අර්බුද මැද්දේ දිරියෙන් ජීවිතයට මුහුණ දෙන මිනිස්සු…

41

හතර වටේම ගෑස්, ඉන්ධන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා පෝලිම් නිර්මාණය වෙලා තියෙන රටක, ඇල්පෙනෙත්තේ, පොල් කටු හැන්දේ පවා මිල එකට එකක් වැඩි වෙලා තියන වටපිටාවක, ඇඟිල්ලක්වත් ගහන්න ඉඩක් නැතිවෙන තරමටම බස්වල කෝච්චිවල ජනෙල්වලත් එක්ක සෙනඟ එල්ලිලා ඉන්න වෙලාවක මම මේ කියන්න යන කතාව කෙනෙක්ට විශ්වාස කරන්නත් බැරි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කතාව බොරුවක් කියලා තව කෙනෙක් ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන්. නමුත් මම මුලින් සඳහන් කළ අර්බුද හැමදේම අඩුවක් නැතිව තියෙන මේ සමාජයේම, මේ රටේම අපි පිළිගන්න අකමැති, අපිට විශ්වාස කරන්න බැරි මේ වගේ කතා ඕනෑවටත් වැඩියෙන් තියෙනවා.

ඇත්තටම කියනවා නම් මේ ආර්ථික අර්බුදය මැද, දාහක් ප්‍රශ්න අතරින් වුණත් ලස්සනට හිනාවෙලා ජීවිතය පවත්වාගෙන යන්න උත්සාහ ගන්න මිනිස්සු තවමත් මේ මහපොළොවේ ජීවත් වෙනවා. ඔවුන්ටත් මේ තියෙන ආර්ථික අර්බුදය, විරැකියාව, අගහිඟකම් දුප්පත්කම් ඒ විදිහටම බලපානවා. ඒ ගැන කිසිම විවාදයක් නැහැ. නමුත් ගිය හකුරට අඬ අඬා ඉන්නේ නැතිව තියන හකුර රැක ගෙන ජීවත් වෙන්න උත්සාහ කරන මිනිස්සුන්ව අගය කළ යුතුමයි කියලා මට හිතුණා.

මම මේ පවතින ආර්ථික අර්බුදය, සමාජ ගැටුම් සාධාරණීකරණය කරන්න උත්සාහ’ කරනවා කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. මේ අර්බුද නිර්මාණය කළේ අපි නෙමෙයි, නමුත් ඒවාට වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ අපිට කියලා තව කෙනෙක්ට චෝදනා කරන්නත් පුළුවන්. කොහොම වුණත් අර්බුදය මැද්දේ තමන්ගේ ජීවිතයත් හදාගෙන අනුන්ගේ ජීවිත වෙනුවෙනුත් යහපතක් කරන්න උත්සාහ ගන්න මිනිස්සු ගැන තමයි මේ කතාව දිග හැරෙන්නේ.

සීලවතී කියන්නේ රසකැවිලි විකුණලා ජීවත් වුණු කාන්තාවක්. කිරිබත්ගොඩ නගරයට ආසන්නයේ කුඩා කඩ කාමරයක තමයි ඇය රසකැවිලි වෙළෙඳසලක් පවත්වාගන ගියා. නමුත් රටේ උද්ගත වුණු අර්බුද නිසා ඇයට රසකැවිලි අලෙවිසල වහලා දාන්න සිද්ධ වුණා. රසකැවිලි නිෂ්පාදනය කරන්න අවශ්‍ය අමුද්‍රව්‍යවල මිල ගණන් දවසින් දවස වැඩි වෙද්දී, කඩකාමරය කුලිය ගෙවා ගන්න බැරි වෙද්දි, අකැමැත්තෙන් වුණත් සීලවතී තමන්ගේ රස්සාවට සමුදීලා වෙනත් රැකියාවක් කරන්න හිත හදාගෙන තිබුණා. තමන්ගේම ගෙවත්තේ වගා කළ එළවළු ටික පලා ටික අරගෙන ගෙයින් ගෙට ගිහින් අලෙවි කරන්න ඇය පටන් ගත්තේ ඊටත් පස්සේ.

“ගෙදර වත්තේ තියෙන පොඩි ඉඩ ප්‍රයෝජනයට අරගෙන එළවළු ටිකක්, පලා වර්ග ටිකක් වගා කළා. නගරයේ ගොඩක් දෙනෙක් වගා කරන එක අමතක කරලා ජීවත් වෙන්නේ. එහෙම නැත්නම් ඒ අයට වෙලාවක් නෑ. රස්සාවක් නැති වුණාට පස්සේ මම වගා කරන්න පටන් ගත්තා. තෙල් බෙහෙත් නැති වුණාට, පරිසරයෙන්ම හොයාගන්න පොහොරවලින් වගාව සාර්ථක වුණා. තෙල් බෙහෙත් නැති අලුත් එළවළු පලාවලට හොඳ ඉල්ලුමක් තියෙනවා. ගිනි ගණන්වලට මම මේවා විකුණන්නෙ නෑ. මට ජීවත් වෙන්න ප්‍රමාණවත් තරම් මුදලකට තමයි මම බිස්නස් කරන්නේ.”

අර්බුද මැද්දේ දිරියෙන් ජීවිතයට මුහුණ දෙන මිනිස්සු…

එදිනෙදා පරිභෝජනයටවත්, පලා ටිකක් එළවළු ටිකක් වවාගන්න. ඒකට අමුතුවෙන් වියදමක් යන්නේ නෑ. සීලවතී සමාජයට දෙන්න උත්සාහ කළේ වටිනා පණිවිඩයක්.

මේ වෙද්දී එළවළු පලතුරුවල වගේම මස් මාළු. කිරි බිත්තරවලත් මිල ගණන් ඉහළ ගිහින්. වෙළඳපොලේ ඇති පිටි කළ කිරි, කිරි හා සත්ත්ව නිෂ්පාදනවල මිල ගණන් සාමාන්‍ය ජනතාවට දරාගන්නත් බැරි තරම්. මේ වගේ අවස්ථාවක විකල්ප ආහාරපාන වෙත නැඹුරු වීමේ වැදගත්කම ගැන පෝෂණවේදීන්, වෛද්‍යවරුන් පවා අදහස් ඉදිරිපත් කරලා තියෙනවා.

“දැන් බිත්තරයක් කීයද? කිරිපිටි පැකට් එකක් කීයද? ඒවගේ ගණන් ඇහුවාම තරු පේනවා. ඉස්සර අපේ මුතුන් මිත්තන්ගේ ගෙවල්වල කිරි ටික ගන්න, බිත්තර ගන්න සතුන් ඇති කළා. ඔවුන්ගේ මළපහ පොහොරවලට ගත්තා. එළදෙනක්, කිකිළියක් දෙන්නෙක් ඇති කරන එක ලජ්ජාවට කාරණයක් කියලා මම හිතන්නේ නෑ.”

රාජාංගනය ප්‍රදේශයේ පදිංචි සිරිදාස මේ වෙද්දි කුඩා සත්ත්ව ගොවිපළක් පවත්වාගෙන යනවා. එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය දියර කිරි වගේම බිත්තරත් දැන් ඔහු සපයා ගන්නේ නිවසෙන්මයි. ඒ වගේම අසල්වැසියන්ටත් ඔහු සහන මිලට ඒ නිෂ්පාදන අලෙවි කරනවා. එමඟින් සිරිදාසට යම්කිසි ආදායමකුත් ලැබෙනවා. ඉන්ධන අර්බුදය මේ වෙද්දි සියලුම ක්ෂේත්‍රවලට සෘජුව සහ වක්‍රව බලපාලා තියෙනවා කියන කාරණය රහසක් නෙමෙයි. මේ’ ඉන්ධන අර්බුදය නිසාම විවිධ භාණ්ඩ අලෙවි කළ ජංගම වෙළෙඳ රථ බොහොමයක් දැන් දැක ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. වෙනදාට නිවෙස් සමීපයට පැමිණෙන පාන්, මාළු, එළවළු පලතුරු අලෙවි රථ දැන් දකින්නෙත් කලාතුරකින්.

ඒත් බොරැල්ල අවට ප්‍රදේශවලට අත් කරත්තයක ආධාරයෙන් තැඹිලි අලෙවි කළ ජයන්ත තවමත් හුරු පුරුදු විදිහටම තමන්ගේ රාජකාරිය කරනවා. වෙනදට තැඹිලිවලින් පිරිලා තියෙන අත් කරත්තයේ දැන් දෙහි, දොඩම්, පේර වගේ පලතුරු ජාතිත් තියෙනවා. රුපියල් 80 ට විකුණූ තැඹිලි ගෙඩියක් දැන් ඒ ගාණටම විකුණන්න ජයන්තට හැකියාවක් නැහැ. ඒත් ගෙයක් ගෙයක් ගාණේ ගිහින් රුපියල් සීයට එකසිය විස්සට තැඹිලි ගෙඩියක් අලෙවි කරලා හොයාගන්න මුදල වෙනදාටත් වැඩිය වටිනවා කියලා තමයි ජයන්ත අපිට කිව්වේ.

මොහොමඩ් ෂිෆාන් කියන්නේ මාළු වෙළෙන්දෙක්. ලොරි රථයෙන් හෝ මෝටර් බයිසිකලයෙන් මාළු අලෙවි කිරීම තමයි ඔහුගේ රැකියාව. නමුත් ඉන්ධන අර්බුදයත් එක්ක ඔහුට රැකියාව කරගන්න බැරි තත්ත්වයක් උදා වුණා. මාළු ලොරිය පැත්තකට දාපු මොහොමඩ් පාපැදියෙන් හුරුපුරුදු රැකියාවම කරන්න තීරණය කළේ වෙනදාට වඩා ටිකක් මහන්සි වෙන්න වෙනවා දැනගෙනම තමයි. ලී පෙට්ටිය පිරෙන්න වැව් මාළු පුරවාගෙන ගම් දෙක තුනක් ආවරණය කරන්න මොහොමඩ් දවසට පැය දහයකටත් වැඩි කාලයක් බයිසිකලය පදිනවා. එක එක මාළුන්ගේ නම් කියවෙන කුඩා ශබ්ද විකාශන යන්ත්‍රය මොහොමඩ්ගේ මහන්සිය ටිකක් අඩු කරනවා. වෙනදාට වඩා කීයක් හරි වැඩියෙන් දැන් හොයාගන්නවා කියලාත් මොහොමඩ් අපිත් එක්ක කීවා.

මොහොමඩ් වගේම තවත් බොහෝ පිරිසක් පාපැදියෙන් ගෙයක් ගෙයක් ගාණේ ගිහිල්ලා භාණ්ඩ හා නිෂ්පාදන අලෙවි කරන්න පටන් අරන්. වෙනදට වඩා වැඩිපුර ටිකක් මහන්සි වෙන්න වුණත්, මොනවත්ම නොකර ගෙදර ඉන්නවාට වඩා ඒ විදියට මහන්සි වෙන එක හොඳයි කියලා තමයි ඒ හැම කෙනෙක්ම අපිට කිව්වේ.

මේ විදිහට ගේ මුල්ලකට කරලා තිබුණ පාපැදි ටික එළියට එන්න පටන් ගත්තට පස්සේ ගමේ කෙළවරකට වෙන්න වහලා දාලා තිබුණු බයිසිකල් වැඩපළවල් ටික ආයෙත් ඇරෙන්න පටන් ගත්තා. ගමේ විතරක් නෙමෙයි නගරයේ තිබුණු කුඩා සයිකල් වැඩපළවල් බොහොමයක් වහලා දාලා තිබුණේ. දැන් දෙයියනේ කියලා වින්කලේ බාසුන්නැහැට කීයක් හරි වැඩිපුර හොයාගන්න පුළුවන්.

“දැන් බයිසිකල්වල කෑලි ගිනි ගණන්. ඒත් මිනිස්සු අයින් කරලා දාලා තිබුණු බයිසිකල් හදනවා. වෙනදාට අපි වගේ පොඩි වින්කල් තියෙන මිනිස්සුන්ට වැඩ තිබුණේ කලාතුරකින්. ඒත් දැන් දවසට බයිසිකල් පහ හයකටත් වැඩියෙන් හදනවා. මේ විදිහට බයිසිකල් පදින්න වුණ එක ගැන අපිට සතුටු නැහැ. ඒත් පයින් යනවාට වඩා බයිසිකලේ යන එක හොඳයි නේද?”

අතීතයේදී බොහෝ විට ලියුම් බෙදා හැරීම පවා සිදු වූයේ පාපැදියෙන් යමිනි. තවමත් ඇතැම් ගම්වල ලියුම් බෙදාහරින්නේ පාපැදියකින් නිවසෙන් නිවසට ගොස්ය. පාපැදිය දැන් දුප්පතාගේ මෙන්ම පෝසතාගේ ද හිතවතා ය. එක් අතකට බයිසිකලය ඉන්ධන අර්බුදයට ඇති හොඳම විසඳුමයි. එහෙම කිව්වාට දැන් වෙළඳපොළෙන් අලුතින් බයිසිකලයක් ගන්නත් සෑහෙන මුදලක් වියදම් කරන්න සිද්ධ වෙනවා. කොහොම වුණත් බයිසිකල් පදින එක ශරීර සෞඛ්‍යයටත් හිතකරයි කියලා තමයි වෛද්‍යවරුන් නිර්දේශ කරලා තියෙන්නේ.

වෙළෙඳපොළේ භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යෑමත් සමඟ කහට කෝප්පයේ, කිරි තේ එකේ පවා මිල ගණන් ඉහළ ගියා. ඒ වගේම කෙටි කෑම, කෑම පාර්සල්වල මිල ගණන් පවා වැඩි වුණා. පවතින අර්බුදකාරී වටපිටාවත් එක්ක, විශේෂයෙන්ම ගෑස් අර්බුදය නිසා බොහෝ හෝටල් සහ ආපනශාලා වහලා දැම්මා. ඒත් දර ළිප් භාවිත කරලා කෑම හදන, වෙනදා මුදලටම පාරිභෝගිකයන්ට ඒවා අලෙවි කරන්න උත්සාහ කරන හෝටල් කිහිපයක් ගැනම අපිට තොරතුරු ලැබුණා.

කොළඹ අවට පිහිටලා තියෙන මේ ඇතැම් ආහාර අලෙවිසල්, දුෂ්කරතම අවස්ථාවකදී වුණත් තමන්ගේ හුරු හුරුපුරුදු පාරිභෝගිකයන්ට පුංචි හරි සහනයක් සලසන්න උත්සාහ කරනවා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ.

මේ විදිහට දුෂ්කරම අවස්ථාවකත් තවත් පාර්ශ්වයකට දොස් කියමින් ඉන්නේ නැතිව තමන්ගේ දියුණුව වගේම අනිකාගේ යහපත වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන මිනිස්සු, ඒ විදියට වැඩකරලා දියුණු වෙන මිනිස්සු, ආර්ථිකව වගේම මානසිකවත් ප්‍රතිලාභයක් ලබා ගන්න මිනිස්සු අපේ සමාජයේ ඕනෑවටත් වැඩියෙන් ඉන්නවා.

”පෙරළන පිට හොඳයි කියලා ඒ වෙනුවෙන් හැඩ ගැහෙන්නේ නැතිව මේ පවතින ක්‍රමයට එරෙහිව සටන් කළ යුතුයි” කෙනෙක්ට ඒ වගේ තර්කයක් ගේන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් මේ වගේ අර්බුදයක් වෙලාවකත් වෙහෙස මහන්සි වෙලා වැඩ කරලා කෙනෙක් දියුණු වෙනවා නම්, අනෙකාගේ යහපතටත් ඉඩක් හදනවා නම් ඒ වගේ මිනිස්සුන්ව අගය කිරීමේ වරදක් නැහැ.

දුෂ්කරම අවස්ථාවලත් අත් නොහැර අභියෝගවලට මුහුණ දුන්න, ඒ අභියෝගවලින් ශක්තිමත් වුණ මිනිස්සු තමයි හැම වෙලාවකම ජයග්‍රහණය කළේ කියන පණිවිඩයත් ‘දිවයින’ අපි යළිත් වතාවක් ආදරණීය පාඨකයන්ට සිහිපත් කරනවා.

අර්බුද මැද්දේ දිරියෙන් ජීවිතයට මුහුණ දෙන මිනිස්සු…

කුමාරි ඉරුගල්බංඩාර

advertistmentadvertistment
advertistmentadvertistment