අලුත්වැඩියා කරමින් සිටි බස් රථය පිටුපස ලොරියක් ගැටී තිදෙනෙක් මරුට සිව්දෙනකුට තුවාල

299

යාපනය – මහනුවර ඒ 9 මාර්ගයේ දී ගැටිලා

යාපනය – මහනුවර ඒ 9 මාර්ගයේ මාන්කුලම, පනිච්චකුලම් ප්‍රදේශයේ දී 26 දා අලුයම සිදු වූ බස් රථයක් පිටුපස ලොරියක් ගැටීමෙන් පුද්ගලයන් තිදෙනකු මියගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ.

යාපනයේ සිට කොළඹ බලා ධාවනය වන අතිසුඛෝපභෝගී බස් රථයක් අනතුර සිදු වූ ස්ථානයේදී කාර්මික දෝෂයකට ලක්ව තිබේ.

බස් රථයේ රියැදුරු හා තවත් කිහිපදෙනකු බස් රථයෙන් බිමට බැස එය අලුත්වැඩියා කරමින් සිටිය දී බස් රථයට පිටුපසින් අධික වේගයෙන් පැමිණි ලොරි රථයක් ගැටීම නිසා මෙම අනතුර සිදුව තිබේ.

ලොරිය බස් රථයේ ගැටීමත් සමගම බස් රථය ඉදිරියට ගමන් කොට ඇති අතර ඊට රියැදුරු හා තවත් පිරිසක් යට වී තිබේ.

තුවාලකරුවන් අසල්වාසීන් හා මාර්ගයේ ගමන් කළ පිරිස විසින් මාන්කුලම රෝහලට ඇතුළත් කොට ඇතත් එහිදී රියැදුරු හා බස් රථයේ ගමන් කළ යාපනයේ වැසියෙකු සහ බසය අලුත්වැඩියාවට උදව් කළ අයෙකු මියගොස් ඇත.

මෙම අනතුරෙන් මියගිය අය බස් රථයට හා ලොරියට යටවීම හා තද වීම නිසා ඔවුන්ගේ සිරුරු කැබලි බවට පත්ව තිබුණි.

ඉතිරි තුවාලකරුවන් සිව්දෙනාගේ තත්ත්වය බරපතළ නොවන බව මාන්කුලම රෝහලේ වෛද්‍යවරු කියා සිටියහ. මාන්කුලම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.


දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment