ජනාධිපති ලේකම්වරයාගේ උපදෙස් මත ශ්‍රී ලංකා රාමක්‍ඳ්ක්‍ඳ නිකායට හා අමරපුර නිකායට කණ්ඩුල, මංගල හා ඇසළ යන අලි ඇතුන් තිදෙනා නිදහස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුවක සැකකරුවන් ලෙස හිටපු වනජීවී අධ්යක්ෂ ජනරාල් දයාවන් රත්නායක හා දෙහිවල ජාතික සත්වෝද්‍යාන හිටපු අධ්යක්ෂ ජනරාල් අනුර ද සිල්වා යන මහත්වරුන් නම් කිරීම හෝ ඔවුන් අත්අඩංගුවට ගැනීම සිදුනොකිරීමට වගබලා ගන්නා ලෙසට අභියාචනාධිකරණය ඊයේ (06 දා) නීතිපතිවරයාට නියෝග කළේය.
එම මහත්වරුන් විසින් ගොනුකර තිබූ පෙත්සම් දෙකක් සලකා බැලූ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා එම්. ඒ. ආර්. මරික්කාර් යන මහත්වරු එම නියෝගය කළහ.
හිටපු ජනාධිපතිවරුන් තිදෙනකු විසින් මෙයට වසර ගණනාවකට පෙර එකී විහාරස්ථාන වෙත සන්නස් පත්‍ර මගින් ප්රදානය කර තිබූ එම අලි ඇතුන් තිදෙනා රැකබලා ගැනීමේ වගකීම වෙනත් පාර්ශ්වයකට පවරාදීමේ සිද්ධියක් මුල්කරගෙන වනජීවී දෙපාර්තමේන්තුවට නැවත පවරා තිබූ බවත්, 2015 වසරේදී එවකට සිටි ජනාධිපතිවරයාගේ ‘උපදෙස් මත ජනාධිපති ලේකම්වරයා විසින් එම අලි ඇතුන් යළි එම විහාරස්ථාන වෙත මුදාහැර ඇති බවත් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ගසාලි හුසේන් මහතා විනිසුරු මඬුල්ලට පෙන්වා දුන්නේය.
ඒ සම්බන්ධයෙන් ලැබුණේ යැයි කියන පැමිණිලි අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකය කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර විමර්ශන ආරම්භ කර ඇති බවත්, එම විමර්ශනවල සැකකරුවකු ලෙස පෙර කී හිටපු නිලධාරීන්ව නම්කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහෙත්රාත්වරයා නියෝග කර ඇති බවත් එම නඩුව අද (07 දා) කැඳවීමට නියමිත බවත් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අධිකරණයට පැවසීය.
එකී විමර්ශන සම්බන්ධයෙන් තම දෙපාර්තමේන්තුවේ උපදෙස් ලබාගැනීම සඳහා විමර්ශන උධෘතව ඉදිරිපත් කර ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දක්වා ඇතත් මේ දක්වා එවැනි උපදෙස් පැතීමක් සිදුකර නොමැති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් හා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා යන මහත්වරුන් අධිකරණයට පැවසූහ. විමර්ශන උධෘත අධ්‍යයනය කර ගත හැකි නෛතික පියවර කුමක් දැයි විමර්ශන නිලධාරීන්ට උපදෙස් ලබා දෙන තුරු පෙත්සම්කරුවන් සැකකරුවන් ලෙස සලකා කටයුතු නොකිරීමට එකඟවන්නේ යැයි ද නීතිපති දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට පැවසීය.
එම පෙත්සම් වැඩිදුර සලකා බැලීම සඳහා ලබන ජූලි මස 12 වැනිදා යළි කැඳවීමට ද විනිසුරු මඬුල්ල නියෝග කළේය.
නීතිඥ චනුක ඒකනායක මහතාගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ නීතිඥ ගසාලි හුසේන් මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක