අලුත් අවුරුද්දේ බලාපොරොත්තුවට එරෙහි බලාපොරොත්තු

97

අලුත් අවුරුද්ද උදාවූයේ සාමාන්‍ය බලාපොරොත්තුවේ ස්වරූපයෙන් නොව, බොහෝදෙනකුට චකිතය අත්කර දෙමින් සහ බලාපොරොත්තු සුන්කරවමිනි. පසුගිය සති කිහිපය තුළ සාකච්ඡාවේ සහ අවධානයේ ප්‍රධාන මාතෘකාව වී තිබුණේ සියයට 18ක එකතු කළ අගය මත බද්දේ (වැට්) බලපෑම වන අතර, එය අයිතම කිහිපයක් හැර අනෙකුත් සියලුම භාණ්ඩ සඳහා ව්‍යාප්ත කර තිබේ. අපේක්ෂා කරන මිල ඉහළ යෑම, කලක් භුක්ති විඳි ජීවන රටාව තවදුරටත් පවත්වාගෙන යෑම සඳහා ආදායම් නොලැබෙන ජනතාවට බරපතළ බලපෑමක් ඇතිකරනු ලබයි. මිල වැඩිවීම විසින් දුෂ්කර තත්ත්වය තවත් නරක අතට හරවනු ඇත. අන්තර්ජාතික ආයතන සහ රජය විසින්ම ඉදිරිපත් කරන ලද මෑත කාලීන තොරතුරු ගැටලුවේ සැබෑ ස්වරූපය පෙන්නුම් කරයි.

රජයේ සහ ව්‍යාපාරවල ඉහළ මට්ටම්වල සිටින සහ අනුමාන වශයෙන් තොරතුරු දන්නා අය අතර පවතින සාමාන්‍ය අවබෝධය වන්නේ, මෙම තත්ත්වයට පිළියමක් සඳහා වැඩි යමක් කළ නොහැකි බවයි. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහාය දිගටම පැවැතීමට නම්, ආර්ථික ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වත්මන් මාවත අනුගමනය කළ යුතු බවත්, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහාය නොමැතිව රට වඩාත් දරුණු විපතකට මුහුණදෙන බවත් මහ බැංකු අධිපතිවරයා පැහැදිලි කර ඇත. ඔහු පවසන්නේ, “ඉදිරි වසර හතර සඳහා කුමන ආණ්ඩුවක් බලයේ සිටියත්, නියමිත වේලාවට ප්‍රතිපත්ති වෙනස් කිරීම නැවත සාකච්ඡා කිරීමේ අඛණ්ඩ ක්‍රියාවලියක් වනු ඇත. ඒ සඳහා සීමාවන් නොමැත. එහෙත්, ප්‍රධාන අංගය වන්නේ අන්තර්ජාතික සහයෝගය ලබාගැනීම සඳහා අපි වැඩසටහන සමඟ ඉදිරියට යා යුතු බවයි.” යනුවෙනි. කෙසේවෙතත්, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කොන්දේසි සපුරාලීමේදී ආර්ථිකයේ බර බෙදාහැරීම පිළිබඳ ගැටලුව පිළිබඳව එතරම් සාකච්ඡා නොකෙරේ.

මීට වසර දෙකකට පෙර, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය සහ මිල ඉහළ යෑම තවදුරටත් දරාගත නොහැකි වූ රටේ ජනතාව තවදුරටත් ඉවසිය යුතු නැතැයි තීරණය කර, පාරට බැස, රට ආර්ථික ව්‍යසනයකට ගෙන යෑමට වගකිව යුතු පුද්ගලයන් ඉවත්විය යුතු යැයි බලකර සිටියහ. මාස හතරක් වැනි කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකා විරෝධතා ව්‍යාපාරය වූ ‘අරගලය’ ලොව පුරා ප්‍රධාන පුවත බවට පත්විය. මිනිසුන් විසින් පොළඹවනු ලැබූ කල වෙනසක් සිදු විය හැකි බවත්, දූෂිත හා අසාර්ථක ආණ්ඩු සාමකාමීව බලයෙන් ඉවත්කළ හැකි බවත්, ශ්‍රී ලංකාව පෙන්වාදුන් බවට බලාපොරොත්තු සහගත පණිවිඩයක් ද ඒ සමඟ විය.

කෙසේවෙතත්, ආගමේ සඳහන් පරිදි, නපුරේ මූලධර්ම ගැඹුරින් මුල්බැස ස්ථාපිත වී ඇත. ආත්මාර්ථකාමී, දූෂිත සහ දැඩි හදවත් ඇති පුද්ගලයෝ, බිඳදැමිය නොහැකි තරම් බල හා වරප්‍රසාද සහිත පද්ධතිවල මුල්බැස ගනිති. නපුරේ මූලධර්ම තුළ, නීතියේ නාමය පවතින තැන පවා ආත්මය නොපවතින බව සහතික කිරීම සඳහා, නීති අනිසි ලෙස භාවිත කර, වැරදි ලෙස ක්‍රියාත්මක වේ. ආණ්ඩුවේ නායකයන් වගවීම් දැරිය යුතු බවටත්, වධහිංසා පැමිණවීම හා ඒ ආශ්‍රිත බලය අයුතු ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ පොලිස් නිලධාරීන් ඉවත් කළ යුතු බවටත් මෑත කාලීන නඩුවලදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවලින් කිසිදු බලපෑමක් සිදුවී නැත.

මැතිවරණ සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම සටහන් කර ඇති නීතිය මගින්, ජනවරම මත නව පාලනයක් පිහිටුවීමට හැකිවීම අලුත් අවුරුද්දේ එක් බලාපොරොත්තුවක් වනු ඇත. ජනාධිපතිවරණය මේ වසරේ පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇති අතර, ඉන් අනතුරුව මහ මැතිවරණ සහ කල්දැමූ පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ ද පවත්වන බව සඳහන් කර තිබේ. අරගලය නම් වූ ජනතා ව්‍යාපාරයට ආණ්ඩු වෙනසක් ඇතිකර ගැනීමට නොහැකි විය. නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීමෙන්, මහජන ව්‍යාපාරයට අත්කර ගැනීමට නොහැකි වූ දේ සාක්ෂාත් කරගත හැකිය. කෙසේවෙතත් මෙම මැතිවරණ සම්බන්ධයෙන් යම් අවිනිශ්චිතභාවයක් පවතී. එම කනස්සල්ලට හේතුව වන්නේ, මේ වසරේ මැතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාව මඟහරවා ගැනීම සඳහා ව්‍යවස්ථාව වෙනස් කිරීමටත්, ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටත් ඉඩ තිබීමයි.

එහෙත් අලුත් අවුරුද්දේ විශාල බලාපොරොත්තුවක් ද ඇත. එය නරක දේට වඩා හොඳ දේ මත පදනම් වේ. සිවිල් සමාජයේ කුඩා කොටසක් සහ දෙමළ ඩයස්පෝරාවේ තවත් කුඩා කොටසක් එක්ව, රට තුළ ස්ථාවරව සිටින බෞද්ධ භික්ෂූන් වහන්සේ සමඟ සංවාදයේ යෙදෙමින්, එම කණ්ඩායමේ නායකත්වය සපයන ජාතික සංහිඳියාව කරා යන ගමනක් පසුගිය කාලයේ දක්නට ලැබිණි. දිගුකාලීන ගැටුම් නිමාකිරීමේ මූලික අවශ්‍යතා සහිත එවැනි ක්‍රියාවලියකදී, සමහරුන්ට ප්‍රතිලාභ ලැබෙනු ඇති අතර අනෙක් අය ඉවත් වනු ඇතැයි යන කනස්සල්ල වැඩිවන විට, නිරන්තරයෙන් සැකය සහ ඊර්ෂ්‍යාව ඇති කරයි. හිමාලයා ප්‍රකාශනයට මේ වන විටත් පවතින විවෘත හා කටුක විරෝධය දෙපාර්ශ්වයෙන්ම තවදුරටත් පැමිණීමට නියමිතය. එහෙත් එය විසින් සාමය ගොඩනැගීමේ ක්‍රියාවලිය අඩපණ නොකළ යුතුය.

සාමයේ ඉදිරි ගමනකට අඩිතාලම දැමීමට වර්තමාන කාලය සුදුසු වේ. පවතින ආර්ථික අර්බුදය විසින් ජනතාව එකිනෙකාගේ සතුරන් නොවන බව පෙන්වා දී ඇති අතර, එහිදී වෙනත් සාධක ක්‍රියාත්මක වේ. විරෝධතා ව්‍යාපාරයේ උච්චතම අවස්ථාව වන විට බොහෝ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වූ තරුණ තරුණියන්, ජාති භේද අවුළුවන දේශපාලකයන්ට තමන් රැවටී ඇති බවට සටන් පාඨ කියූ අතර, මේ තරුණ පිරිසට අවශ්‍ය වූයේ සැමට සමානාත්මතාවයෙන් හා ගෞරවයෙන් සලකන අලුත් රටකි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රධාන කථිකයා වූ සාමය සඳහා වූ ශ්‍රී ලංකා ආගමික සභාව විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයකින් ද එවැනිම පණිවිඩයක් ලැබිණි. ඇය සියලු වාර්ගික සහ ආගමික ප්‍රජාවන් සඳහා යුක්තිය සඳහා කැපවීමේ ජීවමාන ප්‍රතිමූර්තියක් ලෙස සිටින්නීය; ඇයට එක ඇසක පෙනීම අහිමි කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට වෛරයක් හෝ සතුරුකමක් නොපෙන්වීමට හෝ සමස්ත ප්‍රජාවක්ම ඊට වගකිව යුතු නැති බව පෙන්වීම සහ සමාව දීමට ඇති හැකියාව හා කැමැත්ත, ශ්‍රී ලංකාවේ අපට නෙල්සන් මැන්ඩෙලා ගැන වැඩිදුරක් සොයා බැලිය යුතු නැති බවට සාක්ෂියකි.

ශ්‍රී ලාංකීය ජනතාව ජාතිවාදී නොවන නමුත් දේශපාලකයන් විසින් ප්‍රකෝප කරන ලද ජනතාවක් බව හිටපු ජනාධිපතිවරිය මෙහිදී සඳහන් කළාය. ඇය පවසන ලද්දේ, ඇගේ කාලයේ දී, පැවැති යුද්ධය නොතකා, නායකත්වය සහ මහජන දැනුවත් කිරීමේ වැඩසටහන් හේතුවෙන්, වසර දෙකක් ඇතුළත සියයට 23 සිට සියයට 68 දක්වා, පළාත් මට්ටමට අන්තර් වාර්ගික බලය බෙදාගැනීම සහ බලය බෙදීම පදනම් කරගත් දේශපාලන විසඳුමකට මහජන මතය හිතකර වී තිබුණු බවයි.

දේශපාලන විසඳුම ගිවිසුම්ගත කිරීම සහ එය ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම කෙසේවෙතත්, අවම වශයෙන් බහු-පක්ෂ එකඟතාවකින් ඊට පදනම සකස් කිරීමට, මෙම වසර සාමයේ ඉදිරි ගමනක හොඳම අවස්ථාව නිර්මාණය කරදී තිබේ. අලුත් අවුරුද්දේ පිළිතුරු දිය යුතු ප්‍රශ්නය නම් සාමය සහ සංහිඳියාව යථාර්ථයක් බවට පත්කර ස්වයංපෝෂිත සංවර්ධනයක් කරා රට නැඟීමට ඇති එක් විශාල බාධාවක් (බොහෝ දේ අතරින්) ඉවත් කිරීමට නායකත්වය දෙන්නේ කවුරුන්ද යන්නයි. සෑම අර්බුදයක් සමඟම අවස්ථාවක්ද පැමිණේ. සැමට යුක්තිය සහ සියල්ල ඇතුළත් සංවර්ධනය ප්‍රවර්ධනය කරන දූරදර්ශී හා බහු-පාක්ෂික නායකත්වය සමඟ රටේ ඉරණම වෙනස් කිරීම සඳහා, 2024 වර්ෂය ශ්‍රී ලංකාවට තීරණාත්මක අවස්ථාවක් ලබාදී ඇත.

ජෙහාන් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment