ඉදිරියේ පැමිණෙන මහ මැතිවරණයට තවත් ඇත්තේ දින කිහිපයකි. එහෙයින් මේ තීරණාත්මක සතියේ මේ රටේ ආණ්ඩු බලය හොබවන ජාතික ජන බලවේගයත් විපක්ෂයේ සජබය ප්‍රමුඛ සියලුම දේශපාලන බලවේගත් මැතිවරණ සටන නිසා තම තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කර ගැනීමේ සටනකය.
ජනාධිපතිවරණයේ දී සියලු දේශපාලන බලවේග එක ලෙස වියදම් කරමින් එක සමානව මහන්සි වෙමින් රට පුරා දැවැන්ත රැලි පැවැත්වීමට උත්සාහ කරනු දුටුවත් මෙවර මහ මැතිවරණයේදී ලොකු වෙනසක් දක්නට ලැබුණේ ප්‍රචාරක කටයුතුවලය.
දිස්ත්‍රික් මට්ටමින් දැවැන්ත රැලි පවත්වමින් ජනතාව ආමන්ත්‍රණය කළේ ආණ්ඩු බලය හොබවන ජාතික ජන බලවේගය පමණි. අනෙකුත් සියලුම පක්ෂ කරනු ලැබුවේ දැවැන්ත රැලි පැවැත්වෙමින් ජනතාව ඒකරාශී කරනු වෙනුවට ජනතාව හමුවට ගොස් කරුණු පැහැදිලි කරමින් ඡන්දය ඉල්ලා සිටීමයි. විශේෂයෙන්ම සමගි ජන බලවේගයත් තමන්ගේ තරම තේරුම් ගනිමින් අනවශ්‍ය වියදම් කපා හැර නගරයට නොව, ගමට ගොස් දේශපාලනය කිරීම මෙවර මහ මැතිවරණයේ කැපී පෙනෙන ලක්ෂණයක් විය. සිලින්ඩරය ලකුණෙන් තරග වදින රනිල් වික්‍රමසිංහගේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ද මහලොකු වැඩ අත්හැර තිබෙන බව පෙනේ. රැලි වෙනුවට ඔවුන් අද පවත්වනුයේ සම්මන්ත්‍රණ ස්වරූපයේ හෝ ප්‍රියසම්භාෂණ ස්වරූපයේ කුඩා රැස්වීම් ය. නාමල් රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ද එසේය. දිලිත් ජයවීරගේ සර්වජන බලයේ මැතිවරණ ව්‍යාපාරයේ ද මීට වැඩි වෙනසක් නැත. මහා රැලි වෙනුවට ජනතාව අතරට ගොස් ඉතා සුහදව කතාබස් කොට විනෝද වී තම ජාතික යුතුකම හා වගකීම මතක් කොට ඡන්දය ඉල්ලීම ඒ සෑම පක්ෂයකම මෙවර දේශපාලන උපාය මාර්ගය වී ඇති බව පැහැදිලිය.
එහෙත් මේ ක්‍රියාදාමය තුළ ඉදිරියට ආ දේශපාලන පක්ෂ හා පුද්ගලයෝ ද රාශියකි.
ජනාධිපති අනුර ඡන්ද සටනේ
මාලිමාව කෙසේ වෙතත් යන්නේ වේගවත් ගමනකි. අන් සියලු පක්ෂ ඔවුන්ට තරගයකින් තොරවම පොදු සම්මුතියකින් ජයග්‍රහණය ලබාදී ඇති බව පැහැදිලිය. විපක්ෂයේ පක්ෂ අද වෙහෙසෙනුයේ ආණ්ඩු බලය ලබා ගැනීමට නොව, මේ සංකීර්ණ අවස්ථාවේ තම තමන්ගේ පාර්ලිමේන්තු නියෝජනය වැඩිකර ගැනීම සඳහාය.
ජනාධිපති අනුර කුමාර දිසානායක තම ජනාධිපති ධුරය මදකට පසෙක තබා පක්ෂ නායක ධුරයේ වගකීම හා යුතුකම් කරට ගෙන සුපුරුදු දේශපාලන පොරපිටියට පැමිණ ඇති බව පෙනේ. ඔහු පසුගිය සතිය පුරාම එක් දිනයක්වත් අත් නොහැර රැස්වීම්වලට සහභාගි වූයේය. වැල්ලවාය, අම්පාර, බදුල්ල, මොනරාගල ඇතුළු ස්ථාන ගණනාවක ඔහු පසුගිය සතියේ පැවැත්වූ රැස්වීම්වලට දහස් සංඛ්‍යාත සෙනඟක් පැමිණ සිටියහ. මහ මැතිවරණයේ ජයග්‍රහණය ඔවුන්ට දැන් සක්සුදක් සේ පැහැදිලි බවට සැකයක් නැත. එහෙත් මේ අවස්ථාවේ ඔවුන් ඉදිරියේ ඇති එකම අභියෝගය වී ඇත්තේ ජනාධිපතිවරණ සමයේ හා ඊට පෙර පක්ෂයක් ලෙස ඔවුන් දුන් දේශපාලන පොරොන්දු ඉටු කරගන්නට නොහැකි වීම පිළිබඳ විවේචනයයි.
ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ පමණින් ඔවුන් බලාපොරොත්තු වූ විශේෂ ක්‍රියාන්විත කීපයක් තිබිණි. එකක් වූයේ දැනෙන මුදලකින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අඩුකර ජනතාවට සේවයක් සැපයීමයි. බලාපොරොත්තුවක් ලබාදීමයි.
එහෙත් ඔවුන්ට හාල් මිල පාලනය කරගන්නට නොහැකි විය. නොසිතූ පරිදි හිඟයක් ඇති වී පොල් මිල ඉහළ ගියේය. බිත්තර මිල ඉහළ පහළ ගොස් ඒ ගැන රජයට අවාසිදායක වෙනම සංවාදයක් ඇති විය. ලූනු, අල, පරිප්පු, හාල්මැස්සන් උම්බලකඩ වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කීපයක මිල අඩු කරනවා වෙනුවට බදු වැඩි කරන්නට සිදු විය. එමගින් මිල ඉහළ ගියේය. මස් මාළු පොල්තෙල් මිල ද ජනතාවට කිසිදු සහනයක් නොදෙන තැන්වලය. වාසනාවකට දෝ එළවළු මිලෙහි යම් වෙනසක් දක්නට ලැබුණ ද එහිද කිසි ස්ථාවරත්වයක් නොවීය.
මේ සම්බන්ධයෙන් ආණ්ඩුවට ද කියන්නට බොහෝ දේ ඇති බව පහුගිය දිනවල පැවැති සංවාදවලින් ඔප්පු විය. විපක්ෂයට ද ඒ ගැන වාද විවාද කරන්නට කරුණු කාරණා බොහෝය. මේ තත්ත්වය නිසා දැන් සමාජයේ තම තමන්ගේ වාහනවලට ගමන් බිමන් යන්නට ගොඩවන ලක්ෂ සංඛ්‍යාත මගීන්ට ගමන අතරතුර දේශනා පවත්වන්නට ත්‍රීවිල් රියදුරන් ඇත්තේ නැති සේ ය. අපි මාලිමාවට කියා ත්‍රීවිලරයේ පිටිපස්සේ ස්ටිකර් අලවාගෙන සිටි ත්‍රීවිල්ර් ද අද සමාජයේ එදා මෙන් බහුල නැත. ස්ටිකරයක් තිබුණත් ඒ රියදුරන් අද දේශකයන් නොවන තරමට නිහඬය. ජනතාව සමග වඩාත් සුහදය.
මේ අතරතුර ඉන්ධන මිල අඩු කිරීම සම්බන්ධයෙන් රටේ ඇතිවූ සංවාදයට පිටුපාන්නට ද වර්තමාන රජයට නොහැකි විය.
තෙල් මිල ගැන ඇත්ත කියන්නේ කවුද
පසුගිය සතියේ මැතිවරණ වේදිකාවේදී අපේ රටේ බොහෝ දැවෙන ප්‍රශ්න කතාබහට ලක් විය. ඒ අතර එක් කාරණාවක් වූයේ වත්මන් ආණ්ඩුවේ ඡන්ද පොරොන්දුවක් තාමත් ඉටුකරන්නට බැරි වීමයි. පොරොන්දුව… රටට දැනෙන මුදලකින් ඉන්ධන මිල අඩුකරන බවට ජාතික ජන බලවේගයේ නායකයෝ මහජනතාව තුළ ඇති කළ විශ්වාසයයි.
පසුගිය දිනක මාධ්‍ය රැස්වීමකදී වත්මන් ආණ්ඩුවේ තෙල් සංස්ථාවේ සභාපතිවරයාගෙන් මේ ගැන විමසූ අවස්ථාවේ තෙල් මිල අඩු කරන්නට බැරිකම ගැන සභාපතිවරයා දුන්නේ අපූරු උත්තරයකි…
“තෙල් මිල අඩු කිරීමේදී අපිට ස්වාධීනව කටයුතු කරන්න බැහැ. සයිනොපෙක්, අයි ඕ සී වගේ සමාගම් හතරක් සමග අපි ගිවිසුම් ගතවෙලා ඉන්නවා. බැරිවෙලාවත් රජය කරන මිල අඩු කිරීමකින් ෆෝමියුලා එක අනුව ඒ සමාගම්වලට යම් පාඩුවක් වුණොත් රජයට සිද්ධවෙනවා ඔවුන්ට වන්දි ගෙවන්න.”
මෙම සාකච්ඡාවේ දී තෙල් මිල අඩු කරන්න බැරි තවමත් ඒ මිලෙන් කංචන විජේසේකරට කොමිස් යනවාදැයි කියාත් මාධ්‍යවේදීන් විමසා සිටියහ. සභාපතිවරයාටත් කටඋත්තර නැති විය.
කෙසේ වෙතත් පසුගිය සතියේ කංචන සභාපතිවරයාගේ කතාවට මාතර දී හොඳ උත්තරයක් දුන්නේය.
“ඒක පට්ටපල් බොරුවක්. එහෙම ගිවිසුමක් කොහෙවත් නෑ. ලංකා ඛනිජ තෙල් සංස්ථාව මිල සූත්‍රය අනුව තෙල් වල මිල තීරණය කරන්නේ ඛනිජ තෙල් සංස්ථාවේ පිරිවැය හා බදු මෙන්ම ලාභ අලාභ විමසා මිස කොහෙවත් තියෙන සමාගම්වල වියදම් අනුව තක්සේරු කරලා නම් නෙවෙයි.
එහෙත් ඒ ගිවිසුමේ එක්තරා මිල ගැලපීමක් ගැන නම් සඳහනක් තිබේ. යම් ආකාරයකින් කාට හෝ රජය සහනාධාරයක් ලෙස ඉල්ලන දෙන්නේ නම් එහිදී අයි ඕ සී සමාගමට හෝ සිනොපෙක් සමාගමට මදි අඩුපාඩු වන මුදල රජය පියවිය යුතු බව ගිවිසුමේ වගන්තියක තිබුණි. ධීවරයන්ට ලබාදෙන තෙල් සහනාධාරය මීට හොඳ උදාහරණයකි. තෙල් මිල අඩු කරන්න නම් කරන්න ඕන රජය ගන්න බද්ද ටිකක් අඩු කරන එක. අර සභාපති ඒකවත් දන්නෙ නැද්ද. කාගෙවත් ගිවිසුම් ඒකට අදාළ නෑ. බද්ද අඩු කරාම මිල සූත්‍රයට ඒක බලපාලා නිකම්ම මිල අඩු වෙනවා… එසේ කියන්නට වූයේ තෙල් මිල ගැන සංවේදී රටේ ප්‍රාමාණික ආර්ථික විද්‍යාඥයන්ය.
සාකච්ඡාව මෙසේ තිබියදී ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය සතියේ එක්තරා රූපවාහිනී නාලිකාවක පැවැති සාකච්ඡාවකට ද සහභාගි වී මේ ගැන පැහැදිලි කිරීමක් කළේය.
“රජයට ඕන නම් මිල සූත්‍රය සමග ගලපලා රුපියල් 300 ට නියම වන තෙල් මිල රුපියල් දහයකින් අඩු කරලා 290ට දෙන්න පුළුවන්. හැබැයි ඉතින් අයිඕසී සිනොපෙක් වගේ සමාගම් තියෙනවනේ. අන්න ඒගොල්ලෝ විකුණන්න තෙල්වලට ලීටරයට රුපියල් දහය බැගිනුත් රජයට වන්දි ගෙවන්න වෙනවා. ඒකයි තෙල් මිල අඩු කරන්න බැරි. ඕව මේ ගිවිසුමේ තියෙනවා…”
එහෙත් එතනදීත් අනුර දිසානායක ජනාධිපතිවරයා කතා කළේ සහනාධාරය ගැන මිස පොදු ජනතාව වෙනුවෙන් අඩුකරන සාමාන්‍ය තෙල් මිල ගැන නොවන බව තතු දන්නෝ පමණක් දැන සිටියහ.
ඩලස්ට දෂ්ට කරපු සර්පයාට වෙච්ච දේ
නිදහස ජනතා සභාවේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට මාතර දිස්ත්‍රික්කයෙන් තරග වදින්නේ නැත. එහෙත් ඔහු දිස්ත්‍රික් නායකයා හැටියට සමගි ජන සන්ධානයේ මාතර දිස්ත්‍රික් කණ්ඩායමට සහයෝගය පළ කිරීම සඳහා දිවා රැයේ වෙහෙසෙමින් ගම් නියම් ගම් ඔස්සේ ගෙන් ගෙට යමින් තම කණ්ඩායම වෙනුවෙන් ඡන්ද ව්‍යාපාරයේ යෙදෙයි.
පසුගිය දිනක ඔහුට ලොකු අකරතැබ්බයක් වූයේ අවේලාවේ එසේ ඡන්ද ව්‍යාපාරයේ ඇවිදිමින් සිටියදීය. ඔහුගේ එක පාදයකට සර්පයෙකු දෂ්ට කළේය.
නිසි කලට වේලාවට වෛද්‍ය ප්‍රතිකාර ගැනීම නිසා ජීවිත අවදානමෙන් ගැලවුණත් වේදනාව නිසා ඔහුට ඇවිදීම අපහසු විය. දින තුනක විවේකයකින් පසු ඔහු යළි සුපුරුදු පරිදි ප්‍රාදේශීය රැස්වීම්වලට ගොස් ජනතාව අමතනවිට කතාව පටන් ගත්තේ මෙසේය.
“සාමාන්‍යයෙන් දේශපාලනඥයෙක්ව සර්පයෙක් කෑවම සර්පයාලු මැරෙන්නේ. අහල ඇතිනේ කතාව. ඔන්න ඕක තමයි දේශපාලනඥයා පිළිබඳ අපේ සාමාන්‍ය ගැමි ජනතාවගේ තක්සේරුව. හැබැයි පහුගිය දවස්වල මාව කාපු සර්පයාට නම් කිසිම කරදරයක් වුණේ නෑ…”
සමගි ජන සන්ධානය ජනාධිපතිවරණයෙන් පසුව මහ මැතිවරණයට මුහුණ දීමේ දී තේරුම් ගත් කාරණාවක් වූයේ ගෙයින් ගෙට ගොස් කරුණු පැහැදිලි කර දී ඡන්දය ලබා ගැනීමේ ව්‍යාපෘතිය ගියවර ඉතා දුර්වලව තිබූ බවයි. මහ ඡන්දයේදී වැඩි වටිනාකමක් ඒ සඳහා දීමට සන්ධානය පියවර ගත්තේ ඒ අනුවයි.
ග්‍රාමසේවා කොට්ඨාස මට්ටමෙන් රැස්වීම් 12,000ක්, ඡන්ද පොළ මට්ටමින් රැස්වීම් 11,000ක් පවත්වන්නට සැලසුම් කර තිබිණ. ඒවා බොහෝ දුරට මේ වන විටත් අවසන් කර ඇති බව පැහැදිලිය. එහෙත් තවත් පිරිසක් දැඩිව කීවේ අවසාන වශයෙන් හෝ තෝරා ගත් දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රධාන රැලි කීපයක් පැවැත්විය යුතුම බවයි.
ඒ අනුව සාකච්ඡා කළ සමගි ජන සන්ධානයේ පක්ෂ නායකයෝ ලහි ලහියේ ප්‍රධාන රැස්වීම් නවයක් තෝරා ගත් දිස්ත්‍රික් නවයක පවත්වන්නට තීරණය කළහ.
එම රැලි මාලාවේ පළමුවැන්න 6 වැනි බදාදා ගම්පහ දී පැවැත්විණි. ගම්පහ පැරණි බස්නැවතුම්පළේ පැවැති මේ රැලියට සමගි ජන සන්ධානයේ පක්ෂ නායකයෝ බොහෝ දෙනෙක් පැමිණ සිටියහ.
ඩලස් මේ රැලියට පැමිණ වේදිකාවට නැග්ගේ කකුලක කුමක්දෝ වේදනාවකින් බව එහි සිටි පක්ෂ නායකයෝ බොහෝ දෙනකුට වැටහී ගියේ ඔහුගේ කකුලේ වෙළුම් පටි කිහිපයක් ද පෙනෙන්නට තිබීම නිසාය.
ඡන්ද වැඩ කටයුතුවලට ගම් ප්‍රදේශ බලා ගොස් සිටි සමගි ජන බලවේගයේ නායකයෝ පිරිස මෙතනදි හමු වූයේ ද කලකට පසුවයි. කතා කරන්නට බොහෝ දේ තිබිණි. ඒ අතර ඩලස්ගේ නොන්ඩි ගැසීම ගැන ද කතාවක් ඇති විය. “දැන් දවස් ගාණක් වෙනවා… සර්පයෙක් කාලා. දැන් ගොඩක් හොඳයි…” ඩලස්ට පරණ විස්තර ඔක්කොම කියන්නට සිදුවිය.
“සර්පයා යහතින් ඉන්නවද කියන්න…” එතන සිටි පළපුරුදු ප්‍රවීන දේශපාලනඥයෙක් විමසුවේ ඔහු අර කතාව දැන සිටි නිසාය.
“නෑ නෑ… සර්පයාට කරදරයක් වෙන්න හේතුවක් නෑ. ඒක තමයි පහුගිය දවස්වල මම රැස්වීමක් පටන් ගන්නකොට කියපු කතාවක්. සර්පයාට කරදරයක් නෑ කියන එක.. ඔය සාමීචි කතා බස් අතරේ ගම්පහ රැස්වීම ද ඉතා සාර්ථකව පැවැත්විණි. සජිත් ඇතුළු සන්ධානයේ නායකයන්ට ද ගම්පහ දිස්ත්‍රික්කයට ඡන්දය ඉල්ලන අපේක්ෂකයන් 22 දෙනාට ද මෙහිදී කතා ලැබී තිබිණි.
තරග බිමේ පක්ෂ 50ක් ස්වාධීන කණ්ඩායම් 281ක්
එක්තරා ව්‍යාපාරිකයකු විසින් දේශපාලන පක්ෂ ගණනාවක් මුදල් වියදම් කර බලගන්වා මෙවර මහා ඡන්දයට යොදවා ඇතැයි යන කාරණාව පසුගිය සතියේ තවදුරටත් සාකච්ඡාවට ලක් විය. සාකච්ඡාව ආරම්භ වූයේ එම පක්ෂ ඇතුලාන්තයේ සිදු වූ යම් යම් අර්බුද ප්‍රසිද්ධ කරළියට ගෙන එන්නට එම පක්ෂවල ඇතැම් පුද්ගලයන් හා ක්‍රියාකාරිකයින් ද මැදිහත් වී කටයුතු කර තිබීම නිසායි. මේ සම්බන්ධයෙන් මුල්ම වෙඩි මුරය පත්තු කළේ රන්ජන් රාමනායක නායකයා යැයි කියන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයෙකු වන ප්‍රසන්න අධිකාරි නම් පුද්ගලයෙක් පසුගිය සතියට පෙර සතියේ ප්‍රසිද්ධ මාධ්‍යයේ කරනු ලැබූ හෙළිදරව්වයි.
ප්‍රසන්න අධිකාරිගේ එම පළමු හෙළිදරව්වට පසුව නාමල් කුමාර නම් අයෙක් ද ඉදිරිපත් වී මේ රටේ නීතිය ක්‍රියාවේ යොදවන ආයතන කීපයකට පෙරකී ව්‍යාපාරිකයාගේ ඡන්ද ව්‍යාපාර ගැන පැමිණිලි ඉදිරිපත් කරන්නට පටන් ගත්තේය.
ඔහුටත් පසුව එම කටයුත්තට අතගැසුවේ තවත් මාධ්‍යවේදියෙකි. විiුත් නාලිකාව ආදි හිමිකරුවකු යැයි කියන නිරංග හෙට්ටිආරච්චි මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ අඟහරුවාදා කොළඹ නිපොන් හෝටලයේ දී කරනු ලැබූ හෙළිදරව්ව ද වත්මන් දේශපාලනය සම්බන්ධයෙන් ඉතා වැදගත්ය. ඔහු පෙන්වා දුන්නේ ද මෙම ව්‍යාපාරිකයා මුදල් දෙනවා යැයි කියා බලගන්වා මේ රටේ දේශපාලන කරළියට අලුත් අලුත් පක්ෂ මිලදී ගනිමින් ඒවා මෙවර මහ මැතිවරණයේදී අලුතින් ඇති කරමින් තිබෙන සංකීර්ණ භාවයයි.
ඇත්තෙන්ම මෙවර මැතිවරණයට පිළිගත් දේශපාලන පක්ෂ 50ක් තරග වදියි. ස්වාධීන කණ්ඩායම් 281කි. මුළු මහත් අපේක්ෂකයන් සංඛ්‍යාව 9000කට මඳක් අඩුය. ඔවුන්ට ඡන්දය දීමට මේ වන විට මේ රටේ සුදුසුකම් ලබා තිබෙන ඡන්දදායකයින් ගණන එක්කෝටි හැත්තෑ එක් ලක්ෂයක් බව පැහැදිලිය. නිසැකවම එයින් එක්කෝටි පනස් ලක්ෂයක් වත් මේවර ඡන්දය දෙනු ඇතැයි විශ්වාස කළ හැකිය. විපක්ෂයේ දේශපාලන ක්‍රියාන්විතයේ ඇතුලාන්තය ඒ තරම් උණුසුම් නැතත් මෙකී සාධක ගෙන හැර විග්‍රහ කර බලන විට දේශපාලන කරළියේ මැතිවරණ සටන නම් අතිශයින් උණුසුම්ය.
මැතිවරණයෙන් මාලිමාව යම් සාධනීය ජයග්‍රහණයක් අත්පත් කරගන්නා බවට මේ මගින් කරුණු පැහැදිලිය. එහෙත් විහිදුණු පැතිරුණු විපක්ෂයේ ශක්‍යතාවය කුමක් වේදැයි තවමත් සිතා ගන්නට නොහැකිය.
ආණ්ඩු පක්ෂයට තනිව අභියෝග කිරීම නිසා හා සමගි ජන බලවේගයෙන් මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගිලිහුණු ජාතිකත්වයේ ධජය හා ශ්‍රී ලංකික ජාතිය ආගම වෙනුවෙන් කතා කිරීමේ අයිතිය සතුටින් පවරා ගැනීම හේතුවෙන් අද වන විට දිලිත් ජයවීරගේ සර්වජන බලය ලබා ඇති දේශපාලන ප්‍රගතිය සුළු පටු නොවේ. ප්‍රබල දිස්ත්‍රික්ක කිහිපයකින් ඔවුන්ගේ නියෝජිතයින් එක්කෙනා දෙන්නා බැගින් පාර්ලිමේන්තුවට පැමිණිය හැකි ශක්‍යතාවය දැන් ඔවුන් වටා නිර්මාණය වෙමින් පවතී. විශේෂයෙන්ම නිර්භයව පාස්කු ප්‍රහාරය සම්බන්ධ වාර්තා එළියට ගනිමින් ආණ්ඩුවේ ක්‍රියා කලාපයන්ට එල්ල කළ බරපතල විවේචනයන් හේතුවෙන් අද උදය ගම්මන්පිල දිනා ගත් මහජන ආකර්ෂණය ඔහුව පාර්ලිමේන්තුවට පත් කරනු ඇතැයි විශ්වාස කළ හැකි මට්ටමක පවතී.
එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයට පහුගිය දිනවල පැමිණි බරපතල විවේචනයන් නිසා රන්ජන්ගේ දේශපාලන ප්‍රවේශය දැන් සාකච්ඡාවට බඳුන් වූ එකක් වී ඇත්තේය. ඔහු පිළිබඳ ගම්පහ පොදු ජනතාව අතර ඇති වූ විචිකිච්ඡාවන් නිසා වඩාත් වාසිදායක ස්ථාවරයකට පැමිණෙන්නට ව්‍යාපාරික දිලිත් ජයවීරට හැකි විය. මහාචාර්ය චන්න ජයසුමන සම්බන්ධයෙන් ද අද ගම්පහ ජනතාව තුළ යම් ප්‍රහර්ෂයක් ගොඩනැගී ඇති බවට හේතු සාධක බොහෝය.
සුජාතභාවය සොයන සංවිධානවලට ඉලක්කයක්
මහා ඡන්දයක් ළං වන විට මැතිවරණ කොමිසම මෙන්ම මැතිවරණවල සුජාතභාවය වෙනුවෙන් කටයුතු කරන සිවිල් සංවිධානවල ක්‍රියාකාරීත්වය ද සුළු පටු නැත. ඡන්ද කාලයේ දේශපාලන පක්ෂ හා දේශපාලකයෝ හැසිරිය යුතු ආකාරය, වැඩ කළ යුතු ආකාරය මුදල් වියදම් කළ යුතු ආකාරය හා මුදල් වියදම් කළ යුතු ප්‍රමාණ ගැන ගැනද ඔවුන් හරි සංවේදීය.
එහෙත් යම් යම් ව්‍යාපාරිකයෝ මුදල් වියදම් කරමින් දේශපාලන පක්ෂ බලගන්වා ඡන්ද සටනට ඒවා මගින් පොදු මහජනතාවගේ ඡන්ද අයිතියට කරනු ලබන බාහිර බලපෑම ගැන මේ කිසිදු සංවිධානයක් වගේ වගක් නැත්තේ ඇයිද කියා මේ රටේ පොදු ජනතාව විමසිලිමත්ය.
මෙවර මහ ඡන්දය සම්බන්ධයෙන් පිළිගත් ප්‍රධාන මහා පක්ෂවලට පනවා ඇති සීමා මායිම් තහංචි හා ව්‍යතිරේක මේ කියන යම් යම් බලගැන්වීම්වලට භාජනය වූ පක්ෂ කෙරෙහි නොමැත්තේ මන්ද. මේ ගැන ඉදිරියේදී පොදු ජනතාව වඩාත් සංවේදී විය යුතු යැයි අපි සිතමු.
පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ පැතිර ගිය දේශපාලන වාර්තාවලට අනුව මෙවර ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම රැස්වීම් ප්‍රමාණයකට සහභාගි වී ඇති අපේක්ෂකයා නිමල් ලන්සා ය. මේ රැස්වීම් බොහොමයක රැස්ව සිටි ජනතාව ලාන්සාට කියූ විශේෂ පණිවිඩයක් විය.
ගම්පහ ප්‍රදේශයේ වතු රැස්වීමකට පැමිණි රටේ ප්‍රබල අමාත්‍යාංශයක විශ්‍රාමික පරිපාලන නිලධාරියෙක් ද ලාන්සාට ළංවෙමින් එම කරුණු පහදා දුන්නේය.
”මම පරම්පරාවෙන් යූ.එන්.පී කාරයෙක් මම කවදාවත් ඔබතුමාට ඡන්දයක් දීල නෑ. හැබැයි මේ රට ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පහුගිය ආණ්ඩුවේ වැරදි තීන්දු නිසා වැටිල රට නන්නත්තාර වෙලා තියනකොට ඔබතුමා තමයි පැත්තකට වෙලා හිටපු රනිල් වික්‍රමසිංහ මහත්තයව එක්කගෙන ඇවිල්ල එතුමට උදව් කරන කණ්ඩායමක් හදලා රට මේ තැනට ගේන්න පෙරමුණ ගත්තේ. අන්න ඒ යුතුකම මම අමතක කරන්නෙ නෑ. ඒක නිසා ඔබතුමාට මම ඡන්දය දෙනව. ඒ විතරක් නෙමෙයි මගේ පරම්පරාවේ ඔක්කොම ඔබතුමාට මනාපයක් දෙනවා” විශ්‍රාමික පරිපාලන නිලධාරියාගේ අදහස් දැක්වීම සාවධානව අසා සිටි ලාන්සා විමතියට පත්විය.
ඔහු කිසිදා එම රැස්වීමට පැමිණි කිසිවෙකුගෙන් එවැන්නක් බලාපොරොත්තු නොවුණේය.
“බොහොම ස්තුතියි ඔබතුමාට… රට වෙනුවෙන් හෙටත් මම මගේ යුතුකම කරනව ඔබතුමාල බයවෙන්න එපා ඒක ආණ්ඩුවේ ද විපක්ෂයේ ද කියල නෑ” ලාන්සා කීවේය. මේ අතරතුර ගම්පහ ජ්‍යෙෂ්ඨ පළාත් පාලන නියෝජිතයකු කතාබහ අතරට ළංවිය.
“මෙතුමා ඡන්දයක් ආවම විතරක් පේන මන්ත්‍රී කෙනෙක් නෙමෙයි. හැමදාම උදේ 6 ඉඳල මිනිස්සු හම්බෙන මළ ගෙදරට, මඟුල් ගෙදරට එන, ලෙඩට දුකට පිහිට වෙන ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී කෙනෙක් ඉන්නව නම් ඒ ලාන්සා විතරයි. අනිත් අය දකින්නෙ මේ කාලෙ ආයෙත් ඡන්දයක් ආවම තමයි උන් ගමට එන්නෙ” පළාත් පාලන නියෝජිතයා කීවේය.
බුලිත ප්‍රදීප් කුමාර