අලුත්  ඉතිහාසයක  සමාරම්භය!

411

අරගලකරුවන් කොළඹ ජනාධිපති මන්දිරයට ඇතුළු වීමෙන් අනතුරුව ඊයේ (10 දා) විශාල ජනතාවක් එම මන්දිරය නැරඹීමට පැමිණි අයුරු. ඡායා- තුෂාර අතප්ත්තු

2022 ජුලි 09 වැනිදා යනු නැසිකයෙන්ම අලුත් ඉතිහාසයක සමාරම්භය උදා කළ අසිරිමත් විජයග්‍රාහී දිනයකි. අභිනව උද්යෝගයකින් පිබිදුණු නගර ගම් නියම්ගම් ආදී සියල්ලෙහි ජන හදවත් ප්‍රීතියෙන් ඔකඳ වූ බව ඒ පිළිබඳ හෙට ලියැවෙන ඉතිහාසයේ සටහන් කෙරෙනු ඇත. ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක්  උඩුගම්බලා ඇදෙන ගඟුලක් සේ අගනුවරට ඇදෙමින් සිටියහ. ඒ හරියටම ජුලි 08 වැනිදා දිනයේදීය. 1948 පෙබ. 04 වැනිදායින් පසු මෙ රටේ ආශ්චර්යවත් දිනය උදාවන්නට හරියටම වසර 74 කුත් මාස 05 ක් හා දින 05 ක්ද ගතවී තිබුණි. එය කවර අතින් බැලුවත් අනභිභවනීය දේශපාලන හා සංස්කෘතික පෙරළියක උපත විය. ගතානුගතික සම්ප්‍රදාය විසින් නඩත්තු කරන ලද පීඩාකාරී මර්දනකාරී සමාජ ආර්ථික දේශපාලනයක සමාරම්භය උදාවී තිබුණි. නිර්දේශපාලනික නිරාගමික හා නිර්මාණාත්මක සමාජයක අවශ්‍යතාව මුළු මහත් රටටම දැනෙමින් තිබුණි. රන්වන් කෙත් යායක් වනසා දැමීමේ පාපයට පාලකයන්ගෙන් වන්දි ලබාගැනීමට ගොවියෝ පෙරට එමින් සිටියහ. වැඩබිම අහිමිවූ ගෙවිලියන්ගේ ජීවන රිද්මයද අවුල්ව ගොසින්ය. තරුණ තරුණියන්ගේ සරසවිවල දොරගුළු වැටී තිබුණි. ගුරුවරු හා සිසුහු පාසල් දෙස බලා සුසුම් හෙලමින් සිටියහ. අනුන්ට අත නොපා තමන්ගේ සවියෙන් නැඟී සිටි ගම් දනව්වල ජන ජීවිත විඳ වැටෙමින් තිබුණි. බතක් නොඉදෙන පැලක දරුවන් මුව සිනාවද අතුරුදන්ව තිබුණි.

අලුත්  ඉතිහාසයක  සමාරම්භය!

මේ සියල්ල අසංවේද අදුරදර්ශී අසාධාරණ පාලනයක දුෂ්ට විපාක විය. පාලකයන්ගේ මෙන්ම ඔවුන්ගේ අනුගාමිකයන්ගේ ජීවිත නම් යස ඉසුරෙන් පිරී තිබුණි. ඒ හැම මුහුණකම සිනාවකි. එහෙත් තමන් අහසට ඔසවා තැබූ පොදු ජන ජීවිතය කඳුළක් වෙද්දී මුග්ධ පාලකයෝ තුෂ්ණීම්භූතව සිටියහ. ජාතික සම්පත් සොරා කෑමේ විපාක ලෙස රට දිළිඳු බවෙහි පත්ලට යමින් තිබුණි. දූෂණය, වංචාව, අල්ලස නාස්තිය ඒ අශිෂ්ඨ අසෝබන පාලකයන්ගේ දුස් පිළිවෙත වී තිබුණි. දශක කීපයක් මුළුල්ලේ මුළු මහත් ජනතාවගෙන් බහුතරයක් රවටා

 ගැනීමට සමත්වූ පාලනයක අමිහිර ජනතාව අත්විඳිමින් සිටියහ. එහෙත් ඒ ජනවරමින් අමන්දානන්දයට පත්වූ ස්වල්ප දෙනෙක් ප්‍රීති ප්‍රමෝදයෙන් කල්ගෙවූහ. ඔවුන්ගේ සුනතඹුවන්ටද මධුර මනෝහර ජීවිත උදාවී තිබුණි.

 මහජන ජීවිත අනතුරට වැටෙද්දීත් පාලකයෝ ගල්  ගෑ සේ සිටියහ. ජනතාවට සවන් දෙනවා වෙනුවට ඔවුහු අහංකාර ගර්වයකින් ජනතාව පෙළෙන්නට ද වූහ. සුවඳ බොජුන් සැප සයනා විඳිමින් සිටි ඔවුන්ට ඒ ජනතා සුසුම විරෝධයක් මහා ප්‍රවාභයක් ලෙස නැඟෙනු ඇතැයි නොසිතුණි. නොහැඟුණි. එහෙත් එයම සිදුවිය. එය මොනතරම් උත්කර්ෂවත් ජනබලයක් බවට පත්වූයේද යන්න සිතීම පවා විස්මය දනවයි. සැබැවින්ම කිසියම් අදිසි සාධාරණ හස්තයක බලපෑමකින් ජනඅරගලයකට අවකාශ සැලසිණිද? දේශපාලන බල කේන්ද්‍රය දෙදරා යැවීමේ පොදු අරගලයකට රට යොමු වෙමින් තිබුණිද? පැරණි ජනකතාවල හා සම්භාව්‍ය සාහිත්‍යයේ එන හාස්කම් මේ මිහිමත දැකගත හැකියැයි කෙසේ ඇදහිය හැකිද? මිනිසා යනු අධිෂ්ඨානශීලයේ සංකේතයකි. එහි තාරුණ්‍ය ඊටත් වඩා බල සම්පන්නය. ඔවුහු බලය, ධනය, නොඉවසන යුක්තිය හා සාධාරණත්වය උදෙසා කෙරෙන අරගලවල ඉදිරියෙන්ම සිටි වග ඉතිහාසය තහවුරු කර තිබේ.

 අපි ඒ ඓතිහාසික අරගලය යථාර්ථයක් බවට පත්වූ ජුලි 09 වැනිදා දෙසට යළිත් යොමු වෙමු. සත්තකින්ම අධිපතිවාදී පාලනයට ශක්තියක් තිබුණි නම් ඔවුන් ජුලි 08 වැනිදා රාත්‍රිය පහන්වීමට ඉඩ නොදෙනු ඇත. එහෙත් පෙර දිගින් හිරු නැඟෙනු වැළැක්විය හැකි ජගතෙක් මේ මිහිතලයේ නොවෙති. ජුලි 09 වැනිදා යථාර්ථයක් බවට පත්වන අරගලයට රටම අකම්පිතව බලා සිටිද්දී, එයට සාක්‍ෂිකරුවන් වීමට ජනතාව පුල පුලා සිටිද්දී පාලකයෝ යළිත් සිය සුපුරුදු අධිපතිවාදයේ බලය පැතිරවීමට යුහුසුළු වූහ. ජුලි 08 වැනිදා මෙරටේ ඒ ඓතිහාසික විප්ලවීය නිමේෂයට සැරසුණු රාත්‍රිය නොනිදා පහන් කළ අරගලකරුවන්ට අවසන් ප්‍රහාරය එල්ල කිරීම පාලකයන්ගේ සැලැස්ම විය.

 ජුලි 08 වැනිදා හදිසියේ බලාත්මක වූ පොලිස් ඇඳිරි නීතිය පාලකයන්ගේ නිරුවත විදහා දක්වන අශිෂ්ට ප්‍රතිචාරයක් බව නිසැකය. පොලිස්පතිවරයාගේ අණ පරිදි බස්නාහිර පළාතේ පොලිස් ඇඳිරිනීතිය පැනවූවද කිසිවෙක් එයට අවනත නොවූහ. පාලකයන්ගේ උපාය වූයේ කොළඹ නගරයට පිවිසෙන හැම දොරටුවක්ම වසා දැමීමය. පොදු ප්‍රවාහනය ඉබේම නැවතීම ඒ වනවිටත් බලපෑ ඉන්ධන හිඟය ප්‍රමාණවත් විය. එහෙත් ගලන ගඟක් ආපසු හැරවිය නොහැක්කා සේ ඒ විසිරී තිබුණු ජනබලය ඒකරාශීවෙමින් තිබුණි. පොලිස්පතිවරයාගේ විහිළුකාර ඇඳිරිනීතිය හකුලා ගැනීමට ද සිදුවිය. එසේ නොවූවා නම් මෙරටේ ජනතාව ජන අරගලයක් උදෙසා සිවිල් නීති කැඩීමට පසුබට නොවනු නිසැකය.

 ඇත්ත වශයෙන්ම ගාලුමුවදොර ජනඅරගලය අහම්බයක් නොවේ. එහි මෙරටේ ස්ථාපිතව පැවැති දූෂිත වංචනික, ජරපත් දේශපාලන ආධිපත්‍ය පෙරළා දැමීමේ ඓතිහාසික අවශ්‍යතාවෙහි හඬ දූතයා එය විය. එහි කුඩා පියවර මාර්තු 31 වැනිදා මිරිහාන ජනාධිපති පෞද්ගලික නිවස අබියසින් තැබූවක් විය. අප්‍රේල් 09 වැනිදා ආරම්භයත් සමඟ

 ගාලුමුවදොරට එක්වූ තාරුණ්‍යයේ බලවේගය එහි කඳවුරු බැඳගත්හ. මැයි 09 වැනිදා ගාලු මුවදොර අරගලයට පාලකයන් විසින් එල්ල කරන ලද ප්‍රහාරය ඔවුන්ටම පාරාවළල්ලක් විය. රාජපක්‍ෂ කඳවුරේ මහා රුක්ෂය බඳු අගමැති මහින්දට ඉල්ලා අස්වීමට තරම් ප්‍රබල විරෝධතාවක් ඒ වනවිටත් ගොඩනැඟී තිබුණි. ජනාධිපති ගෝඨාභය අපේක්‍ෂා කළේ රාජපක්‍ෂවරුන් පාලන රාමුවෙන් පිටත රඳවා රට මෙහෙයවීමටය. ගෝඨාගෝගම දෙස ඔහු බැලුවේ මතුපිටින් පමණි. ඔහුට හෝ ඔහුගේ සමීපතමයන්ට කියවා ගත නොහැකි වූ දේශපාලනයක් ගාලුමුවදොර සටන් බිමෙහි වැඩෙමින් තිබුණි. එය ජනතා පරමාධිපත්‍ය පාලකයන්ගෙන් ආපසු ලබා ගන්නා අරගලයක තත්ත්වයට පත්වෙමින් තිබුණි.

 ජුලි 09 වැනිදා ඒ මහජන බලයෙන් පාලකයන් නෙරපීමේ විප්ලවීය මෙහෙයුම විය. ජුලි 08 වැනිදා ඇරඹුණු විරෝධතාවේ උණුසුමින් කොළඹ නගරය රත් වෙමින් තිබුණි. ගාලුමුවදොර අරගලකරුවන් පසුබැස්සවීම සඳහා කැඳවා තිබුණු පොලිසිය මෙන්ම හමුදා බල ඇණිවලට ද ඒ තරුණ අරගලකරුවන් මැඬලිය නොහැකි විය. සිව් දෙසින් ඇදෙන මහා ජනගඟට කොළඹ අවකාශ මදිවිය. ගාලුමුවදොර සටන්බිම එකම හිස් ගොඩක් බවට පත්විය. ඒ වනවිටත් සෙංකඩගල ප්‍රකාශනයට ආගමික හා සිවිල් සංවිධාන අත්සන් කර තිබුණි. කොළඹ නගරයේ භික්‍ෂූන් වහන්සේලාගේ මාරාන්තික උපවාසයක් ද ඇරඹී තිබුණි. කිසිදු ආකාරයකින් ඒ ජන අරගලය පසුබැස්සවීමට නොහැකි විය.

 තරුණ අරගලකරුවෝ පාලකයන්ගේ කාර්යාල, නිල මැඳුරු සියල්ලම තම අණසකට යටත්කර ගත්හ. ජනාධිපති කාර්යාලයට කඩා වැදුණු ඔවුහු බාධක නොතකා ජනාධිපති මන්දියරයට ද ඇතුළු වූහ. එතෙක් එහි සිටි හමුදාවල ප්‍රතිචාරය වූයේ අවි බිමට නමාගෙන මැඳුරෙන් පිටව යෑමය. අරගලකරුවෝ ඔවුන්ට සුබ පැතූහ. ඔල්වරසන් හඬින් කොළඹ රැව්පිළිරැව් දෙද්දී ජනාධිපති මැඳුරෙහි ප්‍රථම වරට පොදු ජනතාවගේ සුසුම්, දහදිය, කඳුළුද තැන්පත් විය. මාලිගාවල අලස සුවයෙන් ගෙවූ පාලකයෝ ඒ වනවිටත් පළාගොස් සිටියහ. ජනපති මැඳුරට අමතරව අරලියගහ මැඳුරද විරෝධතාකරුවන්ගේ අණසකට යටත් විය. කොළඹ පාලන කේන්ද්‍ර සියල්ල ජනඅරගලකරුවන් සතු විය. මහජන විප්ලවය, සාමකාමීව හා ගැටුමකින් තොරව යථාර්ථයක් බවට පත්කර ගන්නට තරුණ අරගලකරුවන්ට හැකිවිය. තුන් මසක් මුළුල්ලේ දුෂ්කර ක්‍රියාකළ තරුණ මුහුණුවල සිනා මල් සුපිපී දිලෙන්නට විය.

 හැත්තෑ හතර වසරක පීඩාකාරී දේශපාලන මෙවලම් බදු පාලකයෝ ආරක්‍ෂක ස්ථාන සොයා ගොස් සිටියහ. කිසිවකුට ඔවුන් පිළිබඳ තොරතුරු මාත්‍රයක් හෝ නොලැබුණි. එහෙත් ජරපත් දේශපාලනයක මරණය තීන්දුවී තිබුණි. ඉහත සඳහන් කළ පරිදිම සුළු පියවරක් ලෙස අරඹන ලද විරෝධතාව මහා බලවේගයක් බවට පත්වූ අයුරු මෙරටේ ජනතාව දැකබලා ගත්හ. ඇත්තටම මේ සටන අධ්‍යාත්මික එකකි. ගාලුමුවදොර අරගලය සංස්කෘතික හා මානව ගුණයෙන් පිරුණකි. ඔවුන් නොකීවත් එය මෙරටේ සෞභාග්‍ය හා සමානත්මතාව උදෙසා වූ අරගලයකි. ඔවුන් ජය ගත්තේ උතුම් මනුෂ්‍යත්වය මේ මිහිමත වර්ධනය කළ යුතුය යන අදහස නිසාය.

 මෙරටේ දේශපාලන බලයේ ප්‍රජාතන්ත්‍රවාදී උල්පත් වැසී තිබුණේ දූෂිතයන්ගේ මෙහෙයුම් නිසාය. රාජපක්‍ෂවරුන් යටතේ වැඩුණු දූෂණය කෙබෙඳුද යන්න දැන් රහසක් නොවේ. ඒ පාලනය සමඟ බැදී සිටි බහුතරයක් සත්‍යවාදී නොවූ අතර පොදු ජනතාවගේ දැඩි අප්‍රසාදයට ද ලක්වූවෝය. තරුණයන් ඉල්ලා සිටි දේශපාලන ප්‍රතිසංස්කරණය කුමක්දැයි මේ පාලකයෝ වටහා නොගත්හ. ‘සිස්ටම් චේන්ජ්” යනු ඔලුගෙඩි මාරුකිරීමක් නොවේ. එය පුළුල් සමාජ පරිවර්තනයක් උදෙසා ඇරෙන දොරටුවකි. ඒ දොරටුවෙන් ඇතුළුවීමට සුදුසු කී දෙනෙක් මේ පාර්ලිමේන්තුවේ සිටිත්ද?

 අපේ පාලකයන් පුරුදු වී සිටියේ ජනතාව රැවටීමටත්, තමන්ගේ වත් පොහොසත්කම් වැඩිකර ගැනීමටත් පමණි. දේශපාලන නායකයන්ගේ නැතහොත් පක්‍ෂවල වහලුන් බවට පත්ව සිටි අයට තමන් ගුලිවී සිටින අඳුරත්, රැඳී සිටින නිරයත් කෙබඳුදැයි මේ තරුණ අරගලකරුවෝ පෙන්වා දුන්හ. ජුලි 9 වැනිදා මුහුද ගොඩ ගලන්නාක් මෙන් කොළඹ වීථි පිරී ඉතිරී යද්දී ආණ්ඩුවේ හමුදාවලට අවි බිමට යොමු කිරීමට සිදුවිය. පොලිසිය යනු බොහෝ විට පාලකයන් නාස් ලණුව අදින අතට හැරෙන සේවයකි. ඔවුන් තම පීඩනය මුදාහරින්නේද මහජනයා පෙළීමෙන්ය. සත්‍ය හා යුක්තියට වඩා හාම්පුතාට සේවය කිරීමට පොලිසිය කැමති බවද රහසක් නොවේ.

 ජුලි 09 වැනිදා පොලිසිය විසින් මාධ්‍යවේදීන්ට එල්ල කළ නීච ප්‍රහාරයක් ගැන ද වාර්තා වේ. ඒ අගමැති රනිල්ගේ නිවස සමීපයෙහි වූ විරෝධතාවක් වාර්තා කිරීමට ගිය සිරස මාධ්‍යවේදීන්ටය. පොලිසිය ඒ මාධ්‍යවේදීන්ට පහර දුන් නිර්දය විලාසය රූපවාහිනි පුවත්වලින් රටටම දැකගත හැකිවිය. එයට අණදුන් උසස් නිලධාරියා ගැනද ලැජ්ජා විය යුතුය. බැටන් පොල්ලේ බලය උරගා බැලූ මුග්ධ පොලිස් පිරිස පොලිසියටම ලබාදුන්නේ අවමානයකි. මාධ්‍යවේදියා යනු පුළුල් ජනතා මෙහෙවරක් කරන නිරායුද අයෙකි. මිනිසා කල්පනා කිරීමට පටන්ගත්දා සිටම ඒවා ජනතාවට රැගෙන ගිය එක් පිරිසක් මේ මාධ්‍යවේදීන් බව පමණක් කාකි මණ්ඩීන්ට මතක් කළ යුතුය. මනුෂ්‍යයා යනු තිරිසනාට වඩා වෙනස් දියුණු සත්වයෙකි.

 ඕනෑම විශිෂ්ට හා විචිත්‍ර මතකයකට අඳුරු හා දුර්වර්ණ වූ පැල්ලමක් එක් කළ හැකිය. ගාලුමුවදොර විරෝධතාකරුවන් කිසිවිටෙක ගල් කැටයක් තරම් දෙයක්වත් අතට නොගත් බව අප ලියා තැබිය යුතුය. හරියටම මෙයට මාස දෙකකට පෙර එනම් මැයි 9 වැනිදා පොහොට්ටු මැරයන්ගේ නිර්දය ප්‍රහාරයට ලක්වූ ඔවුහු අද ඒ මැර පාලනයේ මහ බලකණු බිම හෙළා විජයග්‍රාහී ලෙස හිස කෙලින් තබාගෙන සිටිති. රාජ්‍ය පාලනයේ ප්‍රධාන කේන්ද්‍රස්ථාන වූ ජනාධිපති – අගමැති කාර්යාල, නිල නිවාස ඔවුහු අත්පත් කර ගත්හ. මහේෂාඛ්‍ය ලීලාවෙන් ඒවා තුළ සිටි කිසිවෙක් අද එළියේ නොවෙති. ජනාධිපතිවරයා කොහිදැයි කිසිවෙක් නොදනිති. ඔහු සැඟවී සිටිනු හෝ රටින් බැහැර වී හෝ විය හැකිය. ඔහු කථානායකවරයාට දන්වා තිබෙන ආකාරයට නම් ලබන 13 වැනිදා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වනු ඇත. ඔහුගේ මාධ්‍ය අංශය තවම හඬ අවදි කර නැත. කුමක් වුවත් කොතැනක සිටියත් ඔහුගේ මතකයට චිත්‍රපටයක රූපරාමු පෙළක් මෙන් මිරිහානෙන් ඇරඹි ගාලුමුවදොර දක්වා ගිය ජනඅරගලය ආවර්ජනයට නඟාගත හැකිය.

 තම පරපුරේ කිසිවකුට නොසෙල්විය හැකි වූ රාජපක්‍ෂ බල කඳවුර ඒ නව පරපුරේ තරුණයන් විසින් බිම දමනු ලැබ ඇත. දේශපාලනය යනු ජනතාව වෙනුවෙන් කළ යුතු සත් ව්‍යාපාරයක් බව රාජපක්‍ෂවරුන්ට පමණක් නොව පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාටම මෙයින් ලබාදෙන සුබ ආරංචිය නැතහොත් යහපත් පණිවුඩය ද වේ. තුන් මසකට නොඅඩු කාලයක් ඒ ජනඅරගලය වෙනුවෙන් මෙරටේ තරුණ තරුණියන් විසින් දක්වන ලද අධිෂ්ඨානශීලී ගුණය, පරිත්‍යාගයේ ආදර්ශය මිහිකත කම්පා කරවන්නකි. වරප්‍රසාද ලත් පාලකයෝ සැණකෙළි සිරියෙන් කල් ගෙවූහ. ඔවුහු අපිළිවෙළට තනාගත් එහෙත් අභිමානවත් කුටියක රැය පහන් කළහ. සුඛ විහරණ, ඔවුන්ට නොවීය. රස මසවුළු ඔවුහු නොදුටුවෝය. පරිත්‍යාගශීලී පිරිස් ඔවුන් කවා පොවා සුවපත් කළහ. ආත්මාර්ථයෙන් තොර ස්වාර්ථය දෙව්ලොව දොරටු විවර කරන බව ලියැවී තිබේ. එහෙත් ඔවුන්ට රිසිසේ දෙව්ලොව නොව මෙලොව යහපත්, පැහැපත් සුවපත් දේශයක් කිරීමය. හඬා වැටෙන මුවඟට සිනහවක් පැළඳවීමටය. විඩාබර මුහුණට සොඳුරු සිසිල් මදනලක් වීමටය. රෝගී සමාජය නිරෝගී කිරීමටය. අභිනව සමාජ – ආර්ථික දේශපාලන සංස්කෘතියක ප්‍රාර්ථනාව ඔවුන්ගේ යෞවනයේ රිද්මය විය.

 මෙරටේ විවිධ ක්‍ෂේත්‍රවල පිරිස්, විද්වතුන් කලාකරුවන්, මාධ්‍යවේදීන් ගාලුමුවදොර අරගල භූමියට පැමිණියේ නෑ ගෙදරකට එන්නාක් මෙන් අප්‍රමාණ සතුටකින්ය. එහි සුවඳ උත්කර්ෂය දැන් මේ මාතෘ භූමිය සිසාරා හමා යයි. ඔවුන් පෙලූ ඔවුන් තැලූ සියලු බල නිල නිෂ්ක්‍රීය වී තිබේ. ඉතිහාසය සරදම් සහිත ගංගාවක් වැන්න. ඒ ඉතිහාසය තමන් යැයි සිතූ සියල්ලෝම අද පරාජිතව සිටිති. තම අධිපතිබලය ජනබලය අබියස දියවී ගිය අයුරු ඔවුහු වටහා ගනිති.

 අපි නව යුගයකට දොරටුවක් අබියස හිඳිමු. ඒ දොරින් පිවිස නව යුගයක් සැබැවින්ම මේ රටට උදාකරලීම අපගේ ද වගකීමකි. වචීපරම දේශපාලනඥයන්ගේ වහලුන්ට හැර මේ රටේ බහුතර ජනතාවටත් අලුත් සංස්කෘතියේ මිහිර විඳගත හැකිය. මනුෂ්‍යත්වයේ ගෞරවය, දයාව, අපි ලොවට බෙදා දෙමුයි ගාලු මුවදොර අරගලකරුවන් නැඟූ කාහලනාදය විය. ඒ අභීත, අභීෂ්ට සාඩම්බර ඉතිහාසයේ පළමු පරිච්ඡේදයෙහි සමාරම්භක වැකිය ද, එහි ඓතිහාසික ප්‍රස්ථාවනාවද දැන් ලියා තිබේ. එය විචිත්‍ර පරම රමණීය මහා ජනවංශයක් බවට හෙට පත්විය යුතුය. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවගේ සදාදර ක්‍ෂේම භූමිය බවට පෙරදිග මුතු ඇටය පත්කරලීමේ අභියෝගය තවමත් අවසන් වී නැති බවද ලියා තැබිය යුතුය. එහෙත් ඒ අභිමානවත් විජයග්‍රහණයේ සනාතන හිමිකාරීත්වය ඔබට, මට මෙන්ම හෙට පරපුරට ද සුරක්‍ෂිත කළ යුතුය.

අලුත්  ඉතිහාසයක  සමාරම්භය!

ගාමිණී සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment