අර යකා හොරෙක්ද?

1087

මෙයට අවුරුදු දහයකට පහළොවකට පමණ පෙර වම්බොට්ටා නමැති දාමරිකයෙක් මේ රටේ ජීවත් විය. කොන්ත්‍රාත් මිනීමැරුම්වලට ප්‍රසිද්ධ වූ ඔහු කන්ගැට්ටා පරම්පරාවේ කෙනෙකි. මේ අතර ආමි සුරංග නමැති තවත් නම ගිය දාමරිකයෙක් වම්බොට්ටාට ෂොට් එක දුන්නේය. කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී ලලිත් රත්නායක, පොලිස් පරීක්ෂක ප්‍රේමකුමාර සහ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා නමැති තිදෙනා මේ මිනීමැරුම සම්බන්ධයෙන් 2006 ජූනි මාසයේදී ආමි සුරංග අත්අඩංගුවට ගෙන සෙවණගල පැත්තේ තැනකට ගෙන ගියහ. එහිදී ඇතිවූ පහරදීම්වලින් ආමි සුරංග මළේය. දාමරිකයකු එකෙනෙහිම මැරීමෙන් ඔහු විසින් කරන ලද පෙර වැරදි සියල්ලම යටපත්ව යයි. ආමි සුරංගගේ මරණය ගැන මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් පවත්වන ලදුව එතැනින් එහා කිසිවක් සිදුවුණේ නැත. කෙටියෙන් කිවහොත් එම කේස් එක ගල්විය.

කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පහල වූ දක්ෂතම නිලධාරියකු වන ශානි අබේසේකර යටතේ සේවය කළ නිශාන්ත ද සිල්වා ද දක්ෂයෙකි. රාජපක්ෂ ආණ්ඩුව පැවති කාලයේදී මරණ ලද ලසන්ත වික්‍රමතුංග සහ අතුරුදන් කරන ලද ප්‍රදීප් එක්නැලිගොඩ සම්බන්ධයෙන් සියලු පරීක්ෂණ මෙහෙයවන ලද්දේ නිශාන්ත ද සිල්වා විසිනි. යාපනයේදී දූෂණය කර මරණ ලද සිවලෝගනාදන් විද්‍යා නමැති පාසල් ශිෂ්‍යාව පිළිබඳ සිද්ධියේදී කිසිම දේශපාලන බලපෑමකට යටත් නොවී ස්ත්‍රී දූෂකයන් අත්අඩංගුවට ගත් නිශාන්ත ද සිල්වා එම විත්තිකරුවන්ගේ උපකරණවලින් යළි වැඩක් ගැනීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය කර දුන්නේය. කෙසේ වුවද මතුයම් දවසක රාජපක්ෂලා බලයට පැමිණියහොත් තමන්ට සම්පූර්ණයෙන්ම කෙළවෙන බව පොලිස් පරීක්ෂක නිශාන්ත දැන සිටියේය. එබැවින් ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වී පැය 48 ක් ඇතුළත නිශාන්ත ද සිල්වා කඩවත පිහිටි සිය නිවස ද අත්හැර දරු පවුල සමග ස්විට්සර්ලන්තයට පලා ගියේය. ලංකාවේ මනුෂ්‍ය ඝාතන පිළිබඳ ස්විට්සර්ලන්තයේ මේ දිනවල පැවැත්වෙන නඩු විභාගයක ප්‍රධාන සාක්ෂිකරු වන්නේ නිශාන්ත ද සිල්වා ය. තමා ආපසු ලංකාවට ගියොත් රාජපක්ෂ ආණ්ඩුවේ පැරණි හිතවතුන් තමාත් දරු පවුලත් ඝාතනය කරනු ඇතැයි කියමින් ඔහු ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ ඉල්ලා ඇත. එම රැකවරණ ඉල්ලීම පිළිබඳ සිද්ධිය ස්විස් බලධාරීන් විසින් පරීක්ෂා කරගෙන යන අතර තවමත් නිශාන්තට ස්ථිර දේශපාලන රැකවරණ දෙනවාද නැද්ද යන්න ගැන හරි තීන්දුවක් නැත. නිශාන්තට අමතරව ලංකාවෙන් පැනගිය ආරක්ෂක නිලධාරීන් කිහිපදෙනෙක්ම පිටරටවල දේශපාලන රැකවරණ ඉල්ලා application ඉදිරිපත් කර තිබේ. මීට අවුරුදු 20 ට පෙර පිටරටකින් දේශපාලන රැකවරණ ලබාගැනීම සුළු වැඩකි. එය මෙසේ කළ හැකිය. එකල කාසි දමන දුරකථන පෙට්ටි තිබිණ. මේ කාසි දුරකථනවලින් තමන්ගේම ගෙදරට කෝල් කර තමාත් තම පවුලේ අයත් ඝාතනය කරන බවට තර්ජනය කිරීමට දේශපාලන රැකවරණ අපේක්ෂකයාට පුළුවන. ඊට පසු ඔහු මේ ගැන පොලිසියට ගොස් පැමිණිලි කරයි. එම පැමිණිල්ල පත්තරවල ද පළ කරයි. මේ වැඩේ තවදුරටත් සීරියස් කරගැනීම සඳහා කොන්ත්‍රාත් දාමරිකයකුට මුදලක් ගෙවා තම ගේ ඉස්සරහ පිට ඩප්පි දෙක තුනක් පිපිරවීමට ද රැකවරණ අපේක්ෂකයාට පුළුවන. මේ තොරතුරු අඩංගු ෆයිල් එක රැගෙන බටහිර රටක තානාපති කාර්යාලයකට ඉදිරිපත් කළ විට දේශපාලන රැකවරණ අපේක්ෂකයාට තනිව හෝ පවුල පිටින් ඒ රටට පැන යෑමට පුළුවන. හැබැයි අවුරුදු කිහිපයක සිට බටහිර තානාපති කාර්යාල දේශපාලන රැකවරණ පතන්නන් සම්බන්ධයෙන් නීති තදකර තිබේ. මේ අනුව ටෙලිෆෝන් කෝල් පහයි + ඩප්පි තුනයි + පත්තර වාර්තා දෙකයි නමැති චක්කරය යටතේ දේශපාලන රැකවරණ පැතීම සිහිනයකි.

පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක යනු කොළඹ අපරාධ කොට්ඨාසයේ ඉතා හොඳින් සේවය කළ තරුණයෙකි. විවාහකයකු වූ ඔහුට දියණියක් සිටී. පසුගිය දිනවල මේ රටේ සිදු වූ අපරාධ රැසක් ගැනම ඔහු සාර්ථක පරීක්ෂණ පවත්වා තිබිණ. උදාහරණයක් වශයෙන් කොළඹ ආදුරුප්පු වීදියේ පොලිස් කූඩුවේදී සයනයිඩ් මිශ්‍ර කළ කිරි පැකට් පානය කිරීමට ලක්වූ සැකකරුවන් දෙදෙනකු සම්බන්ධයෙන් පරීක්ෂණ ෆයිල් එක ද ඔහු අතේ තිබිණ. මේ අතර මීට දෙමසකට පමණ පෙර ඔවුහු ප්‍රංශයට යෑම සඳහා වීසා අයදුම් පතක් ඉදිරිපත් කළේය. එම අයදුම් පත process වෙද්දී ඔහුට කන්ජිපානි ඉම්රාන් දුරකථනයෙන් තර්ජනය කළේය. ඊට අමතරව තවත් අපරාධකරුවකු ඔහුට දුරකථනයෙන් බැණ වැදුනේය. දුමින්ද ජයතිලක පෙබරවාරි 14 දා ලංකාවෙන් පිටත්ව ප්‍රංශය බලා නික්ම ගිය අතර ලංකාවේ ආරක්ෂාව මදි නිසා තමන් ප්‍රංශයට පැමිණි බව කීවේය. ඊළඟට ඔහු කියා සිටියේ තමන් ප්‍රංශ යුද හමුදාවට බැඳීම සඳහා ප්‍රංශයට පැමිණි බවත් ඒ සම්බන්ධයෙන් පැවති කඩඉම් පරීක්ෂණ සියල්ලෙන්ම සමත්ව සිටින බවත්ය. දුමින්ද ජයතිලක රට පැන්නේ මරණ තර්ජන නිසා බව මුලදී ප්‍රකාශයට පත්වූ විට මේ රටේ ජනයා මහත් සේ දුකට පත්විය. එහෙත් ඔහු රට පැන්නේ ප්‍රංශ හමුදාවට බැඳීමට බව ඔහු විසින්ම කියන කල්හි ඔහු කපටිකමක් කර ඇති බව මිනිස්සු විශ්වාස කළහ. දුමින්ද ජයතිලක පොලිසියෙන් නිවාඩු ලබාගෙන ඇත්තේ පෙබරවාරි 14 සිට මාර්තු 6 යන සති තුන වෙනුවෙන් පමණි. මාර්තු 7 වැනිදා ඔහු සේවයට වාර්තා නොකළොත්, ඔහු සේවය අත්හැර ගියාසේ සැලකීමට පොලිසියට සිදුවේ. එතැන් සිට මේ කේස් එක ගැන පොලිස් පරීක්ෂණ පැවැත්වෙන අතර දුමින්ද කවරෙක්ද යන්න හෙළිවීමට පටන්ගන්නවා ඇත. මේ කතුවැකිය සඳහා අර යකා හොරෙක් ද යන ශීර්ෂ පාඨය අප යෙදුවේ දුමින්ද ජයතිලක හොරකු බව කීමට නොවේ. ඔහු අපෙන් සොරාගත් අල ගෙඩියක් නැත. එය කටවහරට යොදන ලද කියමනකි.

පිටරටවල රැකවරණ පතා යන්නට වෙර දරණ දේශපාලකයන්ද නැතුවා නොවේ. ඔවුන් ගැන පසුදිනක කතා කරමු.

advertistmentadvertistment
advertistmentadvertistment