අරගල අරාජිකත්වය අවිනිශ්චිත හෙට දවස

501

සිය ශිෂ්‍ය ඇමැතිවරුන් දෙදෙනා දෙපස තබාගෙන අනතර්වාර පාලනයේ ප්‍රධානි මොහොමඩ් යුනුස් එරට වැසියන්ගෙන් ඉල්ලා සිටියේ නීතිය හා සාමය ඇති කිරීමට එක්වෙන ලෙසයි. හින්දුන්ට බෞද්ධයින්ට ප්‍රහාර එල්ලවන්නේ නම් එය රටට එරෙහි බලවේග සතුටු කරවන බවත් මෙලෙස රට ඉදිරියට හා නොහැකි බව ඔහු කියයි. මම ගැන විශ්වාශය තබන්න. රට සන්සුන් කරන්න නීතිය සාමය රකින්න තවදුරටත් ප්‍රචණ්ඩත්වය ඉදිරියට යනවා නම් මම මෙතැන ඉඳලා වැඩක් නැහැ. එහෙම නම් මම තනතුර දාලා යනවා ආචාර්ය මොහොමඩ් යුනුස් විශේෂ පුවත්පත් හමුවකදී අවධාරණය කර තිබිණි.

බංග්ලාදේශයේ අන්තර්වාර ආණ්ඩුව හෙවත් අන්තර්වාර උපදේශක කමිටුවට අරගල නායකයින් වූ සිසුන් දෙදෙනකුද ඇතුළත්ව තිබෙන අතර ඔවුන් දෙදෙනා ඩකා සරසවියේ සිසුන් වන නහිඩ් ඉස්ලාම් හා අසිෆ් මහමුද් වේ. බංග්ලාදේශ ශිෂ්‍ය අරගලය සාමූහික කටයුත්තක් වුවත්, නහිඩ් ඉස්ලාම් අරගලයේ ප්‍රධානම නායකයා සේ සැලකෙයි. සමාජ විද්‍යාව හදාරන නහිඩ්ගේ වයස අවුරුදු 26කි. වාග් විද්‍යා සිසුවෙක් වන අසිෆ් වයස අවුරුදු 25කි. නහිඩ් ඉස්ලාම් හා අසිෆ් මහමුද් දෙදෙනා ෂෙයික් හසීනාගේ රජය විසින් පැහැරගෙන ගොස් වධ බන්ධනයට ලක් කළ අතර පසුගිය කාලය තුළ එසේ පැහැරගනු ලැබූ බොහෝ දෙනෙකුට නැවත යහතින් පැමිණීමට වාසනාවක් තිබුණේ නැත. අසිෆ් මහමුද්ව පැහැර ගනු ලැබුවේ ජූලි 19 දිනයි. එහිදී අරගලය අත්හිටවූ බවට ප්‍රකාශයක් කරන මෙන් බල කරමින් ඔහුට වධ දී තිබුණු අතර හොඳ සිහිය නැති වන පරිදි කිසියම් ඖෂධයක් හෝ මත්ද්‍රව්‍යයක් දිගින් දිගටම එන්නත් කර තිබිණි. දින පහකට පසුව, ජූලි 24 දින ඔහුව පැහැර ගත් තැන ආසන්නයේම මහ මග දමා ගොස් තිබුණි. ඔහු නැවත යථා තත්ත්වයට පැමිණියේ දින ගණනාවක වෛද්‍ය ප්‍රතිකාර වලින් පසුවයි.

ජූලි 19 දිනම නහිඩ් ඉස්ලාම්වද මුල් වරට පැහැර ගෙන ගොස් තිබිණි. දින දෙකකට පසුව, ජූලි 21 දින ඔහුව සිහි විසඥ තත්ත්වයෙන් පාලමක් යට දමා ගොස් තිබියදී හමු වීමෙන් පසුව රෝහලකට ඇතුළු කළ අතර, ඉන් පසු ජූලි 26 දින නැවත වරක් ඔහුව එම රෝහලෙන් පැහැරගෙන ගොස් ප්‍රශ්න කර තිබුණි. එහෙත් දැන් මොවුන්ට ඇමැති බලතල තිබේ. නමුත් බංග්ලාදේශය පත්ව ඇති අරාජිකත්වයෙන් මුදා ගැනීමට හැකියාව තිබේද? ශිෂ්‍යයින් පිටුපස සිටි ජමාතේ මුස්ලිම් අන්තවාදී බලවේග මේ අරගලය මැද මහා විනාශයක් සිදු කළ බව පැහැදිලිය. ගිනි තැබීම්, මිනීමැරුම් හා ප්‍රහාර සියල්ල මෙහෙය වූයේ මේ මුස්ලිම් අන්තාවාදී බලවේග විසිනි. මොවුන්ට විදේශීය ඔත්තු සේවාවක පූර්ණ සහය ලැබිණි.

සෙනසුරාදා දිනයේ බංග්ලාදේශ අගවිනිසුරුවරයා පලවා හැරිණි. ඔහු ෆැසිස්ට් පාලනයට උදව් දුන් අයෙක් බව පවසමින් ශිෂ්‍ය ප්‍රජාව එරට ශ්‍රේෂ්ඨාධිකරණය වැටලූ අතර එම නිසා බංග්ලාදේශ අගවිනිසුරු ඔබයිදුල් හසන්ට ඉල්ලා අස්වන්නට සිදු විය. සිසුන් කියන විටම වෙනස්කම් කරන්නට එරට ජනපතිද සූදානම්ය. එම නිසා වහාම නව අගවිනිසුරු ලෙස සයිඩ් රෙෆාට් අහමඩ් මහතා පත් කරනු ලැබිණි. සිය ශිෂ්‍ය ඇමැතිවරුන් දෙදෙනා දෙපස තබාගෙන අනතර්වාර පාලනයේ ප්‍රධානි මොහොමඩ් යුනුස් එරට වැසියන්ගෙන් ඉල්ලා සිටියේ නීතිය හා සාමය ඇති කිරීමට එක්වෙන ලෙසයි. හින්දුන්ට බෞද්ධයින්ට ප්‍රහාර එල්ලවන්නේ නම් එය රටට එරෙහි බලවේග සතුටු කරවන බවත් මෙලෙස රට ඉදිරියට හා නොහැකි බව ඔහු කියයි. මම ගැන විශ්වාශය තබන්න. රට සන්සුන් කරන්න නීතිය සාමය රකින්න තවදුරටත් ප්‍රචණ්ඩත්වය ඉදිරියට යනවා නම් මම මෙතැන ඉඳලා වැඩක් නැහැ. එහෙම නම් මම තනතුර දාලා යනවා ආචාර්ය මොහොමඩ් යුනුස් විශේෂ පුවත්පත් හමුවකදී අවධාරණය කර තිබිණි. පසුගිය සඳුදා දින සිට එරට පොලිසිය ක්‍රියාත්මක නොවේ. රටවැසියන්ගේ ආරක්ෂාව නොව තමන්ගේ ආරක්ෂාව පතා පොලිස් නිලධාරින් සැඟව තිබේ. එරට පොලිසි 600 න් 450කට ප්‍රහාර එල්ල වී තිබේ. සමහර පොලිසි බිමට සමතලා වී තිබේ. සියලු ආයුධ තොග පිටින් අරගලකරුවන් රැගෙන ගොසිනි. සතියක් දෙකක් ගියද එරට පොලිසියට ක්‍රියාත්මක වීමට හැකියාවක් නොමැති බව පෙනේ. රාත්‍රියට තම නිවාස හොරුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ඩකා වැසියෝ පොලු රැගෙන වීදිවල සැරිසරති. එරට බැංකුවල ඒටීඑම් යන්ත්‍ර වලට මුදල් යොදවන්නට ක්‍රමයක් නැත. ඒවා ක්‍රියාත්මක කරන ආයතන මේවා කොල්ල කෑමට ඉඩ ඇති නිසා සිය වාහන වලින් මුදල් ප්‍රවාහනය කරන්නේ නැත. මෙය බරපතළ අවුලකි.

2022 මැයි 9 වැනි දායින් ආරම්භවී ඉන්පසු ගෙවුණු දින දෙක තුන ශ්‍රී ලංකාවේ හොඳ සිහිය අහිමි කර ගනිමින් ආවේශවී ක්‍රියා කරන තත්ත්වයකට පත්ව සිටි බව අමුතුවෙන් කිවයුතු නැත. මහමගදී මන්ත්‍රීවරයකු මරා දැමිණි. ඔහු අපරාධකරුවෙකු නොවේ එහෙත් බංග්ලාදේශයේ හොඳ සිහිය සතියක් පුරා අහිමි වී තිබෙන බව පෙනී යයි. ඇත්තෙන්ම එරෙට මන්ත්‍රීවරු විස්සක් පමණ ඝාතනය වී තිබේ. පොලිස් නිලධාරින් ඇතුළු මියගිය පිරිස සිය ගණනකි. නමුත් මේ ආරජිකත්වය නැවතීමක් දක්නට නොලැබේ. සෙනසුරාදා දිනයේ ඩකා නුවර වීදිවලට පැමිණි එරට සුළුතර හින්දු ප්‍රජාව අනතර්වාර රජයට බලකර සිටියේ තමන්ගේ ජිවිත දේපල ආරක්ෂා කරන ලෙසය. ෂෙයික් හසීනාගේ පාලනය යටතේ හින්දුන්ට ආරක්ෂාව සැලසුණු නමුත් අරගලකරුවන් පිටුපස සිටින මුස්ලිම් අන්තවාදීන් හින්දු ප්‍රජාව ඉලක්ක කර රට පුරා ප්‍රහාර දියත් කළහ. මේ එක් ප්‍රහාරයකින් හින්දු මන්ත්‍රීවරයෙක්ද ඝාතනය විය. බංග්ලාදේශයේ හින්දු සුළුතරයන් බොහෝ දුරට සැලකෙන්නේ ෂෙයික් හසීනාගේ ලෞකික අවාමි ලීග් පක්ෂයේ ආධාරකරුවන් ලෙසයි. එම නිසා සඳුදා දින සිට අවාමි ලීග් ආධාරකරුවන් සොය සොයා මරා දමන තත්ත්වයක් ඇති වූ නිසා කෙලින්ම හින්දුන්ට ප්‍රහාර එල්ල විය. 1951, හින්දු ජාතිකයන් රටේ ජනගහනයෙන් සියයට 22 ක් වූ අතර අද එය හුදෙක් 7.95% ක් හෝ ආසන්න වශයෙන් මිලියන 13 ක් පමණ වේ. අවිරුප් සර්කාර් යනු බංග්ලාදේශ හින්දු භක්තිකයෙකි, ඔහුගේ ඥාති සහෝදරයා ඩකා සිට උතුරින් කිලෝමීටර් 100ක් පමණ දුරින් නෙට්‍රොකෝනා හි ජීවත්වේ. පසුගියදා මේ හින්දු නිවසට කඩා වැදුණු 100 දෙනෙකුගෙන් පමණ යුත් පිරිසක් ගෘහ භාණ්ඩ, රූපවාහිනිය, නාන කාමර උපාංග සහ දොරවල් කඩාදමා සියලු මුදල් සහ ස්වර්ණාභරණ රැගෙන ගියහ. “ඔබලා අවාමි ලීගයෙන් පැවත එන්නන්! ඔබ නිසා මේ රට අබලන් වෙලා. තමුන්නාන්සේලා රට දාලා යන්න.” යනුවෙන් මේ ප්‍රහාරකයින් හින්දු වැසියන්ට දන්වා තිබේ. දැන් එරට සුළුතර ආගමිකයින් පමණක් නොව ෂෙයික් හසීනාගේ පාක්ෂිකයින් පවා ජීවත්වන්නේ මර බියෙනි. සමහර පිරිස් ඝාතනය කර පාලම්වල එල්ලා තබා තිබෙන අයුරු ද සමාජ මාධ්‍ය ඔස්සේ දැකගත හැකිවිය. එවිට පෙනෙන්නේ අරගලය සිහිමද එකක් බවට පත්ව ඇති බවයි. සඳුදා දිනයෙන් පසුව ඇතිවූ ප්‍රහාර නිසා එරට ආර්ථිකයට ප්‍රබල හානියක් සිදුව තිබේ. එරට අපනයන වලින් 90% ඇගළුම් වේ. මේ කලබලකාරී තත්ත්වය නිසා ඒ කර්මාන්ත ශාලා දින හයක් වසා තිබිණි. එසේම සමහර කර්මාන්ත ශාලා ගිනි තබා තිබිණි. මෙයින් කියවෙන්නේ හසිනා විසින් ශක්තිමත් කළ රට නැවත ගල් යුගයට යවන්නට අන්තවාදී පිරිසකට අවශ්‍යව ඇති බවද? අරාජිකත්වය තුළ මුස්ලිම් අන්තවාදයට හොඳ ඉඩක් ලැබේ. හසිනාගේ වසර 16ක පාලනය තුළ අන්තවාදයට හිස ඔසවන්නට ඉඩ ලැබුණේ නැත. නමුත් පසුගිය සතිය පුරාම යටවී තිබුණු අන්තවාදී බලවේග ඩකා නුවර සිට චිතගොං දක්වාම හිස් ඔසවා සිය බලය මෙහෙයවනු දක්නට ලැබිණි.

බංගලාදේශය දැන් හමුදාව බීඑන්පී (ප්‍රධාන විපක්ෂය) දක්ෂිණාංශික ඉස්ලාම්වාදීන් සහ ශිෂ්‍ය නායකයින් යන සිව්-මාර්ග බල අරගලයකට මුහුණ දී සිටී. මෙයින් වඩා බලවත් වන්නේ කවරෙකුද? ඩකා අගනුවර තලේබාන් කොඩි වැනුණේ හසිනා අගමැතිනිය දිල්ලියට පලා ගිය දිනයේය. මෙයින් කියන කතාව නම් භයානකය. අන්තර්වාර පාලනයට මේ අන්තවාදී බලවේග පාලනය කිරීමට නම් නොහැකිය. බෙගම් කාලිදා ශියාගේ බීඑන්පී පක්ෂය කෙලින්ම මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් හා එක්ව කටයුතු කරන බව රහසක් නොවේ. පසුගිය කාලයේ පැවති බීඑන්පී ආණ්ඩු හිස්බුල්ලා සහ හමාස් වැනි කණ්ඩායම් සඳහා විවෘත සහයෝගයෙන් ලබාදෙන ලදී. 2001-2006 කාලය තුළ රජය ලෙබනන් ත්‍රස්තවාදී කණ්ඩායම සමඟ බංග්ලාදේශය පෙළගස්වමින් ඒ කණ්ඩායමට ගෞරවයක් වශයෙන් පාලමක් “හිස්බුල්ලා” නම් කෙරිණි. එසේනම් ඉදිරියට වන්නේ කවරක්ද?

පසුගිය සඳුදා ෂෙයික් හසීනා ඉල්ලා අස්වන බව ප්‍රකාශ කිරීමෙන් පසු දහස් ගණනක් ජනතාව ඩකා අගනුවර පිහිටි ඇගේ මන්දිරය කොල්ල කෑහ. මන්දිරයට ඇතුළු වූ පිරිස ලී බඩු උපකරණ රැගෙන යන ආකාරය මෙන්ම එහි තිබූ විවිධ භාණ්ඩ සමඟ විනෝද වන අයුරු දැක ගන්නට ලැබුණි. ඇත්තෙන්ම ඇයට සඳුදා දිනයේ විනාඩි 45 ඇතුළත පිටව යන ලෙස හමුදාපතිවරයා දැනුම් දී තිබිණි. හමුදාපතිවරයා ඇගේ ඥාතියෙකු වුවත් අවසන් මොහොතේ කැරලිකරුවන් මර්දනය කිරීම කළ නොහැකි බව හමුදාව නිවේදනය කර තිබිණි. සිය නැගණිය රෙහානා සමග හෙලිකොප්ටරයකට ගොඩ වැදුණු ඇය ඉන්දියාව බලා පිටත් විය. මේ අවස්ථාවේ ඇගේ ඇඳුම් බාගයක් පවා ගෙන යෑමට අවස්ථාවක් ලැබී නැත. නමුත් ඉන්දියාවට ගොස් පසුව දිල්ලිය අසල ගුවන් හමුදා කඳවුරකට ගිය විට බංග්ලාදේශ අගමැතිනි පිළිගනු ලැබුවේ ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් විසිනි. තවමත් ඇය ඉන්දීය හමුදාවේ ආරක්ෂිත නිවස්නයක ජිවත් වේ. ඇගේ පුතා සජිබ් වාසෙඩ් ඇමරිකාවේ ජිවත්වන අතර ඔහු පවසා තිබුණේ මැතිවරණයක් ප්‍රකාශ කළ පසු හිටපු අගමැතිනිය යළිත් ඩකා වෙත යෑමට කැමැත්තෙන් පසුවන බවයි. මේ කැරැල්ල පිටුපස පාකිස්තාන හමුදා ඔත්තු සේවාව සිටින බව ඔහු කියයි.

1947 දී නැගෙනහිර බෙංගාලයේ මුස්ලිම් පවුලක උපත ලද හසීනාට දේශපාලනය තම ලේ උරුමයක්ව තිබුණි. ඇගේ පියා 1971 දී පකිස්තානයෙන් නිදහස ලබාගෙන එහි පළමු ජනාධිපති බවට පත් වූ බංග්ලාදේශයේ “ජාතියේ පියා” වූ ජාතිකවාදී නායක ෂෙයික් මුජිබර් රහ්මාන්ය. ඒ වන විට හසීනා ඩකා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නායිකාවක් ලෙස කීර්තියක් අත්කර ගෙන සිටියාය. 1975 හමුදා කුමන්ත්‍රණයකින් ඇගේ පියා ඔහුගේ පවුලේ බොහෝ සාමාජිකයන් සමඟ ඝාතනය විය. ඒ වන විට විදේශ ගතව සිටි හසීනා සහ ඇගේ බාල සොහොයුරිය පමණක් දිවි ගලවා ගත්හ. ඇය පසුගිය සතියේ ඉන්දියාවට ගියේද මේ සොයුරිය සමගය. අරගල සමයේ ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ ප්‍රතිමා විනාශ කරනු දක්නට ලැබිණි. එයින් කියන්නේ කුමක්ද අන්තවාදීන් “ජාතියේ පියා” ඔවුන්ට වහකදුරු බවයි. මෙයින් ප්‍රකාශ වන්නේ යහපත් අරුතක් නම් නොවේ. ඉදිරිය අවිනිශ්චිත බවය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment