අලුත් අවුරුදු සරදමක්

127

අවුරුදු කෙටි කතාව

“අපට මොන අවුරුද්-ද-ද්-ද?” යන වචන ඇදලා කියමින් ඇඳ මත වාඩිවී සිටි අබරන් මුදලාලි බිරින්දෑ දෙස බැලුවේය. අබරන් මුදලාලි හැට වයස් වූ මහල්ලෙකි. නමුත් ඔහුගේ කෙස් ඉදී නැත. දත් වැටී නැත. බෙලි කටුව තුළ වසන බෙල්ලෙකු මෙන් ඔහු හුදෙකලාව වාසයකට කැමැත්තෙකි. තරුණ වියෙහි සිට මුදල් සැපයීමට මිස කෙළි සෙල්ලම්වලට කාලය ගත නොකෙළේය. ජීවිතයේ දුක් නමැති තද නියඟයටත්, සැප නමැති වැස්සටත් එකම ගුණයක් පෙන්වන දැඩි කළුගලක් මෙන් හදවතක් ඇත්තෙකි. සිංහල අවුරුදු කාලයේ ඔහු නෑ මිතුරන්ගේ ගෙවලට නොයන්නේය. ඔහු බැලීමට නෑ මිතුරන් පැමිණෙනවාට ද සතුටු නැත.

“අපට අවුරුද්දක් නැතත් පුංචි ඈයන්ට අවුරුද්ද දෙන්නට එපායැ”

“පුංචි ඈයන්ට -හ්ම්” කියමින් අබරන් මුදලාලි බිරින්දෑ දෙස රවා බැලුවේය.

“ පුංචි ඈයන්ට මොකොටද අවුරුද්දක්? අවුරුද්දය කියන්නේ මොකක්ද?”

“අවුරුද්දය කියන්නේ දොළොස් මාසෙකට පස්සෙ එන දවසක් නෙව… එහෙම දවසකටවත් පුංචි ඈයන්ට කාල බීල සෙල්ලම් කරන්ට ඕනෑ දෙයක් දෙන්ට එපායැ”

“දොළොස් මාසෙකට පස්සෙ එන දවස?” කියමින් අබරන් මුදලාලි ගස්සාගෙන අනික් පසට හැරුණේය.

“ අප්‍රේල් මාසෙ 13 වැනිදා විතරක්ද දොළොස් මාසෙකට පස්සෙ එන දවස?”

“ ඇයි අදත් දොළොස් මාසෙකට පස්සෙ එන දවස තමයි… ගිය අප්‍රේල් මාසෙ 10 වැනිදා සිට ගණන් බලන්ට බැරියෑ… කන්නෙ බොන්නෙ අඳින්නෙ පළඳින්නෙ අප්‍රේල් මාසෙ 13 වැනිදාට විතරක්ද?

“කියමින් අබරන් මුදලාලි බිරින්දෑ සමග තර්ක කරන්නට සුදානම් වුයේය.

“ඕවාට උත්තර දෙන්ට අනේ මං ඉගෙන ගත්තේ නැහැ.” කියමින් භාර්යාව තම ඇකයෙහි වාඩි වී සිටි අට හැවිරිදි ළමයාගේ හිස දබරැඟිල්ලෙන් කසන්ට වූවාය.

“ අවුරුදු තමයි…. ඉතින් අපට…” කියමින් කන බොන අඳින පළඳින දේවල් මිල වැඩි වී විවාහ වූ පුරුෂයන්ගේ පසුම්බි හිස්වන කාලයේ කෙළි සෙල්ලම් කිරීමට කතා කරන තම බිරිඳගේ අනුවණකම ගැන අනුකම්පා කළේය.

“සන්තෝස වෙන කාලේ පහුගියා. ඒ කාලෙ හාල් සේරුවක් කීයද? තුට්ටු තුනයි. රෙදි යාරයක් කීයද? තුට්ටු හයයි. ඒ කාලෙ හය අට දෙනෙක් ඉන්න පවුලකට කන්ට වේලකට ශත දහහතරක් තිබුණම ඇති…නමුත් දැන් හැදෙන ඉලන්දාරියෙකුට ඒ මුදල දවසකට සිගරැට් බොන්ටත් මදි! ඒ කාලේ ඉලන්දාරි පැටික්කියන් පවා හැට්ට කැපුවෙ මන්නෙන්…. දැන් හැදෙන පැටික්කියන්ට කතුරු නැතිව හැට්ට කපන්න බෑ!… ලෝකෙ නැතිවෙන්නට එනවා.”

“ලෝකෙ ඇති වුණත් නැති වුණත් රටේ ලෝකෙ මිනිස්සු වැඩ කරන විදියට අපිත් වැඩ කරන්ට එපායැ. මේ නොදන්න ඈයන්ට මොකුත් හදල නොදුන්නොත් ඒක මහ අපරාධයක්”

“රටේ ලොකෙ මිනිස්සු….හ්ම්! රටේ ලෝකේ මිනිසුන්නේ විත්තියක් අපට මොකටද? අපට තිබෙන හැටියට කාල බිල ඉන්නව මිසක්…”

“අපි අවුරුද්දක් ඉල්ලුවායැ… මම කීවේ මේ පුංචි ඈයන්ට මොකුත් හදලා

“පුංචි ඈයො!” කියමින් අබරන් මුදලාලි ඇඳෙන් නැඟිට ශාලාවට ඇතුළු කාමරයකට ඇතුළු වූයේය.

කවුළු නැති බිත්ති හතරකින් වටවූ කුඩා උළුවස්සක් ඇති එම කාමරය දවල් කාලයේ ද ලෝකාන්තරික නරකය මෙන් අඳුරුය. තමාගේ ධනය සඟවා තබන ලද අල්මාරිය තිබෙන තැන ඔහු හිතින් දන්නේය. බස්සෙකුට මෙන් ඔහුට රෑ ද අල්මාරිය පෙනෙන්නේය. ඔහු අල්මාරියට ළංව පිටිපස එල්වාගෙන තිබුණ යතුර ඉණ වටේ කරකවා ඉදිරියට ගෙන අතපත ගාමින් යතුර යතුරු කඩොල්ලෙහි රුවා අල්මාරිය විවෘත කොට එහි කෙළවරක තිබුණ පසුම්බි හතඅටකින් එකෙක අත තබා නැවතත් වටපිට බැලුවේය. භාර්යාව ශාලාවට ඇතුළු වෙනවා දුටු අබරන් මුදලාලි වහාම පසුම්බිය මුල්ලට තල්ලු කොට, “හුනු පුවක් කන්න රුපියලක් ඉතුරු කරගෙන තිබුණා. ඒකත් නැතුවා වගෙයි.” කියමින් අල්මාරි තට්ටුව අතපත ගාන්ට වූයේය. භාර්යාව ශාලාවෙහි බිත්තිය මුල්ලේ තිබුණ හුනු මුලකින් හුනු ටිකක් ඇඟිල්ලට ගෙන නැවත ඉස්තෝප්පුවට ගොස් බංකුවක් මත වාඩිවී බුලත් සපන්නට වූවාය.

අබරන් මුදලාලි නැවත පසුම්බිය ගෙන උනා රුපියලක් ගෙන ඉණේ රුවා ගත්තේය. පසුම්බිය තරකොට බැඳ අල්මාරියේ කෙළවරට තල්ලු කොට අල්මාරිය වසා යතුර ඉණෙහි බැඳ පිටිපසට කරකවා සඟවා ගත්තේය. අල්මාරියේ දොර පළුව දෙතුන් වරක් ඇද සොලවා බලා ආපසු ගමන් කළේය. දොරටුව දක්වා ගමන් කොට නැවතත් ආපසු හැරී ගොස් අල්මාරිය හොඳින් වැසී තිබේදැයි සොලවා බැලුවේය.

“මෙන්න හුනු පුවක් කන්ට ඉතුරු කරගෙන තිබුණ රුපියල” කියමින් අබරන් මුදලාලි ඉණේ තුබුණ රුපියල ගෙන භාර්යාවට දුන්නේය.

“හාල් සේරුවක් ගෙන්වා පිටි කොටවලා කැවුමුත් මුංගෙඩිත් හදලා දුන්නාම ඇති.”

“ඔය ඕනෑ නැති අළුවත් කොර්දියෙලුත් මොන ඇන්නෑවකටදැ”යි කියමින් අබරන් මුදලාලි අලුත් රස කෑම වර්ග බෝ කරන ලද ගෑනුන්ට සාප කළේය.

අබරන් මුදලාලි නැවතත් ඇඳ මත වාඩිවී දසරුවක් වසා දාගෙන තිබුණ සරම ඇඳ හරිගස්සමින් භාර්යාව දෙස බැලුවේය. එහි හුනු පුවක් කන්නට තිබුණ රුපියල…. අහල පහළ ගෑනු අල්ලාගෙන, ලෝකෙ රටේ මිනිසුන්ගේ ඕපාදූප කතාකරමින් වඳුරන් කොළ කන්නා වගේ බුලත් කන්ට එපා. දැන් මා ළඟ හුනු පුවක්වලටවත් සල්ලි නැහැ…….”

“කෝ සීයා…අපට අවුරුද්ද?” කියමින් කුඩා කුසුමා අබරන් මුදලාලි ළඟින් වාඩිවී ඔහුගේ ගෙල වටේ යුගත් යවාගෙන සිනාසෙන්නට වූවාය.

“සීයාට ඔච්චර සල්ලි තියෙනවා. අපට අවුරුද්දට මොකුත් අරන් දෙන්නේ නැහැ. වෙන දෙයක් තියා රතිඤ්ඤා පෙට්ටියක්වත් අරගෙන දෙන්නේ නැහැ.”

12 වැනි දින උදේ අබරන් මුදලාලිගේ වැඩිමහල් දියණිය ගෙදර සිට තම දියණිවරුන් දෙන්නාත් සමඟ තෑගි බෝග රැගෙන පියාගේ ගෙදරට පැමිණියාය. ඇගේ ස්වාමීයා ගම නොසිටියේය. දියණිවරුන් දෙන්නාගෙන් කුසුමාගේ වයස අවුරුදු හයකි. අනික් දියණිය සොළොස් හැවිරිදි තරුණියකි.

“දඟ නොකර නිකා ඉඳින් දරුවා… සීයාට සල්ලි කොයින්ද? බොලා එපායැ සීයාට සලකන්න.” කියමින් අබරන් මුදලාලි සිනාසුණේය.

“අනේ හොඳයි සීයා! ඔච්චර සල්ලි තියෙනවා. ඒත් නැත කියනවා. වෙන එකක් තියා දනක් පිනක්වත් කරන්නේ නැත කියා අම්මාත් දොඩනවා.”

“දනක් පිනක් හ්ම්…මම එහෙමකට පව් කරලා නැහැ දරුවා… පිං කරන්ට ඕනෑ පව් කරා නම්… මම එහෙම කවදාවත් පව් කරපු මිනිහෙක් නෙවී.”

තේ වතුර සූදානම් කරනලදින් අබරන් මුදලාලිත්, කුසුමාත්, මවත්, කුසුමාගේ සහෝදරියත් තේ මේසය ඉදිරියේ අසුන්වල වාඩි ගත්හ. කුසුමා කාමරයකට දුව ගොස් පාර්සලයක් ගෙනැවිත් උනා එහි තිබුණු දේ කිසිවකට දමා සීයාට දුන්නාය.

“ ආ සීයේ… සීයාට මම බොහොම මහන්සි වෙලා මේ මුංගෙඩි හදාගෙන ආවා.”

අබරන් මුදලාලි කන් යුගල දක්වා මුව දික්වන සේ සිනාවක් පහළ කොට මුංගෙඩියක් ගෙන මුඛයෙහි ළා ගත්තේය.

කුසුමා සිනාසෙමින් ඉස්තෝප්පුවට දුව ගියාය. අබරන් මුදලාලි දෙපළු වූ කරුංකා ගෙඩියක් සහිත මුංගෙඩි පළු දෙකක් බිම හෙළුවේය.

කුසුමාගේ මවට ද සිනා පහළ වෙන්ට ආ නමුත් සිනාව යටපත් කරගෙන ‘මෙහෙ වරෙන්’ යැයි කෝපයෙන් කුසුමාට ආමන්ත්‍රණය කළාය.

“ පේනවායැ මෑ කළ වැඩේ, අපි දන්නේ නැහැ. මුංගෙඩි පාර්සලයක් සීයාට දෙන්නට යැයි කියා බැඳගෙන ආවා.”

“අපිත් විශ්වාස කරා ඇත්තක් මෙන්” කියමින් කුසුමාගේ මව තම පියා දෙස බැලුවාය.

“සීයා තරහද?” කියමින් කුසුමා සීයාට ළංව ගෙල වටේ යුගත් යවා ඔහුගේ මුහුණ සිම්බාය.

“මැගෙන් බේරෙන්ට බෑ නොවැ! ආ… මෑට රතිඤ්ඤා පෙට්ටියක්වත් ගෙන්වා දෙන්නට” යැයි කියමින් අබරන් මුදලාලි ඉණේ තිබුණු ශත දහයක් ගෙන භාර්යාවට දුන්නේය.

(මඟුල් ගෙදර කෙටිකතා සංග්‍රහයෙන් උපුටා ගැනිණි.)

අලුත් අවුරුදු සරදමක්

● හෙළයේ මහා ගත්කරු
මාර්ටින් වික්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment