දූෂිත චක්‍රයට හසුවූ දේශපාලනය අවසන් විය යුතුයි
රාජ්‍ය සේවය තිබිය යුත්තේ මහජන සේවය පිණිසයි
හොරු ඇල්ලීමෙන් පමණක් රට දියුණු කළ නොහැකියි
රාජ්‍ය අංශය තුළ වංචා හා දූෂණ සම්පූර්ණයෙන්ම නැති කර දැමීම අපහසු විය හැකිය. එහෙත් ඒවා හැකිතාක් උපරිම ලෙස අවම මට්ටමක් දක්වා අඩු කිරීමට රජයක් විසින් ක්‍රියාමාර්ග ගත යුතුය. ඒ සඳහා ශක්තිමත් නීතිරීති ද අවශ්‍ය වනු ඇත. ඒ නිසා දැනට පවතින නීතිය ක්‍රියාත්මක කරන අතරම, ඒ සඳහා ක්‍රියාමාර්ග ගැනීමට දැනට පවතින නීතිරීති ප්‍රමාණවත් නැත්නම් ඒවා දැඩි කිරීමට අලුත් නීතිරීති හෝ ගෙන ඒමට කටයුතු කළ යුතුය. එසේ කරමින් රජයේ නිලධාරීන්ට මෙන්ම රජයේ මැතිඇමතිවරු ඇතුළු දේශපාලනඥයින්ට මහජන ධනය සහ මහජන දේපළ කොල්ල කෑමට ඇති ඉඩකඩ වැළැක්වීම අත්‍යවශ්‍ය කරුණකි. යහපාලනයක් ඇති කරමින් රජයේ වංචා හා දූෂණ වැළැක්වීමට පියවර ගැනීම අත්‍යවශ්‍ය කරුණක් වන නමුත් එසේ කිරීමෙන් පමණක් රට දියුණු කළ හැකිය කියා සිතන්නේ නම් එය ද මුලාවකි. රට දියුණු කිරීමට නිසි සැලසුම් හා උපායමාර්ග තිබිය යුතු අතරම, ඒවා කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කිරීමද අවශ්‍ය වනු ඇත. ඒ නිසා හොරකමට ඉඩ ඇහිරීමෙන් සහ හොරු ඇල්ලීමෙන් පමණක්ම රට දියුණු කිරීමට හැකිය කියා සිතන්නේ නම් එය නිවැරදි නොවේ. එහිදී දූරදර්ශී රාජ්‍ය පාලනයක් මෙන්ම නිවැරදි ආර්ථික කළමනාකරණයක් තිබීම ද අතිශයින් වැදගත් වනු ඇත.
ජනාධිපතිවරයා වීමෙන් පසුවත් අනුර කුමාර දිසානායකගේ සරල ඇවතුම් පැවතුම් බොහෝ දෙනාගේ පැසසුමට ලක්ව ඇත. එසේම ඔහුගේ පත්වීම නිසාම මෙතෙක් තට්ටු මාරු ක්‍රමයට බලයට පත් වූ සාම්ප්‍රදායික බමුණු කුලයේ ප්‍රභූ පාලනයට බලවත් අභියෝගයක් එල්ල වී ඇත. ඇතැම් අය මහ ජන්දයට ඉදිරිපත් නොවීම ගෙදර නතර වී ඇත. එම දේශපාලනය තුළ වංචාවට හා දූෂණයට බොහෝ ඉඩ කඩක් පැවති අතරම ඒ අය ආණ්ඩු පක්ෂයට පත් වුවත් විපක්ෂයට ගියත් ඔවුන් අන්‍යොන්‍ය වශයෙන් ආරක්ෂා කිරීමේ පිළිවෙතක් ද අනුගමනය කරනු පෙනිණි. ආණ්ඩුවේ සිටියත් විපක්ෂයේ සිටියත් ඔවුන් සියලු දෙනාම යාළුවෝ විය. බලයට පත් වීමට පෙර විපක්ෂයේ සිටිමින් දේශපාලන වේදිකාවේ කෙතරම් හොරු අල්ලන බවට කෑ මොර දුන්නත් පසුගිය රාජ්‍ය පාලනයන් මගින් අවංකව හොරු ඇල්ලීමක් නම් සිදු වූයේම නැති තරම්ය. වෙනත් රටවල ආණ්ඩු පෙරළුණු විට පත්වෙන නව ආණ්ඩුව යටතේ නීතිමය ක්‍රියාවලිය මගින් හිටපු රාජ්‍ය පාලකයන් හා මැතිඇමතිවරු පවා සිරගත වන පුවත් අප ඕනෑ තරම් අසා ඇත. එහෙත් අපේ රටේ දූෂිත චක්‍රයට හසුවූ දේශපාලනය නිසා එසේ සිදුවීම ඉතාම විරල සිදුවීමක්ව ඇත.
පසුගිය ජනපතිවරණයෙන් ‘පළමු වතාවට දූෂිත ප්‍රභූ පාලනයෙන් පොදු ජනතාවගේ අතට බලය මාරු වුණා’ යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා ඇත්තේත් ‘යල්පැනගිය සහ දූෂිත චක්‍රයට හසුවූ දේශපාලනය අවසන් කළ යුතුයි’ කියා සර්වජන බලයේ නායක දිලිත් ජයවීර කියන්නේත් කිසියම් ආකාරයක එකම අදහසක් බව මේ ලියුම්කරුට සිතේ. ‘අපි ඔක්කොම එකතුවෙන්න ඕන එක දේකට. යල්පැනගිය සහ දූෂිත චක්‍රයට හසුවූ දේශපාලනය අවසන් කළ යුතුයි. මේ රට ඉල්ලා සිටින්නේ අවංකත්වයේ දේශපාලනය.’ යයි දිලිත් ජයවීර තවදුරටත් පවසා ඇත. අපත් සිතන්නේ මේ රටේ මහජනයා තවදුරටත් තම ඡන්දය භාවිත කිරීමේ දී ලොකුකම්, චන්ඩිකම් සහ ප්‍රභූත්වය යන සාධක ගැන සලකා බලා හෝ හැමදාම කැපුවත් කොළ, කැපුවත් නිල් වැනි කිසියම් පක්ෂයකට ගැතිව තම කැමැත්ත ප්‍රකාශ කිරීමෙන් බොහෝ දුරට වැළකී ඒ ඒ මැතිවරණයේ දී රටේ තිබෙන වාතාවරණය ගැන සලකා (පාවෙන ඡන්දයක් බවට පත්වෙමින්) තම කැමැත්ත ප්‍රකාශ කිරීමට යොමුව ඇති බවයි. මෙය අනුර කුමාර දිසානායක ජයගත් පසුගිය මැතිවරණ ප්‍රතිඵලයට බොහෝ දුරට බලපාන්නට ඇතැයි අපට සිතිය හැකිය. ඒ සමගම සාම්ප්‍රදායික ප්‍රභූ දේශපාලනයේ වෙනසක් නොවුවහොත් ඔවුන්ගේ අනාගත දේශපාලන පැවැත්ම පිළිබඳ බරපතළ අභියෝගයකට ද ඔවුන්ට මුහුණ දීමට සිදුවනු ඇත.
පාර්ලිමේන්තුවේ 225 ටම හොරු කියමින් බැන බැන සිටියාට මේ රටේ දූෂිත රාජ්‍ය නිලධාරී තන්ත්‍රයක් ද සිටී. මහජනයාට ඇතැම් රාජ්‍ය ආයතනයින් වැඩක් කර ගැනීමට ගිය විට රජයේ නියමිත ගාස්තුවලට අමතරව මේ රාජ්‍ය නිලධාරීන්ට කප්පම් හෝ පගාව දීමට ද සිදුව ඇත. ඒ පිළිබඳ මේ රටේ ජනයාට ඕනෑ තරම් අත්දැකීම් ඇත. පොලිස් නිලධාරීන් ඇතුළුව මේ සියලු රාජ්‍ය නිලධාරීන්ට පඩි ගෙවන්නේ මේ රටේ බදු ගෙවන මහජනතාවයි. එහෙත් ඒ ජනයා යම් සේවයක් ඉටු කර ගැනීමට රාජ්‍ය ආයතනයකට පැමිණි විට රාජ්‍ය නිලධාරීන් (සියලු දෙනාම නොවේ) ඔවුන්ගෙන් පගාව හෝ කප්පම් ඉල්ලන එක හරි ද? රාජ්‍ය සේවය ඇත්ත වශයෙන්ම තිබිය යුත්තේ මහජන සේවය පිණිසය. ඒ නිසා මේ රට හදන්න නම් පාර්ලිමේන්තුවට ඉදිරි මැතිවරණයෙන් කෙතරම් හොඳ මහජන නියෝජිතයින් 225 දෙනෙක් යැව්වත් එය ප්‍රමාණවත් වන්නේ නැත. මේ කියන දූෂිත නිලධාරී තන්ත්‍රය ද මට්ටු කළ යුතුමය. මේ අප කියන්නේ රාජ්‍ය නිලධාරීන් සියලු දෙනා ගැන නොවේ. මේ දූෂිතයින් පිරිස ඉතා අතලොස්සක් විය හැකිය. එහෙත් රට හදන්න නම්, ඔවුන්ට මහජනයාගෙන් පගාව හෝ කප්පම් ඉල්ලා සිටීමට බැරි පරිසරයක් ඇති කළ යුතු අතරම ඒවාට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීම ද අවශ්‍ය වනු ඇත. අප මේ ටික කීවේ ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය දා මොනරාගල ජන රැලියක දී රාජ්‍ය නිලධාරීන් ගැන කර තිබූ සඳහනක් නිසාය. ඒ මෙසේය.
“අපි රාජ්‍ය නිලධාරීන්ට කියනවා. දේශපාලකයින් විදියට අපි අපේ වැඩේ පටන් අරන් තියෙන්නේ. රාජ්‍ය නිලධාරීනුත් කොමිස් ඉල්ලන වැඩේ නතර කරන්න. පුරවැසියන්ට කියනවා කිසි කෙනෙකුට කප්පම්, පගාව දෙන්න එපා. එහෙම කවුරුවත් ඉල්ලුවොත් අපිට කියන්න කියන කෙනාගේ වැඩේ ඉක්මනට කරලා දෙනවා. ඉල්ලපු කෙනා ගෙදර යවනවා.”
ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශය ගැන ජනතාවට ද සතුටු විය හැකිය. මේ ගැන පැමිණිලි කරන කෙනාගේ වැඩේ ඉක්මනට කරදෙන බව ද ජනාධිපතිවරයා කියා ඇත. රාජ්‍ය නිලධාරීන්ගේ මේ දූෂිත වැඩ ගැන මහජනයා පැමිණිලි කිරීමට බොහෝ විට බිය වන්නේ එසේ පැමිණිලි කිරීම නිසාම ඔවුන් කර ගැනීමට ගිය වැඩේ කිසිසේත්ම කර ගැනීමට නොහැකි වනු ඇති බවට වන බිය නිසාය. එහෙත් ජනාධිපතිවරයා මේ කියන්නේ එසේ පැමිණිලි කරන අයගේ වැඩේ ඉක්මනට කරදෙන බවයි. එසේ නම් ඒ සඳහා යම් දුරකථන අංකයක් ඇති කර ඒ පැමිණිලි ලබා ගැනීමේ ක්‍රමවේදයක් ද ඇති කරන්නේ නම් මැනවි.
‘අපි රාජ්‍ය නිලධාරීන්ට කියනවා. දේශපාලකයින් විදියට අපි අපේ වැඩේ පටන් අරන් තියෙන්නේ. රාජ්‍ය නිලධාරීනුත් කොමිස් ඉල්ලන වැඩේ නතර කරන්න’ යැයි එම කතාවේ දී ජනාධිපතිවරයා කියා ඇත. ඔහු මේ කියන්නේ දේශපාලනඥයින් ගැනය. මේ දේශපාලනඥයින් අතර ද දූෂිතයින් නොවන අය සිටින බව අපගේ විශ්වාසයයි. ඒ නිසා පාර්ලිමේන්තුවේ සිටි 225 දෙනාම හොරු හෝ දූෂිතයින් ලෙස හැඳින්විය නොහැකිය. කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ සිටි අයගෙන් නම් බහුතරයක් ගෙදර යැවිය යුතු බවට අපටත් එකඟ විය හැකිය. පැවති පාර්ලිමේන්තුවේ සිටි සහ තවදුරටත් එහි සිටිය යුතු අය ද සිටී. මේ නිසා නව පාර්ලිමේන්තුවට කවර නියෝජිතයින් පත් කරන්නේ ද යන්න ගැන තීන්දුවක් ගත යුතුව ඇත්තේ ඡන්දදායක මහජනතාවයි. මේ ගැන ජනාධිපතිවරයා කියන්නේ පළමු වතාවට දූෂිත ප්‍රභූ පාලනයෙන් පොදු ජනතාවගේ අතට බලය මාරු වූ බවයි. ඒ කියන දෙය එලෙසම සත්‍යයක් ලෙස පිළිගැනීමට නම් දැන්ම කල්වැඩිය. පළමු වතාවට රාජ්‍ය පාලනයට පත් වූ ඔවුන් විසින් එය ක්‍රියාවෙන් ද ඔප්පු කළ යුතුව ඇත. ඇමැති මණ්ඩලයේ මේ මොහොතේ සිටින්නේ ජනාධිපතිවරයා ද ඇතුළුව තුන් දෙනෙක් පමණි. ඔවුන්ට රාජ්‍ය පාලන ක්‍රියාවලිය ගැන එතරම් දැනීමක් හෝ අත්දැකීමක් නොතිබෙනවා විය හැකිය. එහෙත් ඒ සඳහා සුදුසු අත්දැකීම් බහුල දක්ෂ රාජ්‍ය නිලධාරීන්ගේ සහාය ලබාගනිමින් නව ආණ්ඩුවට ක්‍රියා කළ හැකිය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තේරීමේ දී හොරෙක් නොවුණත් ඒ සඳහා නුසුදුසු අයෙකු ද නොවිය යුතු බව අපගේ අදහසයි. පාර්ලිමේන්තුවෙන් කෙරෙන්නේ නීති සම්පාදන ක්‍රියාවලියකි. ව්‍යවස්ථාදායක කාර්යයකි. තමන් කැමති කොයි පක්ෂයෙන් හෝ වේවා ඒ සඳහා සුදුසු නිසි අයම පත්කර යැවීමට වගබලා ගැනීම ජනතාවගේම වගකීමකි. මේ තිබෙන පාර්ලිමේන්තුව තව ටික දිනකින්, එනම් නොවැම්බර් 14 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයෙන් සුද්ධ කළ යුතු බවට ද මතයක් සමාජය තුළ ඇතිව තිබේ. අප සිතන පරිදි වඩාත් පුළුල් අර්ථයෙන් මේ කියන්නේ ජාතික ජන බලවේගයේ අයගෙන්ම අනාගත පාර්ලිමේන්තුව පිරවිය යුතු බව නොවේ. එනම් මේ සිටින 225 දෙනා අතරින් නුසුදුසු අය ගෙදර යවා නිසි පිරිසක් ඊට අලුතින් පත් කරගත යුතු බවයි. එය මෙවර නම් බලවත් ලෙස සිදුවිය යුතු දෙයක් බව අපි ද සිතමු. රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය ශක්තිමත් වීම සඳහා පාර්ලිමේන්තුවට බලවත් විපක්ෂයක් ද අවශ්‍ය බව අපගේ විශ්වාසයයි. ඒ ආණ්ඩුවේ හොඳ නරක හැම දේටම විරුද්ධ වීමට නොව අවශ්‍ය දේට විරුද්ධ වෙමින් ඊට එරෙහිව හඬ නැගීමටත්, රටට සහ මහජනතාවට හිතකර දේ ආණ්ඩුව කරන විට ඊට සහාය වීමටත්ය. ඇතැම් විපක්ෂ මන්ත්‍රීවරු පවා ජනතාව වෙනුවෙන් තම මහජන නියෝජිත භූමිකාව නිසි ලෙස ඉටු නොකරන බව අපට නිරීක්ෂණය කළ හැකිය. ඒ නිසා නොවැම්බර් 14 වැනිදා තම ඡන්දය මගින් කොයි පක්ෂයෙනුත් දැනට සිටිනවාට වඩා හොඳ, අවංක සහ සැබෑ ලෙසම මහජනතාව නියෝජනය කරන එසේම රටේ නීති සම්පාදන ක්‍රියාවලියට ගැලපෙන ( ඒ සඳහා සක්‍රිය ලෙස දායක විය හැකි ) පිරිසක් තෝරා ගැනීමට කටයුතු කරන්නේ නම් ජනතාවට තමා ප්‍රකාශ කළ ඡන්දය ගැන පසුව පසුතැවිලි වීමට සිදු නොවනු ඇත. එසේම එහි බලවත් විපාක විඳීමට ද සිදුනොවනු ඇත. දේශපාලනඥයින් මෙන්ම රාජ්‍ය නිලධාරීන් ද හොරකම් සහ වංචනික ක්‍රියා සිදු කරන්නේ නම් සහ මහජනයාට සේවය කිරීමේ තම වගකීම හරිහැටි ඉටු නොකරන්නේ නම් එහි බර පැටවෙන්නේ සහ එහි විපාක විඳීමට සිදුවනු ඇත්තේ ඔවුන්ටමය. 2022 වසරේ දී පෝලිම්වල දුක් විඳිමින් සහ ඇතැම් විට පොලිම්වලම මරණයට පවා පත්වෙමින් ඉතිහාසයේ බලවත්ම ආර්ථික විපතකට මුහුණ දීමට ජනයාට සිදු වූයේ නිකන්ම නොවේ. බලයට පත් වූ පිරිස් සහ ආර්ථික බලධාරීන් විසින් සිදුකළ වැරදි ආර්ථික කළමනාකරණය සහ ගත් වැරදි තීන්දු තීරණ ඊට හේතුවයි. එය ගෝඨාභය රාජපක්ෂ රාජ්‍ය පාලන සමයට පමණක් සීමා වන්නක් නොව එයට වඩා එපිටට දිවෙන්නකි.
තට්ටු මාරු ක්‍රමයට මාරුවෙන් මාරුවට දෙපැත්තට බලය හුවමාරු වෙනවා වෙනුවට පසුගිය ජනාධිපතිවරණයේ දී බහුතර ජනතාවක් අලුත් තීන්දුවක් ගෙන නව වෙනසක් කර ඇත. එය නව ජනාධිපතිවරයාගේම වචනවලින් ප්‍රකාශ කර ඇත්තේ ‘පළමු වතාවට දූෂිත ප්‍රභූ පාලනයෙන් පොදු ජනතාවගේ අතට බලය මාරු වුණා’ යනුවෙනි. සියයට 50 ක බහුතර ඡන්ද ප්‍රතිශතයක් ගැනීමට නව ජනපතිවරයා අසමත් වුවත් ඉදිරිපත් වූ අයගෙන් සියයට 42 ක වැඩිම ඡන්ද ප්‍රතිශතය ගැනීමට සමත් වූයේ අනුර කුමාර දිසානායකය. වෙනත් ප්‍රධාන පක්ෂවලට මෙන් විශාල ඡන්ද පදනමක් නොමැතිව සියයට තුනේ ඡන්ද ප්‍රමාණයක සිට මෙතරම් ඉහළ ප්‍රතිශතයක ඡන්ද ගැනීමට ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සමත් වූ නිසා මේ ජයග්‍රහණය අවතක්සේරු කළ යුතු නොවේ. එහෙත් අනාගත පාර්ලිමේන්තුවේ බහුතර බලය (ආසන113 ක්) ගැනීමේ අභියෝගය නව ජනාධිපතිවරයා හමුවේ තිබේ. හේතුව නම් අලුත් ආණ්ඩුවට පහසුවෙන් අණපනත් සම්මත කරගෙන ආණ්ඩුවේ කටයුතු කරගෙන යෑමට නම්, තුනෙන් දෙකේ බලය කෙසේ වෙතත් අවම වශයෙන් පාර්ලිමේන්තුවේ සරල බහුතර බලය හෝ අවශ්‍ය වීමයි. එසේ නැත්නම් අණපනත් යනාදිය සම්මත කර ගැනීමට වෙනත් පාර්ලිමේන්තුව නියෝජන කරන පක්ෂවල මන්ත්‍රීවරුන් පිරිසකගේ සහාය ලබා ගැනීමට ද නව රජයට සිදුවනු ඇත.
අප මේ සාකච්ඡා කළේ රාජ්‍ය සේවකයා සහ දේශපාලනඥයා ගැනය. මහජනයාට දේශපාලනඥයාව තම ඡන්දයෙන් ගෙදර යැවිය හැකිය. එහෙත් දූෂිත රාජ්‍ය නිලධාරීන් ගෙදර යැවීමට මහජනයාට හැකියාවක් නැත. ඒ සඳහා දැඩිව නීතිය ක්‍රියාත්මක විය යුතු වේ. මෙහිදී ඡන්දදායකයින් විසින්ම හොරුන් සහ දූෂිතයින් නැවත නැවතත් තම ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත්කර යවන්නේ නම් එහිදී ඇතිවෙන අහිතකර බලපෑම්වලට ජනතාවගේ වගකීමක් තිබෙන බව ද අපට කීමට සිදුවේ. මෙවර ජනපතිවරණයේ දී පළමු වතාවට සිදුකළ වෙනසට සමගාමී නව වෙනසක් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී ද සිදු වුවහොත් මෙරට අනාගත දේශපාලන ගමන් මගේ බලවත් වෙනසක් සිදුවනු ඇත. ඒ වෙනස රටට සහ ජනතාවට හිතකර වෙනසක් බවට පත් කර ගැනීම ද අවශ්‍ය බව අපි ඡන්දදායක මහජනයාට අවධාරණය කරමු.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]