අර්බුදයක් අපතේ යෑමට කිසිවිටෙක අප ඉඩ දිය යුතු නැත (We must never let a crisis go to waste)

34
ලාල් කරුණාතිලක ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අලෙවි හා අයකරගැනීම් පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ සියලු ආදායම් මට්ටම්වල ජීවත්වන්නන්ට දැනෙන තරමේ ආර්ථික අර්බුදයක් පවතිනවා. අර්ථශාස්ත්‍රඥයන් පෙන්වා දෙන පරිදි තවම අප මෙහි උච්චතම අවස්ථාවට පැමිණ නැහැ. රටේ පවතින වත්මන් තත්ත්වයට බලපා ඇති හේතු පිළිබඳව සමාලෝචනය කරන අතරම මෙම තත්ත්වයෙන් මිදීමට මහජනතාව ලෙස අපගේ දායකත්වය ලබා දිය යුතු බව පැවසිය යුතුමයි. විශේෂයෙන්ම අප, මූල්‍ය විනය ගොඩනගා ගැනීමට හා හෙට දින අප රටේ දියුණුව වෙනුවෙන් තම තමන්ගේ ආකල්ප වෙනස් කර ගත යුතු කාලයයි මේ. වත්මන් ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුවක් වන්නේ අනාගත ප්‍රතිලාභ නොසලකා පරිභෝජනය හා ප්‍රාග්ධන වියදම් කෙරෙහි විදෙස් ණය ලබා ගැනීමයි. තවදුරටත් අපට මෙම විදේශ ප්‍රාග්ධන වෙළඳපොළට පිවිසිය නොහැක. අනාගත වියදම් සපුරා ගැනීමට මහජනතාවගේ ඉතුරුම් මත යැපීමට ඉදිරි රජයයන්ට සිදුවනු ඇත. ඒ පිළිබඳ පාඨක ඔබ සැම දැනුවත් කරනු පිණිස ‘දිවයින’ අපි සාකච්ඡාවට එක්කර ගත්තේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අලෙවි හා අයකරගැනීම් පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලාල් කරුණාතිලක මහතාවයි.

වර්තමානයේ රටේ තිබෙන අර්බුදකාරී වාතාවරණය සහ ඉන් මිදීමට අප ගත යුතු ක්‍රියාමාර්ග ගැන ඔබතුමාගේ අදහස කුමක්ද?

මේ අප මුහුණදෙන පළමු අර්බුදයද අවසන් අර්බුදයද නොවේ.

අද ලොව ආර්ථිකමය හා තාක්ෂණික වශයෙන් දියුණු සියලු රාජ්‍යයන් ඉතිහාසයේ යම් කාල පරිච්ඡේදයක ඉතා කටුක හා දුෂ්කර කාලසීමාවන් පසු කර ඇත. දෙවන ලෝක යුද්ධයෙන් පසු (1944) ජර්මනියත්, හිරෝෂිමා නාගසාකි පරමාණු බෝම්බ පිපිරුමෙන් පසු ජපානයත්, 1950 – 53 කාලසීමාවේ රට තුළ වූ සිවිල් යුධමය තත්ත්වය නිසා දකුණු කොරියාවත් එමෙන්ම 2009 වසරේ ඇමරිකාව ප්‍රමුඛ ග්‍රීසිය ඇතුළු යුරෝපා රටවල් හා ආර්ජන්ටිනාව වැනි දකුණු ඇමරිකානු රටවල්ද දරුණු ආර්ථික අවපාතයන්ට මුහුණ දුන්නා. මෙලොව පවතින එක් සදාතනික නියමයක් නම් අප සැම ඇතුළු සියලුම ධර්මතාවයන්ගේ අනිත්‍ය බවයි. ආර්ථික අර්බුදයන්ටද මෙය අදාළයි, නමුත් එකී ගැටලු විසඳා ගැනීමට දූරදර්ශී, අනාගතවාදී හා ස්ථිරසාර සර්වආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කළ යුතුයි. මා ඉහත නම් කළ රාජ්‍යයන් අතුරින් ඇමරිකාව හැරෙන්නට අන් සියලු රටවල් අර්බුදයට පෙර සිය ශ්‍රම හා මූල්‍යමය ආර්ථික සම්පත් වැඩි වශයෙන් යෙදවූයේ දේශීය පරිභෝජනය සඳහා කෘෂිකාර්මික නිෂ්පාදනයන් කෙරෙහිය. නමුත් ඔවුන් අර්බුදය තුළ විඳි අත්දැකීම් තුළින් අපනයන කේන්ද්‍ර කරගත් වෙළෙඳ භාණ්ඩ හා සේවාවන් (tradable goods & services) නිෂ්පාදනය කෙරෙහි හා සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය වෙත තාක්ෂණය බද්ධ කර ලෝකයත් සමග එක්වීමට ඔවුන් කටයුතු කරා, දේශපාලනික කෙටිකාලීන තීන්දු මත නොව ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීමට අවශ්‍ය තීරණ ගනු ලැබුවා. මේ සඳහා හොඳම නිදසුන දකුණු කොරියාවයි, 1960/62 සිට 1973/75 කාලයේදී සිය කාර්මික නිෂ්පාදනය සිය දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව 9% සිට 27% දක්වා ඉහළ නංවා ගත්තා.

අද ඔවුන් රටක් ලෙස ලබා තිබෙන දියුණුව කෙතරම්ද යත් ආසියාවේ සිව්වන විශාලතම හා ලොව දසවන විශාලතම ආර්ථිකය දකුණු කොරියාවයි.

රටක් විදියට මෙන්ම පෞද්ගලිකවද ආර්ථික අර්බුදවලින් තොරව ජීවත් වීමට සිතීම මිරිඟුවක්. ඒ වගේම අර්බුදය ආර්ථික, සාමාජීය, සංස්කෘතික වගේම පාරිසරික යන විවිධ ස්වරූපවලින් ඕනෑම කාලයක දී නිර්මාණය දවන්න පුළුවන්, අපි 2004දී මුහුණ දුන්නේ සුනාමි ව්‍යසනයට. මේ අර්බුදය සමඟ ජීවත් වන්න අපට සිදු වනවා. ලෝකය පිළිගත් යථාර්ථය ඒකයි. වර්තමානයේ රට තුළ ඇති වෙලා තිබෙන ආර්ථිකයේ කඩා වැටීමට වගකිව යුතු පාර්ශවයන් ගැන කතා කිරීම පමණක් ප්‍රමාණවත් නැහැ, අවුරුදු 20ක් වගේ කාලයක අප රට අනුගමනය කළ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසයි අපට මේ දේ වුණේ. රට අද වන විට පත් වී ඇති අර්බුදකාරී තත්ත්වයෙන් මිදීම වෙනුවෙන් ක්‍රියාත්මක වීමට දේශපාලන ක්ෂේත්‍රයේ සියලු දෙනාට වගේම රටේ ජනතාවටත් වගකීමක් තිබෙනවා. අප සියලු දෙනාගේම වැරදි මූල්‍ය පුරුදු හා ආකල්ප වර්තමාන තත්ත්වයට අඩු වැඩි වශයෙන් බලපා තිබෙන බව අප අවබෝධ කරගත යුතුයි.

ජීවිතය ගැන වගේම පෞද්ගලික හා පවුලේ ආර්ථික තත්ත්වය ගැනත් සෑම පුද්ගලයකුටම සැලසුමක් තිබිය යුතුයි. අපි එදිනෙදා සිදුකරන වියදම් කළමනාකරණය කර ගැනීම අපගේ පෞද්ගලික ජීවිත කරදරයකින් තොරව පවත්වා ගැනීමට හේතු වෙනවා. ඒ වගේමයි ජීවිතයේදී අප අනිවාර්යයෙන් මුහුණ දිය යුතු අවස්ථා සහ ඒවාට අදාළ වියදම් තිබෙනවා. උදාහරණයක් විදියට අපගේ දරුවන් උසස් අධ්‍යාපනය, විවාහය වගේ අනාගතයේ අපට ලොකු මුදලක් අවශ්‍ය වන අවස්ථා තිබෙනවා. ඒවා ගැන අවබෝධයෙන් මුල සිට ම සැලසුමකට අනුව ඉතිරි කිරීම පසුකාලීනව පසුතැවීමට සහ අපහසුතාවයන්ට පත්වීමට තිබෙන අවස්ථා අවම කර ගැනීමට අපට උපකාරී වෙනවා. උසස් අධ්‍යාපනය ගැන අවධානය යොමු කළොත්, විශ්වවිද්‍යාල වරම් දිනා ගැනීමට අපොහොසත් දරුවන්ගේ දෙමාපියන් මුල සිටම සූදානම් වෙලා ආර්ථික සැලසුමක් ගොඩනගාගෙන තිබුණොත් ඒ දරුවන්ට ඉදිරියට යන්න අද රටේ ඕනෑ තරම් අවස්ථා තිබෙනවා. ඒ නිසාම අප කළ යුත්තේ සැලසුමක් සහිතව එවැනි අවස්ථා සඳහා මුහුණ දීමයි.

අභියෝගවලදී බොහෝ දෙනා වෙනත් පාර්ශවයන්ට චෝදනා කිරීම සුලබයි. අප ජීවිතයේදී මුහුණදීමට සිදුවන ආර්ථික අර්බුදයන්ට සාර්ථකව මුහුණ දෙන්නේ කෙසේද ?

සෑම දෙනකුටම තම ප්‍රධාන ආදායම් මාර්ගයට අමතරව විකල්ප ආදායම් මාර්ගයක්ද තිබිය යුතුමයි. ඒ වගේම සියලු දෙනා තමන්ගේ අවශ්‍යතා කළමනාකරණය කර ගැනීමට සහ අරපිරිමැස්මෙන් යුතුව කටයුතු කිරීමටත් හුරුපුරුදු වීම ගැටලු රැසක් අවමකර ගැනීමට හැකියාව ලබා දෙනවා.

බොහෝ අර්බුදකාරී අවස්ථාවලදී, උදාහරණයක් විදියට නිවසක ආර්ථික ගැටලුවක් ගතහොත්, එහිදී දරුවන්ගේ වගකීම් හරියාකාරව ඉටුකර ගැනීමට නොහැකි වීම නිසා අසරණවන දෙමව්පියන් සමාජයට චෝදනා කරනවා.

සමාජය ආණ්ඩුවට චෝදනා කරනවා. නමුත් කිසිම කෙනෙක් තමන්ගේ වැරැද්ද තේරුම් අරගෙන එය නිවැරදි කර ගැනීමට උත්සහ කරන්නේ නැහැ.

තවත් ජනප්‍රිය උදාහරණයක් සිහිපත් කළොත්, අප බොහෝ දෙනා වගා කරන්නේ ආහාර අර්බුදයක් හෝ ආර්ථික අර්බුදයක් තිබෙන අවස්ථාවලදී පමණයි. නැත්නම් අපේ ඉඩම් ඔහේ වල් බිහි වෙනවා. ඉන්ධන නැති නිසා අද වෙනකොට බොහෝ දෙනා පාපැදියට යොමුවෙලා තිබෙනවා. නෙදර්ලන්තය, ප්‍රංශය වගේ රටවල් අරන් බලන්න බොහොමයක් නගර ආශ්‍රිතව රැකියා කරන තරුණ ප්‍රජාව පාපැදිය බහුලව භාවිතා කරනවා. ජපානය, චීනය වගේ ආසියාතික දියුණු රටවල ලක්ෂ ගණන් ජනතාව පුරුද්දක් විදියට පාපැදිය භාවිත කරනවා. එය ශරීර සෞඛ්‍යයට වගේම වියදම් කළමනාකරණය කර ගැනීමටත් ඔවුන් විකල්පයක් විදියට භාවිත කරනවා. ඒත් අපි එහෙම නෑ. පවතින තෙල් ගැටලුව විසඳුණු මොහොතේදීම අපි අනිවාර්යයෙන් පා පැදි භාවිතය අතහරින බව මට විශ්වාසයි. මේ තත්ත්වය වෙනස් විය යුතුයි. අපගේ ආකල්ප වෙනස් කර ගැනීම මගින් මේ අර්බුදයෙන් ගොඩ ඒමේ මාර්ගය විවර කර ගැනීමට හැකි බව මගේ මතයයි.

පැනනැගිය හැකි ආර්ථික ගැටලු අවම කරගැනීමට අනුගමනය කළ හැකි කරුණු කිහිපයක් මතක් කරොත්…

පෞද්ගලිකව අප සියලු දෙනා ම අපගේ ආදායම් හා වියදම් පිළිබඳව වාර්තාවක් තබා ගැනීම අත්‍යවශ්‍යයි. ආදායම් හා වියදම් නිසි අයුරින් කළමනාකරණය කර ගැනීමට වගේම අපගේ මූලික අවශ්‍යතා හඳුනාගනිමින් වියදම් ප්‍රමුඛතා ලැයිස්තුවක් සාදා ගත යුතුයි. ඒ වගේම බොහෝදෙනා මහන්සියෙන් තොරව මුදල් ඉපයීමට යෑමත් අද වැඩි වශයෙන් දක්නට ලැබෙන ගැටලුවක්. මම මුළින් සඳහන් කළ පරිදි අපට ආකල්පමය වෙනසක් අත්‍යවශ්‍යයි. මහන්සිවෙලා මුදල් ඉපැයීම වගේම විශ්‍රාම දිවිය සැලසුම් කිරීමත් අනිවාර්යයෙන් සිදු කළ යුතුයි. ඉතා හොඳින් මුදල් උපයන ඇතැම් අය විශ්‍රාම දිවිය තුළදී දුක් විඳින අවස්ථා ඕනෑ තරම් අප දැක තිබෙනවා. ඒ වගේමයි අපේ ආර්ථිකය ගොඩනගා නොගත්තොත් රට කොයිතරම් දියුණු මට්ටමක පැවතුනත් ආර්ථික අර්බුදවලට තම තමන්ට පෞද්ගලිකව මුහුණ දීමට සිදු වීම අනිවාර්යයි. ඒ නිසා මූල්‍ය විනය ගොඩනගා ගැනීම ඉතා වැදගත්.

ඉතිරි කිරීමේ වැදගත්කම ගැන ඔබතුමාගේ මතය කුමක්ද?

ඉතිරි කිරීම අනිවාර්යයෙන් සිදු කළ යුතුයි. ඒ වගේම ලාභ ලැබෙන ඉතිරි කිරීම අනිවාර්යයෙන් සිදු කළ යුතුයි. ඒ වගේම ලාභ ලැබෙන ක්‍රමවේද සඳහා ආයෝජනය කිරීමත් ඉතා වැදගත්. තමන්ගේ ආදායම සම්පූර්ණයෙන් ඉතිරි කිරීම හෝ සම්පූර්ණයෙන්ම ආයෝජනයන් සඳහා යෙදවීමත් නුසුදුසුයි. අපගේ එදිනෙදා අවශ්‍යතා සඳහා මුදල් අතේ තබා ගැනීමත් ඉතා වැදගත්. ඒ වගේම රටේ බොහෝ දෙනකු තුළ තිබෙන යැපුම් මානසිකත්වය ඉවත් විය යුතුමයි. රජයත් ජනතාවට තනිව ගොඩනැඟීමට උත්තේජනය ලබා දිය යුතුයි කියල මම විශ්වාස කරනවා. විදේශ විනිමය සංචිත ඉහළ නංවා ගැනීමට හා විදේශ ණය කළමනාකරණය කර ගැනීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග අප රට ගිවිසුම්ගත වීමට සාකච්ඡා මේ දිනවල පැවැත්වෙනවා. මෙම ප්‍රයත්නය සාර්ථක වුවහොත් අප රටේ දැනට ක්‍රියාත්මක බොහෝ අනර්ථකාරී වියදම් හා හිතුමතේ කිසිදු ඉලක්කගත අරමුණක් නොමැති ජනතාව වෙත මුදල් බෙදන ව්‍යපෘති නැවත්වෙනු ඇත.

මතයක් තිබෙනවා ජීවන වියදම වැඩි නිසා ඉතිරි කරන්නට බැහැ කියලා, ඒක මිථ්‍යාවක්. අර්බුද කියන්නේ අපට ලෝකය දිහා අලුත් විදියට බලන්න කරන ආරාධනාවක් වගේම වෙනස් වෙන්න අපට දිශානතියක් ලබා දීමක්. ඉතිරි කිරීම තීරණය වන්නේ ඒ සඳහා තිබෙන වුවමනාව මතයි. ඉතිරි කරන්න ඔබට අවශ්‍යතාව තිබේ නම් ඒ සඳහා ආදායම වැඩි කර ගන්න විකල්ප ආදායම් මාර්ග සොයා ගන්නවා. නැති නම් වියදම් පාලනය කරගන්නවා. ඒ වගේමයි තමාට හැකි පමණින් ඉතිරි කිරීම ආරම්භ කිරීම ඉතා වටිනවා.

ඔබතුමා රජයේ බැංකු ක්ෂේත්‍රයේ කීර්තිමත් වෘත්තිකයෙක් විදියට ජනතාවට ලබා දෙන පණිවිඩය කුමක්ද?

ඉතිරි කරද්දී ඔබ ඉතිරි කරන මුදලට ආරක්ෂාව ලැබෙන පිළිගත් මූල්‍ය ආයතනයක් තෝරා ගැනීම ඉතා වැදගත්.

තෝරා ගත් මූල්‍ය ආයතනය ඉහළ ශ්‍රේණිගත කිරීමක් හිමි ආයතනයක් වීම, අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී තම මුදල් ආපසු ලබා ගැනීමට හැකි වීම වගේම ඔබට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි. මෙතැනදී බොහෝ දෙනා අවදානම හා ප්‍රතිලාභ කිරා මැන බලනවා. බොහෝ විට අවදානම අඩු නම් ප්‍රතිලාභත් අඩුයි අවදානම වැඩි නම් ප්‍රතිලාභත් වැඩියි.

මේනිසා වඩාත් ආරක්ෂාකාරී තෝරාගැනීම වන ඉහළ ශ්‍රේණිගත කිරීමක් සහිත මූල්‍ය ආයතනයක් තෝරා ගැනීම වඩාත් සුදුසුයි. ඒ වගේමයි අපට ජීවිතයේදී මුහුණදීමට සිදුවන අර්බුදකාරී අවස්ථාවලදී මානසිකව නොවැටී එම අභියෝග වලට මුහුණදීමට අප පුරුදු විය යුතුයි. මෙලෙස අභියෝග ජයගැනීමට අවශ්‍ය ශක්තිය කේන්ද්‍රගතව ඇත්තේ අපගේ මනස තුළයි.

මෙහිදී මට කිවයුතු දෙයක් තිබෙනවා, මානසික ඇද වැටීම් අප කාට වුවත් සිදුවිය හැකියි. අපට කෙතරම් මුදල්, යාන වාහන හෝ භෞතික සම්පත් තිබුණත් මෙම මානසික බිඳ වැටීම් වලට ඕනෑම අයෙකු ලක්වනවා, මෙහිදී මගේ පණිවිඩය වන්නේ මෙවැනි කාලයන්හිදී හෝ අවස්ථාවන්හිදී මෙකී කම්පනයන්ට ඔරොත්තු දෙන පරිදි ඔබගේ ශරීර සෞඛ්‍ය මැනවින් පැවතීම මෙකී මානසික වියවුල් මගින් ඇතිවන දිගුකාලීන බලපෑම් අවම කරගන්නට ඔබට හැකිවන බවයි.

එමනිසා නිරන්තරයෙන්, සරලව සහ සතුටින් සිටින්න. හැකි පමණ ව්‍යායාම කරන්න. ඇඟට ගුණදායි ආහාර පරිභෝජනය කරන්න හා සියල්ලන්ට කරුණාව දක්වන්න.

advertistmentadvertistment
advertistmentadvertistment