‘අලුත් ගස්වලට වැඩෙන්නට දෙමු’

23

මේ සටහන ලියන්නේ ජාත්‍යන්තර තරුණ දිනය දවසේ.

ඒ අතර දින සීයකට වැඩි කලක් එක දිගට අරගල කරපු මේ රටේ තරුණ පරම්පරාව බලගතු ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් පෙරළා දමමින් ගෝල්ෆේස් අරගල බිමෙන් නික්ම යනවා.

“අපිට ඕන අලුත් රටක්; ජීවිතයක් තියෙන රටක්.”

මේ සටන් පාඨය නිරන්තරයෙන් ඇසුණේ අරගල බිමෙන්. ඒ හැම තරුණයෙක්ම ඉල්ලා සිටියේ අලුත් රටක්. ඔවුන්ට වුවමනා වුණේ අලුත් ජීවිතයක්. යල් පැනපු සම්ප්‍රදායික ක්‍රමවේදවලින් ඔබ්බට ඔවුන්ටත් මේ රටේ තීන්දු තීරණ ගැනීමේ කටයුත්ත උදෙසා දායක වීමේ අවශ්‍යතාව ඔවුන් ඉල්ලා සිටියා.

ඒ ඉල්ලීම කිසිවකුට බැහැර කරන්නට බැහැ. ඒ ඉල්ලීම මේ රටේ සුවහසක් තරුණයින්ගේ අඳෝනාව. මේ ඉල්ලීම මේ රටේ සුවහසක් තරුණයින්ගේ අපේක්ෂාව.

“අපිට හැම විටම අපේ තාරුණ්‍ය වෙනුවෙන් අනාගතය ගොඩනගන්න බැහැ. නමුත් අපිට අපේ තරුණ පරපුර අනාගතය වෙනුවෙන් ගොඩනගන්න පුළුවන්.” ෆ්‍රෑන්ක් ඩි රූස්වෙල්ට් වරක් එහෙම සඳහන් කරනවා.

මේ ප්‍රකාශය යථාර්ථයක් කරමින් ලෝකයේ බොහෝ රටවල අද වන විට තරුණ නායකයින් බිහි වෙලා ඉන්නවා.

සෙබස්තියන් කර්ස් ඔස්ටි්‍රයාවේ චාන්සලර් වයස 31යි. නවසීලන්තයේ අගමැති ජැසින්ඩා ආර්ඩන්. වයස තිස් හතයි. ප්‍රංශයේ අගමැති එම්මානුවෙල් මැක්රෝන් තිස් පහයි.

ඔහු විසින් බිඳ දමනු ලැබුවේ 40 හැවිරිදි වියේදී බලයට පත්වෙමින් නැපෝලියන් බොනපාට් විසින් 1848 දී පිහිටුවනු ලැබූ වසර 170 ක් පැරණි වාර්තාව. ලොව කුඩාම රාජ්‍යයක් වන සැන් මැරීනෝ හි රාජ්‍ය නායිකාව වන වැනෙසා දි ඇම්බ්‍රෝසියෝගේ වයස අවුරුදු 29 යි.

අයර්ලන්ත අගමැති ලියෝ වරද්කාර්. වයස තිස් අටයි. යුක්රේනයේ අගමැතිවරයා’ ව්ලොද්මිර් ග්‍රොයිස්මාන්. වයස තිස් නවයයි. මැසිඩෝනියාවේ අගමැති එමිල් ඩිමිටි්‍රයේව්. වයස තිස් අටයි. හමාඩ් අල්තානි කටාර් රාජ්‍යයේ එමීර්වරයා. වයස 39 යි. 2022 පාපන්දු ජගත් කුසලානය කටාරයට ලබාගැනීමට ඔහු අප්‍රමාණව කැප වුණා.

ඇත්ත වශයෙන්ම ඒ තරුණ නායකයන් බිහි වුණු රටවල් වේගයෙන් ඉදිරියට එමින් ඉන්නවා. ඇටුවම් බැහැපු සම්ප්‍රදායික ක්‍රමවේදවලින් මිදිලා, නවීනත්වය එක්ක ඔවුන් ලෝකය දික්විජය කරමින් ඉන්නවා.

ඇත්තටම අද වන විට තරුණ පරම්පරාව ඉතිහාසයේ තරුණ පරම්පරාවටත් වඩා ලෝක තත්ත්වයන් පිළිබඳව සංවේදීයි.

ජාතිවාදය ආගම්වාදය මිථ්‍යාදෘෂ්ටිය වර්ගවාදය වෙනුවට ඔවුන් විශ්වාස කරන්නේ මානව වාදයයි.

අපේ රට නිදහසෙන් පස්සේ දශක හතක් පුරා පාලනය කළ සෑම නායකයෙක්ම පාහේ බොහෝ වියපත් අය. මන්ත්‍රීවරුන් 225කින් හෙබි ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව යනු, රටේ ව්‍යවස්ථාදායකය. ඒ අනුව රටේ සියලු නීති සම්පාදනය කිරීමේ බලය පාර්ලිමේන්තුව සතුයි. සමානුපාතික නියෝජනය යටතේ සර්වජන ඡන්දයෙන් වසර හයක කාලසීමාවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගනු ලබනවා. මෙම මන්ත්‍රීවරු 225 දෙනා අතර කාන්තාවන් සහ තරුණ නියෝජනය දක්නට ලැබෙන්නේ අල්ප වශයෙන්. විශේෂයෙන්ම, වර්තමානයේ දී රටේ පාලනය සම්පූර්ණයෙන්ම පාහේ සිදු කරන්නේ වැඩිහිටි පුරුෂයන්.

අපේ රටේ නම් ව්‍යවස්ථාවෙන්ම රාජ්‍ය නායකයාගේ වයස තීරණය කර තියෙනවා. දැන් තරුණ වයස කියන්නේ දාසයේ ඉඳන් තිස් පහ වෙනතුරු නම් අපේ රටේ තරුණ වයසේ ඉන්න කෙනෙක්ට රාජ්‍ය නායකයා වෙන්න බැහැ.

එය අවාසනාවන්ත තත්ත්වයක්.

මේ රටේ තරුණ පරම්පරාව අවස්ථා කිහිපයක දී කැරලිවලට ලක් වුණා. ඒ කැරලි සියල්ල ආයුධ සන්නද්ධ කැරලි. හැබැයි ඒ කැරලි ආයුධ සන්නද්ධ අරගලවලින්ම පරාජයෙන් අවසන් වුණා.

නමුත් මේ වෙනකොට ලෝකයේ අරගල තෝරාගන්නේ අලුත් විදිහට. ඒක ඒ ඒ රටවල්වලට අනන්‍ය යි. ඒවගේම අලුත්.

කර්ගීසියාව කියන්නේ, හෝඩි පොතක්වත් නැතිව ලෝකයෙන් හුදකලා වූ මිනිසුන් හිටිය රටක්. විප්ලවයෙන් ලැබුණු මාහැඟි දායාදය තමයි අධ්‍යාපනය.” නුදුරු අනාගතයේදී ම අතිදක්ෂ ලේඛකයින් එක්දාස් පන්සීයක් විතර බිහිවේය කියල අප බලාපොරොත්තු විය යුතු නැහැ. නමුත් අපගේ සංගමය හේතුකොටගෙන, එවැනි දක්ෂ ලේඛකයින් පනහක් බිහිවේය කියල අපි හිතමු. මේ පනස් දෙනාගෙන් අසමාන ධී ශක්තිය තියෙන පස් දෙනෙක් හිටීවි කියල අපි හිතමු. ඉතිරි හතළිස්පස්දෙනා දක්ෂ ලේඛකයින් වුණහම හොඳට ම ඇති….” 1934 අගෝස්තු 17 වැනිදා මැක්සිම් ගෝර්කි කීවා.

පුෂ්කින්, ගොගොල්, චෙකොෆ්, දොස්තයෙව්ස්කි, තෝල්ස්තෝයි, කුප්රීන්, තුර්ගිනිෆ්, බුනින්, ගොන්චාරෙව්, ලර්මන්තොව්, ගෝර්කි යනාදී සද්ධන්ත සාහිත්‍යධර කුලකයට ෂෝලහොව්, පැඩින්, පවුස්තොව්ස්කි, ලියනිඩ් ලියනෝව්, ඔස්ත්රොයව්ස්කි, බන්දාරොව්, තිකනෝව්, සිමනෝව්, ග්‍රැනින්, ගම්සාතොව්, රස්පුටින්, රිටිකියු, යෙව්ෂෙන්කෝ, අයිත්මාතොව් වැනි සාහිත්‍ය දැවැන්තයින් එරට වුණා.

නමුත් අපේ රටේ යාවත්කාලීන නොවූ අධ්‍යාපන ක්‍රමය යටතේ වෛද්‍යවරයකු බිහිවන වයස අවුරුදු 30 කට ආසන්නයි. සාමාන්‍ය උපාධියක් ලබා ගැනීමට අවුරුදු 28 ක් පමණ ගතවෙනවා. නමුත් අන්තර්ජාතික අධ්‍යාපන ක්‍රමවේදය තුළ වෛද්‍ය උපාධියක් අවුරුදු 22 දී ද, අනිකුත් උපාධීන් අවුරුදු 20 දී ද ලබා ගැනීමට හැකියාවක් ලැබී තිබෙනවා. අප මේ වන විටත් තාරුණ්‍යයේ වසර 8 ක් නිස්කාරණේ දිය කරනවා.

අපේ රටේ තරුණ නියෝජනය ඉතාම අඩුයි. අපේ රටේ කැබිනට් මණ්ඩලයට පත් වෙන්න සුදුසුකම වෙන්නේ දේශපාලනය වසර ගණනක් පරිණත වීම.

මේ අවාසනාවන්ත තත්ත්වය නිසා සක්‍රීය දක්ෂ බුද්ධිමත් තාරුණ්‍ය ඉබේම වියපත් වෙලා යනවා.

ඒ නිසා, දැනටමත් කල් ගොස් ඇති පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන සඳහා 25% ක තරුණ නියෝජනයක් ඇති කිරීම අවශ්‍යයෙන්ම කළ යුතුයි. නොපමාව කළ යුතුයි.

දැන් පාර්ලිමේන්තුව මේ සඳහා වන යෝජනාව දෙවන වර කියවීමේ විවාදය ඇතුළු අවසන් අදියර සඳහා’ ඒ යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර අප්‍රමාදව සම්මත කර ගැන්මට අග්‍රාමාත්‍ය, විපක්ෂ නායක ඇතුළු පක්ෂ නායකවරු තම කාර්යභාරය ඉටුකළ යුතුව තිබෙනවා.

ඉම්තියාස් බාකිර් මාකාර්

advertistmentadvertistment
advertistmentadvertistment