අලි ඇතුන් බොහෝ දෙනෙකු දැක තිබුණ ද ඔවුන් නිදා සිටින අයුරු දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. අලි පිළිබඳ පර්යේෂකයෙකු වන මහාචාර්ය පෝල් මැන්ගර් පවසන පරිදි ක්ෂීරපායි සතුන් අතරින් ඉතාමත් කෙටි නින්දක් ලබන සත්ත්වයා අලියා ය. ස්වාභාවික පරිසරයේ දී අලි ඇතුන්ගේ විවේක කාලය දිනකට පැය දෙකකට පමණ සීමා වේ. නමුත් සත්වෝද්‍යාන තුළ වෙසෙන අලි ඇත්තු දිනකට පැය 4 – 6ක් අතර කාලයක් නින්දේ විවේකීව ගත කරති. සාමාන්‍යයෙන් ශරීරය ප්‍රමාණයෙන් විශාල ක්ෂීරපායි සතුන්ට වඩා කුඩා ක්ෂීරපායි සතුන්ගේ නිදන කාලය වැඩිය. අලින්ගේ නින්ද ගැන කතා කළේ ඉදිරියේදී මෙරට සිටින අලින් ප්‍රමාණය පිළිබඳ සමීක්ෂණයක් සිදු කිරීමට යන නිසාය. සැමදාම අලි ප්‍රශ්න උද්ගතවේ. එවිට සත්වයා මෙන්ම මනු සතාද අවුලට පත්වෙයි. අලි ප්‍රහාරයෙන් අකාලයේ මිනිස් ජිවිත අහිමිවන අතර එසේම අලි මරණ ද වාර්තාවන්නේ සුළුවෙන් නම් නොවේ. බය හිතෙන ආකාරයටය. අලි මිනිස් ගැටුම අවම කිරීමට අවශ්‍ය නිර්දේශ ලබාගැනීමට මේ දීපව්‍යාප්ත අලි ගහන සමීක්ෂණයත් වඩා වැදගත්වේ. ලබන සෙනසුරාදා සිට දින තුනක් පුරා සමීක්ෂණ මධ්‍යස්ථාන 3,130කදී එම සමීක්ෂණය සිදු කිරීමට නියමිත වේ. සමීක්ෂණයේ දත්ත රැස්කිරීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යමණ්ඩලය සිදුකිරීමට නියමිත අතර ඒ සඳහා වෙනත් රාජ්‍ය ආයතන නිලධාරීන්, ආරක්ෂක හමුදා සාමාජිකයින් ඇතුළු පිරිස් එක් කරගැනීමට බලාපොරොත්තු වන බව එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් එම්. ජී. සී. සුරියබණ්ඩාර මහතා සඳහන් කරයි. අවසන් වරට මෙරට තුළ වන අලි සංගණනයක් සිදු කළේ මීට වසර 13කට පෙර එනම් 2011 වසරේදී වන අතර එම වාර්තාවට අනුව මෙරට සිටි වන අලි සංඛ්‍යාව, 5878ක් ලෙස වාර්තාගත විය.
ඇත්තෙන්ම අලි – මිනිස් ගැටුම නිසා වසරකට ලෝකයේ වැඩිම අලි සංඛ්‍යාවක් මිය යන රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ. මිනිසුන් මිය යන රටවල් අතරින් ශ්‍රී ලංකාව දෙවැනි වන්නේ ද ඉන්දියාවට පමණි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාවන්ට අනුව ශ්‍රී ලංකා ඉතිහාසයේ අලි – මිනිස් ගැටුම නිසා අලින්ගේ සහ මිනිසුන්ගේ වැඩිම ජිවිත සංඛ්‍යාවක් අහිමි වූ වර්ෂය ගෙවුණු 2022 වසර වේ. 2021 වසරේ පළමු දින 68 තුළ වාර්තාවී ඇති අලි මරණ සංඛ්‍යාව 61කි. 2010 සහ 2020 කාලය තුළ ශ්‍රී ලංකාවේ වාර්තාවූ අලි මරණ සංඛ්‍යාව 2958කි. ස්වභාවික මරණ 223ක් ද ඊට ඇතුළත් කර ඇත. වැඩිම මරණ සංඛ්‍යාවකට හේතුව වෙඩි තැබීම් වේ. අලි කරදර නිසා ඇතැම්හු දරුවන් සමග ගස් උඩ ඉතා අනතුරුදායක ලෙස රාත්‍රිය ගෙවා දමති. මෙය සැබවින්ම ඛේදයකි. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 19 ක් තුළ පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 133ක දැනට අලි මිනිස් ගැටුම් වාර්තා වේ. ශ්‍රී ලංකාවේ මුළු භූමියෙන් 62% ක අලි ජීවත්වේ. ඉන් 44%ක අලි සහ මිනිසුන් එකම ප්‍රදේශයක ජිවත් වේ.
අතීතයේදී ශ්‍රී ලංකාව පුරා අලි ජීවත්වූ බවට සාධක තිබේ. 1751 දී කොළඹ කොටුවට පැමිණි අලි දෙදෙනකු කළ පහරදීමකදී මිනිසුන් දෙදෙනකු මියගිය බවට වාර්තා ඇතැයි ආසියානු අලි පිළිබඳ විශේෂඥයෙකු වන ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු පවසා තිබිණි. නමුත් දැන් කෝටි දෙකක ජනතාවක් සමග මෙරට අලින්ට ජීවත්වන්නට සිදුවේ. මේ මහා සම්පත ආරක්ෂා කරගනිමින් සහජීවනයෙන් විසිය යුතුය. අලි මිනිස්සු නැති රක්ෂිතවලට කොටු කර විදුලි වැට ගැසීම කෙතරම් සාර්ථක වීද යන්න සිතා බැලිය යුතුය. නමුත් මේ ප්‍රශ්න වලට කාලීන විසඳුම් ඉදිරිපත් කිරීම සඳහා නැවත වරක් අලි සමීක්ෂණයක් පැවැත්වීම වඩා යෝග්‍ය බව සඳහන් කළ යුතුය.