අලි මාලිමා ඩීල් එක අයිටීඑන් නාඩගමින් ඔප්පු වුණා

95

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සජබ රජරට ගොවි සමුළුවේදී කියයි
මගේ ඩීල් එක ලක්ෂ 220 පුරවැසියන් සමඟයි

සමගි ජන බලවේගයට ජනාධිපති එක්ක සාකච්ඡාවක් ඇති බවට කයිය නායකයා ලන්ඩන් ගිහින් පවසන බවත් එය අමූලික බොරුවක් බවත් අද රටේ ඇති ලොකුම ඩීල් එක ඇත්තේ මාලිමාවේ සහ අලියාගේ බවත් එය පසුගියදා ස්වාධීන රූපවාහිනියේ නටපු නාඩගමින් ඔප්පු වූ බවත් ඒ ප්‍රශ්න කිරීම් කළ නිවේදකයාට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ නීති ක්‍රියාමාර්ග ගෙන ඇති මොහොතක ඒ පුද්ගලයා සමඟ අලි මාලිමා ඩීල් එක රටටම ඔප්පු කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එසේම තමාට 71 වතාවක් අගමැතිකම ගන්න කියා ඉල්ලීම් සිදු කළත් ප්‍රතිපත්තිගරුක තමා එය ප්‍රතික්ෂේප කර කියා සිටියේ තමා තනතුරු ගන්නේ පොදු ජනතා ආශිර්වාදයෙන් බවත් තමා එදින

අගමැතිකම හෝ ජනාධිපතිකම බාර නොගෙන ප්‍රතික්ෂේප කළේ රට බංකොලොත් කළ රාජපක්ෂවරුන්ගේ ආරක්ෂකයා වීමට තමා අකැමැති නිසා බවත් සක්විති රජකම දෙනවා කිව්වත් සජිත් ප්‍රේමදාස රට බංකොලොත් කළ අය එක්ක ඩීල් දමන්නේ නැති බවත් තමාගේ ඩීල් එක ඇත්තේ මේ රටේ ලක්ෂ 220 පුරවැසියන් සමඟ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පෙරේදා (16දා) අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ පැවැති සමගි ජන බලවේගයේ රජරට ගොවි සමුළුව අමතමිනි.

කයිය නායකයෝ වගේ ලන්ඩන් නුවරට, කැනඩාවට, ඇමෙරිකාවට යනවට වඩා අනුරාධපුරයේ ගොවියන් සමඟ සිටීම තමාට සැපතක් බවත් සක්වල හා හුස්ම වැඩසටහන් සඳහා යොදවන මුදල්වලින් විදේශ රටවල ගොස් දේශපාලන සැණකෙළි දමන්නට තමාටද හැකියාව තිබුණත් ඒ මුදල්වලින් තඹුත්තේගම ජාතික පාසල ඇතුළු පාසල්වලට බස් රථ ලබාදීම ඊට වඩා වටිනා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගොවියාව සුහුරු ගොවියකු බවට පත් කර තමන්ගේ නිෂ්පාදන එකවර වෙළෙඳපොළට නිකුත් නොකර ගබඩා කර නියමිත අවස්ථාවට නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කිරීම තමන්ගේ නිෂ්පාදනයට ස්ථාවර අලෙවි මිලක් ලබාදීම ගොවි ජනතාව වෙනුවෙන් ඒ යුතුකම ඉටු කරනා බවත් විපක්ෂ නායකවරයා පැවසීය. දැනුම, නව්‍යකරණය, ඩිජිටල්කරණය ආදී ක්‍රමවේද හරහා ගොවියාට සුහුරු ගොවි උපකරණ ලබාදීමත් සමඟ කෘෂිකර්මාන්තය ඉහළම තලයකට ගෙනවිත් නෙදර්ලන්තය මෙන් ඊශ්‍රාලය මෙන් අපේ රටේත් වීරෝදාර ගොවි පරපුරක් බිහි කරන බවත් රටේ ආහාර සුරක්ෂිතභාවයත් ආහාර අපනයනය කරන්නටත් හැකියාව ඇති යුගයක් නිර්මාණය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දේශය වෙනුවෙන් අමරණිය සේවාවක් ඉටු කළ රණවිරුවන් ඇතුළු සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රය සුරකින බවත් මහපාරට ඇද දමා ඇති උපාධිධාරීන්ට සුදුසුකම් මත රැකියා ලබාදීම මෙන්ම ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලට හිරවී ඇති ජනතාවට විසඳුම් ලබාදෙනවා සේම සතා සිව්පාවන්ගෙන් වගාවට වන හානිය වළක්වාලන්න ප්‍රායෝගික ශක්තිමත් වගා රක්ෂණ ක්‍රමයක් ඇති කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගොවිබිම් මෑත කාලයේ රක්ෂිත ලෙස නම් කර ගොවියාගේ ගොවිබිම් උදුරා ගෙන ධන කුවේරයන්ට ධනවාදී ගජමිතුරන්ට ඉඩම් කුට්ටි පිටින් ලබා දුන් යුගය නතර කර ගොවියාගේ උරුමය ගොවිබිම නැවත වරක් ලබාදෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment