අලස නොවෙමු 2024 ජයගමු

303

‘වසරක් ගෙවී වසරක් උදාවෙනවා’ යනු නව සිතුම් පැතුම් ද ඇතිව කටයුතු කිරීමට සිතට නැඟෙන අවස්ථාවකි. නිදහස් ජාතියක් සිටින රටක අලුත් අවුරුද්දක් උදාවන විට එයට මුහුණ දිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව අප සිතා බැලිය යුතුව ඇත. අතීතයේ අපි කිසිම රටකට අත නොපා අපේම උත්සාහයෙන් ජීවත්වූවන් වන්නෙමු. අපේ රටේ වගාකොට එම ඵලදාව වෙනත් රටවලට පවා යැවූ රටක් ලෙස අපේ රට අමරණීය වේ. රාජ්‍ය යුග තුළින් ඒ බව මනාව ප්‍රකට වේ. මහා පරාක්‍රමබාහු රජතුමා සඳහන් කළේ ‘අහසින් වැටෙන එකම ජල බිඳක්වත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලා යෑමට ඉඩ නොතබන’ ලෙසයි. එයින් පැහැදිලි වන්නේ ස්වාභාවිකව ලැබෙන ජලය තුළින් අපේ කෘෂිකර්මාන්තාදිය දියුණු කළ යුතු බව නොවේද?

දුටුගැමුණු රජතුමාගේ අධිෂ්ඨානය වූයේ ‘මාගේ මේ ව්‍යායාමය හුදෙක් බුද්ධ ශාසනයේ චිර පැවැත්ම උදෙසායි’ යනුවෙනි. එහිදී ආත්මාර්ථය ඉවත්කොට පරාර්ථය මුදුන්පත් කොට රට තුළ භෞතික දියුණුවත්, මිනිසුන් තුළ ආධ්‍යාත්මික ගුණවගාවත් පෝෂණය කිරීම ඔවුන්ගේ පරමාර්ථය වූවාට කිසිදු සැකයක් නැත. එහිදී බුදුදහමේ ආභාෂය නිරන්තරයෙන් ලබාගත්හ. ඒ නිසාම අපේ රටේ දියුණුව, අභිවෘද්ධිය වෙන කිසිදු රටකට වඩා ප්‍රමුඛස්ථානයෙන් වැජඹුණි. එහිදී අපට පැහැදිලි වන ප්‍රධාන කරුණක් ලෙස කම්මැලි නොවී වැඩකර ඇති ආකාරය පෙන්වාදීමට පුළුවන. අනුරාධපුරය, පොළොන්නරුව, සීගිරිය, යාපහුව ආදී ඕනෑම රාජධානියකට ගිය කල්හි එහි උච්චතම අවස්ථා දැකබලා ගත හැකිය. සමුද්‍රය පරයන මහා වැව් ද, අහස සිඹින ස්ථූප ද, නිර්මාණය වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

කරුණාව ගලාහැලෙන සමාධි පිළිමය, නාසයෙන් වැටෙන දිය බිඳුව පාදයේ නියපොත්තට වැටෙන සේ නිර්මාණය වූ අවුකන පිළිමය පෙණ පිඬක් බඳු රුවන්වැලි මහාසෑය, සැතපුමකට අඟලක් බැස්ම සිටින සේ නිර්මාණය කළ යෝධ ඇළ, පෑන් තුඩකින් අඳින්නා සේ කළ ලියවැල් ඇති කුලුනු, කලා කෞශල්‍යයෙන් යුතු සඳකඩපහන් ආදී නොයෙක් නිර්මාණ බිහිවූයේ කම්මැලිකමක් නොතිබුණු ජනතාවක් සිටි නිසාය.

කම්මැලි නොවීම යනු උත්සාහය ඇති බවය. ගොවිතැන, වෙළෙඳාම, ගව පාලනය, දුනු ශිල්පය, රාජ්‍ය සේවාව ආදියෙහි දක්‍ෂවීම, ඒ කෙරෙහි අනලස් වීම, උපායෙන් හා විමසීමෙන් යුක්ත වීම, සුදුසු කල ඒ කාර්යයන් සම්බන්ධව කටයුතු කිරීම උත්සාහය යනුවෙන් හැඳින්වීමට පුළුවන. රටක නායකයෙක් වේවා, ගොවියෙක් වේවා, භික්‍ෂුවක් වේවා, වෙළෙන්දෙක් වේවා, ගෘහපතියෙක් වේවා, ඕනෑම තරාතිරමක කෙනකු තුළ උත්සාහය තිබිය යුතුය. නැත්නම් රටක, සමාජයක, ගමක, නිවසක දියුණුවක්, අභිවෘද්ධියක් ඇති නොවේ. අද ලෝකය තුළ උත්සාහය නිසා දියුණු වූ රටවල් බොහොමයක් ඇත. ඒ අතර ජපානය, සිංගප්පූරුව, මැලේසියාව, තායිවානය වැනි රටවල් වැදගත් වේ. මීමැස්සන් සේ, වේයන් සේ උත්සාහය ඇතිකර ගැනීම දියුණු වීමේ මාර්ගයයි.

අලසකම හඳුනා ගැනීමට කරුණු හයක් දේශනා කොට ඇත. එම කරුණු දියුණුවට මඟ අහුරාලන බව පෙන්වා දී ඇත. එනම්,

  • දැන් ඉතා සීතලයි, * දැන් ඉතා උෂ්ණයි, * දැන් ඉතා සවසය, * දැන් ඉතා උදේය, * දැන් බඩගිනිය, * දැන් බඩ පිරිලාය.

මෙවැනි ගති ලක්‍ෂණ යම් කෙනකුට හෝ පිරිසකට තිබුණොත් කවදාවත් දියුණු වීමට පුළුවන් කමක් නැත. එනිසා එවැනි අලසකම් නැතිකර ගත යුතුය. අපේ රටේ ඉතිහාසය ගත් කල එදා පැරැන්නන් තුළ උත්සාහය උපරිම වශයෙන් තිබූ බව ඔවුන් කළ කී දේ තුළින් වටහා ගත හැකිය.

බුද්ධ චරිතය තුළින් ද අපට උට්ඨාන වීර්යයේ ඇති අගය වටිනාකම මනාව පිළිබිඹු වේ. උන්වහන්සේ පුරන ලද දස පාරමිතා අතර වීර්ය පාරමිතාව හැටියට සසරේ පුරන ලද්දේ මෙම උත්සාහයයි. ඒ අනුව උන්වහන්සේ නොයෙක් ආත්මවල ඇස්, ඉස්, මස්, ලේ පමණක් නොව අඹු දරුවන් පවා දන්දුන් සේක. උන්වහන්සේට දීපංකර පාදමූලයේදී නිවන් දැකීමේ වරප්‍රසාදය තිබුණත් එසේ නොකොට ප්‍රාර්ථනා කළේ,

බුද්ධෝ හං බෝධ ඉස්සාමි
මුත්තෝ හං මෝචයේ පරේ
තිණ්නෝ හං තාර ඉස්සාමි
සංසා රෝගා මහබ්බයා

තමන් සසරින් එතෙර වී අන්‍යයා ද සසරින් එතෙර කරවීමේ පරම පවිත්‍ර චේතනාව උට්ඨාන වීර්යයත් සමග උන්වහන්සේ තුළ තිබුණි. සිදුහත් කුමරු සියලු සැප සම්පත් හැරපියා පැවිදි වී උට්ඨානයෙන් බණ භාවනා කොට ලද ජයග්‍රහණයක් ලෙස නිවන් සැපත හැඳින්විය හැකිය. එම උතුම් චරිතය තුළින් ඕනෑම කෙනකුට ආදර්ශයක් ගෙන අභියෝග ජය ගැනීම සඳහා එය පිටිවහලක් කරගත හැකිය. බුද්ධ චරිතයේ කිසිම තැනක කම්මැලිකම අලසකම දක්නට නොලැබේ. උන්වහන්සේ තුළ එසේ තිබුණා නම් බුද්ධත්වය පවා නොලැබීමට ඉඩ තිබුණි.

ලෞකික මෙන්ම ලෝකෝත්තර සැපත පිණිස උත්සාහය අවශ්‍ය වේ. සිතෙහි පවත්නා ලෝභ, ද්වේශ, මෝහ වැනි අකුසල සිතුවිලි යටපත් කරගෙන කුසල ක්‍රියාවන් කිරීමටත්, එවැනි අකුසල් සහමුලින් උපුටා දමා නිවන් සැපත ළඟාකර ගැනීමටත් උත්සාහය අවශ්‍ය වේ. බුදු, පසේබුදු, මහ රහන් යන උතුමන් වහන්සේලා සසර දුක් නැතිකර ගැනීම සඳහා එම උත්සාහය වඩා වර්ධනය කරන්නෝය. එනිසාම එවැනි උතුමෝ සසර ජය ගත්හ. උන්වහන්සේලා නිරන්තරයෙන් අගය කොට වදාළ ශ්‍රේෂ්ඨ ගුණධර්මයක් ලෙස කම්මැලිකම අත්හැරීමත් උත්සාහය වර්ධනය කිරීමත් යන්න රටක සමාජයක ජීවත්වන සෑම කෙනකු තුළම පැවතිය යුතු සුවිශේෂී ලක්‍ෂණයක් වන්නේය. තම කටයුතු සාර්ථක කර ගැනීමට සේම, අනාගතය සැපවත් කර ගැනීමට කැමැති හැම කෙනකුම කම්මැලිකම ඉවත දා උත්සාහය වර්ධනය කරගත යුතුව ඇත. ආගම්-ජාති, කුල-මල තුළ හිරනොවී එකම රටක පුරවැසියන් හැටියට අපි සෑමදෙනාම එකතුවී සමගියෙන්, සහයෝගයෙන් රට දියුණු කිරීමටත් අපගේ දියුණුව ඇතිකර ගැනීමටත් උත්සාහයෙන් කටයුතු කරගෙන යෑමට අලුත් අවුරුද්ද තුළ ප්‍රාර්ථනා කර ගනිමු.

මහව උඩගම ශ්‍රී ඉන්දන සුමන මහ පිරිවෙනෙහි ජ්‍යෙෂ්ඨාචාර්ය ප්‍රවචන කීර්ති ශ්‍රී ලේඛන ශාස්ත්‍රී
ගලගෙදර රතනවංස හිමි

advertistmentadvertistment
advertistmentadvertistment