අර්බුද මැද කුරුන්දි විහාරයටත් කෙනෙහිලි

202

පුරාවිද්‍යා සංරක්‍ෂණ කටයුතු කරගෙන යන්න නැවත අධිකරණය අවසර ලබා දුන්නා…
පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්

මේක අලුත් ගැටලුවක් නෙමෙයි ආරම්භයේ සිටම කුරුන්දි විහාරයේ සංරක්‍ෂණ කටයුතු කළේ අනේක විධ බාධා මැද…
ගල්ගමුවේ සාන්තබෝධි හිමි

මුළු රටම ආර්ථික අර්බුදයක පැටලී ගිනියම් වෙමින් තිබියදී, උතුරේ පරණ ගැටලුවක් අලුත් වී සමාජ මාධ්‍ය කලඹමින් තිබේ. ඒ මුලතිව් කුරුදුමලේ පුරාවිද්‍යා භූමියේ අලුතින් කරන ලද ඉදිකිරීම් කිහිපයක් ඉවත් කරගන්නා ලෙසට මුලතිව් අධිකරණය විසින් පසුගිය දිනක නියෝග කිරීමත් සමඟය. එම අධිකරණ නියෝගයත් සමඟ මුලතිව් කුරුන්දි පුරාවිද්‍යා භූමිය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලුව ගැන මෙරට පමණක් නොව ලෝකය පුරා ජීවත්වන බෞද්ධ ජනතාව අතිශය විමසිලිමත්ව සිටින බව සැබෑය. එවැනි පසුබිමක උද්ගතව ඇති කුරුන්දි ගැටලුව සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාරයන් කිරීම එම සංවේදී ගැටලුව අසූචි මුට්ටියක් බවට පත් කිරීමට කටයුතු කිරීමකි. මුට්ටිය බිඳී ගොස් රටම ගඳ ගැසීමට පෙර අපි එම ගැටලුවේ සත්‍ය කතාව සොයාගෙන කුරුදුමලේට ගියෙමු. කුරුන්දි පුරාවිද්‍යා භූමිය නැවත සංරක්‍ෂණය කිරීමට පෙරමුණ ගෙන සුවිශාල මෙහෙවරක් කරගෙන යන උතුරු පළාත් ප්‍රධාන සංඝ නායක ගල්ගමුවේ සාන්තබෝධි හාමුදුරුවන් සමග ප්‍රථමයෙන් අපි සාකච්ඡා කළෙමු. උන්වහන්සේ කුරුන්දි ගැටලුව ආරම්භයේ සිට වර්තමානයේ අලුත්වන ගැටලුව දක්වා දීර්ඝ පැහැදිලි කිරීමක් කළහ. මේ ඒ කතාවය.

“මේ අවුරුද්දේ ජුනි මස 12 වැනිදා කුරුන්දි විහාරයේ චෛත්‍යයවහන්සේ තුළ සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත් කරන්න සූදානම් වෙච්ච අවස්ථාවේ දෙමළ දේශපාලනඥයන් ඇතුළු පිරිසක් උද්ඝෝෂණ කරලා පින්කම කඩාකප්පල් කළා. එපමණක් නෙමෙයි අපිට විරුද්ධව මුලතිව් අධිකරණයේ නඩුවකුත් දාලා තිබුණා. එම නඩුව විභාග කළ මුලතිව් මහෙස්ත්‍රාවරයා විසින් කුරුන්දි පුරාවිද්‍යා භූමියේ සියලුම අලුත් ඉදිකිරීම් ඉවත් කරන ලෙසට මුලතිව් පොලිසියට නියෝග කර තිබුණා. පසුව එම නඩු තීන්දුව නැවත වෙනස් කරලා පුරාවිද්‍යා සංරක්‍ෂණ කටයුතු කරගෙන යෑමට අවසර දීලා තියෙනවා…”

“මේක අලුත් ගැටලුවක් නෙමෙයි. මේ බෞද්ධ සිද්ධස්ථානය සොයාගත් පළමු දවසෙ ඉඳලා සමහර දෙමළ මිනිස්සු විවිධාකාරයෙන් අපිට බාධා කළා. මේ ස්ථානයේ මුරකුටියක් සකස් කරන්න ලී දඬු රැගෙන පැමිණි අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානයේ ආධාරකරුවන් මඟ හරස් කර ලොකු ආරවුලක් ඇති කළා. ඔඩ්ඩුසුඩාන් පොලිසිය විසින් බී වාර්තාවක් යටතේ සාමය කඩවීමේ සිද්ධියක් විදිහට මුලතිව් දිසා අධිකරණයේ නඩු පැවරුවා. නීතිඥ නුවන් බැල්ලන්තුඩාව ඇතුළු නීතිඥ මහත්වරු කිහිපදෙනෙක් නඩුවට පෙනී සිටියා. පසුව මම මේ අවනඩුව සහ කුරුන්දි පුරාවිද්‍යා ස්ථානය ගැන සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයට පැමිණිලි කර උපකාර ඉල්ලුවා. එම සම්මේලනයේ එවකට සිටි සභාපති ජගත් සුමතිපාල, උප සභාපති චන්ද්‍රා වාකිෂ්ට යන මහත්වරු මගේ ඉල්ලීමට අවධානය යොමු කර නඩුවට අවශ්‍ය නීතිමය සහයෝගය ලබා දුන්නා. කාලයක් විභාග වෙච්ච නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කර කිසිදු බාධාවකින් තොරව පුරාවිද්‍යා කටයුතු කරගෙන යෑමට අධිකරණය විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නා. අනතුරුව පැවති ගෝඨාභය රාජපක්‍ෂ ආණ්ඩුවේ බුද්ධ ශාසන, ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා මුණගැහිලා කුරුන්දි පුරාවිද්‍යා ස්ථානයේ වටිනාකම ගැන අපි පැහැදිලි කළා. ඒ අවස්ථාවට හිටපු පුරාවිද්‍යා සහකාර අධ්‍යක්‍ෂ පියතිලක බණ්ඩා මහත්තයාත් සම්බන්ධ වුණා. අපේ කතාව හොඳින් අවබෝධ කරගත් ලේකම්වරයා එම පුරාවිද්‍යා ස්ථානය නැවත ප්‍රතිසංස්කරණය කිරීමට අවසර ලබා දුන්නා. ප්‍රතිසංස්කරණය සඳහා වැය වන සම්පූර්ණ වියදම දැරීමට ජගත් සුමතිපාල මහත්තයා එකඟ වුණා. ඒ අනුව 2020 නොවැම්බර් මාසේ කුරුන්දි පුරාවිද්‍යා භූමියේ මුර කුටියක් ඉදිකිරීමට අවසර ලබා ගත්තා. 2021 අවුරුද්දේ ජනවාරි මාසෙ විධුර වික්‍රමනායක ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කුරුන්දි විහාරයේ පුරාවිද්‍යා කැණීම් කටයුතු පටන් ගත්තා. ප්‍රථමයෙන් ස්තූපයේ කැණීම් කටයුතු පටන්ගෙන එම වර්ෂයේ අප්‍රේල් 05 වැනිදා අවසාන කළා. අනතුරුව එහි සංරක්‍ෂණ කටයුතු ආරම්භ කළා…”

අර්බුද මැද කුරුන්දි විහාරයටත් කෙනෙහිලි

“කුරුන්දි පුරාවිද්‍යා භූමියේ සංරක්‍ෂණය වෙන්නේ ලෝකයේ සොයාගෙන තියෙන විශාලතම පද්මාකාර එකම චෛත්‍ය වහන්සේ. විශාලතම කබොක් සෑය. මේ වෙනකොට සෑයේ හතරෙන් තුනක් සංරක්‍ෂණය කරලා තියෙනවා. ඒ වගේම කැණීම්වලදී හතරවෙනි උදය රජුගේ ශිලා ලේඛනය ඇතුළු ශිලා ලේඛන දෙකක් සොයාගෙන තියෙනවා. ස්තූප කැණිමේදී ඉපැරැණි යූපගල ඇතුළුව පුරාවස්තු රාශියක්ම සොයාගෙන තියෙනවා. පිළිමගෙයි කැණීම් තුළින් මාබල් බුද්ධ ප්‍රතිමාවහන්සේ, බෝසත් ප්‍රතිමා වහන්සේ ඇතුළුව පුරාවස්තු රාශියක්ම සොයාගෙන තිබෙනවා. එම ගවේෂණ වාර්තා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර තිබෙනවා. කැණීම් කරගෙන යන අතරතුර එම පුරාවිද්‍යා භූමිය තවත් පුළුල් කරන්න අවශ්‍ය බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කළා. එම ප්‍රදේශයේ අක්කර 420 ක් පුරාවට විහිදුනු බෞද්ධ නටබුන් තිබෙන බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිගමනය කරනවා. ඇස් පනාපිට බෞද්ධ ඉතිහාසය ඉස්මතු වෙමින් තිබියදීත්, දෙමළ ජාතික සන්ධානය සහ එම ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් මේ සංරක්‍ෂණ ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීමට නොයෙක් අයුරින් බාධා කළා. හින්දු ජනතාවගේ උරුමය නැති වුණා කියලා දෙමළ ජාතික සන්ධානයේ සුමන්දිරම් මන්ත්‍රීවරයා පසුගිය දිනවලත් අපිට විරුද්ධව අධිකරණයේ නඩු පැවරුවා. ඒ නඩුවත් විභාග වෙමින් පවතිනවා…”

“විවිධාකාර බාධක මැද කුරුන්දි විහාරය නැවත ප්‍රතිසංස්කරණය කර, චෛත්‍ය වහන්සේ තුළ ධාතු තැන්පත් කිරීම උත්සවශ්‍රීයෙන් පැවැත්වීමට අපි කටයුතු කළා. එම පින්කම පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුණේ පහුගිය ජුනි මස 12 වැනිදා. ධාතු නිධාන උත්සවය සංවිධානය කළේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ බුද්ධ ශාසන අමාත්‍යාංශය. ආරාධනා පත්‍ර සකස් කළෙත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. දෙස්, විදෙස් පින්වත් දායකයන් පරිත්‍යාග කළ මුදල් වගේම ජගත් සුමතිපාල මහතාගේ ධන පරිත්‍යාගයන් රුපියල් ලක්‍ෂ පනහක් පමණ පින්කමට වියදම් කරලා තිබුණා. දෙස්, විදෙස් දහස් සංඛ්‍යාත බෞද්ධ බැතිමතුන් පින්කමට සහභාගි වී හිටියා. එම පින්කම පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබූ දින හිමිදිරියේ සිට කුරුන්දි පුදබිමට පිවිසෙන මාර්ගය අවහිර කරගෙන පෝස්ටර් උස්සගෙන, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් උද්ඝෝෂණය කළා. සාමය ආරක්‍ෂා කිරීමට කියලා පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් අනුර මනතුංග මහත්තයා එදා එම පින්කම නතර කළා…”

“පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් එදා එහෙම කරපු නිසා තමයි අද මෙවැනි ගැටලුවක් නැවත මතු වුණේ. ඒ වගේම දෙමළ දේශපාලනඥයන් ඇතුළු ආධාරකරුවන් කෑමෝර දෙන්නේ මේ ස්ථානයේ තිබුණේ කෝවිලක් කියලා. මේ හැම දෙයක්ම අලුතින් හදපු ගොඩනැගිලි කියනවා. එහෙම කියනකොටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිහඬව නොසිට ‘මේ ස්ථානයෙන් බුද්ධ ප්‍රතිමා සොයාගෙන තියෙනවා… මෙච්චර බෞද්ධ නටබුන් සොයාගෙන තියෙනවා… හින්දු කෝවිලක් කියන්නෙ මොන පදනමකින්ද’ කියලා ප්‍රශ්න කළා නම් මෙවැනි ගැටලු මතු නොවෙන්න තිබුණා. ඒ වගේම කුරුන්දි පුරාවිද්‍යා භූමියෙන් සොයාගත් ස්මාරක සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ වෙනකම් කිසිදු ප්‍රකාශයක් නිකුත් කරලා නෑ. නිසි බලධාරීන් විදිහට ඔවුන් ප්‍රකාශයක් නිකුත් කළා නම් මේ ගැටලුව මෙච්චර දුරදිග යන්නෙත් නෑ…” ඉතිහාසයෙන් මැකී යමින් තිබුණු කුරුන්දි පුදබිම සංරක්‍ෂණය කිරීමට පෙරමුණ ගත් උතුරු පළාත් ප්‍රධාන සංඝ නායක ගල්ගමුවේ ශාන්තබෝධි හාමුදුරුවන්ගේ දීර්ඝ දේශනය අවසානය.

මුලතිව් දිස්ත්‍රික්කයේ, මුහුදුබඩ පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, තන්නිමුරුප්පු ග්‍රාම සේවා වසමේ පිහිටි කුරුඳුමලේ, කුරුන්දමලය ආදි නම්වලින් හඳුන්වන කුරුන්දි පුරාවිද්‍යා භූමිය උතුරු පළාතේ විශාලතම බෞද්ධ විහාර සංකීර්ණයක් බව පුරාවිද්‍යා ගවේෂණ තුළින් සනාථ වෙමින් තිබේ. ලංකාවේ ලියැවුණු අට්ඨකථාවන් ලෙස මහා අට්ඨකතාව, පච්චරි අට්ඨකතාව සහ කුරුන්දි අට්ඨකථාව යනුවෙන් අට්ඨකතා තුනක් පවතින බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. එකී කුරුන්දි අට්ඨකතාව නම් සුවිශේෂී අට්ඨකතාව ග්‍රන්ථාරූඪ කර ඇත්තේ මේ ඓතිහාසික කුරුඳුවෙලි විහාරය නම් උතුම් පින්බිමේදී බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ. ක්‍රි. ව. 100 -103 කාලසීමාව තුළ රජකම් කළ සද්ධාතිස්ස රජුගේ පුතෙක් වූ ඛල්ලාඨනාග රජු විසින් ‘කුරුන්දපාසක’ නමින් මේ ස්ථානයේ විහාරයක් ගොඩනැඟූ බවත් පළමුවැනි අග්ග බෝධි රජු (ක්‍රි.ව. 571 – 604) විසින් ‘කුරුන්ද’ නම් සර්ව සාංගික විහාරයක් කරවා ඒ නමින් වූ වැවක් ද යොදුන් තුනක් පමණ විශාල පොල් වගාවක් ඇතුළු පූජාවන් සිදු කර බව ද ඉතිහාසයේ සඳහන්ය. පළමුවැනි විජයබාහු (ක්‍රි.ව. 1055 – 1110) යන රජවරුන් කුරුන්දි විහාරයට විවිධ අනුග්‍රහයන් දැක් වූ බවත් මහාවංශයෙහි සඳහන් වේ. එමෙන්ම බුදුරජාණන් වහන්සේ දෙවන ලංකා ගමනයේදී මෙම ස්ථානයට වැඩම කර ඇති බවද ජනප්‍රවාදයේ කියැවේ. 1905 පාලන වාර්තාවේ සඳහන් පරිදි මෙරට ඇති විශාලතම ශිලා ලේඛනය පිහිටා ඇත්තේ ද මේ උතුම් පින්බිමේය. එම ශිලා ලේඛනය ලියැවී ඇත්තේ තුන්වන මිහිඳු රජුගේ ජල ගැටලුවක් විසඳීම සම්බන්ධයෙන් බවත් සඳහන්ය. එමෙන්ම මේ ස්ථානයේ ඇති සෑය ‘වට දාගයක්’ බව එම පාලන වාර්තාවේ ද සඳහන්ව ඇත. ඉන්දියාවේ සාංචි ස්තූපයේ හැඩයට ඇති මෙරට එකම සෑය මෙම ස්තූපය බව ද පුරාවිද්‍යා ගවේෂණ තුළින් සනාථ වී ඇත. කුරුන්දි විහාරයේ බිත්ති ප්‍රාකාර ඇතුළු සියලු ගොඩනැඟිලි කබොක් පාෂාණයෙන් නිමවා තිබෙන බවත් දැනට ලොව පවතින තනි කබොක් ගලෙන් නිමැ වූ එකම පද්මාකාර චෛත්‍යය වහන්සේ මේ බව ඉතිහාසයේ ද සඳහන්ය.

2013 වර්ෂයේ අගෝස්තු මස 13 වැනිදා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ ස්ථානය හඳුනාගෙන ස්මාරක ලෙස ගැසට් කෙරිණී. එහෙත් එදා සිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කුරුන්දි විහාරය ගැන වැඩි අවධානයක් යොමු නොකරන ස්වභාවයක් පෙනිණි. එවැනි පසුබිමක 2018 වර්ෂයේදී මේ ස්ථානය සම්බන්ධයෙන් ගල්ගමුවේ සාන්තබෝධි හාමුදුරුවන්ගේ අවධානයට යොමු වී තිබිණි. පසුව උන්වහන්සේ එම ස්ථානයට වැඩම කිරීමට තීරණය කර තිබිණි. එවකට වව්නියා දිස්ත්‍රික්කය භාරව සිටි පුරාවිද්‍යා සහකාර අධ්‍යක්‍ෂ පියතිලක බණ්ඩා මහතාගේ උදව් උපකාර ඇතිව උන්වහන්සේ ඇතුළු කණ්ඩායමක් එම ස්ථානය සොයාගෙන ගියහ. ඒ වන විට කුරුන්දි පුද බිම මහ කැලෑවකි. කබොක් සෑය වන ලැහැබකින් වැසුණු පස් ගොඩකි. දකින දකින තැන විවිධ නටබුන්ය. ගල් කණු නොපෙනෙන තරමට වැල්වලින් එතී තිබිණි. එහෙත් මේ පුරාවිද්‍යා භූමියේ විශාල ඓතිහාසික වටිනාකමක් ඇති බව එදා අපට වැටහිණි. එහෙත් ඉතිහාසයේ සිට පැමිණි විවිධ ආක්‍රමණ, වසර තිහකට වැඩි කාලයක් තිස්සෙ පැවති කොටි ත්‍රස්තවාදී යුද්ධය හේතුවෙන් උතුරු පළාතේ පදිංචිව සිටි සිංහල මිනිසුන් දකුණට සංක්‍රමණය වීමත් සමඟ බෞද්ධ සිද්ධස්ථාන ද හින්දු පුදබිම් බවට පරිවර්තනය කරගත් දෙමළ ජනතාව කාලයක් වැඳුම් පිදුම් සිදු කරන පසුබිමක මුලතිව් කුරුන්දි බෞද්ධ පුදබිමේ ද ගල් කණු මත උළු සෙවිලි ඇතිරුමක් සකසා, ඉපැරැණි ප්‍රතිමා ගෘහය කෝවිලක් බවට පත්කොට ඇති බවත්, කොන්ක්‍රීට් සිමෙන්ති බදාම දමා ත්‍රිශූලයක් ගසා ඇති බවත්, කපුරු දල්වන්නට සිරිපතුල් ගලක් යොදාගෙන තිබූ බවත් සිරිල් මැතිව් විසින් රචිත ලිපියක සඳහන් වී තිබූ බව එදා ගල්ගමුවේ ශාන්ත බෝධි හාමුදුරුවෝ අප සමඟ පැවසූහ. ගස්, ගල්වලට වැඳුම් පිදුම් කරන මනුෂ්‍ය සමාජයක බෞද්ධ ජනතාව නොමැති ප්‍රදේශයක බුදු පුදබිමක ත්‍රිශූලයක් ගසාගෙන වැඳුම් පිදුම් කිරීම වරදක් ලෙස අපි නොදකිමු. එහෙත් වර්තමාන පුරාවිද්‍යා
ගවේෂණ තුළින් ඕනෑවටත් වඩා බෞද්ධ පුරාවස්තු ඉස්මතු වී තිබියදී, මුලතිව් කුරුන්දි පුරාවිද්‍යා ස්ථානය ඉපැරැණි බෞද්ධ සිද්ධස්ථානයක් බව පැහැදිලිව ඉතිහාස කරුණුවලින් සනාථ වී තිබෙන පසුබිමක එම ස්ථානය පැරැණි කෝවිලක් බව කියමින් දෙමළ දේශපාලනඥයන් නටන නාඩගම බෞද්ධ ප්‍රජාවට මෙන්ම හින්දු ප්‍රජාවට ද මහා අප්‍රභංශයකි. එහෙයින් කුරුන්දි විහාරයේ උද්ගතව ඇති සංවේදී, ඉතාම සංකීර්ණ ගැටලුවට යම් විසඳුමක් බලාපොරොත්තුවෙන් පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතාට දුරකථනය ඔස්සේ අපි කතා කළෙමු. මේ ඔහු අපට ලබා දුන් පිළිතුරුය.

“කුරුන්දි පුරාවිද්‍යා ස්ථානයේ පුරාවිද්‍යා සංරක්‍ෂණ කටයුතු තහනම් කර ලබා දුන් නඩු තීන්දුව වෙනස් කර නැවත එම ස්ථානයේ පුරාවිද්‍යා සංරක්‍ෂණ කටයුතු කරගෙන යෑමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අවසර ලබා දීලා අධිකරණ නියෝගයක් නිකුත් කරලා තියෙනවා. දැන් කිසිම ගැටලුවක් නැතිව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එම ස්ථානයේ සංරක්‍ෂණ කටයුතු කරගෙන යෑමට අවසර තියෙනවා…”

කුරුන්දි පුරාවිද්‍යා භූමිය බෞද්ධ විහාරයක්ද? හින්දු කෝවිලක්ද? පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට අපි කෙටි පැනයක් යොමු කළෙමු.

“මේ ස්ථානය සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින නිසා ඒ ප්‍රශ්නයට උත්තර දීමෙන් වැළකී සිටිනවා. ඒ ගැන මම අධිකරණයේදී පැහැදිලි කරනවා…” අධ්‍යක්‍ෂවරයා නිහඬ විය.

කුරුන්දි විහාරයේ ගැටලුවට තවමත් විසඳුමක් නැත. එහෙත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ නව වැනි වගන්තියේ සඳහන් ආකාරයට බුදුදහම පෝෂණය කොට ආරක්‍ෂා කිරීමේ වගකීම රජය ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමකි. එමෙන්ම 1892 අංක 04 බ්‍රිතාන්‍ය ස්වාධීනතා ආඥා පනතේ 16 වැනි වගන්තියේ සඳහන් ආකාරයට භික්‍ෂූන්වහන්සේට බෞද්ධ වත්පිළිවෙත් සහ උත්සව සඳහා පෙර රජ දවස හිමි වූ ප්‍රමුඛස්ථානය එලෙසින්ම හිමි ය. අනෙකුත් ආගම්වල සාමකාමී ඇදහීම්වලට ද එය බාධාවක් නොවිය යුතුය. එමෙන්ම අන්‍ය ආගමික සිද්ධස්ථාන ඉදිකිරීමේදී එය රජයේ නිසි අවසරය ඇතිව පමණක් විය යුතුය. මේ වගන්ති අමතක කරන රාජ්‍ය නායකයකුට මේ රටේ පැවැත්මක් නැති බව ද විශේෂයෙන් සිහිපත් කළ යුතුය. එමෙන්ම බෞද්ධ පුදබිම් කොල්ලකෑමට වලිකන අන්‍ය ආගමිකයන් ද ඉහත සඳහන් වගන්තිවල කරුණු හොඳින් මතක තබාගත යුතු බව කුරුන්දි විහාරය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටින නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා සිහිපත් කළේය.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment