අලි කතාව

249

අලි කතාව මෙසේය. ශ‍්‍රී ලංකාව තුළ මේ වනවිට අලි ඇතුන් 7500 ක් සිටින බව බි‍්‍රතාන්‍ය ගුවන් විදුලියේ ඇස්තමේන්තුවය. ආසියානු වන ගහනවල සිටින අලින් අතුරින් සුවිශේෂම අලි වර්ගය මේ රටේ සිටින බව පරිසරවේදීහු කියති. Elephas Maximus නමැති මේ හස්ති වර්ගය වඳ වෙමින් සිටින සත්ත්ව විශේෂයක් බව 1986 සිට හඳුනාගෙන තිබේ. පසුගිය පරම්පරා තුනක කාල පරාසය තුළදී මේ රටේ අලි ගහනයෙන් 50% ක් වඳ විය. ලංකාවේ භූමි ප‍්‍රමාණයට දැරිය හැකි ප‍්‍රමාණයට වැඩි අලි ප‍්‍රජාවක් සිටින බැවින් ඒ වැඩි හරිය අල්ලා රට පටවමුයි එක් මහතෙක් මේ ළඟදී දවසක පාර්ලිමේන්තුවේදී යෝජනාවක් කළේය. බි‍්‍රතාන්‍ය ගුවන්විදුලිය කුමක් කීවත් ශ‍්‍රී ලංකාවේ වන ගහනය තුළ අලි ඇතුන් 2500 ත් 4000 ත් අතර ගණනට වැඩි නොවන බව පරිසරවේදීහු කියති. සාමාන්‍යයෙන් මේ රටේ අලින් දෛනිකව එකා බැගින් එක්කෝ මැරෙයි. නැත්නම් මැරුම් කයි. උන් එක්කෝ කෝච්චිවල හැපෙති. නැතහොත් හක්ක පටස් කති. එසේ නැතහොත් ගොවීන්ගෙන් හෝ දඩයක්කරුවන්ගෙන් වෙඩි කති. මේ රටේ අලි ඇතුන් රැකගැනීමට කිසිදු ආණ්ඩුවක් කිසිදු ම`ගුලක් කර නැත. මෙහිදී මතක තබාගත යුතු වැදගත්ම කාරණය වන්නේ ලෝකයේ සියලූම වන ගහනවල අලි ඇතුන් හාරලක්ෂ හතළිස්දාහකට වඩා නැති බවය. අපේ අලි කතාවේ ඉතුරු හරිය පටන් ගන්නේ මෙතැන් සිටය.

ගිය ආණ්ඩුව කාලයේදී පෞද්ගලික අලි හිමියන් වෙතින් පවරාගන්නා ලද අලි ඇතුන් ආපසු එම අයිතිකරුවන්ටම ලබා දීමට ආණ්ඩුව තීරණය කර තිබේ. මේ තීරණය නිසා සෑහෙන කලබලයක් ඇති විය. ඒ අතර අලි ඇතුන් සම්බන්ධයෙන් උනන්දුව පළ කරන වනජීවී සංරක්ෂකයන් වැඩිදෙනා මේ තීරණයට විරෝධය පළකර තිබේ. යහපාලන ආණ්ඩුව පෞද්ගලික අයිතිකරුවන් වෙතින් අලි ඇතුන් ලබා ගත්තේ දේශපාලන පළිගැනීමක් ලෙසය.
ඒ අයිතිකරුවන් සියලූම දෙනා රාජපක්‍ෂ ආණ්ඩුවේ කැචර්ලා වූහ. මෙසේ පවරාගත් අලි ඇතුන් අතර නීත්‍යනුකූල බලපත‍්‍ර සහිත අලි ඇතුන් මෙන්ම කැලෑ වලට පැන හොරෙන් පටවාගෙන ආ අලි පැටවුන් ද පින්නවල අලි අනාථාගාරයෙන් ඉස්සූ අලි පැටවුන් ද සිටි බව අපිද පිළිගනිමු. අප කතා කරන්නේ අලින් උස්සා විකුණන පල් හොර හැතිකරය වෙනුවෙන් නොව නීත්‍යනුකූලව බලපත‍්‍ර සහිතව ලබාගෙන සිටි අලි ඇතුන් ගැනය. මෙරට හස්තියා යනු ආගමික සත්ත්වයෙකි. බර වැඩ කිරීම සඳහා අලි ඇතුන් යොදා ගැනුම ශී‍්‍ර ලංකාවේදී මෙකල ඉතා විරළය. සාමාන්‍යයෙන් මේ රටේ පෞද්ගලික අයිතිය සහිත හීලෑ අලි දැනට කරන එකම රාජකාරිය පෙරහැරේ යෑම පමණි. මේ හීලෑ අලින් නැවත වනාන්තරයට ගෙනගොස් අත්හැර දැමිය නොහැක. එයට හේතු කිහිපයක් තිබේ. පළමුකොට හීලෑ අලියා දන්නේ කෑම හොයාගෙන කන්නට නොව ළඟට ගෙනත් දෙන කෑම කන්නටය. දෙවනුව හීලෑ අලියෙක් වනාන්තරයට ගෙනගොස් දැමුවොත් වල් අලි එකතු වී ඌ මරා දමති.
මේ කාරණා නිසා හීලෑ අලි මනුෂ්‍ය ජනාවාස වලම රඳවා ගැනීමට සිදුව තිබේ. ඊළඟ වැදගත් කාරණය නම්, මේ රටේ අලින් මරණ හැටියට ඉතිරි අලි සම්පත බේරා ගැනීමට නම් උන් සියලූම දෙනා අල්ලා ගෙනවුත් ගෙවල්වල රඳවාගෙන ඇති දැඩි කිරීමට සිදුව තිබීමය. අලියා යනු ශිෂ්ටාචාරය විසින්ද නොසිතන ලද පරිදි මනුෂ්‍යයා සමග වාසයට පැමිණි සතෙකි. ගංගාරාම විහාරාධිකාරී පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියෝ පසුගියදා සඳහන් කළේ බල්ලා හෝ පූසා මෙන්ම හස්තියාද ගෘහාශ‍්‍රිත සතකුව සිටින බවය. මෙය සම්පූර්ණ ඇත්ත කතාවකි. තන්තිරිමලේ විහාරස්ථානයේ නායක හාමුදුරුවන් වහන්සේ උදේට කහට තේ වළඳන විට උන්වහන්සේගේ හකුරු කෑල්ල කෑමට පන්සල කරා වල් අලියෙක් පැමිණීමට පුරුදුව සිටියේය. මේ සතා තවමත් සිටින බව අපි විශ්වාස කරමු.
දිනක් නායක හාමුදුරුවෝ විහාරස්ථානයෙන් නික්මී ආපසු වඩින්නේ දින තුනකට පසුවය. පෙරකී වල් අලියා හාමුදුරුවන් යළි වැඩම කරනතුරු දින තුනම හකුරු කෑල්ල වෙනුවෙන් පන්සල ඉදිරිපිට හිටගෙන සිටියේය. අලියා ආපසු ගියේ හාමුදුරුවන් වැඩම කොට හකුරු කෑල්ලක් දීමෙන් පසුවය. ඒක ෙසෙලීය ජීවීන් හෝ බැක්ටීරියාවන් හැර සෙසු ජීවීහු ඉතාම සංවේදීය. ලංකාවේ මහා පාරවල් අයිනේ තිබෙන අලි වැටවල් අසලට වී පාරේ යන ජනයාගෙන් පලතුරු ඉල්ලාගෙන කන වල් අලි ඕනෑ තරම් සිටිති. එම වල් අලියාගේ ආහාර පිණිස විකිණීමට පලතුරු තබාගෙන සිටින කඩ වෙනම බිහිවී ඇත. මේ අලි වතුර බොන්නටවත් අලි වැට ළඟින් එහාට නොයති. ඒ නිසා පලතුරු කඩ අයිතිකාරයා අලියාට බොනු පිණිස වතුර බේසමක් තබයි. තිරිසන් සතෙක් ගෘහාශ‍්‍රිත වූ විට ඇතිවන තත්ත්වය ඕකය. මෙකල සිටින පූසෝ වැඩිදෙනා මීයන් නොඅල්ලති. උන් වඩා කැමති ගෙදර අය දෙන බත් මාළු කා ෆන් එකේ නිදා ගැනීමට ය.

දළදා මාලිගාවේ කරඬුව වැඩම කරවන ඇතා ශ‍්‍රී ලංකාවේ බෞද්ධ ජනතාව අතර ජනාදරයට පත් ශුද්ධ වූ වස්තුවකි. මේ ඇතා පාරේ යනවිට රාජ්‍ය නායකයකුට ලැබෙන ආරක්ෂාව ඒ විදිහටම ලැබේ. මේ ඇතා සිටින්නේද පෞද්ගලික හිමිකාරයකු යටතේය. ඒ හිමිකාරයාට මේ ඇතා දරුවකු මෙනි. බොහෝවිට හීලෑ ඇතකු මළ විට අයිතිකාරයා එම සිරුර භූමදානය කරන්නේ පාංශුකූලයද දීමෙනි. අප දන්නා පරිදි මේ රටේ අලි අනාථාගාර වල සිටින අලි ඇතුන්ට කෑම ටික දෙන්නටවත් වන ජීවියට සල්ලි නැත.
සත්වෝද්‍යානයේ තත්ත්වයත් මෙයමයි. ඒ නිසා හීලෑ අලි ඇතුන් ඔවුන්ගේ අයිතිකරුවන් වෙත ලබාදීම පිළිබඳව ප‍්‍රායෝගික කෝණයකින් බැලිය යුතුය. වන සත්ව අයිතීන් ගැන කතා කරන වැඩිදෙනා අලින් ගැන නොදනිති. දඹදිවදී නාලාගිරි ඇතා රා පානය කළ ‘‘හොර පොට් එක’’ අදටත් පෙන්වන්නට මේ අයට පුළුවන. එහෙත් ගර්භණී කාලයේදී අලි අනාථාගාරයක සිටින ඇතින්නියකට අමාරු වුණොත් දිනකට සේලයින් බෝතල් 70 ක්වත් දියයුතු බව ඔවුන් අසාවත් නැත.

advertistmentadvertistment
advertistmentadvertistment