අලුත් නායකයෙක් ආවම ඔක්කොම හරිද?

490
2024 ජනාධිපතිවරණනේ පසු නව ජනාධිපතිවරයා පාලන බලය අතට ගෙන දැනට ගෙවී ඇත්තේ මාසයකුත් දින හත අටක කාලයකි. මෙවර රටේ ජනයා අලුත් බලාපොරොත්තු සහිතව නව පාලනයක් ස්ථාපිත කර ගත් බව සැබෑය. එමගින් තම බලාපොරොත්තු ඉටු කරගන්නට ජනතාවට හැකිවේ දැයි, නොහැකිවේ දැයි කියන්නට තවමත් කල්වැඩිය. එහෙත් ඉඳුරාම කිව හැකි එක් දෙයක් තිබේ. එය නම් කුමන පාලකයෙකු බලයට පත් කළද, තමන් වෙනස් වන්නට සූදානම් නොවන තාක් කුමන රටක් හෝ සමාජයක් වෙනස් කළ නොහැකි බවයි. වෙනස පටන් ගත යුත්තේ තමාගෙනි. එය එක්තරා පියෙකු තම කුඩා පුතුට කියා දුන් සරල පාඩමක් ඔස්සේ අපට වටහා ගත හැකිය.

කුඩා දරුවෙකුට ලෝක සිතියමක් පෙන්වා ඔහුගේ පියා විමසා ඇත්තේ මෙයින් නිරූපණය වන්නේ කුමක්ද යන්නය. එවිට දරුවා පවසා ඇත්තේි‘සියලු රටවලින් සමන්විත ලෝකය’ යන්නය. ඉක්බිතිව පියා එකී ලෝක සිතියම කුඩා කැබලි වලට ඉරා දරුවාට පවසා ඇත්තේ පෙර තිබූ පරිදි ඉරුණු කැබලි අලවා ලෝක සිතියම යළි සම්පූර්ණ කරන ලෙසය. පියාගෙ අණට කීකරු වූ දරුවා ලෝක සිතියම යළි පෙර පැවති තත්ත්වයට අලවා සම්පූර්ණ කිරීමට උත්සාහ ගන්නා ලදී. ඔහුට පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් වැරදිණි. ඉතා කුඩා දරුවෙකුට ලෝක සිතියමක් සම්පූර්ණ කිරීම යනු සැබවින්ම ආයාසකාරී සංකීර්ණ කාර්යයක් බැව් අමුතුවෙන් කිවයුතු නොවේ. තෙවරක්ම ගත් උත්සාහයන් අසාර්ථක වුවද, තම කුඩා පුතුගේ උත්සාහය ගැන ආඩම්බර වූ පියා පුතා අසලට පැමිණ පුතුට සහයක් වන්නට මෙවන් උපදේශයක් දෙන ලදී.

“පුතේ ඔය ලෝක සිතියමේ කොළ කැබලිවල පිටුපස බලන්න. එහි තිබුණේ මිනිසෙකුගේ ඡායාරූපයකි. ඔබට කොළ කැබලි එකතු කොට එකී මිනිසා පහසුවෙන් සෑදිය හැකිය. ඊට පසුව කිසිදු වෙනසක් නොකොට ඔබට සකස් කරන ලද සිතියමේ අනෙක් පස පෙරළා බැලිය හැකිය. එවිට ලෝක සිතියම සම්පූර්ණවී තිබෙනු දැකිය හැකිය“ යන්නය. කුඩා පුතු ඉතා කෙටි කලක් තුළ පහසුවෙන් සිතියමේ පිටුපස තිබුණු රූප සටහන් කැබලි එකතු කොට මිනිසා නිර්මාණය කළේය. පසුව අනකේ පස පෙරළා බැලූ විට නිවැරදි ලෙස ලෝක සිතියමද, සම්පූර්ණ වී තිබුණි. මෙම ආදරණීය පියා විසින් තම පුතුට ඉතා කුඩා අභ්‍යාසයක් තුළින් පෙන්වා දී ඇත්තේ මිනිසා සෑදෙන විට ලෝකය ඉබේම සෑදෙන බවයි. මෙම කාරණය අන් කවරදාටත් වඩා අද ශ්‍රී ලංකාව තුළ දකින්නට ලැබේ. එනම් තනි තනි පුද්ගලයින් තමන්ගේ වගකීම හා භූමිකාව නිසි ලෙස ඉටු නොකොට කාලෙන් කාලෙට පත්වෙන ජනාධිපතිවරුන්, මැති ඇමතිවරුන්ට පමණක් මෙහි වගකීම පවරා නිහඬවීමට අපට හැකියාවක් නැත.

මෑත කාලීන දේශපාලනය කෙරෙහි අවධානය යොමු කොට බලද්දී බොහෝ දෙනා කියා සිටියේ පාර්ලිමේන්තුව නියෝජනය කරනා 225 දෙනාම අවශ්‍ය නොවන බවයි. දේශපාලනඥයින්ගේ නම් හා ඈදුණු දූෂණ, වංචා, අක්‍රමිකතා, අපරාධ ආදී සියල්ල මෙවැනි අදහසක සමාජ කතිකාවේ ඉදිරියට එන්නට බලපවත්වන්නට ඇති බව අමුතුවෙන් කිවයුතු නොවේ. එහෙත් ඉතා සුපරික්ෂාකාරීව කල්පනා කර බැලුවහොත්, මෙම අර්බුදයට වගකිව යුත්තේ දේශපාලනඥයින් පමණක්මද, යන සාධාරණ පැනය අප හමුවට එයි. රජයේ ආයතනවල ප්‍රධානීන්, රජයේ නිලධාරීන්, සියලු සේවක සේවිකාවන් මේ රටේ යහපැවැත්ම වෙනුවෙන් තමන්ගේ යුතුකම හා වගකීම නිසි ලෙස ඉටුකරන්නේද? අප හමුවේ පවත්නා සැබෑ ගැටලුව එයයි.

පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ අප දෛනිකව අත්දකින දේ කෙරෙහි අපගේ අවධානය යොමු කළ හැකිය. නිදසුනක් ලෙස බස් රථයට, දුම්රියට, පෝලිමේ සිට අනෙකාට ඉඩ දෙමින් ඉවසීමෙන් ක්‍රියා කිරීමේ පුරුද්දක් අපට ඇත්ද? වැඩිහිටියෙක්, ගර්භනී මවක, දරුවෙකු වඩාගත් මවක, කුඩා දරුවෙකු සෙනඟ පිරුණු බස් රථයකට හෝ දුම්රියකට ගොඩවැදුණු විට ඔහුට හෝ ඇයට ක්ෂණිකව ආසනයක් පිරිනමන්නට ඉදිරිපත්වීමට කෙතරම් මැලිකමක් දක්වන්නේද? එහෙව් මිනිසුන් රටට අලුත් නායකයෙකු පත්වූ පමණින් පසු දින සිට තමන්ගේ ආකල්ප වෙනස් කරගනිමින් මානුෂීය ලෙස හැසිරෙන්නට කටයුතු කරනු ඇතිද? එසේත් නැතිනම් රටට ගැලපෙන හොඳ නායකයෙක් පැමිණි වහාම ස්ත්‍රීන්ට ඉඩදී, පොඩි අයට ඉඩ දී, වයසක අයට ඉඩදී, අතපය වාරු නැති මිනිසුන්ට සහයවී, පිළිවෙළකට පෝලිමේ ඇවිත් හෙමිහිට දුම්රියට නඟින්නට කටයුතු කරන්නට ඔවුන් සූදානම්ද? මහා මාර්ගයේ මෝටර් රථයක් ධාවනය කරමින් සිටියදී, විදුලි සංඥා පුවරු අසලදී, කොළ එළිය දැල්වුණු කල අලි එළවන්නට මෙන් මහ හඬට නලාව හඬවමින් ඉදිරියෙන් යන කෙනාට හිසරදයක් වන තරමට හැසිරෙන පිරිස්, මාර්ග සලකුණු, මාර්ග නීති නොතකා අනෙකාට කුමක් වුවද, වගේ වගක් නැතිව තමන්ගේ ගමන යන්නට උත්සාහ කරන පිරිස්, අලුත් නායකයෙකු පත්වූ විගස තමන්ගේ පුරුද්ද අත්හරින්නට සූදානම්ද? පසුදින විනයකරුක රියදුරෙකු ලෙස පිළිවෙළකට මාර්ගයේ ගමන් කරන්නට ඔවුන් කටයුතු කරනු ඇතිද?

මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති වලින් කෝටි ප්‍රකෝටි ගණනින් ගසා කන, වංචා, දූෂණ, අක්‍රමිකතා කරන දේශපාලනඥයින් ගැන නිතර දෙවේලේ කතා කරනු ලැබෙයි. එහෙත් රජයේ රැකියාව කරන සාමාන්‍ය සේවකයින් තමන්ට කාර්යාලයෙන් රාජකාරියට ලැබෙන පෑන, හාෆ්ෂීට් කොළය පවා ගෙදර ගෙනියන තත්ත්වයක් දක්නට ලැබෙන බවද, අප අමතක නොකළ යුතුය. මහා පරිමාණ ජාවාරම් සහ මෙම සොරකම් අතර ඇත්තේ පරිමාණාත්මක වශයෙන් වෙනස්කම් විනා ගුණාත්මක වශයෙන් වෙනස්කම් නොවේ. ඒ නිසාම සොරකම් ගැන කතා කරන ගමන් තමන්ට ලැබෙන ඉඩ ප්‍රස්ථාවෙන් පුංචි පුංචි සොරකම් කරන රජයේ සේවකයින් අලුත් නායකයෙකු ලැබුණු වහාම තමන් විසින් කරනු ලබන සොරකම් සම්පූර්ණයෙන්ම අතහැර වෙනස් වෙන්නට සූදානම්ද? ආර්ථික වශයෙන් බංකොළොත්වී සිටින රටක වුවද, අල්ලස් ගන්නා, මෙම දූෂිත නිලධාරී පැළැන්තිය අලුත් නායකයෙකු පැමිණි විගස රට හැදීම වෙනුවෙන් තමන්ගේ දූෂිතභාවය මුළුමනින්ම නැතිකර වෙනස් වෙනු ඇතිද? උපයනවිට ගෙවන බද්ද, ව්‍යාපාරික බද්ද මෙන්ම බොහෝ වක්‍ර බදුවලින්ද රජයේ වියදමට ගෙවන පුරවැසියෙකු තමන්ගේ අවශ්‍යතාවකට යම් සේවයක් සලසා ගැනීම සඳහා රජයේ කාර්යාලයකට පැමිණි පසු ඔවුන් ගෞරවනීය ලෙස පිළිගෙන ඔවුන්ගේ අවශ්‍යතාව ඉටුකරදෙන රාජ්‍ය සේවකයින් අපට සිටීද? ඒ වෙනුවට බොහෝ දෙනෙකු මැසිවිලි නඟන්නේ අත යටින් ගාණක් මිට මෙලවූයේ නැතිනම් තමන්ගේ කටයුත්ත නිසි ලෙස ඉටුකර ගැනීමට හැකියාවක් නොමැති බවයි. ඉතිං මෙවැනි රාජ්‍ය නිලධාරී පැළැන්තියක්, අලුත් නායකයෙකු පැමිණි විගසින් තමන්ගේ කොමිස් ගැහිලි, පගා ගැහිලි නවතා රටේ දූෂණ අක්‍රමිකතා මුළුමනින්ම තුරන් කිරීමට තමන් එක සිතින් සහය දෙනු ලබයිද?

අපගේ රටේ දෛනික ජීවිතය, ආර්ථික කටයුතු මේ මොහොතේ පවත්වාගෙන යෑමට විදෙස්ගත ශ්‍රමිකයින් පවුල් ප්‍රේෂණ ලෙස රටට එවන මුදල් තීරණාත්මක සාධකයකි. නිසි ලෙස, නීත්‍යනුකූල මර්ගයන් ඔස්සේ රටට පවුල් ප්‍රේෂණ එවන පිරිස්වලට අප අපගේ ගෞරව පූර්වක ස්තූතිය පළ කළ යුතුමය. එහෙත් උණ්ඩියල් ක්‍රමයට හෝ නොයෙක් අයථා මාර්ගවලින් මුදල් එවන පිරිස් අලුත් නායකයෙකු පත්වීමෙන් පසු නීත්‍යනුකූල මාර්ග ඔස්සේ පමණක් රට ගොඩනැඟීමේ උදාර කාර්යයට අතහිත දෙන්නට මුදල් එවන්නට ආරම්භ කරනු ඇතිද? තමන්ගේ දරුවා ජාත්‍යන්තර පාසලකට, ඇතුළත් කොට තමන් දන්නා විෂය කරුණත් සතේට ගණන් බලා ටියුෂන් බවට පත් කරන මිනිසුන් ‘නිදහස් අධ්‍යාපනය සුරකින’ ලෙස ඉල්ලා හෙටත් මහ පාරේ උද්ඝෝෂණ කරනු දකින්නට නොලැබෙනු ඇත්ද? තමන්ගෙ වෘත්තීය ජීවිතයේ එකම දවසක් හෝ තමන් රාජකාරිය කරන පාසලේ දරුවෙකුට අකුරක් කියල දුන්නෙ නැති ගුරු සංගම්, නායකයින් අලුත් නායකයෙක් ලැබුණාම දරුවන්ට උගන්වයිද?

රජයේ රෝහලකින් බෙහෙත් ටික ගන්න එන අසරණ රෝගීන්ට නොබණින, නොසැලකිල්ලෙන් රෝගියාගේ වම් කකුල වෙනුවට දකුණු කකුල කපා ඉවත් කරන වර්ගයේ වෛද්‍යවරුන් අලුත් නායකයෙකු පැමිණි විට දකින්නට නොලැබෙයිද? ඉන්ජෙක්ෂන් වෙනුවට වතුර ගහපු සෞඛ්‍ය සේවයේ රාජ්‍ය නිලධාරීන් හෙට සිට එසේ නොකරනු ඇතිද? අල්ලපු වත්තෙනුත් කෑල්ලක් හසුවෙන අයුරින් වැට ගහපු, තමන්ගෙම සහෝදරයගෙ ඉඩමටත් හොර ඔප්පු හදාගෙන ලියව ගත්තු අය අලුත් නායකයෙක් ආවම සමාජ සාධාරණත්වය ඉටු කරයිද? පාරෙ බැහැල යන ගෑනු ළමයින්ට ෂූ ෂූ ගාණ, කොටට ඇඳපු ගෑනු ළමයෙක් දැක්කම නැති පිරිමිකම් ඉස්මතු වී ඒ රූපවලට යටින් කුණු හරුප ලියපු තරුණයින් අලුත් නායකයෙක් ආවම කාන්තා අයිතිවාසිකම් සුරකින්නට කටයුතු කරනු ඇතිද? ඉතිං මේ එළඹ ඇත්තේ අප විසින් අපවම ප්‍රශ්න කරගත යුතු මොහොතකි.

අලුත් නායකයෙක් ආවම ඔක්කොම හරිද?

ආචාර්ය
රංග ජයකොඩි

advertistmentadvertistment
advertistmentadvertistment