අර්ජුන් මහේන්ද්‍රන් නැතුවම බැඳුම්කර නඩු විභාගයට

265

යහපාලන රජය සමයේ සිදු වූ බැඳුම්කර මගඩිවලට අදාළව නඩු තුනක් විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුලූ තුනක් යටතේ දැනට විභාග වෙමින් තිබේ. මින් 2016 මාර්තු 29 දින සිදු වූ ප‍්‍රශ්නගත දෙවන මහ බැංකු බැඳුම්කර වෙන්දේසියට එරෙහිව නීතිපතිවරයා පැවරූ නඩුව පසුගිය ජුලි 20 වැනිදා කැඳ වූ අතර එහිදී හිටපු මහ බැංකු අධිපති ලක්ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන් හා පර්පචුවල් ටෙ‍්‍රෂෙරීස් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අජාන් ගාර්දිය පුංචිහේවා යන විත්තිකරුවන් නොමැතිව එම නඩුව විභාග කිරීමට එම විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එදින නීතිපතිවරයාට අවසර ලබා දුන්නේය. අදාළ බැඳුම්කර වෙන්දේසියේදී රජයට අයත් රුපියල් කෝටි 3698 ක් සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා යටතේ මෙම නඩුව පවරා තිබේ. දමිත් තොටවත්ත, මංජුල තිලකරත්ත සහ මොහොමඞ් ඉසර්ඞීන් යන මහාධිකරණ විනිසුරුවරු හමුවේ මේ නඩුව විභාග වේ. අදාළ විත්තිකරුවන් දෙදෙනා 2017 සහ 2018 යන වසරවලදී සිංගප්පූරුවට හා මැලේසියාවට ගොස් ඇති බවට සහ විදේශගත වූ පසුව නැවත යළි ශ‍්‍රී ලංකාවට පැමිණ නැති බවට නීතිපතිවරයා වෙනුවෙන් ඉදිරිපත් කළ සාක්ෂි සහ ලේඛන පරීක්ෂා කිරීමෙන් පසුව මහාධිකරණ විනිසුරු මඩුල්ල මෙම අවසරය දී ඇත.

රජයේ මුදල් සාපරාධි සාවද්‍ය පරිහරණය හා පොදු දේපළ පනත යටතේ දඬුවම් ලැබිය යුතු වැරදි සිදුකිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන් 11 දෙනකුට එරෙහිව මෙම නඩුව පවරා ඇති අතර මේ නඩුවේ වැඩිදුර විභාගය අගෝස්තු 26 වැනිදා සිදු කිරීමට නියමිතය. ඉකුත් 20 වැනිදා මේ නඩුව විභාගයට ගත් අවස්ථාවේ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනෙවිය අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේ ලක්ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන් හා ගාර්දිය පුංචිහේවා යන විත්තිකරුවන් මෙරට නොමැති බවට තහවුරු කිරීම සඳහා සාක්ෂි කැඳවීමටය. අධිකරණයෙන් ඒ සඳහා අවසර ලැබීමෙන් පසු ආගමන විගමන පාලකවරයා වෙනුවෙන් සාක්ෂි ලබාදුන් ජ්‍යෙෂ්ඨ බලයලත් නිලධාරි කැළුම් ප‍්‍රියන්ත තෙන්නකෝන් මහතා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් සැරයන් (37961) සමන් ප‍්‍රියන්ත නානායක්කාර මහතා එම විත්තිකරුවන් දෙදෙනා පිළිවෙළින් 2017.10.13 වැනි දින සහ 2018.6.23 වැනි දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් විදේශගත වී ඇතත් මේ දක්වා යළි දිවයිනට පැමිණ නොමැති බවට අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්නේය. මේ අනුව එම විත්තිකරුවන් දෙදෙනාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ත‍්‍රීපුද්ගල විනිසුරු මඬුල්ල විසින් නිකුත් කරන ලද සිතාසි භාරදීම සඳහා ඔවුන් පදිංචි ස්ථිර ලිපිනයන් වෙත තමා ගිය බවත් ඔවුන් එම නිවාසවල නොසිටීම නිසා එකී සිතාසි නියෝග නිසියාකාරව ක‍්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවත් පොලිස් සැරයන් නානායක්කාර මහතා එහිදී සාක්ෂි දෙමින් අධිකරණයට කීවේය. කොළඹ 7ල මල් පාරේ පිහිටි අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ නිවසට ගිය පසු එහි සිටි එම විත්තිකරුගේ දියණිය වන නටාෂා අංජලි මහේන්ද්‍රන් මහත්මිය ප‍්‍රකාශයක් ලබාදෙමින් ඔහු සිංගප්පූරුවේ පදිංචිව සිටින බව අනාවරණය කළ බව පොලිස් සැරයන්වරයා එහිදී අධිකරණයට කියා ඇති බවට මාධ්‍ය වාර්තා කර තිබේ.

අජාන් ගාර්දිය පුංචිහේවා මෙම නඩුවේ 9 වන විත්තිකරුය. ඔහු පදිංචිව සිටි කොළඹ නිදහස් මාවතේ පිහිටි නිවසට ගිය බවත් ඔහු මේ වනවිට මැලේසියාවේ පදිංචි බවට ඔහුගේ මව වන අනෝමා නිශාන්ති පුංචිහේවා මහත්මිය ප‍්‍රකාශයක් ලබාදුන් බවත් පොලිස් සැරයන් නානායක්කාර මහතා එහිදී විනිසුරු මඬුල්ලට පවසා තිබේ.

එම විත්තිකරුවන් දෙදෙනා රටින් බැහැර වූ පසු මේ දක්වා යළි දිවයිනට පැමිණ නොමැති බවට පැමිණිල්ල ඉදිරිපත් කළ වාචික හා ලිඛිත සාක්ෂි අනුව තහවුරු වී බවට නිගමනය කිරීම නිසා මෙසේ මෙම නඩුව හිටපු මහ බැංකු අධිපති ලක්ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන් හා පර්පචුවල් ටෙ‍්‍රෂෙරීස් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයකු වන අජාන් ගාර්දිය පුංචිහේවා යන විත්තිකරුවන් නොමැතිව විභාගයට ගැනීමට මෙසේ උසාවියේ අවසරය ලැබී තිබේ. එසේම එම නඩුවේ 9 වන විත්තිකාර අජාන් ගාර්දිය පුංචිහේවා මහතා වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥ මහේන් සේනාරත්න මහතාට ද එදින අධිකරණයේ අවසර ලැබිණි. මෙලෙසම 2016.03.31 දින පැවති බැඳුම්කර වෙන්දේසිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුව ද එම නඩුවේ විත්තිකරුවන් වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සහ අජාන් ගාර්දිය පුංචිහේවා යන දෙදෙනා නොමැතිව ඉදිරියට පවත්වාගෙන යෑමට එම විශේෂ ත‍්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ද ඉකුත් අපේ‍්‍රල් මාසයේ දී අවසර දී තිබේ. එම නඩු විභාගයේ දී ද මේ විත්තිකරුවන් දෙදෙනා රටින් බැහැර වූ පසු මේ දක්වා යළි දිවයිනට පැමිණ නොමැති බවට පැමිණිල්ල ඉදිරිපත් කළ වාචික හා ලිඛිත සාක්ෂි අනුව තම අධිකරණයට පැහැදිලි වන බැවින් නීතිපතිවරයා කළ ඉල්ලීම අනුව අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 450 වන වගන්තියේ අටවන අනු වගන්තිය අනුව එම විත්තිකරුවන් නොමැතිව නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යෑමට අවසර ලබා දීමට එම විනිසුරු මඩුල් තීරණය කළේය. 2016 මාර්තු 31 වැනිදා පැවැති මහ බැංකු වෙන්දේසියකදී රජයට අයත් පොදු දේපළක් වන රුපියල් බිලියන 15 ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා යටතේ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක, පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම් සභාපති ජෙෆ්රි ජෝශප් ඇලෝසියස්, එහි ප‍්‍රධාන විධායක නිලධාරි කසුන් ඕෂධ පලිසේන ඇතුළු අටදෙනකු විත්තිකරුවන් ලෙස නම් කොට එම නඩුව පවරා තිබේ.

බැඳුම්කර මගඩිය ලෙස ලෙස රටේ ඉමහත් ආන්දෝලනයට තුඩු දුන් මේ බැඳුම්කර වංචා සම්බන්ධයෙන් සිදුවන නීතිමය ක‍්‍රියාවලිය දෙස ජනතාව ඉමහත් ඕනෑකමින් බලා සිටින බව රහසක් නොවේ. මෙම නීතිමය පියවරයන් ගැනීමට මුල් වූ ජනාධිපති බැඳුම්කර කොමිසමේ නිර්දේශ ප‍්‍රධාන වශයෙන් කොටස් හතරක් විය. එනම් වැඩිදුරටත් විමර්ශන පැවැත්වීම, ඇතැම් තැනැත්තන්ට එරෙහිව නෛතික ක‍්‍රියාමාර්ග ගැනීම, පවතින නීති සංශෝධනය කිරීම සහ අවශ්‍ය පරිදි නව නීති සම්පාදනය මෙන්ම අනාගතයේදී මෙවැනි අක‍්‍රමිකතා, දූෂණ හෝ අපරාධ සිදුවීම වළක්වා ගැනීම සඳහා ගතයුතු වෙනත් ක‍්‍රියාමාර්ග ගැනීම වශයෙනි. මේ අනුව සිදුව ඇති බවට සලකන අපරාධවලට අදාළ වගකිවයුත්තන්ට එරෙහිව අපරාධ නඩු පැවරීම, රජයට සහ සේවක අර්ථ සාධක අරමුදලට සිදුව ඇති අලාභය පියවා ගැනීම පිණිස සහ නීත්‍යනුකූල නොවන ක‍්‍රියාවන්හි යෙදුණු තැනැත්තන්ට එරෙහිව සිවිල් නඩු පවරා වන්දි ලබා ගැනීමට කටයුතු කිරීම මෙන්ම විවිධ රාජ්‍ය ආයතනවල සේවය කරන ලද මෙම අපරාධයට සම්බන්ධ නීත්‍යනුකූල නොවන ක‍්‍රියාවන්හි යෙදුණු පුද්ගලයන්ට එරෙහිව විනය පියවර ගැනීමට ද ජනාධිපති කොමිසමෙන් නිර්දේශ වූ බව අපට මතකය. මේ අනුව ජනාධිපති කොමිසමේ නඩු පැවරීමේ නිර්දේශ ක‍්‍රියාත්මක වීමට අමතරව අනෙකුත් නිර්දේශ ක‍්‍රියාත්මක වීමේ ප‍්‍රගතිය කවරේද? ඒ ගැන මහ බැංකුව ඇතුළු අනෙකුත් ආයතන විසින් මේ රටේ ජනයාට කරුණු දැක්විය යුතු බව අපගේ අදහසයි.

බැඳුම්කර ජනාධිපති කොමිසමේ නිර්දේශ පරිදි මහ බැංකුව සිදු කර ඇති වැඩිදුර විමර්ශන ගැන ද අප දැනගැනීමට කැමතිය. මේ සම්බන්ධයෙන් මහ බැංකුව සිදු කළ පරීක්ෂණවල ප‍්‍රගතිය කවරේද? මේ ගැන මාධ්‍යවේදීන් විමසන තෙක් නොසිට මේ රටේ ජනයාට මහ බැංකුවේ ඉදිරි මාධ්‍ය හමුවක දී කරුණු ඉදිරිපත් කරන ලෙස ද අපි මහ බැංකුවෙන් ඉල්ලා සිටිමු. අපට ආරංචි වී ඇති පරිදි මහ බැංකුවේ අදාළ ඇතැම් නිලධාරීන් සම්බන්ධයෙන් යම් යම් විනය ක‍්‍රියාමාර්ග ගෙන තිබේ. එය සත්‍යයක් නම් අප කියන්නේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ප‍්‍රකාරව මහ බැංකුවේ අදාළ නිලධාරීන් සම්බන්ධයෙන් මහ බැංකුව ගත් පියවර සහ එම ඉදිරි පරීක්ෂණ ක‍්‍රියාවලිය ගැන මහජනයා දැනුම්වත් කරන ලෙසයි.

අර්ජුන මහේන්ද්‍රන් මහතා මෙතෙක් කල් ආරක්ෂා කළ අය විසින් ඔහුව ඕනෑකමින්ම විදෙස්ගත කළා විය හැකිය. එහෙත් ඔහුව ආරක්ෂා කළ අය මේ රටේ තවමත් ඉතා යහතින් සිටින බව අපි සියල්ලෝම දනිමු. මෙරට සිටින ඔහුගේ ගජ මිතුරන් ඔහු සිටින තැන නොදන්නේද? පසුගිය කාලය පුරා සිදු වූ දේවල් අනුව මේ ප‍්‍රශ්නය කාටත් මතු වන්නකි. ඔහුට රටින් පිටවීමට ඉඩ නොලැබෙන පරිදි අවශ්‍ය ක‍්‍රියාමාර්ග නොගැනීමට සෘජුව සහ වක‍්‍රව වගකිව යුත්තේ කවුද? අපට නම් හැෙඟන්නේ ඒ සියලූ දෙනා අර්ජුන මහේන්ද්‍රන්ගේ විදෙස්ගත වීමට සහ ඒ නිසාම ඔහු මෙරට අධිකරණ ක‍්‍රියාවලියට ඉදිරිපත් නොවී සිටීමට වගකීමක් ඇති බවයි. ඒ සම්බන්ධයෙන් මේ රජය සහ නීතිමය බලධාරීන් ගන්නා පියවර කවරේද? හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් මෙරටට ගෙන්වාගෙන හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් එදා රටේ මහ බැංකුවේ අධිපති ධුරයට පත් කළේ මෙලෙස රටේ අධිකරණය මග හරින අයෙක් බව දැන් පහැදිලි වී තිබේ. රටේ පුරවැසියකුවත් නොවන ඔහු වැනි අයෙක් මෙවැනි තනතුරකට පත් කිරීම නිසා රටට වූ අගතිය ගැන ඔහුව මෙරටට ගෙන්වා ගත් සහ බැඳුම්කර මගඩිය සිදු වීමෙන් පසුව ඔහුව දිගින් දිගටම ආරක්ෂා කළ අයට කිසිදු වගක් නැති බව ද පෙනේ. එසේම මේ බැඳුම්කරයේ මහමොළකරුවන් රකින බවට වත්මන් රජය ගැන ද මහජනයා තුළ මේ වන විට සැකසංකා ජනිත වී හමාරය. ඒ සම්බන්ධයෙන් මේ රජයේ අය ද පොදු ජනතාවට පිළිතුරු දිය යුතු බව අපගේ අදහසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment