අරගල සමයේ නිවාස ගිනිතැබීම නොවැළැක්වූවැයි – මාරු කළ ඕඅයිසීලා 5කට යළි පොලිස් ස්ථාන ලබාදීමට පොලිස්පති පියවර ගනී

71

අරගලය පැවති සමයේ මැති ඇමැතිවරුන්ගේ නිවාස ගිනිතැබීමේ සිද්ධීන් වළක්වාලීමට කටයුතු නොකළේ යැයි ස්ථාන මාරු කර සිටි පොලිස් ස්ථානාධිපතිවරු පස්දෙනෙකුට මීට පෙර අධිකරණය හමුවේ ඇතිකරගත් එකඟතාව පරිදි සුදුසු පොලිස් ස්ථාන ලබාදීමට කටයුතු කර ඇති බව පොලිස්පතිවරයා ඊයේ (29දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

ඒ පොලිස් ස්ථානාධිපතිවරුන් පස්දෙනෙකු විසින් මෙම සිද්ධිය සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ඊයේ යළි කැඳවූ අවස්ථාවේදීය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ගාමිණී අමරසේකර සහ ඒ.එච්.එම්.ඩී. නවාස් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් කැඳවනු ලැබිණි.

පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මීට පෙර අධිකරණය හමුවේ ඇතිකරගත් එකඟතාව පරිදි පෙත්සම්කරුවන්ට සුදුසු පොලිස් ස්ථාන ලබාදීමට පොලිස්පතිවරයා කටයුතු කරනු ඇතැයි පැවසීය.

පෙත්සම්කාර පොලිස් ස්ථානාධිපති තුන්දෙනෙකු එම පොලිස් ස්ථාන භාරගැනීමට එකඟතාව පළ කර තිබෙන බැවින් ඔවුන් ඉදිරිපත් කළ පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කිරීමට විනිසුරු මඩුල්ල තීරණය කළහ.

සෙසු පෙත්සම්කාර පොලිස් නිලධාරීන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු දක්වමින් පොලිස්පතිවරයා විසින් යෝජනා කරන ලද පොලිස් ස්ථාන භාරගැනීම ප්‍රතික්ෂේප කරන බවත් සිය තනතුරු පහත හෙළීමක් සිදුව ඇති බවත් පැවසූහ. ඒ අනුව එම පෙත්සම්කාර පොලිස් ස්ථානාධිපතිවරුන් දෙදෙනාගේ පෙත්සම් සලකා බැලීම සඳහා මැයි මස 29 වැනිදා යළි කැඳවන ලෙස විනිසුරු මඩුල්ල නියම කළහ.

advertistmentadvertistment
advertistmentadvertistment