අරුණෝදයේ මිනිසුන්ගේ අල්බෝරාදා

215

නෙරුදා ගේ කවිත්වය ද අභිබවා නැගී සිටින ඔහු ගේ බලහත්කාර රමණයේ කතාව පිළිබඳව මේ වන විට ගොඩනැගී ඇති සාහිත්‍යමය සහ සිනමා අවකාශය සඳහා එකතු වන මෙම වියමන, නෙරුදා ගේ සහ මළ බාල්දි උසුලන්නිය ගේ රමණය පිළිබඳව තවදුරටත් හෙළිදරව් කිරීමකි. මහාචාර්ය සරත් චන්ද්‍රජීව ලියූ මෙහි පළමු කොටස පසුගිය සතියේ අකුරු දිගේ පළවිය. අද පළවන කොටස සමග පළවන කවි කිහිපය ඉන්ද්‍රාණි රත්නසේකර, ස්පාඤ්ඤ බසින් සිංහලට නගන ලද්දකි.

විමර්ශනය

1970 දශකයේ අංක 45, හෝර්ටන් පෙදෙස කොළඹ 07 පිහිටි රජයේ කලා හා කලා ශිල්ප විද්‍යාලයට වැසිකිළි පවිත‍්‍ර කිරීම සඳහා පැමිණියේ පියා මව සහ පුතෙකුගෙන් සමන්විත පවුලක්. ඔවුන් අයත්වූ පහළ කුලයේ යයි සම්මත ජන කණ්ඩායම ජීවත් වූයේ වැල්ලවත්ත සහ බම්බලපිටිය අතර මුහුදු වෙරළ තීරයේ (බම්බලවත්ත). පර්යේෂකයා මෙහි සඳහන් වන පළමු තොරතුරු දැනගන්නා ලද්දේ 1975 වසරේදීය. එනම් සිදුවීමෙන් අවුරුදු 45කට පසුවයි. පසුගිය වකවානුවේ මෙයට අදාළව විටින් විට එකතු කරන ලද තොරතුරු සහ කතන්දර විමර්ශනය කිරීමේදී ඒවා පැබ්ලෝ නෙරූදාගේ ඉහත ප‍්‍රකාශනයට ආරෝපණය වෙනවා.

හඳුනා නොගත් මානසික ව්‍යාධියකින් පෙළුණ (අයිඩියෝපැතික් සයිකලොජිකල් ඩිස් ඕඩර්) ‘සක්කිලි කුලයේ’ (නෙරූදා කියන්නේ ‘පරයා කුලය’ කියලයි) ආකර්ෂණීයවූ වයස අවුරුදු 18 ක පවුලේ වැඩිමහල් ගැහැනු ළමයෙක් පියා ගේ අසනීප තත්ත්වය නිසා වැල්ලවත්ත පෙදෙසේ යටත් විජිත නිලධාරියෙකුගේ වැසිකිළි සුද්ද කිරීමට යවා තිබෙනවා. මෙම ජන කණ්ඩායම තරුණ ගැහැනු ළමයි වැසිකිළි සේදීමට යවන්නේ නැහැ. විවාහක ගැහැනු සහ පිරිමි මෙම රැකියාව කර තිබෙනවා. නිවෙස් හිමියන් වැසිකිළි පිරිසිදු කිරීමේ දීමනාව ලෙස හිස් බෙලෙක්කයකට කාසි කිහිපයක් දමා වැසිකිළි පඩි පෙළ මත තබා තිබීම එකල සිරිතයි.

1930 එක් දිනක්, හිමිදිරි පාන්දර වැසිකිළිය සුද්ද කිරීමට යාමේදී මෙම තරුණිය නිවෙස් හිමියා විසින් ලිංගිකව අපහරණය කර තිබෙනවා. තරුණියගේ රැහේ ඥාති සහෝදරයෙකු මෙයින් කිපී සුදු ජාතික බංගලා හිමියා වැල්ලවත්තේ සිට ගල්කිස්ස දෙසට උදෑසන ව්‍යායාම සඳහා ඇවිද යාමේදී පුවක් කපන පිහියක් අමෝරාගෙන පහර දීමට පැමිණ තිබෙනවා.

මේ වෙලාවේ නිලධාරියාට පිටුපසින් පැමිණි ඔහුගේ ශරීර ආරක්ෂකයා හෝ නිවස බලා ගන්නා පුද්ගලයා තරුණයාට ප‍්‍රති ප‍්‍රහාර එල්ල කර මැඩපවත්වා තිබෙනවා. මේ ප‍්‍රහාරයෙන් තරුණයා පිටකොන්ද බිඳී සිහිසුන්ව ඇද වැටී තිබෙනවා. මේ ආරක්ෂකයා දකුණු පළාතෙන් පැමිණි ශක්තිමත් නිර්භීත පුද්ගලයෙක් ලෙසයි අනිත් අය හඳුන්වා තිබෙන්නේ. ඒ වගේම ඔහුට කියා තිබෙන්නේ ‘මහකළු සිංහලයා’ කියලයි. ප‍්‍රහාරය නිසා කුල හීන තරුණයා තුනටියෙන් පහළ අප‍්‍රාණිකව සිය ඉතිරි ජීවිත කාලයම ගත කර තිබෙන්නේ ඇඳක් මතයි. බොහෝ දුරට අනුමාන වශයෙන් නෙරූදාගේ පොතේ සඳහන් වන ‘බුරම්පි’ මෙම මහකළු සිංහලයා විය හැකියි. නෙරූදා මෙරටින් යන විට මේ මිනිසා ද රැගෙන ගොස් තිබෙනවා.

තරුණියගේ දෙමව්පියන් ඇය මහලු පුරුෂයෙකුට විවාහ කරදී ඇත්තේ ඇය කන්‍යාභාවය නැතිකරගත් තරුණියක නිසයි. ඉතා කෙටි කලකදී තරුණිය විවාහ කරගත් මහලු පුරුෂයා මරණයට පත්ව තිබෙනවා. ඔහුගේ මරණයට හේතුව මත්පැන් විෂ වීම. හැඩකාර තරුණ බිරිඳක් ලැබීමේ අධික සතුට හෝ අධික දුකට පත්වීම ප‍්‍රමාණය ඉක්මවා බීමත්කමට පෙලඹවීමට හේතුවී තිබෙන බව බොහෝ දුරට අනුමාන කළ හැකියි.

මෙම කුලයේ මිනිසුන් මත්පැන් වෙනුවට පාවිච්චි කර තිබෙන්නේ වයින් ස්ප‍්‍රීතුවලට දෙහි ගෙඩි මිරිකා යුෂ මිශ‍්‍ර කිරීමෙන්. මෙම ජනයා අතර තරුණිය අවාසනාවන්ත හා අසුභ වෙලාවක උත්පත්තිය ලද කෙනෙක් හැටියට මතයක් පැතිර තිබෙනවා. ඉඟටියෙන් පහළ අප‍්‍රාණිකවූ තරුණයාගේ දෙමව්පියන් සහ ඥාතීන් ද චෝදනා නගා ඇත්තේ තරුණියටයි. මහලු ස්වාමිපුරුෂයා ගේ සිරුර දර ගොඩක් මත තබා ආදාහනය කරද්දි ගිනි ගොඩ තුළට දුවගොස් ඇය සියදිවි නසාගෙන තිබෙනවා. රැහේ ඇතැම් අය කියන්නේ එය ‘සති පූජාවක්’ ලෙසයි. තවත් අය කියා තිබෙන්නේ ගිනි ගොඩට පැනීමට ඇගේ නෑයන් ඇය පෙලඹවූ බවයි. ඛේදවාචකය නම් ඇය ගිනි ගොඩට පැන ඇත්තේ ඇගේ නූපන් දරුවා ද සමගය. සති පූජාව කළ වැන්දඹුවක් දේවත්වයට පත්වන බව ඔවුන්ගේ විශ්වාසයයි. එමෙන්ම වැන්දඹුවක් සතිපූජාව කළ පසු ඇයගේ නම කටවචනයෙන් නැවත පැවසීම නොකළ යුතු අතර මනුෂ්‍ය දුවක් ලෙස ඇයට දමා තිබූ නම අමතක කර දැමීම ද මෙම කුලයේ අය අතර තිබෙන චාරිත‍්‍රයක් වෙනවා.

යටත් විජිත පරිපාලනය තුළ මෙම ජනයා ඉන්දියාවෙන් ලංකාවට ගෙනවිත් තිබෙන්නේ කොළඹ නගරයේ වැසිකිළි පවිත‍්‍රතා කටයුතු සඳහා. කොළඹ වෙරළබඩ තීරයේ ජීවත්වූ ඔවුන් නාගරික සංවර්ධන ප‍්‍රසාරණය, 1976 නොබැඳි ජාතීන්ගේ සමුළුව හා වෙරළ සංරක්ෂණ කටයුතු නිසා පසු කලෙක මුහුදු වෙරළින් පෑලියගොඩ හා වත්තල අතර තෙත් බිම්වලට සංක‍්‍රමණය කර තිබෙනවා. ඔවුන්ගේ මුල් ඥාති කණ්ඩායම ගෙනවිත් තිබෙන්නේ ඉන්දියාවේ ආන්ද්‍රා ප‍්‍රදේශයෙන්. ඔවුන්ගේ භාෂාව හඳුන්වන්නේ ‘තෙළිඟු භාෂාව’ හෝ ‘ආන්ද්‍රා දෙමළ’ භාෂාව වශයෙනුයි. බොහෝ සිංහල අය මෙම භාෂාව හඳුන්වන්නේ ‘අන්ඩර දෙමළ’ නමින්. මෙම ජන කණ්ඩායම ඉතාමත් දුප්පත් කිසිදු පහසුකමක් නැති මිනිසුන්ට ජීවත් වීමට තරම් නොවන පැල්පත් වාසීන්ය.

මෙම මිනිසුන් ඇල්ලීම හෝ ඔවුන් ඇල්ලු දෙයක් ඇල්ලීම නොකළ යුත්තක් සේත් ඔවුන් මූණට මුණ ගැසීම අසුභ නිමිත්තක් ලෙසත් කුලවතුන් විශ්වාස කර තිබෙනවා. මෙම ජන කණ්ඩායමේ සිටි දැනුම් තේරුම්කමක් සහිත මිනිසුන්, ඔවුන්ව හඳුන්වා දෙන්නේ ‘අරුන්දතියර්’ හෙවත් ‘අරුණෝදයේ මිනිසුන්’ ලෙසයි. 13

පැබ්ලෝ නෙරූදා (1904 -1973)

ජාත්‍යන්තර ගෞරවයට පාත‍්‍ර වූ ලතින් ඇමරිකානු කවි පැබ්ලෝ නෙරූදා උපත ලද්දේ චිලියේ පරාල් හී 1904 ජූලි 12 වැනි දිනය. ඔහුගේ මුල් නාමය වන්නේ නෙෆ්ටලි රිකාඩෝ රේයස් බසෝල්ටෝය. පැබ්ලෝ නෙරූදා යනු ඔහුගේ ලේඛක අන්වර්ථ නාමය වන අතර ඔහු නීති ප‍්‍රකාරව මෙම නාමය, තමාගේ නීතිමය නාමය ලෙස 1946 දි වෙනස් කරගෙන තිබෙනවා. දුම්රියපළක රාජකාරිය කළ ඔහු ගේ පියාගේ නාමය හොසේ ඩෙල් කාර්මෙන් රේයස් වන අතර ඔහුගේ මව රෝසා බසෝල්ටෝය. පැබ්ලෝ නෙරූදාගේ උපත සිදුවී මසක් ඇතුළත මව මියගොස් තිබෙනවා. 1910 දී නෙරූදා ටෙමුකෝ පිරිමි පාසැලට ඇතුළත් කර තිබෙන අතර ද්විතියික පාසැල් අධ්‍යාපනය නිම කළේ එම පාසැලේම 1920 දීය. ඔහු කියවීමට ඉතා රුචි කෙනෙක් වූ අතර, වඩ වඩාත් කියවීමට ඔහු උනන්දු කළේ ටෙමුකෝ ගැහැණු පාසැලේ විදුහල්පතිනියව සිටි ගේබි‍්‍රයෙලා මිස්ට‍්‍රල් (1889-1957) විසිනි. මැය ද කුසලතා පූර්ණ කිවිඳියක් වූ අතර පසු කලකදී ඇය ද සම්මානනීය නොබෙල් ත්‍යාග ලාභිනියක් වූවාය.

1927 සිට 1945 දක්වා ඔහු චිලී තානාපති ලෙස රැන්ගූන්, ලංකාව සහ බාර්සිලෝනා යන රටවල සේවය කළ අතර නොනවත්වාම ලේඛන කටයුතුවල ද ඒ අතර යෙදී තිබුණා. එකල බතාවියා, වර්තමානයේ ඉන්දුනීසියාවේ තානාපති ලෙස සේවය කළ කාලයේ ඔහු ලන්දේසි කාන්තාවක වන ඇන්ටෝනියෙටා හැගෙනාර් හා පේ‍්‍රමයෙන් බැඳී විවාහවී තිබෙනවා. 1935 දී තම බිරිඳගෙන් නෙරූදා වෙන් වූ අතර ඩෙලියා ඩෙල් කැරිල් නම් තරුණ ආර්ජෙන්ටිනා කාන්තාවක හමුවීමෙන් පසු ඇය ඔහුගේ දෙවැනි බිරිඳ වුණා. නෙරූදා ඇයව ද 1950 දශකයේ දික්කසාද කළ අතර. 1966 දී ඔහුගේ තෙවැනි බිරිඳ වූ මැටිල්ඩෙ උර්රුෂියා සර්ඩා සමග විවාහ වී තිබෙනවා, 1973 දී නෙරූදා මිය යන තෙක්ම ඇය ඔහු සමග ජීවත් වී තිබෙනවා. ඔහුගේ එකම දියණිය වූ මල්වා මරීනා රේයස් 1934 දී මැඞ්රිඞ් නුවර උපත ලද අතර 1943 දී වයස අවුරුදු නවයක් වූ ඇය මියගොස් තිබෙනවා. නෙරූදා ඇය ගැන නොසලකා ඇය අත් හැරි හෙයින් ඇයගේ කෙටි ජීවිත කාලය ඇය ගත කළේ ඇය හදා වඩා ගත් නෙදර්ලන්ත පවුලක් සමගයි. මේ හේතු කොටගෙන ඇයගේ මව හට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් කුමන හෝ රැකියාවක් කිරීමට සිදුවිය. බොහෝ බරපතල සෞඛ්‍ය ගැටලු සහිතව, මෙම දරුවා විශේෂයෙන් උපතේදී ඇතිවන සාංකූලතා හේතුකොටගෙන ආබාධ තත්වයකින් පෙලී තිබෙනවා

නෙරූදා කවියෙකු සතු ලක්ෂණ පහළ කරන්නේ ඔහුගේ අවුරුදු 13 දී. වෙනස් ශෛලින්ගෙන් යුත් ඔහුගේ නිර්මාණාත්මක ලියවිලි අතර අධිතාත්විකවාදී කවි, ඓතිහාසික මහා කාව්‍යයන්, ගද්‍ය ස්වයංචරිතාපදාන, දේශපාලන ප‍්‍රකාශන හා ‘කන්ටි‍්‍ර ලව් විත් ට්වෙන්ටි ලව් පොයම්ස්’ සහ ‘සෝං ඔෆ් ඩිස්පෙයා’ වැනි සරාගි පේ‍්‍රම කවි මෙන්ම අනපේක්ෂිතතාවයේ ගීත ද රචනා කර තිබෙනවා. කොලොම්බියානු ගත්කරු ගේබ්‍්‍රයෙලා ගාර්ෂියා මාර්කේෂ් :1927-2014) වරක් නෙරූදාව හැඳින්වුයේ ‘20 වන ශත වර්ෂයේ විශිෂ්ටතම කවියා’ ලෙසය. ඔහුගේ ජිවිත කාලය පුරාම ඔහු ලෝක පූජිත සංකේතයක් වූ අතර චිලි ජාතික කවියෙකු ලෙසත්, රාජ්‍යතාන්ත‍්‍රකයෙකු ලෙසත්, කොමියුනිස්ට්වාදී දේශපාලනඥයෙකු ලෙසත් ක‍්‍රියාකාරී චරිතයක් විය.

පැබ්ලෝ නෙරූදා විශාල වශයෙන් ස්පාක්‍ඳ්ක්‍ඳ සිවිල් යුද්ධයේ සිදුවීම්වලින් ආභාසය ලබා ගෙන තිබුණා. 1945 දී ඔහු සෙනෙට් සභිකයෙක් ලෙස තේරී පත් වුණා. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ඔහු චිලි රාජ්‍යයේ කොමියුනිස්ට් පක්‍ෂයට බැඳී තිබෙනවා. අවුරුදු දෙකකට පසු ඔහු සෙනෙට් සභිකත්වයෙන් පහ කෙරුණු අතර ජනාධිපති ගබ්‍්‍රයෙල් ගොන්සාල්වෙස් විඬේලා (1889-1980) විසින් ඔහු අත් අඩංගුවට ගන්නා ලෙසට අණ කෙරුණා. ඉන්පසු සැඟවී ජිවත් වූ නෙරූදා 1948 දී අශ්වයෙකු පිට නැගී අන්ඩිස් කඳු තරණය කරමින් චිලි රාජ්‍යයෙන් පලා ගොස් තිබෙනවා. මෙම කාලය අතරතුර ඔහු සෝවියට් දේශය, බටහිර යුරෝපා කොමියුනිස්ට් රාජ්‍යයන් සහ තවත් නොයෙකුත් රටවල්වල සංචාරය කළ අතර 1970 සිට 1973 දක්වා අයියන්දේගේ රාජ්‍ය යටතේ පැරිසියේ චිලි රාජ්‍ය තානාපති ලෙස ඔහු සේවය කර තිබෙනවා.

එතැන් සිට ඔහු කවිත්වය සැලකුවේ ඉතා උසස් පරිශීලනයක් ලෙස නොව සරල මිනිසුන් හට ආමන්ත‍්‍රණය කරන මානවවාදී එක්සත්කමේ ප‍්‍රකාශයක් ලෙසයි. ‘කැන්ටෝ ජෙනරල්’ කාව්‍ය සංග‍්‍රහයේ එක් කොටසක් වන ‘ද හයිට්ස් ඔෆ් මචූ පිචූ’ නැමැති කවිය නැතෑනියල් ටාර්න් විසින් පරිවර්තනය කර තිබෙනවා. මෙම කවිය ප‍්‍රමාණයෙන් දීර්ඝ කාව්‍යයක් වෙනවා. ලතින් ඇමරිකාවේ ඉතිහාසය සොයා යන ගමන හා එහි භූ දර්ශනයේ ඓයිශ්චර්යය මෙම කවියෙන් ජනනය කරනවා. එමෙන්ම දේශපාලනික මත වාදයක් ද මෙහි හඳුන්වා දී තිබෙනවා. ජීවිතයේ සෑම කාලයකදීම බොහෝ ඵලදායි කවියෙකු වූ ඔහු 50 වන සහ 60 වන දශක පුරා කවි ලියා තිබෙනවා. 1950 දී ඔහුට ජාත්‍යන්තර සාම ත්‍යාගය ද, 1953 දී ලෙනින් සාම ත්‍යාගය ද, 1971 දී කවිත්වය සඳහා නොබෙල් ත්‍යාගය ද හිමි වුණා.

ප‍්‍රජාතන්ත‍්‍රවාදීව පත්වූ ජනාධිපති සැල්වදෝර් අයියෙන්දේගේ (1908-1973) මාක්ස්වාදී සමාජවාදී ආණ්ඩුව 1973 සැප්තැම්බර් 11 වනදා පෙරළා චිලි යුද හමුදාව කුමන්ත‍්‍රණයකින් රාජ්‍ය බලය පැහැරගත්තා. කුමන්ත‍්‍රණය මෙහෙය වූයේ යුද හමුදා ජෙනරල් ඔගස්ටෝ පිනෝචෙ (1915-2006). නෙරූදා මේ අවස්ථාවේ සන්තියාගෝහි රෝහලක පුරස්ථති ග‍්‍රන්ත පිළිකාවක් ඉවත් කිරීමේ ශල්‍යකර්මයකට භාජනය වී සිටියා. කුමන්ත‍්‍රණයෙන් දින 12ට පසු එනම් 1973 අවුරුද්දෙ සැප්තැම්බර් 23 වනදා ඔහු මිය ගොස් තිබෙනවා. හෘදයාබාධයකින් මියයෑම හා මිලිටරි ජුන්ටාවේ කුමන්ත‍්‍රණයකින් විෂ එන්නත් කිරීම යනුවෙන් අවසන් තීරණයක් නැති මත ඔහුගේ මරණය සම්බන්ධයෙන් පළවී තිබෙනවා. හමුදා කුමන්ත‍්‍රණයෙන් පසු රැස්වීම් පෙළපාළි තහනම් කර තිබියදී හා දහස් ගණනක් අත්අඩංගුවට ගෙන තිබියදී ලක්ෂසංඛ්‍යාත චිලි ජනයා ඔහුගේ දේහය නිවසේ සිට කනත්ත දක්වා උද්වේගකර පෙරහැරකින් රැගෙන ගොස් තිබෙන්නේ හමුදාව අකර්මණ්‍ය කරමින්. බොහෝ විට නෙරූදා සැලකෙන්නේ චිලී රාජ්‍යයේ ජාතික කවියා ලෙසයි. ඔහුගේ කවි ලෝකය පුරා බොහෝ ජනප‍්‍රීය හා බලපෑම් ඇති කරනා කවි බවට පත් වි තිබෙනවා.14

කාන්තා අයිතිවාසිකම් කඩකිරීම හා ලිංගික හිංසන

2018 නොවැම්බර් මාසයේ චිලි පාර්ලිමේන්තුවේ පහළ මණ්ත‍්‍රණ සභාවේ සංස්කෘතික කමිටුවල සන්තියාගො ප‍්‍රධාන ගුවන්තොටුපළ පැබ්ලෝ නෙරූදාගේ නමින් නම් කිරීමට එරෙහිව කාන්තා අයිතිවාසිකම් හා මානව හිමිකම් පිළිබඳ සංවිධාන උද්ඝෝෂණයක නිරත වුණා. ඔහුට එසේ ගරු නොකළ යුතු බව විවිධ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ සංවිධාන ඉල්ලා සිටියා. නෙරුදා විසින් ලියන ලද සටහන් කියවමින් 1925 දී ඔහු ගේ විදේශ කටයුතු කාර්ය මණ්ඩලයේ කාන්තාවන් ඔහු විසින් දූෂණය කළ බවට එහිදී චෝදනා එල්ල කර තිබෙනවා.15

කාන්තාවන් පිළිබඳ නෙරූදාගෙ දෘෂ්ටිය ගවේෂණය කරන පර්යේෂණ පත‍්‍රිකා ද, මනෝ විශ්ලේෂණ ද, ලිපි ලේඛන ද මේ වන විට නිකුත් වෙමින් තිබෙනවා.16 පුරුෂෝත්තමවාදී දෘෂ්ටියකින් ඔහු කාන්තාවන් දැකීම මෙවායින් විවරණය කෙරෙනවා. කාන්තාවන් යනු ‘බඩුවක්’ ‘කෑල්ලක්’යනුවෙන් සමකාලීන මෙරට සමාජය ද භාවිත වන වචන සමග එකල ඔහුගේ දෘෂ්ටිය සම වෙනවා. ඔහු කාන්තාවන් දකින්නේ වාස්තවීකරණ දෘෂ්ටියකින් නැතිනම් අභ්‍යන්තරය නොසලකා හරින ආකෘතිය පමණක් සලකා බලන දෘෂ්ටියෙන් බව නෙරූදාගේ ‘කෝට්ලි ලව් ඉන් ට්වෙන්ටි ලව් පොයම්ස්’ පිළිබඳ විශේෂ නිරීක්ෂණයක යෙදෙමින් අරීබා තයියබ් පර්යේෂණාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කරනවා.17

චිලියේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ මානව හිමිකම් සහ ලිංගික හිංසනවලට එරෙහි විරෝධතා උද්ඝෝෂණ ව්‍යාපාරයක් අතරතුර එහි කි‍්‍රයාකාරී ශිෂ්‍ය ‘කාරන් වෙර්ගරා සැන්චෙස්’ කියා ඇත්තේ ‘‘ගුවන් තොටුපල නැවත නම් කිරීමට පැහැදිලි හේතුවක් නැත. මෙය කිරීමට සැරසෙන්නේ කාන්තාවන් තමන් අනිසි ලෙස හාවිත කරන්නන් ප‍්‍රතික්ෂේප කරනා වේලාවකය. නෙරූදා පිළිබඳ තිබූ විශ්වාසයේ ගුප්ත බව නැති කිරීමට අප පටන් ගෙන තිබෙනවා. මන්ද අප ඉතාමත් මෑතකදී මෙම දූෂණ සංස්කෘතිය ප‍්‍රශ්න කිරීම ආරම්භ කර තිබෙනවා”18 නෙරූදා නැවත සොයා යෑමේදී සාමය සහ යුක්තිය වෙනුවෙන් නෙරූදාට ප‍්‍රදානය කර ඇති ජාත්‍යන්තර සම්මාන සඳහා තවදුරටත් ඔහු සුදුස්සෙක් දැයි ප‍්‍රශ්න කෙරෙනවා. ඒ වගේම කලා කෘති සහ කලාකරුවාගේ සැබෑ ජීවිතය යනු එකක්ද නැතිනම් දෙකක්දැයි නෙරූදා හරහා ප‍්‍රශ්න කෙරෙන අතර ඒ සඳහා නෙරූදාගේම කවි සහ ලේඛන යොදාගැනීම දෛවෝපගතයි.

‘‘ඔබ මගෙන් ඇසුවහොත් මාගේ කවිය කුමක්ද කියා
මට කීමට තිබෙන්නේ එය මා නොදන්නා බවයි
නමුත් ඔබ මාගේ කවියෙන් ඇසුවහොත්
මා කව්දැයි ඇය ඔබට කියාවි’’
(පැබ්ලෝ නෙරූදා 1943)

ලංකාවෙන් ගෙන ගිය ”තේ” පැකට්ටුවක් අල්මාරියේ කොනක තිබී
අහම්බෙන් හමුවූ විට ”තේ පානයට උපහාර” ඔහු ලියූ කව

අලි වෙසෙනා බිමේ උපන්
තේ කොළ ග‍්‍රහලෝක වගෙයි
නැත සුවඳේ සීමාවක්
පූජනීය බවක් හැෙඟයි

මා ගත සිත සුවපත් කළ
නැවුම් රසැති තේ පානය
ඔබ වෙනුවෙන් මා හද තුළ
කවි වැල් එතෙනවා වගේ…

අහිමිව ගිය ඔබෙ සුවඳත්
මල් පෙති නෙත් දුන් සුවඳත්
සමන් පිච්ච සුවඳ මුසුව
මගෙ කුටියට හමා ඇවිත්

1957 දී නෙරුඩා යළි ලංකාවට පැමිණෙනවා

සයුරු රැල්ලේ රන් පලස් මත
යළිත් එන්නෙමි ඔබ සොයාගෙන
සිහින් වැස්සට වැටෙන වැහිපොද
නොපෙනෙනා හිමිදිරි උදෑසන

නෙරුඩා තමාගේ දෙවැනි ලංකා ගමනය
කවියට නඟන්නේ එලෙසින්.

නෙරුඩා විසින් සිරිලක නම රැන්දූ ‘සිලෝන් ටී’ නාමය ගැන ද
Oda a la Caja del te නමින් ලියූ කවි පෙළ

පිත්තල බඳුනක ඇසිරූ – සෙයිලාන් තේ ලොව පසිඳු
සිහිපත් කර දෙයි නුඹ මට – සීතල මෝසම් වැහිබිඳු
පැද්දෙන විට නැව් ගමනේ – සෙයිලාන් තේ සුවඳ දැනේ
ඔබ වෙනුවෙන් මහද කොනේ – ගී පදවැල් ගෙතෙනු දැනේ
අහිමිව ගිය සුවඳ නුඹේ – පිච්ච සුවඳ සමග එතී
මද සුළගේ පාව ඒවි – මගෙ කුටියට ‘වසන්තයෙ’

මගේ වාසය වෙනස් වී ඇත – එකම පොළොවේ වෙනස් දේසෙක
ලවණ මුසු වූ සුළඟ නටනා – සුසුදු දිය රැළි නිබඳ ගැටෙනා
වෙරළ අසබඩ රැඳුණු පියසෙක
තේජසින් පිරි හිරු උදා වී – විසුළ රන් කෙස් පිරි හිසක් මෙන්
කිරණ විහිදා රුක් මුදුන් මත -සඳයි ඡුායා දසුන් තරු මෙන්
කොරල් දිලෙනා සයුරු පත්ලේ
එහෙත් ඒ මහ මුහුද රළු වී – නීලවන් මහ ගල් කුළක් වී
බිය කරයි මා හද විටින් විට – මහා බල ඇති යෝධ රළ පෙළ
පුපුර පුපුරා දිවෙයි වෙරළට – මර හඬක් නංවමින් වාතල

මහාචාර්ය සරත් චන්ද්‍රජීව
[email protected]

References – මූලාශ‍්‍ර

  1. https://www.youtube.com/watchv=YTD2VDcxvNc
  2. https://www.youtube.com/watchv=8iM5s_d1vls
  3. L.C. Van Geyzel, Bernard G. Thornley, Manel Fonseka, Ian Goonetileke & Lyn Ludowyk, (2000), Lionel Wendt A Centennial tribute, Lionel Wendt memorial fund සම්පත් බණ්ඩාර, (2017) ලයනල් වෙන්ඞ්ට් කලාව සහ ජීවිතය, සරසවි ප‍්‍රකාශකයෝ
  4. Jamie James (2019) Pablo Neruda’s life as a struggling Poet in Sri Lanka: A young poet’s Adventures in the Foreign Service. https://lithub.com/pablo-nerudas-life-as-a-struggling-poet-in-sri-lanka/
  5. Manel Fonseka (1994) Rediscovering Lionel Wendt, Lionel Wendt Photographs, Deutsche Bank Colombo & Lionel Wendt memorial fund
  6. අමුණුගම සුරඹා රාජපක්ෂ ගුරුන්නාන්සේ ගේ දියණිය වූ උඩරට නර්තන ශිල්පීනී ආචාර්ය වෛද්‍යවතී රාජපක්ෂ සමග කළ සාකච්ඡාව – 2017
  7. Ibid – එම
  8. Manel Fonseka (1994) Rediscovering Lionel Wendt, Lionel Wendt Photographs, Deutsche Bank Colombo & Lionel Wendt memorial fund
  9. Sarath Chandrajeewa (2010) Modern Art in Sri Lanka and its socio-political environment, Artful resistance contemporary Art from Sri Lanka, ZKF publishers. Germany.
  10. MEMOIRS by Pablo Neruda, Translated from the Spanish by Hardie St. Martin (1997), Penguin Books.
  11. ‘අයාලේ ගිය සිතක සටහන් ’ පොතේ ලියා තිබෙනවා. පි.252-254 (2017-සරසවි ප‍්‍රකාශකයෝ)
  12. MEMOIRS by Pablo Neruda – Hardie St. Martin (Trans.) (1977), Penguin books. Pp.99-100
  13. සරත් චන්ද්‍රජීව (අමුද්‍රිත පර්යේෂණය) ‘යටත් විජිත පරිපාලන කාලයේ මෙරටට ගෙනා කොළඹ කේන්ද්‍රීයව ජීවත්වන ඉන්දියානු ජනවර්ගවල ජීවිත සහ කාර්යය’
  14. Mark Eisner (2018) Neruda; The poets calling. Harper Collins publishers
    Alter Alexandra (5th August 2015) Rediscovered Pablo Neruda poems to be published, Arts Beat
    The New York Times.
  15. Charis McGowan (23 November 2018) ‘Poet ,Hero, Rapist – Outrage-of Chilean plan to Rename Airport after Neruda’- The Guardian.
  16. Zizek, Slavoj (1994) Courtly love or women a thing. Leitch publishers.
    Robina P. Marks (4th August 2020) ‘On making peace (of sorts) with Pablo Neruda’. Daily Maverick.
    https://www.dailymaverick.co.za/opinionista/2020-08-04-on-making-peace-of-sorts-with-pablo-neruda/
  17. Areeba Tayyab (September 2020) Tracing female objectification in Neruda’s work: a psychoanalytical study of courtly love in twenty poems and a song of despair by, the Department of English Language, Superior University, Pakistan. European journal of Interdisciplinary research, Vol 1,No. 1, Pp.21-28
  18. ‘Poet ,Hero, Rapist – Outrage-of Chilean plan to Rename Airport after Neruda’- Guardian- 23 November 2018
අරුණෝදයේ මිනිසුන්ගේ අල්බෝරාදා

advertistmentadvertistment
advertistmentadvertistment