මෑත දී බ්‍රිතාන්‍යයයේ සංචාරයක නිරත වූ ශ්‍රී ලංකාවේ මහෙස්ත්‍රාත්වරයකු එහි “වෙස්මිනිස්ටර් ඇබේ’ දේවස්ථානයේ දී දුටු එක් දර්ශනයක් පිළිබඳව පැවසුවේ තරමක විස්මයකින් යුතුවය.

“මම වෙස්මිනිස්ටර්” ඇබේ දේවස්ථානය නරඹද්දී පූජා ඇඳුමක් ඇඳගත්ත ෆාදර් කෙනෙක් පල්ලිය මැද්දෙන් ගියා. ඇරපු අතක් නැහැ ඒ පූජක ඇඳුම අපේ උසාවිවල මහෙස්ත්‍රාත්වරුන් නඩු අහනවිට අඳින ඇඳුමම යි. ඒ වෙලාවෙ කැමරාව මගේ ළඟ තිබුණෙ නැහැ. නැතිනම් හොඳ පින්තූරයක් මම අරගෙන එනවා.

මහෙස්ත්‍රාත්වරයාගේ මේ අත්දැකීම් ඇසූ මට සිහිපත් වූයේ වරක්, ඇලෝයි පීරිස් ජේසු නිකායේ පියතුමා කැලණියේ විශ්වවිද්‍යාලයේ කතෝලික ධර්මය පිළිබඳව පශ්චාත් උපාධි පාඨමාලාවක් ආරම්භ කරන අවස්ථාවේ පැවසූ දෙයකි. එහිදී උන්වහන්සේ පැවසුවේ අතීතයේ අධ්‍යාපනය පමණක් නොව, නීතිය ද පූජකවරුන්ගේ ඒකාධිකාරය යටතේ පැවතුණ බවත්, එම ක්‍ෂේත්‍රයන්හි පුරෝගාමීත්වය කිතුනු පූජකවරුන්ට හිමිවුණ බවත්ය.

රෝම ලන්දේසි නීතියේ ආභාසයෙන් වර්ධනය වී තිබෙන ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය සේම එහි විනිශ්චයකාරවරුන්ගේ ඇඳුමට ද මේ අනුව රෝම ලන්දේසි බලපෑමක් ලැබී ඇති බව අනුමාන කළ හැකිය.

කතෝලික පූජකවරුන්ගේ ඇඳුම ගැන කතා කරනවිට බොහෝ දෙනෙකුට නිතැතින්ම සිහිපත්වන්නේ ලෝගුව පිළිබඳවය.

කතෝලික ධර්මය පිළිබඳ විශාරදයකු වන කැලණිය විශ්වවිද්‍යාලයේ කතෝලික ධර්මය පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලාවේ දේශකයකු වූ ජයලත් බලගල්ල පියතුමා පවසන්නේ ලෝගුව අද බොහෝ දෙනා පූජක ඇඳුමක් සේ සැලකුවත් අද මෙන්ම අතීතයේත් යුදයාවේ මෙන්ම අරාබියේත් පිරිමින්ගේ සාමන්‍ය ඇඳුමක් බවයි. කාන්තාර මැදින් මහ අව්වේ, වැලි කුණාටු මැදින් ගමන් කරන ඔවුනට ස්වභාවික පරිසරයෙන් එල්ලවන ගැහැටවලින් ආරක්ෂා වීමට, ගෙල සිට දෙපතුළ දක්වා ද දෙඅත් ද ආවරණය වන මුළු ශරීරය ම වැසී යන ඇඳුමක් අවශ්‍ය විය. අප ලෝගුව යනුවෙන් හඳුන්වන ඇඳුම ඔවුන් භාවිත කළේ එම හේතුව නිසාය. ජේසුතුමා ද යුදයාවේ වාසය කළ අයෙකු නිසා, යුද පිරිමින්ගේ සාමාන්‍ය ඇඳුම වන ලෝගුව ඇන්දේය. එතුමාගේ ශ්‍රාවකයන් ද යුදා ජාතිකයන් නිසා ඔවුන් ඇන්දේ ද ලෝගුවය. නමුත් ඒවා විවිධ වර්ණයේ ඒවා විය.

කිතු දහම යුරෝපයට සංක්‍රමණය වීමත් සමග කිතුනු පූජකවරුන් එදා ජේසුතුමා සහ ශ්‍රාවකයින් ඇදි යුදා පිරිමින්ගේ සාමාන්‍ය ඇඳුම් වූ ලෝගුව අඳින්නට වූහ. යුරෝපීයයන් වූ ඔවුන් ශිතලයෙන් ආරක්‍ෂා වීම සඳහා කළු පැහැති ලෝගුව අඳින්නට වූහ. ඒ යුගයේ ශාස්ත්‍රීය සහ අධ්‍යාපන කටයුතු තාපසාරාමවලත් සහ ආසන දෙව් මැඳුරු අසල පිහිටා තිබූ පාසල් මගින් ඉටුවිය. මේවායින් සමහරක් ලෝක ප්‍රකට විශ්වවිද්‍යාල සහ විද්‍යා පීඨ මෙන් දහතුන් වන ශතවර්ෂයේදී දියුණු විය. මේ ආයතන බහුතරයක් පාලනය කළේ පූජකයින්ය. මෙම උසස් අධ්‍යාපන ආයතනයන්හි දේව ධර්මය, සංගීතය, දර්ශන වාදය, තර්ක ශාස්ත්‍රය පමණක් නොව නීති ශාස්ත්‍රය වැනි විෂයන්ට ද විශිෂ්ට ස්ථානයක් ලැබුණි.

මධ්‍යකාලීන යුගයේ සමහර පාප්වරු, පරම්පරාගතව, යුරෝපයේ හා ඉතාලියේ දේශපාලන පොරබිමේ සිටි රදළ කුලවතුන්ගේ පුත් කුමරුවෝ වූහ. මේ නිසා ම එකල පාප් ධුරයට දේශපාලන කටයුතු රාශියක් අයත්ව තිබුණි.

එකල රදළ පවුල්වලින් පැමිණි පුද්ගලයින් පූජක බව සඳහා පුහුණුව ලැබුයේ, දේව සේවයෙහි නිරත වීමට නොව රාජ්‍ය පාලන කටයුතු ගැන දැනුමක් ඇතිකර ගැනීම සඳහාය.

එම යුගයේ සිවිල් නීතිය ක්‍රියාත්මක කිරීමේදී උප්පැන්න මරණ හා විවාහ සහතික කිරීම වූයේ දේවස්ථාන මගින්ය. පාසල් මෙන්ම විශ්වවිද්‍යාල පාලනය වූයේ සභාවේ අණසක යටතේය. යුක්තිය පසිඳුවාලීමට නීතිය ක්‍රියාත්මක වූයේ ද පූජකවරුන් මගින් විශේෂයෙන් රදගුරුවරුන් වැනි ඉහළ පන්තියේ පූජකවරුන් මගිනි. කලින් සඳහන් කළා සේ මෙම බොහෝ රදගුරුවරුන් ඉහළ රදළ පන්තියෙන් පැවැත එන කුල කුමරුවන් වූහ. ඔවුන් භාවිත කළ පූජක ඇඳුම් ද බොහෝවිට රාජකීය ඇඳුම්වල ස්වරූපයකට කිසියම් සමීප බවක් විය. නඩු විමසන අවස්ථාවලදී ද ඔවහු රාජකීය ඇඳුමෙන් සැරසී සිටියහ.

මුල්ම කාලයේ ලංකාවේ කතෝලික පූජකවරුන් ද ඇන්දේ කළු පැහැති ලෝගුවකි. ශීත රටවල අයහට කළු පැහැයෙන් හිරු රැස් අවශෝෂණය කර ගැනීමේ ක්‍රියාවලිය අවශ්‍ය වුවත් ලංකාව වැනි ඝර්ම කලාපීය රටවල අයහට අවශ්‍ය වූයේ හිරු රැස් අවශෝෂණය කර නොගන්නා පැහැයකි. එනිසා ලංකාව වැනි ඝර්ම කලාපීය රටවල කිතුනු පූජකවරුන් සුදු පැහැති ලෝගුව අඳින්නට විය.

කතෝලික සභාවේ විවිධ පූජක නිකායන් ඇතිවීමත් සමග එම නිකායන්හි, අනන්‍යතාවය ප්‍රකට කිරීම සඳහා වෙනත් වර්ණවල ලෝගු මෙන්ම, ලෝගුවට වෙනත් කොටස් ද එකතු විය. සමහර නිකායක පූජකවරුන් තද දුඹුරු පැහැති ‘කෝපි කුඩු’ ලෝගු අඳින්නට වූහ. සමහර නිකායික ලෝගුවත් සමග ඉදිරිපස ඒප්‍රණයක් වැනි කොටසක් ද එකතු විය. තවත් සමහර පූජක නිකායික ඇඳුම වූ ලෝගුවක යා කළ පිටුපස පෙදෙසට වැටෙන සේ සකස් කළ කාප්පයක් ද එකතු විය.

පැරැණි යුදා ජාතිකයන් ලෝගුව අඳිනවිට ඒවා සුළඟට නොසෙල්වීමට ඉණ වටා හම් පටියක් ද පැලඳ ගත්හ. මුල්ම යුගයේ කිතුනු පූජකවරුන් ද තම ඉණ වටා අඟල් දෙක තුනක පළල හම් පටියක් පැලඳ ගත්හ. මුල්ම කාලයේ ලංකාව කිතු දහම රැගෙන ආ පිරිස නිකායික පූජකවරුන්ගෙන් එක් පැත්තකින් දිගට ඉදිරියට වැටෙන සේ අලු රෙදි පටියක් වටා රඳවාගෙන සිටියහ. එයට අමතරව ඔවුන් අළු පාට අඟල් පහක හයක පමණ දිග කුරුසියක් ගෙල වටා පැලඳ සිටියහ. නිමල මරිය නිකායික පූජකවරුන්ගේ ආභාසය අනුව, ලංකාවේ කතෝලික පූජා ප්‍රසාදවරුන් ද සුදු ලෝගුවට අමතරව කළු පටියක් පලඳින්නට වූහ. මුලිම කතෝලික පූජකවරුන්ට පමණක් අනන්‍ය වූ මෙම කළුපටිය අද වෙනත් කිතුනු සභාවල පූජකවරුන් පලඳිති.

ශ්‍රී ලංකාව වැනි රටවල පූජකවරුන්ගේ සාමාන්‍ය ඇඳුම ලෝගුව වුවත් යුරෝපීය රටවල පූජකවරුන්ගේ සාමාන්‍ය ඇඳුම වන්නේ කළු කලිසම, සුදු කමිසය සහ කළු කෝට් එක වෙයි. (නීතිඥයින්ගේ මෙන්ම) එයට අමතරව ඔවුන්ගේ බෙල්ල වටා සුදු හතරැස් කොටුවක් වන සේ LERICAL COLLAR යනුවෙන් හැඳින්වෙන සුදු කොළරයක් සුදු කමිසයේ බෙල්ල වටා ඇත.

සාමාන්‍ය කතෝලික පූජා ප්‍රසාදිවරුන් කළු බඳපටියක් පැලඳී අතර රදගුරුවරුන් පැළඳවූයේ CINCTURE යනුවෙන් හැඳින්වෙන රතු බඳ පටියකි. පාප්තුමන් සුදු බඳපටියක් පලඳියි.

කතෝලික රාජගුරු ප්‍රසාදිවරුන්ගේ ආගමික ඇඳුම් පැලඳුම්වලට, එදා යුරෝපීය රටවල රාජකුමාරවරුන්ගේ ඇඳුමේ ආයිත්තම්වල ආභාසය බලපෑවේය.

අතීතයේ රදගුරුවරුන් හැඳින්වූයේ PRINCE OF THE CHURCH‍ යනුවෙනි.

ඔටුන්න – මකුටය MITER රදගුරු (බ්‍රිෂොප්) හිස් පලඳනාවෙන් රදගුරුතුමෙකුගේ අධිකාරිත්වය ප්‍රකට කරයි. රාජගුරු මුදුවෙන් (EPIS OPAL RING) කතෝලික සභාවේ සත්‍යභාවය ප්‍රකට කරයි. අතීතයේ බිෂොප්වරුන් නිල ලියකියවිලිවලට රාජකීය මුද්‍රාව තබන ලද්දේ මෙම මුදුවෙනි. බිෂොප් නිල ඇඳුමට අයත් යෂ්ටියෙන් (CROZIER) එfඩ්රත්වය සංකේතවත් කරයි.

මේ අතර කතෝලික පූජකවරුන්, කිසියම් ආගමික මෙහෙයක නිරතවන අවස්ථාවක කරවටා යවා උරහිස දෙපැත්තෙන් ළමයෙක් දණ හිස දක්වා වැටෙන සේ සකස් කළ ස්තෝල් STOLE යනුවෙන් හැඳින්වෙන දිගු පටියක් වැනි ආයිත්තමක් ඇත.

නත්තලට පෙර සති කීපය, කිතුනුවන් ආගමන කාලය යනුවෙන් හැඳින්වෙන අතර එම කාලයේ පලඳින ස්තෝලයේ පාට දම් පැහැය ය. අවුරුද්දේ තවත් කාලයක රතු පාටය. තවත් කාලයක කහ පාටය.

ලංකාවේ විනිශ්චයකාරවරයකු, උසාවියේ වැඩ කටයුතු කරන අතර අඳින්නේ කළු ලෝගුවක ස්වරූපයේ එකකි. මහෙස්ත්‍රාත් අධිකරණයේ විනිශ්චයකරුවකු මෙම කළු ලෝගුවට උඩින් කරවටා ළය දෙපැත්තකින් වැසෙන සේ අළුපාට සාඨකයක් වැනි පටියක් පලඳියි. මහාධිකරණයේ විනිශ්චයකාරයකු රතුපාට පටියක් පලඳියි.

ශ්‍රී ලංකාව වැනි රටවල කිතුනු පූජකවරුන් කළු ලෝගුව අත්හැර දැන් සුදු ලෝගුවට මාරුවී සිටියත් යුරෝපයේ තවමත් කළු ලෝගුව අඳින පූජකවරුන් ඇත. එවැනි පූජකවරුන් කිසියම් ආගමික මෙහෙයක් සඳහා දම්පාට, රතුපාට ස්තෝල පලඳින අවස්ථා ඇත. එය අපේ විනිශ්චයකාරවරුන්ගේ ඇඳුමට සමාන යැයි එක්වරම දකින කෙනෙකුට සිතෙනු ඇත.

කතෝලික සභා ඉතිහාසය පිළිබඳ විශේෂඥයකු වන ඇලෝයි පීරිස් ජේසු නිකායික පියතුමා පවසන්නේ මුල් කාලයේ ජේසුතුමන්ගේ ගෝලයින්ට පූජක නිල ඇඳුමක් නොතිබුණු බවය. පූජක නිල ඇඳුම පසුකාලීනව එකතුවූවකි.

එතුමා වැඩිදුරටත් පවසන්නේ මධ්‍යතන යුගයේ කිතුනු පූජකවරුන් රෝමානු අධිරාජ්‍යයේ විනිශ්චයකාර වැනි විවිධ නිලයන් දරනවිට රෝමානු අධිරාජ්‍යයේ නිල ඇඳුම් ඇඳීම ආරම්භ කළ බවය. පූජකවරුන් විනිසුරුවරුන් ලෙස කටයුතු කළ එම අවධියේ සභා නීතියත් රෝමානු නීතියත් එකක් විය. රෝමානු අධිරාජ්‍යයෙන් ලැබුණු නිල ඇඳුම මෙන්ම, එවකට රෝම ප්‍රභූන්ගේ ඇඳුම පූජකවරුන්ගේ ඇඳුම ලෙස භාවිත කළ බවය.

1962 දී පැවැත්වුණ දෙවන වතිකානු සමුළුවෙන් පසු එවැනි බොහෝ රාජකීය ඇඳුම් පූජකවරුන් අතුරෙන් ඉවත් විය. කතෝලික සභාව ප්‍රගතිශීලී ගමනකට හැරුණේ එම දෙවන වතිකානු සම්මන්ත්‍රණයෙන් පසුවය.

පීටර් කැනියුට් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment