අලි ඇතුන් ලවා අද්දවා කළුගලින් කළ පුදබිමක්

184

ගල් ඇද්දේ අලි කරත්තෙන්….
කළුගල් දියකළේ දේශීය බෙහෙතින්…..
කේරළයෙන් ගල් වඩුවන් ගෙන්වයි…..
විහාරය ඉදිකිරීමට වසර විස්සක් ගතවෙයි…

 විසල් පියගැට පෙළ පසුකළ පසු ඇස ගැටෙන්නේ මෙතෙක් මෙරට විහාරස්ථානයක දී දැකගත නො හැකි වූ සිරිමත් දසුනක් ය. එයවූ කලී විහාර මන්දිරයක් ය. දැවැන්ත ගල් උළුවහු සහිත විහාර මන්දිරයට පිවිසීම පිණිස ගලින් කළ තවත් පියගැට පෙළ කීපයක් පසු කළ යුතුය. පෞරාණික විහාර මන්දිරයට පිවිසිය හැකි වන්නේ ඉන් අනතුරුව ය. දහඅට රියන් උස විසල් හිටිපිළිම වහන්සේ නමක් සහිත විහාර මන්දිරය මුළුමනින් ම බොදු සිතුවම් කලාවෙන් වර්ණගන්වා ඇත. මෙරට විහාර මන්දිරයක් තුළ දහඅට රියන් හිටි පිළිම වහන්සේ නමක් වැඩහිඳින එකම විහාරස්ථානය මෙය විය යුතු යැයි අනුමාන කළ හැක. උස් කඳු ගැටයක් මත ඉදිකොට තිබෙන මෙම පෞරාණික විහාරමන්දිරය හා ඒ අවට දකින්නට ලැබෙන අවශේෂ නටඹුන් අතරින් විශේෂත්වයක් ගනු ලබන්නේ අලි ඇතුන් ලවා මිස එහා මෙහා කළ නො හැකි කළු ගලින් නිම කළ දැවැන්ත ගල් කණු ගල් පඩි ආදී කළු ගලින් නිම කළ තවත් බොහෝ දේ ය. රළු පරළු කළු ගල් මනා ලෙස සුමට කොට ඇත. එම සුමට මතුපිට තුළ පැරණි ගල් වඩුවන් විසින් නිම කළ විස්මිත කැටයම් කලාවක් ය. එපමණක් නොව, මෙම ඉපැරණි විහාරස්ථානයේ පැන් පහසුව පිණිස නිම කරවන ලද පොකුණ සහ පැන් පානය පිණිස ඉදිකොට ඇති ළිඳ පවා මුළුමනින්ම කළු ගලින් කරන ලද විශ්වකර්ම නිර්මාණයක් ලෙස හැඳින්වීමේ වරදක් නැත.

ඉහත සැකෙවින් විස්තර කරන ලද්දේ වියළි රජරට ඉපැරණි රාජධානියක ශේෂව පවතින නටඹුන් සමූහයක් පිළිබඳ විස්තරයකින් අංශු මාත්‍රයක් බවට කෙනකු තුළ සැකයක් පහළවිය හැක. පළමුව එම සැකය දුරුකළ යුතුය. මා දකිමින් හිඳින්නේ රජරට රාජධානි සමයෙන් බොහෝ කලකට පසුව ඉදිකරන ලද විස්මිත නිමැවුමක වත්මන් මුහුණුවර ය.

ඉපැරණි විහාරස්ථානය පිහිටා තිබෙන්නේ කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල මංහන්දිය ග්‍රාමය තුළ ය. එතැන් සිට බේරුවල නගරයට ළඟාවීම පිණිස කිලෝමීටර් හතකට ආසන්න දුරක් ගමන් කළ යුතුය. මෙම සිරිමත් දසුන ඇස ගැටෙන්නේ එම ප්‍රදේශයේ පැවැති වෙනත් මාධ්‍ය කටයුත්තකට සහභාගි වන අතරතුර ය. ඉපැරණි රාජධානියක් තුළ පවා දැකගත නො හැකි විස්මිත නිමැවුම් රැසක් සහිත මෙම විහාරස්ථානය පිළිබඳ වැඩිදුරටත් සොයා බැලීමේ දී අනාවරණය වූ කරුණක් බවට පත් වූවේ එම විහාරස්ථානය මාලේවන සඝ පරපුරට අයත් විහාරස්ථානයක් වන බවත් එය කරවන ලද්දේ මාලේවන සඝ පරපුරේ ආදි කර්තෘන් වහන්සේ වන මාලේවන පඤ්ඤානන්ද නාහිමිපාණන් වහන්සේ විසින් බවත්ය. එතැන් සිට එම සිරිමත් අතීතය හාරා ඇවිස්සීම පිණිස මා තුළ ඇල්මක් ඇතිවිය. ඉතිහාසය නැවත කියවීම වඩාත් ප්‍රවේශම්සහගතව කළ යුතු කටයුත්තක් ය. එබැවින් ඒ සඳහා සුදුසු පුද්ගලයන් තෝරාගත යුතුය. පළමුව මංහන්දිය ශ්‍රී සම්බෝධාරාම විහාරාධිකාරී පූජ්‍ය හල්තොට පාලිත හිමිපාණන් බැහැ දකින්නේ එහි ප්‍රතිඵලයක් ලෙස ය. ඉන් අනතුරුව උන්වහන්සේගේ මඟපෙන්වීම යටතේ තවත් වැඩිහිටියන් කීපදෙනෙක් හඳුනාගැනීමේ අවස්ථාව හිමි විය. වයස අවුරුදු අසූව ඉක්මවා තවමත් සුජීවත්ව සිටින ඔවුන් මෙම කතාබහ පිණිස ඉමහත් කැමැත්තක් දැක්වීම සතුටට කරුණක් විය. වැඳ නමස්කාර කොට අවසර පැතීමෙන් අනතුරුව තම කටහඬ අවදි කළ පූජ්‍ය හල්තොට පාලිත හිමිපාණන් තම ගුරු දේවෝත්තමයන් සිහිපත් කරමින් මා හා කතාබහට එක්වූහ.

අලි ඇතුන් ලවා අද්දවා කළුගලින් කළ පුදබිමක්

“මේ විහාරස්ථානය පිළිබඳ දැනට පවතින ලිඛිත සාක්‍ෂි ගත්තොත් විහාරස්ථානය ඉදිකරල මේ වනවිට වසර 140ක පමණ කාලයක් ගතවී තිබෙනව. මාලේවන සඝ පරපුරේ නිර්මාතෘ බෝධිසත්ව ගුණෝපේත මාලේවන පඤ්ඤානන්ද අපේ නායක හාමුදුරුවෝ විසින් තමයි මේ විහාරස්ථානය ඉදිකරන්නෙ. දැනට දකින්නට තිබෙන කළු ගලින් කරන ලද නිර්මාණ සියල්ලක් ම පාහේ ඉදිකරල තිබෙන්නේ උන්වහන්සේගේ කාලෙ. ඒ නිර්මාණ කටයුතුවලට වසර 20ක පමණ කාලයක් ගතවී තිබෙන බව සඳහන්. ඉතිහාස සාක්‍ෂි විහාරස්ථානයේ අදත් සුරැකිව පවතිනව. විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු මුළුමනින්ම නිමවෙනව දකින්න උන්වහන්සේට වරම් ලැබිල නැහැ. උන්වහන්සේගේ අපවත් වීමෙන් පස්සෙ මාලේවන සඝ පරපුරේ තවත් කීර්තිමත් නාහිමිපාණන් වහන්සේ නමක් වූ අති පූජ්‍ය මාලේවන ඥානිස්සර අපේ නායක හාමුදුරුවෝ ඒ වැඩකටයුතු යම් මට්ටමකින් නිමාවට පත් කරනව. උන්වහන්සේගේ උපදෙස් අනුශාසනා මත තමයි චෛත්‍යයක් සහිත විහාර මන්දිරය ඉදිවෙන්නෙ. මාලේවන පඤ්ඤානන්ද අපේ ලොකු හාමුදුරුවෝ මේ කටයුත්තට මුල පුරන අවධිය වෙනකොට මේ පළාත් තිබිල තියෙන්නෙ බොහොම නොදියුණු මට්ටමක. නමුත් ගැමියන් තුළ ආගම දහම පිළිබඳ ලොකු ශ්‍රද්ධාවක් තිබිල තියෙනව. ගැමියන් පිරිසක් ගිහින් උන්වහන්සේව බැහැ දැකල වැඳ නමස්කාර කරල කරන ලද ඉල්ලීමක් අනුව තමයි මේ ස්ථානයේ විහාරස්ථානයක් ගොඩනංවන්න උන්වහන්සේ තීරණය කරල තිබෙන්නෙ. ඒ කාලෙ නායක හාමුදුරුවන් වහන්සේ වැඩවාසය කරල තියෙන්නෙ බේරුවල කුරුඳුවත්ත ශ්‍රී ශෛලබිම්බාරාම විහාරස්ථානයේ. හරි හමන් ගමන් පහසුකම් තිබිල නැති කාලයක් හින්ද පා ගමනින් තමයි උන්වහන්සේ මේ ස්ථානයට නිතර නිතර වැඩම කරල තියෙන්නෙ. ඔය දැන් මහත්තය දකින ඉදිකිරීම් කටයුතු කරන්න පමණක් වසර 20ක් ගතවෙලා තිබෙනව. උන්වහන්සේ මුලින්ම බේරුවල ඉඳල මේ ස්ථානයට පහසුවෙන් ගමන් කරන්න පුළුවන් මාර්ගයක් ඉදිකරනව. ඒ මාර්ගය ඉදිකරන්න පමණක් ගල් පාලම් විසිදෙකක් අලුතින් ඉදිකළ බවත් ඉතිහාසයේ සඳහන් වෙනව. එපමණක් නොවෙය,ි හැම දෙයක් ම කළු ගලින් නිම කරල තිබෙන හින්ද මේ ඒ නිර්මාණ කටයුතු පිණිස ඉන්දියාවේ කේරළයෙන් දක්‍ෂ ගල් වඩුවො පිරිසකුත් අපේ රටට කැඳවන්න උන්වහන්සෙ කටයුතු කරනව. ඒ අයත් එක්ක බද්දේගම ප්‍රදේශයේ ගල් කැටයම්කරුවෝ කණ්ඩායමක් එක්වීමෙන් තමයි එදා මේ විහාරස්ථානය ඉදිකරල තිබෙන්නෙ. ”

එම ගල් වඩුවන්ගේ විස්මිත නිර්මාණ ශක්තිය තවමත් එම විහාරස්ථානය තුළ ජීවමානය. දැවැන්ත සඳකඩ පහණක පාමුලින් ආරම්භ වී ඉහළ කඳු ගැටය දක්වා විහිදෙන ගල් පඩි පෙළ ඒ සඳහා එක් උදාහරණයක් පමණ ය. සුමට කළුගල් මතුපිට මනා ඉවසීමකින් හා නිවහල් මනසකින් යුක්තව කරන ලද ලියවැල් , ඇත් රූප, අශ්ව රූප මෙන්ම මනරම් නෙළුම් මල් ආදිය හොඳින් දැක ගතහැක. වැරදීමකින්වත් වරදක් නොවන ආකාරයට සියුම් ඉසියුම් රේඛාවන් පවා මතුකොට පෙන්වීමේ තරම් මනා කලා කුසලතාවයක් සහිත අතීත මිනිසුන් පිළිබඳ සාදු සිතුවිලි උපදවා ගැනීම පිණිස එම නිර්මාණ පමණක් වුවද ප්‍රමාණවත්ය. විහාරස්ථාන භූමියේ තවත් තැනක දී දැකගත හැකි ගල් ළිඳ, ගල් පොකුණ ඉපැරණි අනුරාධපුර රාජධානිය සිහිකරවන සුලු නටඹුන් ලෙස අද ද සුරක්ෂිතව පවතී, තවත් තැනක මනා හැඩයකින් යුක්තව දෙපළු කරන ලද කළුගල් සමූහයකි. විහාර මන්දිරයට පිවිසෙන ප්‍රධාන උළුවස්ස ඇතුළු අනෙකුත් ප්‍රවේශයන් ද ඇතුන් ලවාවත් කෙළින් කළ නො හැකි තරමේ බරකින් යුක්තව කළු ගලින් ඉදිකරවන ලද්දකි. තවත් තැනක ඉපැරණි ධර්ම ශාලාවක් දර්ශනය වෙමින් පවතී, එහි ඉබි යතුරු දමා ඇත. එවැනි තීරණයක් ගෙන ඇත්තේ ගොඩනැඟිල්ලේ සංරක්ෂණය පිණිස විය යුතුය. ඉන් මදක් මෙපිටට වන්නට පිහිටි වෙනත් ස්ථානයක ඉපැරණි තිරික්කලයකි. එය ද ආරක්‍ෂා කර ඇත්තේ සංරක්‍ෂණය පිණිස ය.

අලි ඇතුන් ලවා අද්දවා කළුගලින් කළ පුදබිමක්

සර්ප විෂ වෛද්‍ය හරිස්චන්ද්‍ර පෙරේරා මහතා මුණගැසෙන්නේ එම ස්ථානයේදී ය. ඉපැරණි විහාරස්ථානය පිළිබඳවත් එම ප්‍රදේශය පිළිබඳවත් මනා අවබෝධයක් සහ දැනුමක් සහිත ඔහු මේ වනවිට 80 වැනි විය ද පසුකරන ලද පුද්ගලයෙකි. මා ඉදිරියේ සිටින ඔහු විහාරස්ථානය ඉදිකිරීම පිළිබඳ අතීතය පවසන්නට වූයේ මේ ආකාරයෙනි.

“අපේ ලොකු හාමුදුරුවො බේරුවල කුරුඳුවත්තෙ මහ පන්සලේ ඉඳල මේ ස්ථානයට වැඩම කරල තියෙන්නෙ තිරික්කලෙන්. ඒක තමයි මේ තියෙන්නෙ. මේ විහාරස්ථානය ඉදිකරන්න කළු ගල් අරන් ඇවිත් තියෙන්නෙ ගල්පොළ කන්ද කියන ස්ථානයෙන්. මෙතැන ඉඳල පයින් යන දුරින් තමයි ඒ ස්ථානය පිහිටල තියෙන්නෙ. අදත් එතැනට ගියොත් ඒ කාලේ පලාපු කළුගල් දැකගන්න පුළුවන්. මාලේවන සඝ පරපුර කියන්නෙ ශාසනයට පමණක් නොවෙයි සිංහල වෙදකමටත් නම් දරාපු සඝ පරපුරක්. ඒක මේ පළාත පමණක් නොවෙයි ලෝකයම දන්න කාරණයක්. ඉන්දියාවෙන් ගෙන්වන ලද ගල් වඩුවො වගේ ම අපේ රටේ ඒ කාලෙ හිටිය දක්‍ෂ ගල් වඩුවො කණ්ඩායමක් හරි හරියට මහන්සිවෙලා තමයි මේ හැම දෙයක්ම කරල තියෙන්නෙ. මේ ගල් කණුවක් එහෙමත් නැත්නම් ගල් පඩියක් උස්සන්න මිනිස්සු පනහක් හැටක් එක්වුණත් කරන්න පුළුවන් දෙයක් නොවෙයි. අලි ඇත්තු බැන්ද කරත්තවලින් තමයි මේ ගල් මේ ස්ථානයට ගෙනැත් තියෙන්නෙ. අපේ තාත්තල, මුත්තල ඒව ඇස්වලින් දැකල තියෙනව. ඒ වගේම තමයි ඔය ගලින් ගල යා කරන්න සිමෙන්ති කඳුළක්වත් මුහු කරල නැහැ. ගලින් ගල පුරුද්දල තමයි ඔය හැම දෙයක් ම කරල තියෙන්නෙ. කළුගල් මෙලෙක් කරන්න අවශ්‍ය බෙහෙත් වර්ග හදල තමයි මහා පර්වත දෙබෑ කරල ඔය ගල් ඉරල අරන් තියෙන්නෙ. ඒ කාලෙ හිටිය ගල් වඩුවො විවේක කාලය කියලවත් වැඩ නොකර ඉඳල නැහැ. අර අතන තියෙන අඩක් නිම කළ බුදු පිළිමය එහෙම ඉන්න වෙලාවක කරපු නිර්මාණයක්. (විහාරස්ථානයේ තැන්පත් කර ඇති අඩක් නිම කළ බුදු පිළිමයක් පෙන්වමින් ඔහු අතීත මිනිසුන් ගැන උපන් පහන් හැඟුමින් එසේ පවසන්නට විය.) මම රටේ ලෝකෙ ගැන ඒ තරම් දැන උගත් මනුස්සයෙක් නොවෙයි. ඒත් මේ ටිකත් කියන්න ඕන. මමත් දඹදිව වන්දනාවෙ ගිය මනුස්සයෙක්. ඒත් එහෙදිවත් මෙහෙම විස්කම් නිර්මාණ මම දැක්කෙ නැහැ. නායක හාමුදුරුවො (මාලේවන පඤ්ඤානන්ද හිමි) පසු කාලෙක මේ ස්ථානයේ පොඩි කුටියක වැඩ ඉන්න ගමන් තමයි මේ හැම දෙයක්ම කරල තියෙන්නෙ. ඒකෙන්ම තේරෙනව එදා උන්වහන්සේ මොන තරම් දුෂ්කර ජීවිතයක් ගත කරමින් ද මේ වගේ යුග යුග පවතින වැඩ කොටසක් සිද්ධ කළේ කියල. අපිට විතරක් නොවෙයි අපේ දරු මුණුපුරන්ටත් මේ දේවල් ඉතිරි කරල තමයි මාලේවන පරපුරේ ලොකු හාමුදුරුවන් වහන්සේ දෙනම අපවත් වෙන්න යෙදුණේ.”

අලි ඇතුන් ලවා අද්දවා කළුගලින් කළ පුදබිමක්

එකල ජීවත් වූ පින්වන්ත මිනිසුන් මෙන්ම තිරිසන් කුලේ ඉපිද මෙම පෞරාණික ඉදිකිරීම පිණිස වෙර වීරිය වැය කළ අලි ඇතුන් ද මේ වනවිට තම තමන් සතු ආයු වින්දනය කර මිය පරලොව ගොස් අවසන් ය. එහෙත් ඔවුන් විසින් ඉතිරිය පිණිස තබා යන ලද අනුලංඝනීය නිමැවුම් තවමත් නිරුපද්‍රිත ය. රළු පරළු කළුගල් ජීවමය මුහුණුවරකින් විචිත්‍රවත් වන්නේ ඔවුන්ගේ දහදිය මහන්සියේ ප්‍රතිඵලයක් ලෙසින් ය.

මංහන්දිය ශ්‍රී සම්බෝධාරාම විහාරස්ථානයේ වත්මන් පැවැත්ම පිණිස ඉමහත් වෙහෙසක් දරන විශ්‍රාමික තැපැල් ස්ථානාධිපති දේශබන්දු පියසේන දොඩංගොඩ මහතා සතු අතීත මතකයෙන් යම් ප්‍රමාණයක් මෙහිලා සටහන් කරනු ලබන්නේ ඔහුගේ ළමා වියෙහි සිට මේ දක්වා වසර 83ක දිගු ඉතිහාස කතාවෙන් මදක් හෝ මෙහි සඳහන් කර තැබීම යුතුකමක් කොට සලකමින් ය.

“මාලේවන පඤ්ඤානන්ද ලොකු හාමුදුරුවන් ඇතුළු මාලේවන සංඝ පරම්පරාව කියන්නෙ අපේ රටේ බිහිවූ විශිෂට සංඝ පරපුරක්. කුඩා අවධියේ පටන් උන්වහන්සේගේ ඇසුර ඒ වගේම අවවාද අනුශාසනා ලබන්න ගම් වැසියන් වශයෙන් අපි වාසනාවන්ත වෙනව. මේ විහාරස්ථානය පමණක් නොවෙය,ි මාලේවන ශ්‍රී පඤ්ඤානන්ද විද්‍යාලයත් ගොඩනඟන්නෙ උන්වහන්සේ විසින් බව සඳහන් කළ යුතුයි. මමත් මූලික අධ්‍යාපනය ලබන්නේ ඒ විදුහලෙන්. පඤ්ඤානන්ද නායක හාමුදුරුවන්ගේ මැදිහත් වීමෙන් ඉදිකළ ශාලාවක තමයි ඒ කාලෙ මුළු විද්‍යාලයට ම තිබුණෙ. එයත් කළු ගලින් නිම කළ ශාලාවක්. අදත් ඒ ශාලාව බොහොම සුරක්‍ෂිතව පවතිනව.

උන්වහන්සේ වැඩඋන්න අවධිය කියන්නෙ කිසිම පහසුකමක් තිබුණ යුගයක් නොවෙයි. මේ පළාතෙ දරුවෙකුට අධ්‍යාපනය ලබන්න නම් බේරුවලට පා ගමනින් යන්න වුණා. ඒ දුෂ්කරතාවය දැකල තමයි උන්වහන්සේ ගමට අධ්‍යාපනය අරගෙන ආවෙ. මේ පළාතෙ උපන් ගම් වැසියන් ලෙස මාලේවන සඝ පරපුර අදත් මේ පළාතට කරන සේවය පිළිබඳ අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ.”

අලි ඇතුන් ලවා අද්දවා කළුගලින් කළ පුදබිමක්

දහවල ක්‍රමයෙන් මහලු වියට පත්වෙමින් ඇත. ඉපැරණි නටඹුන් හැරපියා විහාරස්ථානයෙන් නික්ම යෑමේ මොහොත පෙනෙන තෙක් මානයට පැමිණ අවසන් ය. වැටෙමින් පැවැති සිහින් හිරිපොද වැස්ස ක්‍රමයෙන් මහා වර්ෂාවක් බවට පත්වෙමින් ය. මාලේවන විහාරඝනයේ අධිපති අතිපූජ්‍ය මාලේවන සෝභිත හිමිපාණන් වහන්සේ තරමක් අසනීපයෙන් පසුවන බැවින් උන්වහන්සේගේ දෙපා වැඳ නමස්කාර කිරීමේ වරම අහිමි වී ඇත. විහාරාධිකාරි පූජ්‍ය හල්තොට පාලිත හිමියන් අභියස නැවත දන නමමි. ‘හොඳයි මහත්තය ගිහින් එන්න තෙරුවන්සරණයි’ උන්වහන්සේගේ කටහඬෙහි ඇත්තේ ශාන්ත බවකි.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment