පොහොර ඇතුළු අත්‍යවශ්‍ය දෑ හිඟාකමින් මාස තුනකටත් වැඩි කාලයක් මහපාරට වී දහ දුක් විඳින රටේ ජනයා අරගලයකට යෑම අරුමයක් නොවේ. සැබවින්ම අද අරගලයක් බවට මෙසේ විකසනය වී ඇත්තේ ජන පීඩන ආණ්ඩුව (හෝ ආණ්ඩු) විසින් කාලයක පටන් තැන තැන ඇති කරන ලද නොසන්සුන්තා, විරෝධතා, උද්ඝෝෂණ, පිකටින්, ගැටුම් හා ගහ-මාරා ගැනීම්ය. රටේ දුර්දාන්ත පාලනයක් පවතින කල්හි, ජන නැඟිටීම අරුමයක් නොවන අතර, ඒවා පාලකයන් බලාපොරොත්තු විය යුතුය. මෙහිදී දේශපාලන අරගලකරුවන් හා විප්ලවවාදීන් එහි ධජය අතට ගැනීම ස්වභාවිකය. කොහොම නමුත් මොන අරගලයවත් ජනතා සහභාගිත්වයක් නැතිව කරන්නට නොහැකි අතර මෙවර ඉතා හොඳින් දූෂිත ආණ්ඩුව හා පාලකයන් විසින්ම අරගලයට පාර කපා දෙනු ලැබීය. එහි කුටප්‍රාප්තිය ජුලි 9 වැනිදා අරගලය බව කිව යුතුය. Go Home Gota ස්ලෝගනය යටතේ මාස තුනක් ගෙන ගිය සටන මෙසේ යෝධ අරගලයක් බවට පත්වී වත්මන් ජයග්‍රහණය දක්වා පැමිණ තිබේ.

 නමුත් සැබවින්ම අද වන විටත් ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ හෝ අගමැති රනිල් වික්‍රමසිංහ අරගලකරුවන්ගේ ඉල්ලීම පරිදි ඉල්ලා අස්වී නැත. මැයි 9 වැනිදා හිටපු අගමැති මහින්ද රාජපක්ෂත්, ජුනි 9 වැනිදා අමාත්‍ය බැසිල් රාජපක්ෂ සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමත් අරගලකරුවන් මෙන්ම රට ලැබූ ජයග්‍රහණයක් ලෙස සනිටුහන් කළ හැක. එහෙත් සැබවින්ම අරගලයේ සිස්ටම් චේන්ජ් කරන සැබෑ ජයග්‍රහණය ඇත්තේ තවත් ඉදිරියටය. පවතින ව්‍යවස්ථාව වෙනස්කර, දූෂකයන්ට දූෂණයට ඇති අවස්ථාවට තිත තබා ලක් මාතාව සැබෑ සංවර්ධන ජයග්‍රහණ මාවතට ගෙනෙන්නට තවත් මහා විප්ලවයක් කරන්නට ඉතිරිව තිබේ. එය ජනාධිපති මැඳුර, අරලියගහ මැඳුර අල්ලාගත්තා වැනි සුළුපටු කාරණයක් නොවේ. එසේ හෙයින් මේ ජයග්‍රහණයෙන් කිසිවිටෙකත් උදම් නොවිය යුතුමය. මේ සිදුකර ඇත්තේ අරගලයේ බලය පෙන්වීම පමණකි. ජනතා ශක්තිය පාලකයන්ට පෙන්වීම පමණකි.

 එසේ හෙයින් වැළ නොකැඩී ජනයා මන්දිර නැරඹීමට කොළඹ පැමිණීම පළ රහිත කාරණයකි. එයින් සිදුවන්නේ එක අතකින් අරගලය සඳහා ඇති අවධානය ගිලිහී යෑමය. අනෙක් පසෙන් මේ වටිනා මන්දිර නොමිනිසුන් අතින් හානියට ලක්වීමය.

 මේ මන්දිර අරගලකරුවන් විසින් අත්පත් කරගන්නා ලද මොහොතේ මේවාට කිසිදු හානියක් නොවන්නට ඇතැයි අපි කල්පනා කරන්නෙමු. නමුත්, මේ සියලු ජන ගඟ තුළ අනුන්ගේ දේ කඩා වඩා ගන්නන් සුළුතරයක් හෝ නැති බව අපට පිළිගන්නට නොහැකිය. එසේම මේ පැමිණෙන සියලු දෙනා මේ වටිනා සම්පත් ඒ ආකාරයෙන්ම රකින පුද්ගලයන් නොවන බවට, අරගලකරුවන් විසින් දැනටමත් මේ තුළදී එකතුකර ඇති පොලිතින් හා ප්ලාස්ටික් කඳුවලින් තේරුම් යයි. එවැන්නන් මේ සියවස් තුනක් පමණ පැරණි කෞතුක වස්තූන් තවදුරටත් තමන්ගේ දෙයක් හැටියට රකින වුන් නොවේ. එසේ හෙයින් අප අරගලකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ වටිනා උරුමයන් රැකගන්නටද තම උපරිම ශක්තියෙන් නැඟී සිටින ලෙසය.

 ජනාධිපති මන්දිරය නම් මේ භූමිය කෝට්ටේ යුගයේදී දොන් ජුවන් ධර්මපාල මිහිදන් කරන ලද සොහොන් බිම තිබූ තැන බවට කියනු ලැබේ. ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ අවසන් ලන්දේසි ආණ්ඩුකාර එංගල් බීක් විසින් තම නිල නිවස වෙනුවෙන් තැනූ මේ මහා මන්දිරය, පසුව එම පවුල විසින් 1804 දී බි්‍රතාන්‍ය පාලනයට පවරා දුන් දේපළකි. ශ්‍රී ලංකාවේ පළමු ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වූ ෆෙඩ්රික් නොර්ත්ගේ සහ දෙවන ආණ්ඩුකාරවරයා වන තෝමස් මේට්ලන්ඩ් දෙපළගේ පළමු නිල නිවසද වූ මෙය මේ දක්වා නිදහස් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරුන්ගේ නිල නිවස හෙවත් රජ ගෙදර හෙවත් ජනාධිපති මන්දිරය ලෙස හැඳින්වේ. එසේම, අරලියගහ මන්දිරය සුද්දන්ගේ කාලයේදී

 ඉස්කාගාරයක් ලෙස පවත්වාගෙන එන ලද්දකි. එය පසුව අගමැති නිල නිවස බවට පත්විය. අද ජනාධිපති ලේකම් කාර්යාලය එදා පරණ පාර්ලිමේන්තුව වේ. මෙවන් වටිනා තැන් ජනතා අරගලවලදී ජනතා දේපළ ලෙස ජනතාවට විවෘත වන නමුදු, මේ සියල්ලක් තවමත්, ඉදිරියටත් නඩත්තු කරන්නට සිදුවන්නේ ජනතා බදු මුදල්වලිනි. එසේ හෙයින් මේ දේපළ

 අපගේය. ඒවා රැකීම අප විසින්ම සිදුකළ යුතුය. ඒ සඳහා වැඩපිළිවෙළක් සැකසීම අරගලයට නායකත්වය දෙන සැමගේ වගකීමකි. රැකීම ජනතාවගේ වගකීමකි.

 මෙවන් තත්ත්වයක් තුළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට හා එහි පැවති වටිනා පුස්තකාලයට සිදුවූ හානිය පිළිබඳව අප අතිශය කනගාටු විය යුතුය. එය නොවිය යුතුව තිබුණු දෙයකි. අරගලය නම් කිරි කලයට මේ සිද්ධිය නිසා ගොම බින්දුවක් නොව, ගොම තැලියක්ම වැටුණු බව අපගේ වැටහීමයි.

advertistmentadvertistment
advertistmentadvertistment