අරගල බිහිකළ ඉතිහාසය

400

මේ වන විටත් ඉදිරියට ඇදී යමින් තිබෙන “ගෝල්ෆේස් අරගලය” ශ්‍රී ලාංකීය ජනසමාජයට මතු නොව සමස්ත ලෝකවාසීන්ටද නැවුම් අත්දැකීම් එක් කරමින් ඉතිහාසගත සටහන් තබමින් සිටින බව කුහකත්වයෙන් තොරව ඒ දෙස බලන ඕනෑම කෙනෙකුට වැටහී යා යුතුය. මෙම දින කිහිපය තුළ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ඉහළම වැදගත්කම අත්කරගෙන ඇති “අරගලය” සම්බන්ධයෙන් බොහෝ වාර්තා සහ විශේෂාංග පළව තිබෙන අතර මේ වන විටත් අඛණ්ඩව ලියවෙමින් ඇත. එසේ හෙයින් අපගේ මෙම උත්සාහය ඒ පිළිබඳවම තවත් එක් විශේෂාංගයක් සමාජගත කිරීම නොව මෙම ඓතිහාසික අරගලය හා සමපාත කළ හැකි ලෝක මට්ටමේ ජනතා නැගිටීම් කිහිපයක් සම්බන්ධ මතකය අවදි කිරීමටය. වඩා පුළුල් ලෙස අරගලය දෙස බැලීමට බුද්ධිමත් පාඨකයන්ට එය උදව්වක් වනු ඇත.

ඇමෙරිකානු නිදහස් අරගලය

1492 වර්ෂයේඳි “ක්‍රිස්ටෝපර් කොලොම්බස්” “බහමාස් දිවයින”ට ගොඩ බැසීමත් පසුව “ඇමෙරිගෝ වෙස්පූචි” විසින් ඇමෙරිකානු ප්‍රධාන භූමිය හඳුනා ගැනීම සිදුවීමෙන් අනතුරුව යුරෝපීය ජාතීන් විසින් එහි ජනපද පිහිටුවීම ආරම්භ කරන ලදි. පෘතුගාලය, ඕලන්දය, ස්පාක්‍ද්ක්‍දය, ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය එසේ ජනපද පිහිට වූ ප්‍රධාන යුරෝපීය ජාතීන් වේ. 1607 වර්ෂයේදි බ්‍රිතාන්‍යයන් විසින් උතුරු ඇමෙරිකාවේ “වර්ජිනියා ජනපදය” පිහිටුවීමෙන් ඇරඹුනු ජනපදකරණය 1733 වර්ෂය වන විට ජනපද 13 ක් දක්වා වර්ධනය වී තිබුණි. මෙම ජනපද බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ සෘජු මැදිහත්වීමෙන් නොව එරට සමාගම්, පුද්ගලයන් හෝ පුද්ගල කණ්ඩායම් විසින් පිහිටුවනු ලැබීම කැපී පෙනෙන ලක්‍ෂණයක් වූ අතර මෙම ජනපදවල නිෂ්පාදන සහ ලාභ අතිරික්තයන් සෘජුවම බ්‍රිතාන්‍ය වෙත රැගෙන යෑම සිදුකරන ලදි.

බ්‍රිතාන්‍යයේ බදු ආදායම වැඩිකර ගැනීම පිණිස එවකට අගමැති “ජෝර්ජ් ග්‍රැන්විල්” විසින් 1764- 1765 කාලයේදී පනවන ලද “සීනි පනත”, “මුදල් නෝට්ටු පනත”, සහ “මුද්දර පනත” ඇතුළු බදු වර්ග කිහිපයක් පිළිබඳ ජනපදවාසීන් අතර බලවත් විරෝධයක් මතුව තිබිණි. මේ අතර ඇමෙරිකන් ජනපදවලට තේ සැපයීම පිළිබඳ තනි ඒකකාධිකාරය එක් සමාගමකට පවරමින් 1773 දි පැනවූ පනතකට විරෝධය පළකරමින් බොස්ටන් වරායේ නවතා තිබූ තේ ප්‍රවාහන නෞකාවකට ඇතුළු වූ බොස්ටන් වැසියන් පිරිසක් එහි තිබූ තේ පෙට්ටි 342 ක් මුහුදට ඇද දමන ලදි.“බොස්ටන් තේ සාදය” නමින් ප්‍රකට මෙම සිදුවීම ඇමෙරිකන් විප්ලවයේ ආරම්භය ලෙස සැලකේ.

බොස්ටන් තේ සාදය වැනි සිදුවීම් හේතුකොටගෙන බ්‍රිතාන්‍ය ජනපද පාලනය සඳහා නව නීති පැනවීමට බ්‍රිතාන්‍ය ආණ්ඩුව ක්‍රියා කළ අතර එයට විරෝධය පළකරමින් 1774 වර්ෂයේ “පිලඩෙල්පියා” නගරයට රැස්වූ ජනපද 12 ක නියෝජිතයන් “පිලඩෙල්පියා සම්මේලනය” පවත්වමින් ඇමෙරිකන් ජනපද වෙනුවෙන් නීති පැනවීමට හෝ බදු අයකිරීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට බලයක් නැති බවට ප්‍රකාශ කරමින් බ්‍රිතාන්‍ය හමුදාවන්ගෙන් ආරක්‍ෂාව සඳහා ජනපදවාසීන් සන්නද්ධ වීමේ අවශ්‍යතාවද අවධාරණය කළහ. පසුව 1775 වර්ෂයේදි “මහාද්වීපික ඒකාබද්ධ හමුදාව”ක් නිර්මාණය කළ ජනපදවාසීන් එහි අණදෙන නිලධාරි තනතුරට “ජෝර්ජ් වොෂින්ටන්” පත්කරමින් ඇමෙරිකන් නිදහස් සටන තීරණාත්මක අඩියකට ඔසවා තැබූහ.

1776 ජූලි 04 වන ඳින “ඇමෙරිකන් ජනපදවල ඒකාබද්ධ නියෝජිත සභාව” විසින් ඇමෙරිකානු නිදහස් ප්‍රකාශය නිකුත් කරන ලද අතර එමගින් උපතින්ම මිනිසා සතුවන සහ අත්හල නොහැකි සහ බිඳිය නොහැකි මිනිස් අයිතිවාසිකම් අවධාරණය කළ අතර ඇමෙරිකන් පුරවැසියන්ගේ අයිතිවාසිකම්ද ප්‍රකාශයට පත්කරන ලදි. මෙම නිදහස් ප්‍රකාශනය මගින් ඇමෙරිකාව බ්‍රිතාන්‍යයෙන් නිදහස් ස්වාධීන රාජ්‍යයක් බව ප්‍රකාශයට පත්කළ අතර එයට එරෙහිව බ්‍රිතාන්‍ය රජය යුද ප්‍රකාශ කරන ලදි. බ්‍රිතාන්‍ය හමුදාවන් සහ ජෝර්ජ් වොෂින්ටන්ගේ ඒකාබද්ධ ජනපද හමුදාවන් අතර සටන් ජයග්‍රහණය දෙපසට දෝලනය වෙමින් වසර කිහිපයක් ඉදිරියට ඇදී යන අතර ඇමෙරිකාවේ උතුරු දෙසින් ජනපද පිහිටුවාගෙන සිටි ප්‍රංශයේ සහ දකුණින් ජනපද පිහිටුවාගෙන සිටි ඕලන්දය හා ස්පාක්‍ද්ක්‍දයේ සහාය ජනපද හමුදාවන්ට හිමිවීමත් සමග සටනේ වැඩි වාසිය ජෝර්ජ් වොෂින්ටන්ගේ හමුදාවන්ට හිමිවිය. 1783 දී “පැරිස් සාම ගිවිසුම” මගින් බ්‍රිතාන්‍ය ආණ්ඩුව ඇමෙරිකානු ස්වාධීනත්වය පිළිගත් අතර ඒ අනුව නිදහස් ඇමෙරිකාව මහපොලවේ යථාර්ථයක් බවට පත් විය. 1789 වර්ෂයේදී ඇමෙරිකා එක්සත් ජනපදය නව ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගත් අතර එය ලොව පළමු ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෙසට සැලකේ. ඒ යටතේ ජෝර්ජ් වොෂින්ටන් පළමු ජනාධිපතිවරයා ලෙස පත්කරගන්නා ලඳි. කෙසේ වෙතත් වසර ගණනාවක් පුරා ඇදී ගිය ලේ වැකි අරගලයක් ලෙසට හැඳින්විය හැකි ඇමෙරිකා නිදහස් සටන සඳහා බ්‍රිතාන්‍ය ආණ්ඩුව පවුම් මිලියන 100 පමණ වැයකර ඇති අතර එක්සත් ජනපදවාසීන් ඩොලර් මිලියන 66 ක් පමණ වැය කර ඇතැයි සඳහන්ය. නිදහස් අරගලය බිලිගත් ජීවිත ගණන පිළිබඳව නිවැරදි සංඛ්‍යාලේඛන නොමැති නමුත් වටිනා මනුෂ්‍ය ජීවිත දහස් ගණනක් ඒ සඳහා බිලිවන්නට ඇති බවට සැකයක් නැත.

ප්‍රංශ විප්ලවය

අරගල බිහිකළ ඉතිහාසය

ලොව වඩාත් ප්‍රචණ්ඩකාරී සහ ලේවැකි අරගලයක් ලෙස සැලකෙන ප්‍රංශ විප්ලවය ලොව පුරා සමානාත්මතාවයේ, සහෝදරත්වයේ සහ නිදහසේ අපේක්‍ෂා දල්වන ලද මානව හිමිකම් සම්බන්ධ වඩාත් දීප්තිමත් සහ වැදගත් සලකුණු තබන ලද අරගලයක් ලෙසද ලොව පුරා පිළිගැනීමට ලක්ව ඇත. දහ අට වන සියවස වන විට ප්‍රංශය යුරෝපයේ කැපී පෙනෙන රටක් ලෙස නැගී එමින් තිබුණ නමුත් එහි රදළයන් සහ සාමාන්‍ය වැසියන් අතර පරතරය එන්න එන්නම වැඩි වෙමින් තිබුණි. ප්‍රංශයේ රජකළ “බුර්බෝන් රාජ වංශය”ට අයත් දහහතරවන ලුවී රජු “රාජ්‍යය නම් මම” යි යනුවෙන් ප්‍රකාශ කරමින් ඒකාධිපති පාලනයක් ගෙන යමින් සිටි අතර එය ප්‍රංශ ජනතාවගේ ඉමහත් අප්‍රසාදයට ලක් වී තිබුණි. දහසයවන ලුවී රජුගේ අග බිසව වූ “මාරි ඇන්ටොනයිට්” බිසව ඉතා සුඛෝපභෝගී ජීවිතයකට හුරුව සිටි අහංකාර තැනැත්තියක් වූ අතර ඇය රාජ්‍ය පාලනයට පවා මැඳිහත්වෙමින් කටයුතු කරන ලදී. ආහාර අහේනිය නිසාවෙන් පාන් ඉල්ලා කෑගසන ප්‍රංශ ජනතාව අමතා ඇය වරෙක ප්‍රකාශ කළ බව කියැවෙන්නේ “පාන් නැත්නම් කේක් කාපල්ලා” යනුවෙනි. මෙම ප්‍රකාශය මගින් මාරි ඇන්ටොනයිට් බිසවගේ සාමාන්‍ය ජනතාවගේ දුක පිළිබඳ නොදන්නාකම පැහැදිලිව හෙළිදරව් වේ.

එකල ප්‍රංශයේ පැවැති වැඩවසම් පාලන ක්‍රමය තුළ ස්ථර හතරක් දක්නට ලැබුණි. එනම් රාජාණ්ඩුව, රදළයන්, පූජකයන් සහ සාමාන්‍ය ජනතාව වශයෙනි. ප්‍රංශ රාජ්‍ය පාලනය සහ නිලධාරීන්ගේ අකටයුතුකම් පිළිබඳ මහජන නැගී සිටීම් නිරන්තරයෙන් ඇතිවන්නට වූ අතර එහිදී විශාල වශයෙන් අත්අඩංගුවට ගත් පිරිස් “වර්සෙල්ස් මාලිගය” ආසන්නයේ පිහිටි “බැස්ටීල් බන්ධනාගාරයේ” රඳවා තැබුණි. පැවැති ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා “ස්ටේට්ස් ජෙනරල් සභාව” නම් පාලන සභාව කැඳවීමට කටයුතු කිරීමේදී පූජකයන් සහ රදළයන් වෙනම රැස්වීමට උත්සාහ කිරීම හේතුවෙන් විප්ලවයට ආසන්නම ගැටලුකාරී තත්ත්වය උද්ගත විය.

රදළයන්ගේ සහ පූජකයන්ගේ උත්සාහයට එදිරිව යමින් සාමාන්‍ය ජනතාව පැරීසියේ ගෘහස්ථ ටෙනිස් පිටියකට එක්රැස්වී ප්‍රංශයට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කිරීමෙන් තොරව විසිර නොයන බවට දිවුරුමක් දුන් අතර එය “ටෙනිස් පිටියේ දිවුරුම” ලෙස හැඳින්වේ. මෙම පිරිසට සාමාන්‍ය ජනතාවගේ සහයෝගය ලැබුන අතර අවි ආයුධ අතට ගත් පිරිස් විශාල වශයෙන් එක් රැස්වී 1789 ජූලි 14 වන දින බැස්ටීල් බන්ධනාගාරයට පහරදී එහි සිටි සිරකරුවන් දහස් ගණනක් නිදහස් කර ගැනීමට කටයුතු කරන ලදි. ප්‍රංශ විප්ලවයේ ඇරඹුම එලෙස සනිටුහන් විය. මෙම තත්ත්වය ඉතා වේගයෙන් රටපුරා පැතිර ගිය අතර ඇමෙරිකානු නිදහස් සටනේ අණදෙන නිලධාරියෙකු ලෙස කටයුතු කළ “ජනරාල්වරයෙකු” වූ ගිල්බර්ට් මාර්කියුස් ලෆායෙට් යටතේ රටපුරා විප්ලවවාදී හමුදා සංවිධානය කෙරිණි. රජුගේ පාලනය බිඳ වැටුන අතර මහජන අධිකරණයක් මගින් රජුට සහ බිසවට එරෙහිව නඩු විභාගයක් පවත්වා දෙදෙනාටම මරණ දඬුවම නියම කරන ලදි. මෙසේ මහජන අධිකරණය මගින් මරණ දඬුවම නියම කරන ලද රාජකීයන්, රදළයන් සහ පූජකයන් ඇතුළු පුද්ගලයන් මරා දැමීම සඳහා පැරීසියේ වීඳිවල “ගිලටීන්” නම් ගෙල සිඳ දමන යන්ත්‍ර සවිකරන ලද අතර එමගින් මරණ දඬුවම පැමිණ වීම ඉතා අමානුෂික සහ බිහිසුණු දර්ශන මවා පාන්නක් බවට පත්විය.

විප්ලවය ජය ගැනීමෙන් පසු ප්‍රංශය සඳහා නව ධජයක් නිර්මාණය කෙරුණ අතර එහිදී විප්ලවයේ තේමා පාඨය වූ නිදහස, සමානාත්මතාවය සහ සහෝදරත්වය සංකේතවත් කිරීම සඳහා නිල් සුදු සහ රතු තීරු තුනක් ඇතුළත් කරන ලදි. නිල් පැහැයෙන් නිදහසත්, සුදු පැහැයෙන් සමානාත්මතාවයත්, රතු පැහැයෙන් සහෝදරත්වයත් සංකේතවත් වේ. වර්තමානයේද ප්‍රංශ ධජය ලෙස භාවිතා වන්නේ මෙසේ නිර්මාණය කෙරුණ ධජයයි. විප්ලවය ජයගැනීමෙන් අනතුරුව ප්‍රංශ විප්ලවයේ තේමා පාඨය වූ නිදහස, සමානාත්මතාවය සහ සහෝදරත්වය පිළිබඳ අදහස් ලොව පුරා මානව හිමිකම්වල නව පිබිදීමක් ඇති කිරීමට සමත් වූ අතර එය තවත් ඉදිරියට ගෙන යමින් 1791 වසරේදී “මානව අයිතිවාසිකම් පිළිබඳ ප්‍රංශ ප්‍රකාශනය” ප්‍රංශය විසින් එලිදක්වන ලදි. මූලික මිනිස් අයිතිවාසිකම් යනු ස්වභාවයෙන්ම මිනිසාට හිමිවිය යුතු අයිතීන් විනා පාලකයන් විසින් ලබාදිය යුතු දෙයක් නොවන බව මින් අර්ථ දැක්විණ. මෙමගින් ලොවපුරා ඇතිකළ ප්‍රබෝධය හේතුවෙන් පසුකාලීනව බොහෝ ආණ්ඩු මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ වගන්ති සිය රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන්ට ඇතුළත් කිරීමට කටයුතු කිරීමද ප්‍රංශ විප්ලවයේ සාධනීය ඵලයක් විය.

රුසියන් විප්ලවය

පූර්ව විප්ලවීය යුගයේ රුසියාව ලෝකයේ භූමි ප්‍රමාණයෙන් 1/6 ක් පුරා පැතිර ගිය විශාල අධිරාජ්‍යයක් වූ අතර ජනගහනයෙන් වැඩි පිරිසක් ගොවියන් සහ කම්කරුවන් විය. වැඩවසම් පාලන ක්‍රමය යටතේ ඉඩම් හිමි රදළයන් ජනතාව සූරා කමින් වඩ වඩාත් ධනවතුන් බවට පත්වෙමින් සිටි අතර සාමාන්‍ය ජනතාව අතිශය දුක්ඛිත ජීවිත ගත කරමින් සිටියහ. රුසියානු පල්ලියේද පූර්ණ ආශීර්වාදය යටතේ සාර්වරු දැඩි පීඩාකාරී පාලනයක් ගෙන යමින් අතිශය සුඛෝපභෝගී ජීවිත ගත කරමින් සිටියෝය. මෙම තත්ත්වය යටතේ සාමාන්‍ය ජනතාව විශාල පීඩනයකින් කටයුතු කළ අතර රාජ්‍ය විරෝධී සටන් සඳහා සංවිධානය වීමට මෙම පසුබිම ප්‍රබල ලෙස හේතු විය.

1904 – 1905 කාලයේඳි ජපානය සමග පැවැති යුද්ධය පරාජයට පත්වීම පදනම්කර ගනිමින් රාජ්‍ය විරෝධී කැරැල්ලක් පැනනැගුන අතර ඒ සඳහා නාවික හමුදාවේ පිරිස්වලද සහයෝගය ලැබී තිබුණි. කෙසේ වෙතත් මර්දනයෙන් කැරැල්ල මැඬපැවැත්වීමට සාර් පාලනය සමත්වූ හෙයින් කෙටිකාලීන අස්වැසිල්ලක් ලබාගැනීමට පාලකයන්ට හැකියාව ලැබී තිබුණි. මේ අතර වී. අයි. ලෙනින්ගේ නායකත්වයෙන් යුතු “බොල්ෂෙවික් පක්‍ෂය” සාර් පාලනයට එරෙහිව අඛණ්ඩව ජනතාව පෙලගස්වමින් සිටියෝය.

1914 පළමුවන ලෝක යුද්ධය ඇරඹීමත් රුසියාව මිත්‍ර පාර්ශ්වයේ බලවතෙකු වශයෙන් ලෝක යුද්ධයට සම්බන්ධවීම හේතුවෙන් රුසියානු ආර්ථිකය බරපතළ කඩා වැටීමකට ලක්වන අතර රටපුරා උග්‍ර ආහාර හිඟයක් සහ බෙහෙත් හිඟයක් ඇතිවිය. මෙම අර්බුදකාරී තත්ත්වය තවත් උග්‍ර කරමින් ජනතාවගේ ප්‍රධාන ආහාරයක් වූ පාන් මිල අතිවිශාල ලෙස ඉහළ යෑම හේතුවෙන් කම්කරු සහ ගොවි ජනතාව බලවත් පීඩාවට පත්වෙමින් තිබුණි. මෙම පීඩනය පුපුරායෑම 1917 මාර්තු වන විට දරුණු ලෙස සිදුවූ අතර රටපුරා ක්‍රියාත්මක වූ මහා වැඩවර්ජන රැල්ලක් මගින් එවකට සිහසුන දැරූ “දෙවන නිකොලස් සාර්” බලයෙන් පහකිරීම සිදුවිය. සාර් පාලනය වෙත එල්ලවූ දැඩි ජනතා විරෝධය සඳහා නිකොලස් සාර්ගේ මෙහෙසිය වූ ජර්මානු සම්භවයක් සහිත “ඇලෙක්සැන්ඩ්‍රා ෆෙඩොරොව්නා” සහ ඇයගේ කුප්‍රකට උපදේශක “ග්‍රෙගරි රස්පුටින්”ගේ පිළිකුල් සහගත ක්‍රියාකලාපයද හේතු විය. මෙම වර්ජන රැල්ල සඳහා සාර් පාලනයේ හමුදාවන්ද සම්බන්ධවීම හේතුවෙන් නිකොලස් සාර් අසරණභාවයට පත්විය. රජු සිහසුන අත්හැරීමත් සමග රුසියාවේ පාලන බලය තරුණ නීතිඥයෙකු වූ “ඇලෙක්සැන්ඩර් කෙරෙන්ස්කි” ඇතුළු මෙන්ෂෙවික් කණ්ඩායමට හිමිවන නමුත් රට තුළ ස්ථාවර පාලනයක් ඇති කිරීමටත් දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාඳිමටත් කෙරෙන්ස්කි පාලනය සමත් වන්නේ නැත. මෙම ජනතා නැගිටීම 1917 මාර්තු විප්ලවය ලෙස හැඳින්වේ.

රුසියාවේ පීඩිත ජනතාවගේ ඉල්ලීම් වූයේ “ගොවීන්ට ඉඩම්, යුද භටයන්ට සාමය සහ සියලු ජනතාවට ආහාර” යන්නයි. කෙරෙන්ස්කිගේ තාවකාලික ආණ්ඩුවට මෙම දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමේ හැකියාවක් තිබුණේ නැත. රුසියානු ජනසමාජය තුළ මෝරා එමින් තිබූ මනෝමූල සහ වාස්තවික තත්ත්වයන් මනාව ග්‍රහණය කරගත් ලෙනින් “මෙම අවස්ථාවේදී අප බලය අල්ලා නොගතහොත් ඉතිහාසය කිසි විටෙකත් අපට සමාව නොදෙනු ඇතැයි” ප්‍රකාශ කරමින් ඒ වන විටත් රටපුරා හොඳින් සංවිධානගත කර තිබූ සෝවියට් සභා සහ රතු හමුදාවන් හරහා පාලන බලය අල්ලා ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කළේය. රතු හමුදාව පෙරටු කරගත් ගොවියන් සහ කම්කරුවන් රජයේ පාලන මර්මස්ථානවලට පහරදෙමින් ඒවායේ පාලන බලය අල්ලා ගන්නා ලද අතර ලෙනින්ගේ නායකත්වයෙන් යුත් නව රජයක් පිහිටුවාගන්නා ලද බව ප්‍රකාශයට පත් කළහ. මෙසේ පිහිටුවාගන්නා ලද නව රජය ලොව ප්‍රථම කොමියුනිස්ට් රාජ්‍ය බවට පත්වූ අතර වී. අයි. ලෙනින් ලොව පළමු කොමියුනිස්ට් රාජ්‍යයේ නායකයා බවට පත්විය.

රුසියානු විප්ලවය 1917 නොවැම්බර් 6 සහ 7 දිනවල සිදුවූ නමුත් බොහෝ විට එය හැඳින්වෙන්නේ 1917 ඔක්තෝබර් විප්ලවය ලෙසටයි. එයට හේතුව රුසියාවේ එවකට භාවිතා වූ ජූලියන් දින දර්ශනයට අනුව එම දින දෙක ඔක්තෝබර් 24 සහ 25 වශයෙන් යෙදීමයි. කෙසේ වෙතත් නැවුම් කොමියුනිස්ට් රාජ්‍යයට එරෙහි ප්‍රති විප්ලවය ඉක්මනින්ම ආරම්භ වූ අතර 1917 අගභාගයේදී ආරම්භ වූ එහි කොමියුනිස්ට් රතු හමුදාවන්ට එරෙහිව රාජාණ්ඩුවාදීන්, රදළයන්, ධනපතියන් සහ ප්‍රතිසංස්කරණවාදී බලවේගයන්ට සහාය පළකරන පිරිස් ඇතුළු විශාල පිරිසක් සටන් කරන ලදි. වසර ගණනාවක් ඉදිරියට ඇදී ගිය ප්‍රති විප්ලවය 1922 අගභාගයේදී අවසන් වන්නේ රතු හමුදාවන්ට ජයග්‍රහණය අත්පත්කර දෙමිනි. ප්‍රති විප්ලවයේ අවසන් ජයග්‍රහණයත් සමග ලෙනින් විසින් 1922 දෙසැම්බර් 30 වන දින සෝවියට් සංගමය ප්‍රකාශයට පත්කරන ලදි.

කොමියුනිස්ට් පාලනය තුළ සෝවියට් සංගමය ආර්ථිකමය සහ දේශපාලනමය වශයෙන් ජයග්‍රහණ රාශියක් අත්කරගත් අතර ආර්ථික සහ දේශපාලනමය වශයෙන් ලොව මහ බලවතෙකුගේ තත්ත්වයට ඉක්මනින්ම ළඟා විය. මෙම තත්ත්වය යටතේ ඇමෙරිකාව ප්‍රමුඛ ධනවාදී කඳවුර එක් පසෙකත් සෝවියට් සංගමය ප්‍රමුඛ සමාජවාදී කඳවුර තවත් පසෙකත් වශයෙන් ලෝකය පැහැදිලි බල කඳවුරු දෙකකට වෙන් කෙරුණ අතර පසුකාලීන සීතල යුද්ධයක් දක්වා මෙම තත්ත්වය වර්ධනය විය.

චීන විප්ලවය

අරගල බිහිකළ ඉතිහාසය

1921 වසරේ චීන කොමියුනිස්ට් පක්‍ෂය බිහිවන අවස්ථාව වන විට චීනයේ පාලනය “කුවෝමින්ටෑන්ග්” හෙවත් “චීන ජාතිකවාදී පක්‍ෂයේ” “චියැං කායි ෂෙක්” ප්‍රමුඛ ජාතිකවාදීන් විසින් දරන ලද අතර “මාඕ සේතුං” ප්‍රමුඛ කොමියුනිස්ට් නායකයන් විසින් ජාතිකවාදීන්ට එරෙහිව චීන ජනතාව සංවිධානය කිරීම දශක දෙකකට අධික කාලයත් සිදුකරන ලදි. 1927 ෂැංහයි සංහාරය විසින් තීරණාත්මක පරාජයකට මා ඕ ප්‍රමුඛ කොමියුනිස්ට්වාදීන් ඇද දමනු ලද නමුත් ග්‍රාමීය පෙදෙස් කරා පසුබැස යමින් නැවත ප්‍රතිසංවිධානය වීමට කොමියුනිස්ට් වාදීන්ට හැකියාව ලැබුණි.

1927-1945 චීන ජපන් යුද්ධය අතරතුර කොමියුනිස්ට්වාදීන් අධිරාජ්‍යවාදයට එරෙහිවද සටන් කිරීමට පෙලඹුන අතර කොමියුනිස්ට් හමුදා සහ චීන ජාතික හමුදා අතර සිවිල් යුද්ධය 1945 දි ඇරඹුනි. තීරණාත්මක ජයග්‍රහණ අත්පත්කර ගනිමින් ඉදිරියට ගිය “චීන මහජන විමුක්ති හමුදාව” “ජාතිකවාදි හමුදා” පරාජයට පත්කරමින් තීරණාත්මක ජයග්‍රහණය 1949 ඔක්තෝබර් 01 වන දින වාර්තා කරන ලදි. චියැං කායි ෂෙක් ප්‍රමුඛ ජාතිකවාදී රජය චීන ප්‍රධාන භූමියට නැගෙනහිරින් පිහිටි දූපතක් වූ “තායිවානය”ට පලා ගොස් එහි රජය පිහිටුවා ගැනීමට කටයුතු කරන ලදි. චීයැං කායි ෂෙක් ගේ ජාතිකවාදී රජය තායිවානයේ “තායිපේ” තාවකාලික අගනුවර ලෙස ප්‍රකාශයට පත්කරමින් චීනය එක්සත් කිරීමේ අරමුණින් කටයුතු කළ අතර ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර කඳවුරේ නොමද අනුග්‍රහය ඔවුන්ට ලැබුනි. 1971 වසර වන තෙක්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීනය සඳහා වන නියෝජනය ලැබුණේ තායිවානයේ පිහිටුවා තිබූ ජාතිකවාදී පාලනයට වීම මෙම බටහිර අනුග්‍රහය සම්බන්ධ හොඳ උදාහරණයකි. කෙසේ වෙතත් චීන ප්‍රධාන භූමියේ පිහිටුවා තිබූ මහජන චීන සමූහාණ්ඩුව දිනෙන් දින ශක්තිමත් වූ අතර කොමියුනිස්ට්වාදීන් සහ ජාතිකවාදීන් අතර අවසන් සෘජු ගැටුම 1950 අප්‍රේල් මාසයේදී කොමියුනිස්ට්වාදීන් “හයිනාන් දූපත” අල්ලා ගැනීමේදී වාර්තා වී තිබේ. ඉන් අනතුරුව මේ දක්වා සීතල යුද ගැටුම් මිස සෘජු යුද ගැටුම් වාර්තා වන්නේ නැත. දෙවන කොමියුනිස්ට් රාජ්‍ය ලෙස ස්ථාවර වූ චීනය 1956 චීන සෝවියට් විරසකයෙන් පසුව සීතල යුද්ධයේ තුන්වන පාර්ශ්වය නියෝජනය කරමින් මේ වන විට ලොව මහ බලවතෙකු තත්ත්වයට වර්ධනය වී තිබේ. චීනයේ නැගී ඒම ලොව බලතුළනය සඳහා සැලකිය යුතු බලපෑමක් සිදුකළ අතර මුල් කාලීනව ලොව පුරා කොමියුනිස්ට්වාදී ව්‍යාපාරවල වර්ධනය සඳහා සෘජු මෙන්ම වක්‍ර අනුග්‍රහය ලබාදීමටද මහජන චීන සමූහාණ්ඩුව කටයුතු කරන ලදී. එක්සත් ජනපදයට වියට්නාමය සඳහා මැදිහත්වීමට බලකළ සාධකය වන්නේද චීනයේ බලපෑම පිළිබඳව වන මෙම භීතියයි.

කියුබන් විප්ලවය

සීනි ප්‍රධාන අපනයන භෝගය වන කියුබාවේ ජනාධිපති ධුරය සඳහා 1925 වසරේදී “ජෙරාඩෝ මචාඩෝට් තේරී පත්වන අතර 1933 වසරේදී කියුබානු හමුදාවේ නිලධාරියෙකු වන “ෆුල්ජෙන්සියෝ බැසිස්ටා” හමුදා කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගනු ලබයි. බැසිස්ටා ඇමෙරිකානු ආශීර්වාදය සහිතව කියුබාව තුළ ඒකාධිපති පාලනයක් ගෙන යන අතර තරුණ නීතිඥයෙකු වූ “පිදෙල් කැස්ත්‍රෝ” කියුබාවේ පාලන බලය ලබා ගැනීමේ අරමුණින් දේශපාලන ව්‍යාපාරයක නියැළෙමින් සිටියේය.

සන්නද්ධ ප්‍රහාරයක් මගින් බලය අල්ලා ගැනීමේ අරමුණින් “පිදෙල් කැස්ත්‍රෝ” සහ ඔහුගේ බාල සොහොයුරු “රාවුල් කැස්ත්‍රෝ” ඇතුළු පිරිසක් විසින් 1953 ජූලි 26 වන දින කියුබාවේ “සන්තියාගෝ”හි පිහිටි “මොන්කාඩෝ” හමුදා කඳවුරු සංකීර්ණයට ප්‍රහාරයක් එල්ල කරන ලද නමුත් එය පරාජයට පත්කිරීමට බැසිස්ටාගේ හමුදාවන්ට හැකියාව ලැබුනි. පිදෙල් සහ රාවුල් පැන යෑමට සමත් වූ නමුත් පසුව අත්අඩංගුවට ගෙන සිරගත කරන ලදි. සිරගත කිරීම හේතුවෙන් විප්ලවවාදී නායකයෙකු ලෙස පිදෙල් කස්ත්‍රෝ ගේ කීර්තිනාමය වේගයෙන් වර්ධනය වූ අතර එය ජන පදනමක් සහිත නායකයෙකු ලෙස පිදෙල් කස්ත්‍රෝගේ නැගී ඒමට ප්‍රබල ලෙස හේතු කාරක විය. 1955 දී ලැබුන පොදු සමාවක් මත නිදහස ලැබූ පිදෙල් සහ රාවුල් ඇතුළු පිරිස මෙක්සිකෝවට සංක්‍රමණය වී මොන්කාඩෝ ප්‍රහාරය එල්ල කළ දිනය වූ ජූලි 26 දිනය පදනම්කර ගනිමින් “ජූලි 26 ව්‍යාපාරය” නම් සංවිධානයක් ගොඩනැගීමට රහසිගතව කටයුතු කරමින් සිටින ලදි.

1956 නොවැම්බර් මාසයේදී ජූලි 26 ව්‍යාපාරය නියෝජනය කරමින් සන්නද්ධ සටන්කරුවන් 82 ක් සහිත “ග්‍රැන්මා” නෞකාව කියුබාව බලා යාත්‍රා කරන නමුත් පිදෙල් කස්ත්‍රෝ ඇතුළු සටන්කාමීන්ගේ ආගමනය පිළිබඳව පැසිස්ටාගේ හමුදාවන්ට කල්තියා තොරතුරු ලැබී තිබුණි. 1956 දෙසැම්බර් 02 වන දින නැගෙනහිර කියුබාවේ වෙරළ තීරයට ගොඩ බසින පිදෙල් ඇතුළු කණ්ඩායම බැසිස්ටාගේ හමුදාවන්ට එරෙහිව සැඟවී සිට පහර දෙමින් ගරිල්ලා සටනක නිරත වුවද මෙම සටන් වලින් කණ්ඩායමේ සාමාජිකයන් වැඩි පිරිසක් මිය යන ලදි. පිදෙල් රාවුල් සහ විප්ලවවාදීන්ගේ සදාතනික වීරයා වන “අර්නස්ටෝ චේ ගුවේරා” ඇතුළු 20 දෙනකුගෙන් පමණ සමන්විත පිරිසක් දිවි බේරාගෙන කඳුකරයට පලා යෑමට සමත් වේ.

කියුබාවේ “සියෙරා මස්ට්‍රා” කඳුකරයේ රැඳී සිටිමින් නැවත පිරිස් සංවිධානය කර ගැනීමට පිදෙල් ඇතුළු පිරිස කටයුතු කරන අතර ගොවි ජනතාව සහ කම්කරුවන් විශාල ලෙස ආකර්ෂණය කර ගැනීමට ඔවුන් සමත් වේ. බැසිස්ටාගේ ආඥාදායක පීඩාකාරී පාලනය හමුවේ පීඩාවට පත්ව සිටි ජනයා ඒකරාශී කර ගනිමින් කෙටි කලෙකින් සැලකිය යුතු පිරිස් බලයක් වර්ධනය කර ගැනීමට පිදෙල් ඇතුළු පිරිස සමත් වේ. 1958 ගිම්හානයේඳි කැරලිකරුවන් තීරණාත්මක ලෙස පරාජයට පත්කිරීම සඳහා බැසිස්ටාගේ හමුදාවන් සියෙරා මස්ට්‍රා කඳුකරයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන ලද නමුත් එය ප්‍රබල ප්‍රති ප්‍රහාරයක් මගින් ආපසු හැරවීමට කැරලිකරුවන් සමත් වීම සටනේ තීරණාත්මක හැරවුම් ලකුණක් විය.

1958 දෙසැම්බර් මස කැරලිකරුවන් චේ ගුවේරගේ නායකත්වයෙන් යුතුව දියත් කළ “සැන්ටා ක්ලාරා” ප්‍රහාරය කියුබානු විප්ලවයේ තීරණාත්මක ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වූ අතර කැරලිකරුවන් බැසිස්ටාගේ හමුදා සංකීර්ණයක් පරාජය කරමින් ආයුධ සහ පතොරම් විශාල ප්‍රමාණයක් සහිත දුම්රියක් සිය භාරයට ගැනීමටද සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග ඔද වැඩුනු කැරලිකාර හමුදාවන් 1959 ජනවාරි 01 වන දින කියුබාවේ අගනුවර වන හවානා වෙත ඇතුළු වන විට සටනකින් තොරවම පරාජය භාරගත් ආඥාදායක බැසිස්ටා අසල්වැසි “ඩොමිනිකන් ජනරජය”ට පලා යාමට කටයුතු කරන ලදි. 1959 ජනවාරි 09 වන ඳින හවානා වෙත පැමිණි පිදෙල් කැස්ත්‍රෝ විප්ලවයේ විජයග්‍රහණය ප්‍රකාශයට පත් කරමින් පාලනය භාර ගන්නා ලදි.

ඉහතින් දක්වන ලද පුළුල් ජන අරගල තුළින් සමස්ත මානව සංහතියට දිනා දුන් ජයග්‍රහණ අසීමිතය. එයට අමතරව මෙම අරගල තුළ පෘථුල දේශපාලනික, සමාජ සහ ජීවිත පාඩම් රාශියක් අන්තර්ගත බව සැලකිල්ලෙන් අධ්‍යයනය කරන විට පෙනී යයි. වාස්තවික සහ මනෝමූල තත්ත්වයන් නිවැරදි අර්ථයෙන් අවබෝධ කර ගැනීම, නිසි අවස්ථාව එලඹෙන තෙක් කල් මැරීම, නිසි අවස්ථාව ග්‍රහණය කර ගැනීම මෙන්ම අවස්ථා නිර්මාණය කර ගැනීමත්, ජයග්‍රහණයෙන් මෙන්ම පරාජයෙන්ද නිසි පාඩම් ඉගෙන ගැනීමත් ආදී පාඩම් මේවායේ අන්තර්ගතය. මෙම එකදු අරගලයක්වත් අනෙකට වඩා වැදගත් හෝ විශිෂ්ට වන්නේ යයි සැලකිය හැකි නොවේ. මන්ද සිදුවීම් කාලයට සාපේක්‍ෂ බැවිනි. සියල්ල ඒ ඒ අවස්ථාවන්ට සාපේක්‍ෂව විශිෂ්ට සහ අසමසම වෑයම් ලෙස සැලකීම වඩා තාර්කික බව සිහිතබා ගත යුතුය. ගෝල්ෆේස් අරගලය දෙස අවධානය යොමු කළ යුත්තේද එම අර්ථයෙනි. කියුබානු මොඩලයේ සන්නද්ධ අරගලයන් ප්‍රායෝගික යථාර්ථයන් නොවන වර්තමාන ලෝකයට අත්‍යවශ්‍ය සහ කාලානුරූප “අරගල මොඩලයක්” ගෝල්ෆේස් අරගලය තුළ නිර්මාණය කර තිබෙන බව පිළිගැනීම වඩා සාධාරණ සහ තාර්කික බව අවසන් වශයෙන් සටහන් කර තැබිය යුතුය.

විමුක්ති වීදියබණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment