අරගල කර රැකියා අහිමි කරගත් ලංවිම සේවකයන් 62 කගේ නඩුවලට ජවිපෙ නීතිඥ ලක්‍ෂ 58 ක් අරන් – ඇමැති කංචන මැති සබයේදී කියයි

3438

වෘත්තීය අරගල වෙනුවෙන් ඉදිරිපත් වී රැකියාව අහිමි කර ගත් ලංකා විදුලිබල මණ්ඩල සේවකයන් 62 කගේ නඩු කටයුතු වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් වටගල නීතිඥ මහතා රුපියල් ලක්ෂ 58 ක් විදුලි සේවකයන්ගෙන් ලබා ගෙන ඇතැයි විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23දා) පැවසීය.

උද්ඝෝෂණවලට සහභාගි වූ විදුලිබල මණ්ඩල සේවකයන් පිරිසක් සේවයෙන් ඉවත් කර තිබේදැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද කීය.

පසුගිය ජනවාරි මාසයේ සිට ජනතා විමුක්ති පෙරමුණ මූලික කර ගත් වෘත්තීය සමිති කිහිපයක් මතයක් නිර්මාණය කර තිබුණා නව විදුලිබල පනත සම්මත වූ පසු විදුලි බල ක්ෂේත්‍රයේ සියලු දේවල් පෞද්ගලීකරණය කෙරෙනවා කියලා. එහෙම කියලා තමන්ගේ දේශපාලන අරමුණු සාක්ෂාත් කරගන්න උද්ඝෝෂණ සහ අරගල කළා. අරගල කළාට කමක් නෑ. හැබැයි අපි ඉල්ලීමක් කළා අත්‍යවශ්‍ය සේවා කඩාකප්පල් කරන්න එපා. එහෙම කළොත් නීතිමය පියවර ගන්නවා කියා. ඒ අවස්ථාවේ දින තුනක් ගෙවීම් කවුළු වහලා ජනතාව අපහසුතාවට පත් කරමින් සේවාවන් අඩපණ කළ සේවකයන් 62 ක් පාලනාධිකාරිය විසින් හඳුනා ගෙන තිබෙනවා. දැන් ඔවුන්ගේ සේවය අත්හිටුවා තිබෙනවා. අපි උපදෙස් දී තිබෙනවා පරීක්ෂණ කර සුදුසු පියවර ගන්න කියලා.

මේ වෙලාවේ වෘත්තීය සමිති කිහිපයක් මා දැනුවත් කළා මේ වෘත්තීය අරගල වෙනුවෙන් පෙනී සිටි කණ්ඩායම් මෙහෙයවපු දේශපාලන පක්ෂ දැන් ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්න නඩු කටයුතු වෙනුවෙන් විදුලි බල මණ්ඩල වෘත්තීය සමිතිවලින් මුදල් එකතු කරන බවට. සේවකයන් පාරට බස්සලා දැන් නීතිඥ ගාස්තු කියලා ජවිපෙ නීතිඥ සුනිල් වටගල වෘත්තීය සමිතිවලින් රුපියල් ලක්ෂ 58 ක් අරන් තිබෙන බව කියනවා. අර අහිංසක සේවකයන් 62 ක් දැන් මාස 6ක් තිස්සේ ගෙදර. ඒ අය වෙනුවෙන් මුදල් එකතු කර තිබෙන්නේ විදුලිබල මණ්ඩලයේ උද්ඝෝෂණය කළ සේවකයන්මයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment