අරුගම්බේ ලංකාවේ නගරයක් නමින් හැදෙන පළමුවෙනි ජාත්‍යන්තර චිත්‍රපටය – ජාත්‍යන්තර සිනමා අත්දැකීම් ගැන බුද්ධික කතා කරයි

208

ජාත්‍යන්තර සිනමා අත්දැකීම් ගැන බුද්ධික කතා කරයි…

ජාත්‍යන්තර සිනමා අත්දැකීම් ගැන අපි ඔබට විටින් විට කියනවා. පසුගිය කාලයෙත් එවැනි ජාත්‍යන්තර සිනමා අත්දැකීමක් ගැන අපි ඔබට කිව්වා මතක ඇති නේද? අද අපි කතාබහ කරන්නෙත් එවැනි අත්දැකීමක් ගැනයි.ඊශ්‍රායලයේ සිට ලංකාවේ සුන්දරත්වය විඳගන්න වගේම සර්ෆිං ක්‍රීඩාවේ නියැළෙන්න ආ සිනමා අධ්‍යක්‍ෂවරයෙක් අවසානයේ ආරුගම්බේ නමින් ජාත්‍යන්තර සිනමා කෘතියක් නිර්මාණය කරනු ලබනවා. චිත්‍රපටයේ නම “අරුගම්බේ” මේ සිනමා කෘතිය යුරෝපය ඇතුළු රටවල් රැසක ප්‍රදර්ශනය කිරීමට නියමිතයි. ඉතිං මේ අපූරු සිනමා නිර්මාණයට අපේ රටේ රංගන ශිල්පීන් හතර දෙනෙකුටත් දායක වීමේ භාග්‍යය උදාවුණා. නමින් සනත් ගුණතිලක, බුද්ධික ජයරත්න වගේම අශාන් ඩයස්, ඉන්දික ෆර්ඩිනැන්ඩු. අද අපේ කතානායකයා වන්නේ ඒ අපූරු ජාත්‍යන්තර සිනමා අත්දැකීම් විඳගනු ලැබූ බුද්ධික ජයරත්නය. මේ ඔහුගේ හඬයි.

● ජාත්‍යන්තර සිනමා අත්දැකීමට සම්බන්ධ වෙන්න ලැබුණේ කොහොමද?

ප්‍රේම්ස් ෆිල්ම් ඇන්ඩ් ටෙලිවිෂන් ප්‍රඩක්ෂන් කියලා ආයතනයක් තියෙනවා. ෂර්මන් ප්‍රේමසුන්දර තමයි මේ නිෂ්පාදනය ලංකාවට අරගෙන එන්නේ. ඇත්තටම ඔහුගේ මහන්සියේ ප්‍රතිඵලයක් හින්ද තමයි ආරුගම්බේ කියන ජාත්‍යන්තර සිනමා නිර්මාණය ලංකාවේ නිෂ්පාදනය කරන්න හැකි වුණේ. ඔහු මට පැවසුවා මේ සිනමා නිර්මාණයට ප්‍රධාන චරිත තුනකට ලංකාවේ රංගන ශිල්පීන් තුන්දෙනකුට රඟපාන්න අවස්ථාව උදාවෙලා තියෙනවා කියලා. ඒ වෙලාවේ ඔහු තවදුරටත් පැවසුවා. ඒ එක චරිතයකට මාවත් යෝජනා වෙලා තියෙනවා කියලා. අන්තිමේ ඔවුන් මාව තෝරාගෙන තිබුණා.

● ආරුගම්බේ සිනමා නිර්මාණයේ ඔබේ චරිතය ගැන කතා කළොත්?

ඇත්තම කිව්වොත් ලංකාවේ නගරයක් නමින් හැදෙන පළමු වැනි ජාත්‍යන්තර චිත්‍රපටය. මේ හින්දා මේ චිත්‍රපටය හරි සුවිශේෂයි. ඉතිහාසගත වෙනවා. මේක ඇත්තටම ඊශ්‍රායල් ජාතිකයන් අතින් නිර්මාණය වූවක්. ඊශ්‍රායල් ජාතිකයන් හරියට ලංකාවට කැමැතියි. ඔවුන් මුහුදුබඩ ප්‍රදේශවල ජීවත් වෙන්න තවත් ආසයි. ඒකෙනුත් ඔවුන් ආරුගම්බේ කියන ප්‍රදේශයට තවත් කැමැතියි වින් සර්ෆිං ක්‍රීඩාවේ යෙදෙන හින්දා. ඒකට එන තරුණයන් දෙදෙනෙක් සහ තරුණියක් සම්බන්ධයෙන් තමයි මේ කතාව ගොඩනැගෙන්නේ. එතැනදී ඔහු අනවශ්‍ය ගැටලුවකට මුහුණ දෙනවා. ඒක නීත්‍යනුකූලව විසඳන්න ඕනෑ ගැටලුවක්. ඒ සිද්ධිය අන්තිමේ භාර වෙන්නේ ආරුගම්බේ පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයාට. ඒ චරිතයට තමයි මම රංගනයෙන් දායක වුණේ. ඔහු අකුරට තමන්ගේ රාජකාරිය සිදු කරන නිලධාරියෙක්. ඔහු හරි මානුෂික පොලිස් නිලධාරියෙක්. ඩී. අයි. කුමාර කියන චරිතය තමයි මම රඟපෑවේ.

● මේ චිත්‍රපටය ලංකාවෙත් තිරගත වේවිද?

නිෂ්පාදක මණ්ඩලයත් සමඟ අපි ඔය ප්‍රශ්නය ඇහැව්වා. ඔවුන්ට ඒ ගැන කිසි බලපෑමක් නැහැ. ඔවුන් පවසන්නේ මේ චිත්‍රපටය ඔවුන්ට පෙන්වන්න පුළුවන් හැම තැනකම හැම රටකම හැම නගරයකම පෙන්වන්න කැමැතියි කියලා. ඉතිං ඒ අවස්ථාව අපි ගන්න ඕනෑ. ඒක ගැන තමයි මට තියෙන සැකය. මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්න ආපු වෙලාවේ මම හොඳටම දන්නවා ෂර්මන් ප්‍රේමසුන්දර මහත්තයා පුදුමාකාර දුකක් වින්දා ඒකට අවශ්‍ය විදියේ නීතිරාමුවේ වැඩ ටික කරගන්න. කොටින්ම කියනවා නම් වැඩවලට අවශ්‍ය ඩීසල් ටික හොයා ගන්නත් ලොකු මහන්සියක් දැරුවා. ඉතිං ඒ වගේ දේවල්වලට සහයෝගයක් රජයෙන් මීට වැඩිය ලැබෙන්න ඕනෑ. මේ වගේ චිත්‍රපටයක් ලංකාවේ හැදෙනවා කියන්නේ රට තුළට කොච්චර ඩොලර් ප්‍රමාණයක් ගලාගෙන එනවද?. මේ නැති වෙලාවේ ඒක හරි ක්‍රමවේදයකට බැංකුවක් හරහා ආවනම් මේ රට ඇතුළට නේද මේ ඩොලර් ටික ලැබෙන්නේ. රටේ ප්‍රශ්නයට යම්කිසි විසඳුමක් නේද? මේ වගේ තව කීයක් නිර්මාණ අපිට ලංකාවට ගේන්න පුළුවන්ද? අනික අපි අපේ පම්පෝරිය ගහගහ ඉන්නවා ඇරෙන්න අපේ රටේ ලස්සන පාවිච්චි කරපු තැන් මොනවද? ඒක මම සිනමා නිර්මාණයෙන් හොඳටම අත්වින්දා. ඒ හින්දා මම විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා ෂර්මන් ප්‍රේමසුන්දර මහත්මයාට ඒ සියලු අභියෝග ජයගෙන මේක යථාර්ථයක් බවට පත්කිරීම ගැන. ඒ හින්දා තමයි අපි හැමෝටම මේ නිර්මාණයේ වැඩ කරන්න ලැබුණේ.

● මේ සිනමා නිර්මාණයේ ඔබත් සමඟ වැඩකළ අනෙක් නළු නිළියන් ගැන කතාකළොත්?

මාත් එක්ක අශාන් ඩයස්, සනත් ගුණතිලක වගේම ඉන්දික ෆර්ඩිනැන්ඩු ඇතුළු සුළු චරිත කිහිපයකට ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙක් සම්බන්ධ වුණා. ඔවුන්ගේ චරිතවලට අමතරව ලොකු ධාවන කාලයක් තිබෙන චරිත තමයි අපිට ලැබුණේ.

අරුගම්බේ ලංකාවේ නගරයක් නමින් හැදෙන පළමුවෙනි ජාත්‍යන්තර චිත්‍රපටය - ජාත්‍යන්තර සිනමා අත්දැකීම් ගැන බුද්ධික කතා කරයි

● විදේශීය අධ්‍යක්‍ෂවරයෙක් නිෂ්පාදක කණ්ඩායමක් වගේම නළු නිළියන් පිරිසක් සමඟ වැඩ කිරීම අභියෝගයක් වුණේ නැතිද?

අභියෝගයක් කියලා මුලින් හිතුවා. නමුත් ඒක බොහොම ලස්සනට සිද්ධ වුණා. මාර්කෝ තාමන් කියන අධ්‍යක්‍ෂවරයා සහ දෙවැනි අධ්‍යක්‍ෂවරයා වුණේ මෝෂ් කියන කාන්තාව. ඔවුන් අපිව තේරුම් ගන්න විදිහ සහ අපිව මෙහෙයවපු විදිහ සහ ඇති කරගත්තා වූ සුහදතාව ගැන ලොකු අත්දැකීමක් ලැබුවා. ඔවුන්ගේ නිර්මාණය තුළ ඔවුන් පිළිගන්නවා ඔවුන්ගේ මාධ්‍ය සිනමාව වුණාට ඔවුන්ගේ වාහකයා නළුවා කියලා. ඒක අපි හොඳටම තේරුම් ගත්තා. රංගන ශිල්පියාට අවශ්‍ය කරන මානසික වටපිටාව ඔවුන් හදලා දෙනවා. කිසි විටෙකත් ශාරීරික හෝ මානසික අපහසුතාවක් අපිට ඇති කරන්නේ නැහැ.

කොච්චර කාලයක් රූගත කිරීම් සිදු කළාද?

දවස් 20ක් 25ක් පමණ රූගත කිරීම් සිදු කළා. ඔවුන්ට තව දවස් හතරක් නැතිනම් පහක් ඊශ්‍රායලයේ රූගත කිරීම් සිදු කිරීමට තිබෙනවා.

අන්තර් ජාතික සිනමා සම්මාන උළෙලේදී ඔබේ නමත් ඉදිරියේදී නිර්දේශ වෙන්න බැරි කමක් නැහැ නේද?

වෙළෙඳපොළ විදේශීය වෙන්න පුළුවන්. මොකද අපේ භාෂාව සිනමාව. මගේ රැකියාව රංගනය එතැනදී මට වෙළෙඳපොළ ගැන අදාළ වෙන්නේ නැහැ. නමුත් මගේ අයිතිය තියෙන්නේ ශ්‍රී ලංකාවට.

හදිසියේවත් විදේශීය සම්මාන උළෙලකදී ඔබේ නම නිර්දේශ වුණොත්?

උඩ පනින්න තරම් සන්තෝෂයක් ඒවි. මේ වන විට ඒක බොහොම ඉක්මනට විඳ දරාගෙන ඒක සාමාන්‍යකරණය කරන්න පුළුවන් වයසක මම ඉන්නේ.

ලංකාවේ රූගත කිරීම් ගැන කතා කළොත්?

මෙහෙමයි ඇත්තටම මම සම්බන්ධ වුණු චිත්‍රපට හතරක් තියෙනවා. ඒකෙන් තව චිත්‍රපට දෙකක් තියෙනවා තිරගත වෙන්න. ඒකෙන් සුවිශේෂීම චිත්‍රපටය තමයි ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ මිදුණු විශ්වය චිත්‍රපටය ඒක තමයි මම හිතන්නෙ මට දැනෙන විදිහට හා දැකපු කට්ටිය කියන විදිහට මගේ ටර්නින් පොයින්ට් එකක්. ඒක මගේ සිනමා ජීවිතයේ සුවිශේෂී හැරවුම් ලක්‍ෂ්‍යයක්ම තමයි. මේ චිත්‍රපටය අවුරුද්දක් එකහමාරක් තිස්සේ ලෑස්තියි තිරගත කරන්න. කොරෝනා සහ ආර්ථික උවදුර නිසා කල්ගියා තිරගත වීම. ඊට අමතරව මම ඉඳලා හිටලා ටෙලි නාට්‍යයකට දෙකකට සම්බන්ධ වෙනවා. මොකද ටෙලිනාට්‍ය තුළ මම සිටිය යුතුයි කියන තැන මම ඉන්නවා. මොකද මේක නොකර ඉන්න බැහැ. මේක එක අතකට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණා වගේ වැඩක්. මේක අතහරින්න බැහැ. අබිං කෑවා වගේ වැඩක්. මැරෙනකම් රඟපානවා.

අරුගම්බේ ලංකාවේ නගරයක් නමින් හැදෙන පළමුවෙනි ජාත්‍යන්තර චිත්‍රපටය - ජාත්‍යන්තර සිනමා අත්දැකීම් ගැන බුද්ධික කතා කරයි

● ඔබේ ඉදිරි වැඩ මොනවද?

වැඩ කටයුතු ගොඩක් තියෙනවා. නමුත් ඒවා කොයි ආකාරයෙන් කොයි විදිහට එළිදක්වන්න පුළුවන් වේවිද කියන්න වත් දන්නේ නැහැ. මොකද ඔක්කොටම කලින් අපි ආර්ථිකමය ප්‍රශ්න රාශියකට මේ වෙනකොට මුහුණ දෙනවා. ක්‍ෂේත්‍රයක් හැටියට කලාවේ ලොකු අවුලක් තියෙනවා. හැකි ඉක්මනින් මේවා යථා තත්ත්වයට පත් වුණොත් අපිට ඉස්සරහට වැඩ ගොඩකඩ අත තියන්න පුළුවන් වේවි කියලා විශ්වාස කරනවා.

● නළුවෙක් විදිහට වර්තමාන අර්බුදයට කොහොමද මුහුණ දෙන්නේ?

වෘත්තීය නළුවෙක් විදිහට අපිටත් මේ අර්බුදයට මුහුණ දෙන්න බැහැ. අපි වෘත්තීය නළුවෝ කිව්වට අපිට වෘත්තීයමය භාවයක් මේක ඇතුළේ නැහැ. අඩුම ගානේ අපිට සභාපති කෙනෙක් ඉන්නවද? අපිට ලොක්කෙක් ඉන්නවද? අපි වෙනුවෙන් පෙනී සිටින්න කෙනෙක් ඉන්නවාද? අපිට ස්ථිර වැටුපක් තියෙනවාද? අපිට පඩි වැඩිවීම් තිබෙනවාද අපිට ඊ. පී. එෆ්, ඊටීඑෆ් තියෙනවාද?

අපිට මෙඩිකල් කවර් එකක් තියෙනවාද? ඒ කිසිම දෙයක් නැහැ. ඒ වගේම අපි බෝඩ් අල්ලාගෙන පිකටින් කරන්නෙත් නැහැ. එහෙව් බොහොම අහිංසක වෘත්තිකයෝ කණ්ඩායමක් තමයි කලාකරුවෝ. ඒ වගේම ක්‍රීඩකයෝ. කලාව ක්‍රීඩාව නැති රටක බිහි වෙන්නේ උන්මත්තකයෝ. මට හිතාගන්න බැරි ඇයි මේ කලාවට කිසිම රාජ්‍ය හෝ පෞද්ගලික මට්ටමෙන් මේක නඟාසිටුවන්න යමක් කවුරුත් නොකරන්නේ කියලා. කිසිම කෙනෙක් සමස්ත කලාවට මොනවත් කරලා නැහැ. ඒ ඛේදවාචකයට අපි මුහුණ දෙනවා. ඒක වෙන්නැත්තේ ඇයිද කියන්න මටත් තේරෙන්නේ නැහැ. ලංකාවේ සිනමාව වගේ දේවල් මුලින් අතුගා දැමීමේ ව්‍යාපෘතියක් තියෙනවා කියලයි මට හිතෙන්නේ. එහෙම වුවමනාවක් කාටහරි තියෙනවාද කියලත් වෙලාවකට හිතෙනවා.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment