අරුන් සිද්ධාර්ථන් මේ කොහි යන්නේ

2273

අරුන් සිද්ධාර්ථන් තම දේශනයේ දී පී එච් ඩී හෝල්ඩර්ස්ලා ගැන කතා කළා. සමහර විට ඔහු ආචාර්ය උපාධි ලබාගත් අය ගැන ගෞරවයකින් කතා කරනවා වෙන්න පුළුවන්. අප සිසුන්ව සිටි අවධියේ කථිකාචාර්යවරුන් බෑගයක් (හම් මල්ලක්) ගෙනාචා. සිසුන් ඒකට කිවුවෙ පී එච් ඩී බෑග් කියල. ඒක එක්තරා ආකාරයකින් උගත්කමේ සංකේතයක් වුණා. එහෙත් අපේ කථිකාචාර්යවරුන් දැන සිටියේ පොත්වල තියෙන දේ කීමට පමණයි. මා බොහෝ දේශනවලට යෑම නැවැත්තුවා. අවශ්‍ය සටහන් ජ්‍යෙෂ්ඨ සිසුන් ළඟ තිබුණා. හැම අවුරුද්දෙ ම කියෙවුවෙ එක ම සටහන. කෙළෙ එක ම විහිළු. සිසුන් විහිළුත් කලින් ම දැන සිටියා. එකල තිබූ එක් කතාවකට අනුව එක් කථිකාචාර්යවරයකු විහිළුව කීමට පෙර ම සිසුන් හිනහවෙන්න දැන සිටියා.

ඔය පී එච් ඩී හෝල්ඩර්ස්ලා කියන අය දැනුමට එකතු කළ දෙයක් නැහැ. ආචාර්ය උපාධියක් කියන්නෙ දැනුම අභිසංස්කරණයට පිවිසීමට දෙන සහතිකයක්. එහෙත් ලංකාවේ කිසිවකු එසේ පිවිසෙන්නේ නැහැ. කතන්දර හදන්නෙ නැහැ. මට එංගලන්තයෙ දි තේරුණා බටහිර විද්‍යාවෙ කතන්දර හදන්න බැරි බව. ඒ නිසා මා දර්ශනපති (M. Phil.) උපාධියක් ලබා ගෙන ආපසු ලංකාවට යෑමට සූදානම් වුණා. ඒත් මගේ ගුරුවරයා උපාධියට ගත කළ යුතු අවම කාලයවත් සම්පූර්ණ කිරීමට පෙර සනාතන මණ්ඩලයේ විශේෂ අවසරයක් ගෙන මට ආචාර්ය උපාධියක් ලබා දුන්නා. එහෙත් මා එකතු කළ අලුත් දැනුමක් නැහැ.

මා හිතන්නේ අරුන් සිද්ධාර්ථන් ප්‍රවාදයක් ඉදිරිපත් නොකළත් අර තේසවලාමෙයි නීතියේ මුල් ආඥාපනත හොයා ගෙන ආචාර්ය උපාධියකට සුදුසුකම් ලබා ගෙන තියෙන බවයි. ඔහු සාමාන්‍ය පෙළ සමත් ද නැත් ද ආදිය වැඩක් නැහැ. ඔහු මෙරට ඉතිහාසයේ ඉතා වැදගත් තොරතුරක් ලබා ගෙන තියෙනවා. ඉතිහාසඥයන් කියන බොහෝ දෙනා ඒ තරමටවත් තොරතුරක් හොයා ගෙන නැහැ. තේසවලාමේ නීතිය ඉන්දියාවේ මුස්ලිම් නීතියක් වුණත් යාපා පටුනේ ක්‍රියාත්මක වූ ආකාරයෙන් කියැවෙන්නේ එක අතකින් හින්දු නීතිය, වර්ණ භේදය. අනෙක් අතින් ලන්දේසින් මෙරට කුලභේදය උග්‍ර කිරීමට කළ කී දේ. ලන්දේසින් සිංහලයන් අතර ද කුල භේදයක් ඇති කිරීමට ක්‍රියා කර තියෙනවා. එහෙත් සිංහල බෞද්ධ සංස්කෘතිය නිසා එය හින්දු සමාජයේ මෙන් උග්‍ර වෙලා නැහැ.

වෙල්ලාලයන් මෙරටට ස්වෙච්ඡාවෙන් පැමිණි අය නො වෙයි. ඔවුන් ලන්දේසින් තම දුම්කොළ වගාවට කෝරමණ්ඩල වෙරළින් ගෙනා අය. ඔවුන් ආවෙ දුම්කොළ වගාවට වතුර දාන්න ආඬියා ළිඳත් අරගෙන. එහෙත් ඔවුනුත් මලබාරයෙන් පැමිණි අය විධියට ම මලබාරයන් ලෙස හඳුන්වනු ලැබුවා. එයට එක් හේතුවක් වන්නට ඇත්තේ මලබාරයන් සමග සන්සන්දනය කළ විට ඔවුන් සුළු පිරිසක් වීමයි. පෘතුගීසි වාර්තා අනුවත් අරුන් සිද්ධාර්ථන් කියන කරුණුත් එකට ගත්ත ම අපට පැහැදිලි චිත්‍රයක් ලබා ගන්න පුළුවන්.

පෘතුගීසීන් එන තුරුත් යාපනයේ වැඩිම පිරිස සිංහල බෞද්ධයන්. මලබාරයෙන් සංක්‍රමණය වූ කරෙයිවර් වැනි කුලවලට අයත් ජනයා ටිකක් හිටියා. ඔවුන් හින්දු වෙන්න ඕන. එකල කේරළයේවත් පාණ්ඩ්‍යයේවත් වත්මන් දකුණු ඉන්දියාවේ සමහර විට ආන්ද්‍රයේ හැරුණු විට බෞද්ධයන් හිටියේ නැහැ.

වෙල්ලාලයන් ලන්දේසින් සමග එකතු වී තමන් හැරෙන්න අනෙක් සියල්ලන් හින්දු සමාජයේ ඊනියා අඩුකුල බවට පත් කර තියෙනවා. මලබාරයන්ට එහි විශේෂත්වයක් නොදැනෙන්න ඇති. ඔවුන් කොහොමත් හින්දු සමාජයේ ශුද්‍රයන්. එහෙත් සිංහල බෞද්ධයන්ට එය ප්‍රශ්නයක් වූවා නිසැකයි. ඔවුන්ට ආගම වෙනස් කිරීමටත් සිදු වුණා. සමාජයේ ඔවුන් පහත් තැනකට ඇද වැටුණා. ඔවුන්ගෙන් විශාල පිරිසක් යාපා පටුනෙන් පිට වී තියෙනවා. ඉතිරි කොටස හින්දු සමාජයට අවශෝෂණය කෙරී තිබෙනවා පමණක් නොව ලන්දේසින් විසින් ඔවුන් නීතියෙන් ම වහලුන් බවට පත් කෙරී තියෙනවා.

ඉංගිරිසින් අවුරුදු 170කට පසු සුපුරුදු පරිදි නීතියෙන් වහල්බව ඉවත් කර තියෙනවා. එහෙත් සමාජයෙන් ඉවත් කර නැහැ. ඒ තමයි ඉංගිරිසි ක්‍රිස්තියානි නූතනත්ව ක්‍රමය. කොල්වින් ආර් ද සිල්වා වැනි නීතිඥයන් පසු කලෙක යාපනයට ගොස් ඇත්තේ අක්‍රීය ව තිබූ ඉංගිරිසි නීතිය ක්‍රියාත්මක කිරීමටයි. එහෙත් ඒ කිසිවක් සාර්ථක වී නැහැ. අරුන් තමන්ට අධ්‍යාපනයක් ලබා ගැනීමට නොහැකි වුණත් රෝයල් කොලෙජ් එකෙන් අධ්‍යාපනය ලත් වෙල්ලාලයන් ගැන කියනවා. අප කුඩා කලත් සී සුන්දරලිංගම් ඊනියා අඩුකුල අය කෝවිලට ඒම වැළැක්වීමට සත්‍යග්‍රහයක් කළා. ඔහු ග්‍රහණය කරගත් සත්‍යය අඩුකුල අයට කෝවිල (බූහ්මන්) තහනම් යන්නයි. බ්‍රහ්මන් මැවුවෙ එහෙම නම් මොනව කරන්න ද? සුන්දරලිංගම් ලංකා විශ්වවිද්‍යාලයේ (විශ්වවිද්‍යාල ආයතනයේ) ප්‍රථම ගණිත මහාචාර්යවරයා. ඔහුගේ සොහොයුරකු වූ සී ත්‍යාගලිංගම්ගේ පුතුන් රාජකීය විදුහලේ ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කළා. 1956 දී එක් පුතකු වූ ටී ජෝතිලිංගම් නිල් මහා සටනේදී රාජකීය පිල වෙනුවෙන් ශතකයක් ලබා ගනු කුඩා අපි ආශ්වාදයෙන් බලා සිටියා. චෙල්වනායගම්ගේ පුතකු වූ සී වසිහරන් ද එකල රාජකීය විදුහලේ ඉගෙන ගත්තා. ඔහු පසුව ටික කලක් කොළඹ විශේවවිද්‍යාලයේ ගණිතය ඉගැන්නුවා. එහෙත් ඔහු චෙල්වනායගම්ගේ අදහස් දැරුවේ නැහැ. දේවා මනෝහරන් (D M) ස්වාමිනාදන් හා නීලන් තිරුචෙල්වම් මා සමග එක ම පන්තිවල ඉගෙන ගත්තා.

කොහොම හරි අවසානයේ දී වහලුන්ට යම් සහනයක් ලැබී ඇත්තේ අර ජාතිවාදී කියන බණ්ඩාරනායක ආණ්ඩුවෙන්. ඒ ඊනියා නුතනත්ව කතාවක් නොව සිංහල බෞද්ධ කතාවක්. වහල් කුලවලට නිදහස් අධ්‍යාපනයක් තිබුණත් වහල් සමාජය නිසා අධ්‍යාපනය අහිමි වෙලා. සිංහලයන් අතර එවැන්නක් සිදු නොවූ නිසා ඒ අධ්‍යාපනයෙන් ක්‍රිස්තියානි සංකල්ප ලබාගත් සුළු පිරිසකට ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යයේ ආශිර්වාදයෙන් සිංහල බෞද්ධ විරෝධීන් වීමට අවස්ථාව ලැබිලා.

අරුන් කියන්නේ තමන්ට තවමත් නිදහසක් නැති බවයි. ඔහු සිංහලයන් අතර ඉපදුනා නම් රෝයල් කොලේජ් එකට ගිහින් වැඩිපුර ම සිංහල බෞද්ධයන්ගේ මුදලින් ඉගෙන ඉතිහාස මහාචාර්යවරයකු වී සිංහල බෞද්ධ විරෝධී වීමට තිබුණා. ආතල්ගම දේශන පවත්වන්න තිබුණා. ඒ අතර මුගලන් රජු ක්‍රිස්තියානි වීම ගැන පත්‍රිකා ලියන්න තිබුණා. ජුසේ වාස් පූජකතුමා ඇති කරපු ක්‍රිස්තියානියයි මුගලන්ගෙ ක්‍රිස්තියානියයි අතර තියෙන අඛණ්ඩ සම්බන්ධය මොකක් ද කියන එක ගැන පත්‍රිකාවක් ලියන්න තිබුණා. නෙස්ටෝරියන් කුරුසයයි අලුත්කඩේ කුරුසයයි අතර සම්බන්ධය ගැන ලියන පත්‍රිකාවෙ එතැන තිබූ පත්තිනි දේවාලය ගැන ලියන්න තිබුණා. මුගලන් කරවපු පල්ලිය හොයන්න තිබුණා. එහෙමත් නැත්නත් කුමාර ධාතුසේන කුමාරයා බෞතීස්ම කරපු තැනැත්තා හොයා ගන්න තිබුණා. පොත්තකූඨගෙ ලයිට් හවුස් කර්මාන්තයට ප්‍රතිපාදන දුන්නෙ කවුද කියන එක දැනගෙන ජනාධිපති සම්මානයක් ගන්න තිබුණා. කුරුන්දි විහාරය තනන්න ඉස්සෙල්ල එතැන තිබුණු ශිව දේවාලෙ (කෝවිල) හැදුවෙ කවුද කියල පත්‍රිකා ලියන්න තිබුණ. ඒවට රාජ්‍ය සම්මාන ලබාගන්නත් තිබුණා. අවුරුදු දෙදහසකට ඉස්සර කතරගම කෝවිලක් හැදුවෙ කවුද කියල ජාත්‍යන්තර සඟරාවලට ලියන්න තිබුණා. එහෙත් ඔහුට අද ඉතිහාසය ගැන සොයන්න වෙලා තියෙන්නෙ සාමාන්‍ය පෙළෙන් එහාට අධ්‍යාපනයක් නොලබා පාක්‍යසෝති වැනි මානව අයිතිවාසිකම් වෙනුවෙන් ම වූ කේන්ද්‍රවල අපහාසට ලක්වෙමින්. ඒක කාගෙ කේන්දරේ නිසා වෙන දෙයක් ද කියල ජ්‍යෙතිෂවේදියකුගෙන් අහන්න ඕන.

මහාචාර්ය නලින් ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment