අලි කපුටු පොහොට්ටු ආණ්ඩුව සහන ණයත් අහෝසි කරන්න හදනවා

59

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මාවනැල්ලේදී කියයි

අලි කපුටු පොහොට්ටු ආණ්ඩුව විසින් නව නීතියක් හරහා මෙතෙක් කල් මහ බැංකුවේ මැදිහත්වීම තුළ විවිධ අවස්ථාවලදී ගොවිතැනට, කෘෂිකර්මාන්තයට, ව්‍යාපාරවලට දුන් සහන ණය අහෝසි කිරීමට සූදානමක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ කරුණු ප්‍රකාශ කළේ 19 වැනිදා මාවනැල්ලේදී පැවති රැස්වීමක් අමතමිනි. එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව අරගලයක් සිදු කර රාජපක්ෂලා ගෙදර යැව්වා. මුදල් ඇමැති බැසිල්ව, අගමැති මහින්දව මෙන්ම ගෝඨාභයවත් කනෙන් අල්ලලා එළියට දැම්මා. ඒ වුණාට වෙනසක් සිදු වුණාද? නෑ නේද? හැබැයි එකම එක වෙනසක් සිදු වුණා. කපුටු පොහොට්ටු ගොඩට අලි ටික එකතු වුණා. දැන් රටේ තිබෙන්නේ අලි කපුටු පොහොට්ටු ආණ්ඩුවක්. දැන් මේ අලි කපුටු පොහොට්ටු ආණ්ඩුවට ලොකු දොළ දුකක් සංසිදුවගන්න තිබෙනවා. ඒ දොළ දුක සංසිදෙන්නේ රටේ ලක්ෂ 220ක් වූ ජනතාවට බදු ගැසීමෙන්. රටේ ලක්ෂ 220 විදුලි බිල සියයට 250කින් වැඩි කරන විට. ගෑස් මිල,භූමිතෙල්-පෙට්‍රල් මිල නංවන කොට. එතකොට තමයි මේ අලි කපුටු පොහොට්ටු ආණ්ඩුවේ ගතට සැනසීමක් එන්නේ. මූණට සිනාවක් එන්නේ.

රාජපක්ෂලා ගෙදර යැව්වට අද මේ ඇත්තේ රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුවක්. මේ රටේ දශලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ආදරණීය ඒ පැතුම ඉටු වුණේ නැහැ. පාර්ලිමේන්තුවේ 134ක් එකතු වෙලා රාජපක්ෂලා රකින ජනාධිපතිවරයෙක් පත්කර ගෙන අද රාජපක්ෂලා විනාශ කරපු රටේ බංකොලොත් කරපු රටේ වන්දි ගෙවන්න සිදු වෙලා තිබෙන්නේ මූල්‍ය අපරාධ සිදු කළ අයට නොව. මේ රටේ ලක්ෂ 220ක් වූ ඔබලාටයි වන්දි ගෙවන්න සිදු වුණේ. ඒ නිසා හොඳට මතක තියා ගන්න. මේ පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කරනවා කියන්නේ මේ රටේ පොදු ජනතාවගේ පොඩි මනුස්සයාගේ සාමාන්‍ය ජනතාවගේ යුගය නිර්මාණය වෙනවා.

මේ අලි කපුටු පොහොට්ටු ආණ්ඩුව අලු‍ත් නීති රීති ගෙනවිත් මෙතෙක් කල් මහ බැංකුවේ මැදිහත්වීම තුළ මේ රටේ විවිධ අවස්ථාවන්වලදී ජනතාවට ව්‍යාපාර කරගෙන යන්නට ගොවිතැන කෘෂිකර්මාන්තය කරගෙන යන්න ඒ ලබා දුන් සහන ණය සම්පූර්ණයෙන් අහෝසි කර ඒ වැඩපිළිවෙළ සම්පුර්ණයෙන් නවත්වන පිඹුරු පත් සකසනව. මේ රටේ විවිධ අවස්ථාවල මහ බැංකුව පිහිට වුණා ප්‍රති මූල්‍ය ණය අඩු පොළියට ලබා දෙන්න. සුනාමි ආව කාලේ එයින් විනාශ වුණ ව්‍යාපාර, ජන ජීවිත ගොඩ නගන්න සියයට 5, 6 පොළියට ණය දුන්නා. පාස්කු ප්‍රහාරය අවස්ථාවේ සංචාරක ව්‍යාපාරය කඩා වැටෙන කොට ඒ සංචාරක ව්‍යාපාරයේ නිතර පුද්ගලයන්ට පොළී රහිත ණය ලබා දුන්නා. එතකොට මේ බැංකුවල මුදල් නොවේ. මහ බැංකුවෙන් මුදල් දෙනවා ප්‍රති මූල්‍ය ණය විදිහට. එතකොට මේ අලි කපුටු පොහොට්ටු ආණ්ඩුව මේ ප්‍රති මූල්‍ය ණය නතර කරන්න හදනවා. මම අහන්න කැමතියි මේවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා. මේවද මේ ජනතාවගේ ජන ජීවිතය විනාශ කරන යෝජනා. මේ නිසාද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම පාර්ලිමේන්තුවේ සභාගත කරන්න කියා අපි ඉල්ලා සිටි විට එය සිදු නොකරන්නේ?

නිදහස් දින උළෙලේ ජංගම වැසිකිළිවලට මුදල් තිබෙනවා. මහා අධික මුදලක් වියදම් කර නිදහස් උළෙල සමරන්න පුළුවන්. හැබැයි ඔබගේ සර්ව ජන ඡන්ද බල අයිතිය ලබා දෙන්න ඡන්දෙ තියන්න මේ රජයට හැකියාවක් නැහැ. ඇත්තටම කතා කළොත් රටේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මුදල් අමාත්‍යාංශයේ ලේකම්ගේ වගකීම, රජයේ මුද්‍රණාලයේ ප්‍රධානියාගේ වගකීම, මැතිවරණ කොමිසමේ වගකීමත් අරගෙන කුමන්ත්‍රණකාරී ලෙස මිනිසුන්ට ඡන්දය පාවිච්ච කරන්න තියෙන අයිතිය සල්ලි නැහැ කියන වචන තුළින් කුඩුපට්ටම් කර තිබෙනවා. අපි බොහොම පැහැදිලිව කියනවා. මේ කුමන්ත්‍රණකාරි ආකාරයට මේ ඡන්දය වළක්වන්න මේ ඡන්දය පවත්වන්න බාධා කර මිනිසුන්ගේ ඡන්ද අයිතියට බාධා කරන සියලු‍ දෙනා අනාගතයේ නීතිය හමුවට ගෙන එනවා.
මාවනැල්ල ජයන්ත සේනානායක

advertistmentadvertistment
advertistmentadvertistment