අර්බුදයෙන් ගොඩඑන්න IMF ගියොත් හරිද?

306

මේ වන විට අපේ විනිමය අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට රජය තීරණය කර ඇත. ඒ බව ජනාධිපතිවරයා පසුගිය මාර්තු 16 දින ජාතිය අමතා සිදු කළ විශේෂ ප‍්‍රකාශයේ ද සඳහන් කළේය. එසේම පසුගිය කැබිනට් මාධ්‍ය හමුවේ දී අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ද ඒ ගැන සඳහන් කළ අතර මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ද ඒ බව මේ ලියුම්කරුට තහවුරු කළේය. ඒ අනුව ඔහු සඳහන් කළේ රජය ගෙන ඇති තීරණය අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාහය ලබා ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත් ඒ ගැන මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව සාකච්ඡා ආරම්භ කළ බවයි.

පසුගිය කාලයේ නම් මහ බැංකු අධිපති කබ්රාල් මහතා දිගින් දිගටම කියා සිටියේ මූල්‍ය අරමුදලට යෑමට අවශ්‍ය නැති බවත් මේ විනිමය අර්බුදය විසඳා
ගැනීම සඳහා අපේම විසඳුම් ඇති බවත් ය.

ඒ සඳහා ඔහු 2021 ඔක්තෝබර් 01 වැනිදා සය මාසික වැඩපිළිවෙළක් ද ඉදිරිපත් කළේය. ඔහු ඒ සම්බන්ධයෙන් කෙතරම් කැපවීමෙන් කටයුතු කළත් මහ බැංකුවේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාමාර්ග සාර්ථක නොවූ අතර ප‍්‍රමාණවත් පරිදි අපේක්ෂිත විනිමය ලැබීම් ආකර්ෂණය කර ගැනීමට අසමත් වීමට අමතරව අපට ලැබෙමින් තිබූ විනිමය පේ‍්‍රෂණ ප‍්‍රමාණය පවා කඩා වැටීමට ලක් විය. මේ හේතුව නිසා විනිමය හිඟයේ අහිතකර ප‍්‍රතිවිපාක දිනෙන් දින උග‍්‍ර වී මිනිසුන් මහ මග පාරවල් පවා හරස් කරමින් උද්ඝෝෂණ කරන තත්ත්වයක් ද ඇති විය. අප විසින් අපේම නිසි ප‍්‍රතිපත්ති ක‍්‍රියාමාර්ග අනුගමනය කරමින් අපේ විදේශ විනිමය හිඟය සමනය කර ගැනීමට සමත් වූවා නම් අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිළිසරණ අවශ්‍ය නොවීමට ද ඉඩකඩ තිබිණි. අපේ ප‍්‍රශ්න අපටම විසඳා ගැනීමට හැකි නම් වඩාත්ම හොඳම දෙය එයයි. එහෙත් ඒ හැකියාව මේ වන විට අප අහිමි කරගෙන තිබේ. එනම් අප අනුගමනය කළ ක‍්‍රියාමාර්ග නිවැරදි නොවූ නිසාම රජයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම හැර වෙනත් විකල්පයක් නැති තත්ත්වයට රට පත් විය. මේ නිසා මුලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොයන බවට කෙතරම් ඉතා දැඩි ස්වරයෙන් අපේ බලධාරීන් කියා සිටියත් ඔවුන්ට දැන් එම ස්ථාවරයන් වෙනස් කර මේ වන විට ඒ වෙනුවෙන් කටයුතු කිරීමට සිදුව ඇත. මේ ලියුම්කරුගේ අදහස නම් මේ රජය යටතේ ගෙවී ගිය පසුගිය වසර දෙකහමාරක කාලයේ දී රජය සහ
ශ‍්‍රී ලංකා මහ බැංකුව මේ විනිමය අර්බුදයේ දිග පළල හරිහැටි හඳුනාගෙන නිසි ප‍්‍රතිපත්ති ක‍්‍රියාමාර්ග
අනුගමනය කළේ නම් අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොයා සිටීමට ද ඉඩකඩ තිබූ බවයි. එහෙත් දැන් ඊට ප‍්‍රමාද වැඩිය.

විදේශ ශ‍්‍රමිකයන්ගේ ප‍්‍රශ්නය

පසුගිය කාලයේ අපත් සමග නොයෙක් වර කතා කළ අවස්ථාවලදී විදේශ ශ‍්‍රමිකයන්, මහ බැංකුව ප‍්‍රකාශයට පත් කළ ඇමෙරිකානු ඩොලරයකට රු.10ක අතිරේක මුදලක් ලබා දීම ඇතුළු අනෙකුත් දිරි

ගැන්වීමේ ක‍්‍රියාමාර්ගවලින් කිසිදු දිරිගැන්වීමකට ලක්ව නැති බව පැහැදිලි විය. වර්තමානයේ දී පෝලිම්වල දුක් විඳින ජනයා මෙන්ම විදෙස්ගත ශ‍්‍රමිකයන් කතා කළේ ද කෝපයෙනි. අපේ ශ‍්‍රමිකයන් අපේ රටට නිල මාර්ගවලින් මුදල් එවීමට කැමති නැතුවා නොවේ. එසේ නම් ඔවුන්ට තිබූ ප‍්‍රශ්නය කුමක් ද? එනම් ප‍්‍රධාන ප‍්‍රශ්නය වූයේ ඔවුන්ට බැංකු ක‍්‍රමය හරහා ඔවුන් එවන විදේශ විනිමයට නිසි වටිනාකමක් නොලැබීමයි. ඒ සැබෑ හේතුව හඳුනා නොගෙන කවර දිරි ගැන්වීම් කළත් ඵලක් නැත. මහ බැංකුවේ මහ දැනුමැත්තන් සිටියත් අපේම ශ‍්‍රමිකයන් කොහොමත් අපේ රටට එවූ මුදල් මෙරටට නිල මාර්ග හරහා

ගෙන්වා ගැනීමට අසමත් වූ අතර ඒ නිසාම වෙනදා හවාලා, උන්ඩියල් ක‍්‍රමවලට නොගිය ඇතැම් විදෙස්ගත ශ‍්‍රමිකයන් පවා එම ක‍්‍රමවලට හුරු විය. දැන් රුපියල පා කිරීමෙන් පසු බැංකු ක‍්‍රමය හරහා ඔවුන්ගේ විදේශ මුදල්වලට වැඩි රුපියල් අගයක් ලැබෙමින් තිබුණත් ඔවුන් අවිධිමත් ක‍්‍රමවලින් දැන් නැවත බැංකු ක‍්‍රමයට ගෙන්වා ගැනීම ද පහසු නැත. ඒ සඳහා විශේෂ ප‍්‍රයත්නයක් දරමින් ප‍්‍රවර්ධන ක‍්‍රියාමාර්ග ගැනීමට ද දැන් සිදුවනු ඇත. මේ සම්බන්ධයෙන් අබුඩාබිවල සිටින විදෙස්ගත ශ‍්‍රමිකයෙක් මේ ලියුම්කරුට කීවේ මෙරටට නිල මාර්ගවලින් එවන විදේශ විනිමය පේ‍්‍රෂණ යම් උපරිම ප‍්‍රමාණයක් නියම කර එම ප‍්‍රමාණය ඉක්මවා මෙරටට විදේශ මුදල් පේ‍්‍රෂණය කරන විදෙස්ගත ශ‍්‍රමිකයන්ට තීරුබදු රහිතව වාහනයක් මෙරටට ගෙන්වා ගැනීමේ ඉඩකඩ ඔවුන්ට ලබාදෙන ලෙසයි. එය හොඳ යෝජනාවකි. විදෙස්ගත ශ‍්‍රමිකයන්ට ඔවුන්ගේ විනිමය පේ‍්‍රෂණවලට නිසි අගය දෙන අතරම මෙවැනි සහ තවත් ප‍්‍රවර්ධන ක‍්‍රියාමාර්ග රජය ක‍්‍රියාත්මක කළහොත් අපේ ශ‍්‍රමිකයන්ගේ මුදල් වැඩි වැඩියෙන් අපේ රටට ආකර්ෂණය කර ගැනීමට බැරිකමක් නැත.

විනිමය අර්බුදය සමනය කර ගැනීමට අසමත් වීම

මේ විදේශ විනිමය අර්බුදය අලුත් දෙයක් නොවේ. එයට එක් ප‍්‍රධාන හේතුවක් වූයේ අප අපනයනය කරන ප‍්‍රමාණය මෙන් දෙගුණයක් මෙරටට විදේශ භාණ්ඩ ආනයනය කර අප විසින් පරිභෝජනය කිරීමේ පිළිවෙතයි. එය කාලයක් තිස්සේම පැවැති ප‍්‍රශ්නයක් වුවත් එය අද පවතින තත්ත්වයට උග‍්‍ර වී ඇත්තේ කොරෝනා වසංගතය හමුවේ අපගේ සංචාරක ඉපයුම් සහ විදෙස්ගත සේවක පේ‍්‍රෂණ ඇතුළු විදේශ ලැබීම් අහිමි වීම සහ අපට විශාල ණය වගකීම් පියවීමට තිබීම නිසයි. එසේම පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන්ට කඩිනමින් යොමු වෙමින් අපගේ විදුලි නිෂ්පාදනය කිරීම සඳහා වන ඉන්ධන අවශ්‍යතාව මෙන්ම අනෙකුත් ඉන්ධන පරිභෝජනය අවම කර

ගැනීම ඇතුළු අපගේ අත්‍යාවශ්‍ය නොවන සහ හදිසි නොවන ආනයන වියදම් ප‍්‍රමාණවත් පරිදි සීමා කර ගැනීමට ද අප සමත්ව නැත. ඒ සඳහා ඇතැම් තීන්දු තීරණ

ගැනීමට අප බෙහෙවින් ප‍්‍රමාද විය. ඇතැම් තීරණ ප‍්‍රතිඵලදායී නොවීය. මේ ගැන පසුගිය බදාදා (23) දෙරණ රූපවාහිනියේ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනේ දී ද මේ ලියුම්කරු පෙන්වා දුන්නේය. ඩොලරයේ රුපියල් අගය රුපියල් 203 ක අගයේ

දිගින් දිගටම කෘත‍්‍රීම ලෙස පවත්වාගෙන යාමේ විපාක ගැන ද අප එහිදී සාකච්ඡා කළේය. එලෙස කෘත‍්‍රීම ලෙස රුපියල රැක ගැනීමෙන් අපට වාසියක් උදා වී නැති බව දැන් අපට මුහුණ දීමට සිදුව ඇති තත්ත්වයන්ගෙන් පැහැදිලි වේ. මේ වන විට බැංකු විසින් ප‍්‍රකාශයට පත් කරන විනිමය අනුපාත අගයන් අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 300 කට ආසන්න වී ඇත. මේ අනුව අපට රු. 203 සිට රු. 300 දක්වා වූ පරතරය අනුව ද ආනයනික භාණ්ඩ මිල වැඩිවීමේ තත්ත්වයක් මතුව ඇත. එසේම පසුගිය කාලයේ විදේශ භාණ්ඩ ආනයනය කර තොග රැස් කළ අය පවා මේ නව විනිමය අනුපාතය අනුව එම ආනයනික අමුද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මිල නියම කරමින් පාරිභෝගික ජනයා ගසා කෑමට පටන් ගෙන ඇත.

විනිමය අර්බුදයේ මහජන පීඩා

කෙසේ හෝ අප ඉහතින් විස්තර කළ පරිදි රටේ විනිමය හිඟය සමනය කර ගැනීමට රජය සහ මහ බැංකුව මෙතෙක් අනුගමනය කළ ක‍්‍රියාමාර්ග එතරම් ප‍්‍රතිඵලදායී නොවීම නිසා, මේ ප‍්‍රශ්නය එදිනෙදා සාමාන්‍ය ජනජීවිතයට පවා බරපතල ලෙස බලපාන කරුණක් බවට පත්ව ඇත. මේ නිසා රට පුරාම ජනයාට ඉන්ධන පෝලිම්වල, භූමිතෙල් පෝලිම්වල සහ ගෑස් පෝලිම්වල දුක් විඳීමට සහ විදුලිය කප්පාදුවකට මුහුණ දීමට සිදුව ඇත. ඩොලර් ප‍්‍රශ්නයට අමතරව විදුලිය කප්පාදුවට නම් පසුගිය කාලයේ විදුලි බලාගාර ඉදි නොකිරීම ද බලපා ඇත. මෙසේ ජනතාව අසහනයට පත්ව සිටින අතරේම රුපියල පා කිරීමත් සමග තවත් වටයකින් බඩු මිල

ගණන් ඉතිහාසයේ නොවූ විරූ ගණන්වලින් වැඩි වීමට පටන් ගෙන ඇති අතර මේ ගැන රජයේ කිසිදු පාලනයක් තිබෙන බවක් ද නොපෙනේ. මෙසේ ජනජීවිතය දිනෙන් දින පීඩාවට පත්ව ඇත. එසේ වීමට රජය සහ මහ බැංකුව විසින් මේ විනිමය අර්බුදය සමනය කර ගැනීමට දෙපාර්ශ්වය එකඟත්වයෙන් නිශ්චිත වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීමට අසමත් වීම ප‍්‍රධාන වශයෙන් බලපෑවේය. මේ නිසාම ඇතැම් අර්ථශාස්ත‍්‍රඥන්, ව්‍යාපාරික ප‍්‍රජාව සහ වාණිජ මණ්ඩල එකමුතුව විසින් යෝජනා කළ පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට දැන් රජයට සහ මහ බැංකුවට සිදුව තිබේ.

මූල්‍ය අරමුදලේ වාර්තාව

පසුගියදා (23) පැවති සර්ව පාක්ෂික සමුළුවේ දී මූල්‍ය අරමුදලේ වාර්තාවක් සම්බන්ධයෙන් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සහ හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදු විය. එය මූල්‍ය අරමුදල විසින් තවමත් ඒවා නැති බවත් එවා ඇත්තේ කෙටුම්පත පමණක් බවත් මුදල් ඇමතිවරයා සඳහන් කළේය. කෙසේ හෝ ඔහු කීවේ එය මූල්‍ය අරමුදලේ විධායක සභාව අනුමත කර එවූ පසු ඉදිරිපත් කරන බවයි. මේ කියන වාර්තාව නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් සකස් කළ, ශ‍්‍රී ලංකාව පිළිබඳව වන ආටිකල් ෂඪ සමාලෝචන වාර්තාව විය යුතුය. එම වාර්තාව පසුගිය පෙබරවාරි 25 දින අවසන් කර ඇති අතර ඒ පිළිබඳව එම අරමුදල විසින් මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කර තිබිණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ගැනීමට දැන් තීරණය කර ඇති නිසා ඒ ගැන ද අවධානය යොමු කිරීම වටී. මූල්‍ය අරමුදලේ මාධ්‍ය නිවේදනය අනුව එම අරමුදලේ ආටිකල් ෂඪ සමාලෝචන වාර්තාවේ ශ‍්‍රී ලංකා ආර්ථීකය ගැන කරුණු රැසක් සඳහන් කර ඇත. එම මූලික කරුණු කිහිපයක් ගැන මෙසේ මෙහිදී අපගේ අවධානය යොමු කරමු.

කොවිඩ් වසංගතයට පෙර බදු කප්පාදු කිරීම්, වසංගතයෙන් පසු දුර්වල ආදායම් කාර්ය සාධනය සහ වසංගතය මැඬීමට ගිය වියදම් හේතුවෙන් 2020 සහ 2021 වසරවල අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස සියයට 10 ඉක්මවා ගියේය. රජයට විදේශ මූල්‍ය පහසුකම් සීමිත වීම නිසා අය වැය හිඟය පියවීම සඳහා මහ බැංකුවේ සෘජු මූල්‍යකරණය විශාල ප‍්‍රමාණයක් ලැබී ඇත. එනම් රජයට විශාල වශයෙන් ණය ලබා දී ඇති බවයි. දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය සියයට 2019 දී පැවති සියයට 94 සිට 2021 දී සියයට 119 දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇත. රජයට විශාල විදේශ ණය ගෙවීම් කිරීමට සිදුවීම සහ ජංගම ගිණුමේ පුළුල් හිඟය සැලකිය යුතු විදේශ විනිමය හිඟයකට හේතු වී ඇත. ණය බර වැඩිවීම මෙන්ම නොකඩවා පවතින විශාල මූල්‍ය හා ගෙවුම් ශේෂ මූල්‍ය අවශ්‍යතා නිසා ශ‍්‍රී ලංකාවේ ආර්ථික දැක්ම සීමා වී ඇත. ශ‍්‍රී ලංකාව මුහුණදී තිබෙන විදේශ විනිමය හිඟය සහ සාර්ව ආර්ථික අසමතුලිතතාත් ශ‍්‍රී ලංකාවේ ආර්ථික කටයුතුවලට සහ ව්‍යාපාරික විශ්වාසය මත ඇති කරන අහිතකර බලපෑම් හේතුවෙන් ආර්ථික වර්ධනය මත සෘණාත්මක බලපෑමක් ඇති කරනු ඇතැයිද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කර තිබේ. රජය අනුගමනය කරන වත්මන් ප‍්‍රතිපත්ති සහ බදු කප්පාදු කිරීම් ආරක්ෂා කිරීමට බලධාරීන්ගේ කැපවීම හේතුවෙන් වර්ෂ 2022 සිට වර්ෂ 2026 දක්වා කාලය තුළ විශාල මූල්‍ය හිඟයකට ශ‍්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවනු ඇතැයිද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කර ඇත. එසේම මේ තුළ මැදිකාලීනව රාජ්‍ය ණය ඉහළ යනු ඇති බව ද එම අරමුදල නිකුත් කළ සමාලෝචන වාර්තාවේ සඳහන් වේ.

තිරසාර නොවන මට්ටම දක්වා ඉහළ ගොස් ඇති රාජ්‍ය ණය අඩු මට්ටමකට පහත වැටී ඇති විදේශ සංචිත සහ ඉදිරි වර්ෂවලදී ඇති විශාල මුදල් අවශ්‍යතා වැනි වර්ධනය වන අභියෝගයන්ට ශ‍්‍රී ලංකාවට මුහුණදීමට සිදුවනු ඇති බව ද එම වාර්තාවේ සඳහන් වේ. මේ තත්ත්වය හමුවේ හොඳින් ඉලක්ක කළ සමාජ ආරක්ෂණ ජාලයන් මගින් අවදානමට ලක්වන කණ්ඩායම් ආරක්ෂා කිරීම සහ දරිද්‍රතාවය අවම කිරීම මෙන්ම සාර්ව ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහාත් ණය තිරසාරභාවය නැවත ප‍්‍රතිෂ්ඨාපනය කිරීම සඳහාත් විශ්වසනීය සහ ඒකාබද්ධ උපායමාර්ගයන් ක‍්‍රියාත්මක කිරීමේ හදිසි අවශ්‍යතාව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය සමාලෝචන වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත. රාජ්‍ය මූල්‍ය හිඟය තවදුරටත් මහ බැංකුවේ මුදල්වලින් මූල්‍යකරණය කිරීමේදී මූල්‍ය අස්ථාවරත්වයක් ඇති වනු ඇතැයි ද මූල්‍ය අරමුදල කියයි.

මේ සඳහන් කරන සියලුම කරුණු අනුව මෙන්ම අප දන්නා කරුණු අනුවත් අපේ ආර්ථිකය තිබෙන්නේ අයහපත් තැනක් බව රහසක් නොවේ. මෙයට හේතුව කොවිඩ් වසංගත තත්ත්වය පමණක් නොවේ. පසුගිය යහපාලන රජය සමයේ මෙරට ආර්ථිකය හොඳටම දුර්වල වූ බව ද රහසක් නොවේ. එසේම කොවිඩ් වසංගතයට පෙරම මේ රජය වැට් බද්ද අඩු කිරීම ඇතුළු විශාල බදු සහන ලබා දුන් නිසා රජයට කොවිඩ් වසංගතයට මුහුණ දීමේ ශක්තිය ද දුර්වල වී තිබුණි. මේ බදු අහිමි වීමේ බලපෑම

දිගටම තිබේ. 2020 වර්ෂයේ පමණක් බදු ආදායමේ සිදු වූ අඩු වීම රු.බිලියන 518.3 කි.එය 2019 වසරට සාපේක්ෂව රජයේ බදු ආදායම සියයට 30 කින් පමණ අඩු වීමකි. මේ නිසා රජයට වැඩියෙන් ණය ගැනීමට ද සිදුව තිබේ. මේ නිසා අද රටේ විදේශ මුදල් හිඟය මෙන්ම ආණ්ඩුවට රුපියල් ද හිඟය. මේ නිසා රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීම ගැන ද රජයට වහාම අවධානය යොමු කිරීමට සිදුවනු ඇත. හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පසුගිය සර්ව පාක්ෂික සමුළුවේ දී අලුත් අයවැයක් ගෙනෙන ලෙස කළ යෝජනාවට මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා එකඟතාව පළ කර තිබුණි. ඒ අනුව අලුත් අයවැයක් ඉදිරිපත් වුවහොත් රජයේ අනවශ්‍ය වියදම් සීමා කරමින් ජනයා පත්ව සිටින අසීරු තත්ත්වයට පිළියම් යෙදීමට ද අවස්ථාවක් ලැබෙනු ඇත. විදේශ විනිමය ප‍්‍රශ්නය සම්බන්ධයෙන් නම් දැනට රජයේ තීරණය පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන අතරම අපට තවත් බහුවිධ ක‍්‍රියාමාර්ග රැසක් ගැනීමට සිදුවනු ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment