අලුත් පාර්ලිමේන්තු සැසිවාරයට ජනපතිගෙන් අලුත් වැඩපිළිවෙළක්

219

පසුගිය සතිය ද ක්‍රියාකාරී උණුසුම් දේශපාලන සතියක් විය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේ අගමැතිවරයා ලෙස පත් වූ රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපති වී, පසුව පාර්ලිමේන්තුවේ බහුතරයෙන් ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයා බවට පත්වී අවසන්ය. එහෙත් ඇතැම් අයට මේ පත්වීම සම්බන්ධයෙන් බොහෝ ප්‍රශ්න තිබිණි. ඔවුන් ඒ සම්බන්ධයෙන් පසුගිය සතිය පුරාම විවිධ අදහස් දක්වන්නට වූ බව අපි දනිමු.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා රටේ මූලික නීතියට අනුව කෙසේ වුවත් ජනවරමක් තබා පාර්ලිමේන්තු ආසනයක් වත් නැති රනිල් මේ රටේ විධායක ජනාධිපතිවරයා බවට පත්වීමේ සුජාතභාවය ගැන ඔවුන් ප්‍රශ්න කරමින් සිටියහ.

ඔවුන්ගේ තර්කය වූයේ පසුගිය ජනාධිපතිවරණයෙන් හා මහ මැතිවරණයෙන් එජාපයට හෝ රනිල්ට සැලකිය යුතු මහජන කැමැත්තක් නොතිබූ බව ය. එහෙත් එදා 69 ලක්ෂයක් ඡන්ද ගෙන පත් වූ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඔවුන්ගේ තර්කය වූයේ ඔහු එදා 69 ලක්ෂයක් ගත්තත් මේ වන විට එම ජනවරම වෙනස් වී ඇති බවය. ගෝඨාභය සම්බන්ධයෙන් ජනවරම වෙනස් වී ඇතැයි තර්ක කරන්නේ නම් එදා රනිල් සම්බන්ධයෙන් තිබූ ජනවරම වෙනස් නොවී නියතයක් ලෙස පවතින්නේ කෙසේදැයි තර්ක කරන්නට කිසිවකු ඉදිරිපත් වූයේ නැත. ගෝඨාභයගේ ජන වරම වසර දෙකකින් පසු වෙනස් වී ඇත්නම් එදා රනිල් සතුව තිබූ ජනවරම ද වෙනස් නොවී නියතයක් ලෙස පවතින්නේ නැත.

කවුරු මොන මොන තර්ක ගෙන ආවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහට නම් ඒ එකදු තර්කයක්වත් අදාළ නොවීය. ඔහු මෙහිදී ඉදිරිපත් කළේ එකම එක තර්කයක් පමණි.

“මේ වැඩේ කරන්න මට වඩා දක්ෂයො ඉන්නත් පුළුවන්. මට වඩා සුදුස්සො ඉන්නත් පුළුවන්. ඒත් මේ අභියෝගය භාර ගත්තෙ මම” රනිල්ගේ ඒ පැහැදිලි තර්කය බිඳින්නට කිසිවෙකුත් ඉදිරිපත් නොවූයේ පැහැදිලිවම මේ රටේ අගමැතිකම භාර ගෙන අභියෝගයට මුහුණ දෙන්නැයි හිටපු ජනාධිපතිවරයා ආරාධනා කරද්දි රනිල් හැරුණු විට අන් සියලුම දේශපාලනඥයෝ මුනිවත රකිනු ලැබූ නිසාය.

කෙසේ වෙතත් ජනාධිපති රනිල් දැන් ඒ අභියෝගය භාරගෙන බොහෝ දුර පැමිණ අවසන්ය. ඔහු කළ යුතු දෑ එක කෙළවරක සිට පිළිවෙළකට කරන්නට පටන් ගත්තේය.

ඔහු ප්‍රධාන කාරණා දෙකක් කෙරෙහි අවධානය යොමු කළේය.

පළමුවැන්න ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලට පිළිගත හැකි මට්ටමේ ශක්තිමත් රජයක් පිහිටුවා ඒ මගින් ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල ආධාරයෙන් විදේශ විනිමය අර්බුදය සමථයකට පත් කොට යහපත් ආර්ථික තත්ත්වයක් රටේ ස්ථාපිත කිරීම යි. දෙවැන්න රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කිරීමයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස වැඩ භාර ගත් මොහොතේ පටන්ම ඔහු මහන්සි වූයේ ඉහත කරුණු දෙක සාක්ෂාත් කරගැනීම සඳහාය.

● ජනපති රනිල්ගෙන් ප්‍රතිපත්ති ප්‍රකාශයක්

ඉහත කී කාරණා දෙක ඉෂ්ට කරගෙන රට ඉදිරියට ගෙන යෑම සඳහා ජනපති රනිල්ට ප්‍රතිපත්තිමය රාමුවක් අවශ්‍ය විය. ඒ සඳහා ඔහු පසුගිය සතිය පුරාම විවිධ පාර්ශ්ව සමඟ සමග සාකච්ඡා කරන්නට පටන් ගත්තේය.

“ජනාධිපතිවරයා හැටියට වැඩ භාරගත්තයින් පස්සේ මම මගේ වැඩපිළිවෙළ ගැන රටට ප්‍රකාශයක් කරන්න ඕන. පාර්ලිමේන්තුවේ දී ජාතිය අමතමින් ඒ ප්‍රකාශය කරන්නයි මම හිතන්නේ. ඒ සඳහා මට සුදුසු වෙලාවක් අවස්ථාවක් සූදානම් කරලා දෙන්න” ජනාධිපතිවරයා නව සභානායක සුසිල් ප්‍රේමජයන්තට කීවේය.

“එහෙම නම් මේ සැසිවාරය අවසන් කරල පාර්ලිමේන්තුවේ නව සැසිවාරය පටන් ගන්නකොට තමයි ඔබතුමාට පාර්ලිමේන්තුව හා ජාතිය අමතමින් ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දක්වන්න වෙන්නේ. අපි ඒකට පක්ෂ නායකයෝත් එක්ක කතා බහ කරල සුදුසු වෙලාවක් දිනයක් යොදා ගමු” සුසිල් කීවේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩ භාර ගැනීමෙන් අනතුරුව රටේ පවතින මේ ගැටලු විසඳා ගැනීම සඳහා ඔහු මේ රටේ සියලු දේශපාලන පක්ෂවලට විවෘත ආරාධනාවක් කළේය. ඔහු කතා කළේ පුළුල් ජාතික ආණ්ඩුවක් සාදා ගැනීම සඳහා සියලු පක්ෂ සහභාගි වන ලෙසයි. එහෙත් එම ආරාධනාව ලත් සැණින් ප්‍රතික්ෂේප කළ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් ද කිහිපයකි. විශේෂයෙන්ම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ද එම යෝජනාව බැහැර කර සිටියහ. ඩලස් අලහප්පෙරුම සමග කටයුතු කරන පොදුජන පෙරමුණේ විකල්ප කණ්ඩායම ද යෝජනාව පිළිගත්තේ නැත. කෙසේ වෙතත් සමගි ජන බලවේගය ඇතුළේ සිටින යම් යම් පුද්ගලයින් හා පක්ෂ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් ද එම යෝජනාව කෙරෙහි යම් අනුකූලතාවක් දක්වන්නට වූහ. එසේ පිහිටුවන ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් අපේ දේශපාලන කරළියේ විවිධ සාකච්ඡා ඇති විය. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ ගැන පුළුල්ව සාකච්ඡා කළහ.

● ජාතික ආණ්ඩුවකට සිරිසේන – රනිල් හමුවක්

දේශපාලනයේදී සදාකල් මිතුරන් හෝ සදාකල් සතුරන් නැති බව ජනප්‍රිය කියමනකි. දෙදහස් පහළොවේ දී එවකට මහින්ද රාජපක්ෂ කඳවුරේ සිටි ප්‍රබලයකු වූ මෛත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ සමග එක්කාසු වී ජනාධිපති ධුරය වෙනුවෙන් මහින්ද සමඟ තරග කළේ එම කියමන සනාථ කරමිනි. කලකට පසු ජනාධිපති සිරිසේනට අගමැති රනිල් වහ කදුරු මෙන් තිත්ත විය. අවසානයේ ඔහු යහපාලන ආණ්ඩුවේ නිමාව සනිටුහන් කරමින් අගමැති රනිල් ඉවත් කොට මහින්දව අගමැති පුටුවේ වාඩි කළේය.

එතැන් පටන් අපේ රටේ බොහෝ දේශපාලන සමාජ විපර්යාස සිදු වූ බව ඇත්තය. ඒ විපර්යාස සියල්ල ඉදිරියේ මෛත්‍රීපාල සිරිසේන යනු තීරණාත්මක චරිතයක් විය. විවාදාත්මක චරිතයක් ද විය.

පසුගිය දිනක ජනාධිපති ධුරය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ හා ඩලස් අලහප්පෙරුම පාර්ලිමේන්තුවේ තරග වැදි වෙලාවේ මෛත්‍රීපාල සිරිසේන ගත්තේ ඩලස්ගේ පැත්තයි. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතවාදය සංවාදාත්මක විය. ඊට පෙර රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීම ගැන අකැමැත්ත පළ කරමින් අවස්ථා

ගණනාවකදීම මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි විවේචන එල්ල කළ අයුරු අපට මතකය.

මේ කවර දේ වුවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති වූ අවස්ථාවේ ඒ සඳහා පැවති සියලු උත්සවවලට ද මෛත්‍රීපාල සිරිසේන සහභාගී වීය.

කෙසේ වෙතත් තවදුරටත් මේ රනිල්ගේ ආණ්ඩුවට සහයෝගය දෙනවාද නැද්ද යන කාරණාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලේත් පසුගිය සතියේ පුළුල් සංවාදයක් ඇති විය. එම සංවාදවලදී පක්ෂ නායක මෛත්‍රීපාලත් මහ ලේකම් දයාසිරි ජයසේකරත් ශාන් විජයලාල් ද සිල්වා මන්ත්‍රීවරයාත් නිතරම සිට ගත්තේ ශ්‍රීලනිපය රනිල්ගේ මේ ආණ්ඩුවට සහයෝගය දිය යුතු නැතැයි යන ස්ථාවරයේය. ඊට ප්‍රතිපක්ෂව මත පළ කළ අය වැඩි විය. එක්කෙනෙක් දෙන්නෙක් මධ්‍යස්ථව සිටියහ.

රනිල් ජනාධිපති වූවාට පසු හදිසි නීතිය දමා අරගලයේ ක්‍රියාකාරීන් හා කලබලකාරීන් පාලනය කිරීමට ගත් පියවර සම්බන්ධයෙන් ද රටේ ලොකු සංවාදයක් මතුව තිබිණි. සමහරු මෙය අර්ථ දැක්වූයේ රනිල් නීතිය අතට ගෙන නිර්පාක්ෂික සාමකාමී අරගලකරුවන් මර්දනය කරනවා කියාය.

එහෙත් පසුගිය සතිය වන විට අරගලය ගැන ද රටේ විවිධ විවේචන ඇතිවිය. ‘අරගලය’ සමහර දේශපාලනඥයන් හඳුන්වන තරම් නිර්පාක්ෂික ද සාමකාමී ද පිරිසිදුද පිවිතුරුද කියා සමාජය ප්‍රශ්න කරන්න වූහ.

මේ අතර හදිසි නීතිය පනවා රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා ගත් පියවර සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ද ප්‍රශ්න ඇති විය. විපක්ෂය ඒ සම්බන්ධයෙන් විවාදයක් ඉල්ලා සිටියහ. ජනතා විමුක්ති පෙරමුණ හා සමගි ජන බලවේගය මෙන්ම ඩලස් සමග සිටින පොහොට්ටුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරුද මෙහිදී සිටියේ හදිසි නීතිය පැනවීමට විරුද්ධ මතයක ය. මේ නිසා හදිසි නීතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ පැවැති විවාදය ඉතා උණුසුම් එකක් විය.

හදිසි නීති විවාදය පැවැති 27 වෙනිදා උදේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු දාහතර දෙනා ද මේ ගැන වෙනම සාකච්ඡාවක් පවත්වමින් සිටියහ.

“රනිල් වික්‍රමසිංහ මේ ගෙනියන මර්දනකාරී ක්‍රියා පිළිවෙත වැරදියි. හදිසි නීතියේ මුවාවෙන් අවසානයේ මර්දනය වෙන්නේ විරුද්ධ දේශපාලන මත දරන පිරිස. අරගලය වුණත් ඉතාම සාමකාමීව පැවැත්වුණු එකක්. ඒකට මේ විදියට මර්දනය දියත් කරපු එක ගැන අපට එකඟ වෙන්න බැහැ. හදිසි නීති විවාදයේ දී අපි විරුද්ධව කතා කරමින් විරුද්ධව ඡන්දෙ දෙන්න ඕන” දයාසිරි කීවේය.

“හැබැයි මේ වෙලාවේ රටේ තියෙන්නෙ වෙන ප්‍රශ්නයක්… රටක දේශපාලන ස්ථාවරයක් ඕන. එහෙම දේශපාලන ස්ථාවරයක් ඇති වුණේ නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය ආයතන අපිට උදව් කරන්නේ නෑ. එහෙම වුණොත් මේ ප්‍රශ්නය විසඳනවා වෙනුවට තව තවත් කල් ඇදෙනවා.

අනිත් එක අරගලකාරයෝ මේ විදියට රටේ නීතිය අතට අරන් වැඩ කරන්න ගියොත් මේ රටේ කිසිම පාලකයෙකුට ආණ්ඩුවක් කරන්න බෑ. රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කරන්න අවශ්‍ය පියවර ගන්න අපි ජනාධිපතිතුමාට උදව් කරන්න ඕන මේ වෙලාවේ…”

දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, චාමර සම්පත් දසනායක ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩිදෙනෙක් සිය අදහස් දැක්වූයේ පක්ෂ නායක මෛත්‍රීපාලගේ හා දයාසිරිගේ මතයට විරුද්ධ ව ය.

එසේ වුවත් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේනටත් වඩා දයාසිරි ජයසේකර මෙහිදී දැඩි ව සිටියේ ය. හදිසි නීතියට විරුද්ධ වීම ජනතාවාදී ස්ථාවරයක් බව ඔහු පෙන්වා දුන්නේ ය.

“මේ විදියට මොකුත් කරන්න බෑ. ඔබතුමාට තියෙන්නේ වෙන උවමනාවක්. ඔබතුමා හදන්නේ සජිත්ගෙ කැබිනට් එකේ ඇමැතිකමක් ගන්න” මන්ත්‍රීවරයෙක් චෝදනා කළේය. ගැටලුව උණුසුම් විය. තත්ත්ව පාලනය කිරීමට තවත් අයෙක් ඉදිරිපත් විය.

“හදිසි නීතියට එකඟ වෙන්නත් බැරිනම් විරුද්ධව ඉන්නත් බැරිනම් අපි මේ වෙලාවේ ඡන්දය දීමෙන් වැළකී ඉඳිමු. ඒක තමයි හොඳම දේ…” එසේ කීවේ රංජිත් සියඹලාපිටිය යි.

ඒ අනුව වැඩි දෙනෙක් තීන්දු කළේ හදිස් නීතියට පක්ෂව ඡන්දය දීමෙන් වැළකී සිටීම මේ වෙලාවේ නුවණට හුරු බවයි.

● වෙල්ගම, සරත් හා විමල් උණුසුම් කතා තුනක…

කෙසේ වෙතත් එදා (27) පාර්ලිමේන්තුවේ පැවති හදිසි නීති විවාදය ඉතා උණුසුම් එකක් විය. ආරක්ෂක හමුදාවන්හි ගෞරවය හා වගකීම ගැන නිතර කතා බස් කරන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විවාදයේ දී කැපී පෙනෙන කථාවක් කළේය. ඔහු අවධාරණය කළේ හදිසි නීති රෙගුලාසිවලට මුවාවී මේ රටේ ආරක්ෂක අංශ ඇතැම් දේශපාලනඥයින්ගේ උවමනා එපාකම් ඉටු කරන්නට බලය පාවිච්චි කරන ආකාරය ගැනය. ඔහු අරගලකරුවන්ගේ අයිතීන් හා අපේක්ෂාවන් ආරක්ෂා කරමින් කතාකරනු ලැබීය.

එහෙත් විමල් වීරවංශ ඉදිරිපත් කළේ කළේ එම මතයට ප්‍රතිපක්ෂ විවාදාත්මක කතාවකි. ඉන් කොටස් කීපයක් මෙසේය.

“තායිලන්තයේ, එක්තරා කාලයක තිබුණා ‘කහ කමිසකරුවන්ගේ සටන’ කියා එකක්. එහෙත් සිටියා නීතිඥ කණ්ඩායමක්. ඒ සටනට මූල්‍යාධාර ලබා දුන්නේ එම නීතිඥ කණ්ඩායම හරහා. ඇමරිකාවේ මධ්‍යම රහස් ඔත්තු සේවාවට (CIA) අනුබද්ධ සංවිධානයක් තිබෙනවා NED (NATIONAL ENDOWMENT FOR DEMOCRACY -ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික උරුමය) කියා. මෙය 1983දී ආරම්භ කරන ලද්දක්. මේ වන විට එය රටවල් 100ක පමණ ක්‍රියාත්මකයි. මේ බලන්න 2020 වසරේදී පමණක් ශ්‍රී ලංකාවේ ‘නීතිය හා සමාජයීය පදනමට’ මෙමගින් ඩොලර් එක්ලක්ෂ හැත්තෑදෙදහස් හයසිය හැත්තෑවක් (ඩොලර් 1,72,670) ලබාදී තිබෙනවා. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයට 2020 වසරේදී පමණක් ඩොලර් දෙලක්ෂ අසූපන්දහසක් (ඩොලර් 2,85,000) ලබාදී තිබෙනවා. මීට අමතරව USAID, CSI, ROL ව්‍යාපෘතිය

‘ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය ප්‍රවර්ධනය කිරීම සඳහා සිවිල් සමාජ මුල පිරීම්’ සඳහා 2013 – 2017 කාලය තුළ ඩොලර් මිලියන 3.9ක් වැයකර තිබෙනවා. මෙම අරමුදල් වැය කිරීම ශ්‍රී ලංකා රජයේ ‘නීතිඥ සංගමය’ හරහා සිදුකර තිබෙනවා. මම මෙම ලේඛනය සභාගත කරනවා. දැන් බලන්න අපට මානසික බාධා පනවනවා, ‘මේවා හෙළිදරව් කළොත් ගහයිද දන්නේ නැහැ. ගේ ගිනි තියයි ද දන්නේ නැහැ’ යනුවෙන්. ඒවාට යටත් වීමට බැහැ.

කෙසේ වෙතත් විමල්ගේ කථාවේ ඉතා අපූරු යථාර්ථයක් තිබුණි. ඔහු කීවේ අපට වරප්‍රසාද එපා ඇමැතිකම් එපා. අපට අපේ රාජ්‍යය ආරක්ෂා කර දෙන්න කියාය.

එහිදී කුමාර වෙල්ගම ඉදිරිපත් කරනු ලැබූ සංවේදී කතාව මුළු රටේම අවධානය දිනාගන්නට සමත් කතාවක් විය. ඔහු සිය කතාවේදී අරගලකරුවන් හා ත්‍රස්තවාදීන් පැහැදිලිවම කොටස් දෙකකට බෙදා වෙන් කළේය. අරගලකරුවන්ගේ පොදු අවිහිංසක අභිප්‍රායන් දඩමීමා කරගෙන ත්‍රස්තවාදීන්ගේ සාහසිකත්වය මතු වී ඇති බව පෙන්වා පෙන්වා දුන් වෙල්ගම මහතා තර්ක කළේ මර්දනය කළ යුත්තේ අරගලයේ යෙදී සිටින අහිංසකයන් හෝ ඔවුන්ගේ අභිප්‍රායන් නොව, එම අහිංසකයන්ට පිටුපසින් මුවාවී සාහසික ක්‍රියාවන්ට තිර පිටපත් ලියාදෙන ත්‍රස්තවාදී නායකයින් බවය.

ප්‍රවීණ හා කෘතහස්ත දේශපාලනඥයකු වන දිනේෂ් ගුණවර්ධන මේ රටේ අගමැතිවරයා වීීම සම්බන්ධයෙන් වාමාංශික දේශපාලනයේ නිරත වන බොහෝ දෙනෙක් සතුට පළ කර සිටියහ. සර්ව පාක්ෂික ආණ්ඩුවක්

සාදාගන්නා තුරු හිටපු කැබිනට් ඇමැතිවරුම යළිත් මේ ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් ලෙස පත් කරන්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කළේය.

ඒ අනුව ඇමැති ප්‍රසන්න රණතුංග පසුගිය සඳුදා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ විෂය භාර ඇමැතිවරයා ලෙස යළිත් වැඩ භාර ගත්තේය. වැඩ භාර

ගන්නා අවස්ථාවේ ඇමැතිවරයා මුණ ගැහුණු ඔහුගේ හිතවත් නීතිඥවරුන් කිහිප දෙනෙකු ඔහුට ලිපි ගොනුවක් භාර දුන්නේය. එහි ඇතුළත්ව තිබුණේ අරගලකරුවන්

ගෝල්ෆේස් භූමියේ රැඳී සිටීම නීති විරෝධි බව තහවුරු කරන ලිපි ලේඛනය. ඊට අදාළ නඩු වාර්තා පවා මේ නීතිඥවරු ඇමැති ප්‍රසන්නට ලබා දුන්හ. ඇමැතිවරයා ඒ මොහොතේම මේ පිළිබඳව සොයා බලන ලෙස නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.

● ඒ හදිසි හා මේ හදිසි දෙකක්ද එකක්ද…

හදිසි නීති විවාද පැවතියේ පසුගිය 27 වැනි බදාදා ය. ඊට පෙර දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් පැවති පළමු ආණ්ඩු පක්ෂ කණ්ඩායමේ

රැස්වීම පසුගිය අඟහරුවාදා (26) මුදල් අමාත්‍යාංශ නව ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ඒ ජනාධිපති රනිල්ගේත් අගමැති දිනේෂ්ගේත් ප්‍රධානත්වයෙනි.

ජනාධිපති රනිල් මුලින්ම තමන්ව ජනාධිපති කරවීමට ඡන්දය දුන් මන්ත්‍රීවරුන්ට ස්තූති කළේය. එහිදී ඔහු පොහොට්ටුවේ නායක හිටපු අගමැති මහින්ද රාජපක්ෂට ද විශේෂ ස්තූතියක් කිරීමට අමතක කළේ නැත.

අනතුරුව කථා කළේ නව අගමැති දිනේෂ්ය.

“මම විධායක ජනාධිපතිවරු ගණනාවක් යටතේ මේ වෙනකොට සේවය කරලා තියෙනවා. එහි හැම තැනකදීම මම අවංකව මගේ සේවය හැකි උපරිමයෙන් ජනාධිපතිවරයාට ලබා දුන්නා. නව ජනාධිපතිවරයාටත් ඒ වගේම මම මගේ පූර්ණ සහාය පළ කරනවා. ඒ වගේම මාව අගමැති ධුරයට නම් කිරීම පිළිබඳව ජනාධිපතිවරයාටත් ඊට මැදිහත් වූ සැමටත් ස්තූතිය පළ කරනවා.”

දිනේෂ්, මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයාට ද විශේෂ ස්තූතියක් පළ කළේය.

මෙම ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට විශේෂ අමුත්තන් දෙදෙනකු ද පැමිණ සිටියේ පවතින තත්ත්වය පිළිබඳ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහාය. ඒ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සහ බුද්ධි අංශ ප්‍රධානියා ය. ඔවුන් දෙදෙනාම රට තුළ පවතින තත්ත්වය පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කළහ. මෙම තත්ත්වය පාලනය කිරීමට නම් ආරක්ෂක අංශවලට රැකවරණය ලබාදෙන නීතිමය පසුබිමක් සලසාදෙන මෙන් කළ ඉල්ලීමක් ද විය.

ඔවුන් එසේ පෙන්වා දුන්නේ පසුදින පාර්ලිමේන්තුවේදී හදිසි නීතිය සම්මත කර ගැනීමේ අවශ්‍යතාවය ගැනය.

එමෙන්ම අගෝස්තු 09 වෙනිදා යළි රට තුළ ගැටුම් ඇති කිරීමට ඇතැම් කණ්ඩායම් සූදානම් වන ආකාරය ගැන බුද්ධි අංශ ප්‍රධානියා පැහැදිලි කිරීමක් කළේය.

ආරක්ෂක ලේකම්වරයාගේ සහ බුද්ධි අංශ ප්‍රධානියාගේ පැහැදිලි කිරීම්වලින් අනතුරුව මුලින්ම නැගී සිටියේ මධුර විතානගේ මන්ත්‍රීවරයාය.

“පසුගිය මැයි 09 වැනිදත් මේ රටේ හදිසි නීතිය තියෙනකොට තමයි අපේ ගෙවල් ගිනි තිබ්බේ. අතුකෝරාල මන්ත්‍රීතුමාව මැරුවේ ඒ හදිසි නීතියයි මේ හදිසි නීතියයි දෙකක්ද?” මධුර ඇසුවේය.

ඊට උත්තර දුන්නේ ආරක්ෂක ලේකම්වරයාය. ඔහු කීවේ මැයි 09 වැනිදා වනවිට තිබූ හදිසි නීතියේදී හමුදාව යොදා ගැනීමේ ගැටලුවක් තිබූ බවත්, මෙවර අවශ්‍ය බලතල ආරක්ෂක අංශවලට ලබා දී ඇති බවත් ඔහු කීවේය.

කනක හේරත් මන්ත්‍රීවරයා අදහස් දක්වමින් රඹුක්කන සිද්ධිය ගැන කීවේය.

“රඹුක්කන සිද්ධියේදී පොලිසිය එම ගැටුම විසඳීමට උපරිමයෙන් මැදිහත් වුවද සිද්ධියෙන් පසුව පොලිසිය රැක ගැනීමට කිසිවකුත් නොසිටි බව කනක කීවේය. ඒ බිඳ වැටීම නිසා දිගින් දිගටම ගැටලු මතු වූ බවද ඔහු කීවේය.

ජනාධිපති නීතිඥවරු හුඟ දෙනෙක් රඹුක්කන සිද්ධියෙන් පස්සේ මට කතා කළා. ඒ අය කිව්වේ

ගෝඨාභය ජනාධිපතිතුමා අයින් වුණාට පස්සේ මේ අරගලය නතර වෙනවා කියලා. හැබැයි අද වෙනකොට ගෝඨාභය ජනාධිපතිතුමා අයින් වෙලත් තාම සමහරු අරගල කරනවා.” නීතිඥ ජයන්ත වීරසිංහ මන්ත්‍රීවරයා කීවේය.

අනතුරුව කතා කළේ සරත් වීරසේකර මන්ත්‍රීවරයා ය. ඔහු කීවේ අගෝස්තු 09 වැනිදා යළි කොළඹට අරගලකරුවන් පැමිණීමේ අවදානමක් පවතින බවය. ඊට එරෙහිව පියවර ගන්නා ලෙස ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

සුමිත් උඩුකුඹුර මන්ත්‍රීවරයා මෙහිදී අවධානය යොමු කරවූයේ සමාජ මාධ්‍ය මගින් මන්ත්‍රීවරුන්ට තර්ජනය කිරීම ගැනය.

“සමහරු ෆේස්බුක්වල දාලා තිබුණා රනිල්ට ඡන්දය දීලා මන්ත්‍රීවරුන්ට ගමට එන්න දෙන්න එපා කියලා. එහෙම ප්‍රසිද්ධියේ කියපු අය කීදෙනෙකුට විරුද්ධව ආරක්ෂක අංශ පියවර අරන් තියෙනවාද? මන්ත්‍රීවරයා ඇසුවේය.

බුද්ධි අංශ ප්‍රධානීන් කීවේ ඒ අය හඳුනාගෙන ඇති බවත් ඔවුන් පිළිබඳ පොලිසියට අවශ්‍ය තොරතුරු ලබා දී ඇති බවත්ය.

“පොලිසියට ඔය ගැන කිව්වට මුකුත් වෙන්නේ නෑ.” ඇමැති මහින්ද අමරවීර කීවේය.

“පොලිසිය භාර ඇමැතිතුමාට අවශ්‍ය උපදෙස් දීලා තියෙන්නේ. ඒවා ඉදිරියේදී සිදුවෙයි.” ජනාධිපති රනිල් කීවේය.

අනතුරුව කතා කළේ රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා ය. ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ මන්ත්‍රිවරුන්ට තර්ජනය කරන සමාජ මාධ්‍ය පිටුවල නම් හා ඒවායේ හිමිකරුවන් පිළිබඳව තොරතුරු කීවේය.

ඇමැති බන්දුල කීවේ රට තුළ ඇති සැබෑ අර්බුදය ගෑස් හා ඉන්ධන නොමැති වීම බවයි. එහෙත් අරගලය ක්‍රියාත්මක වන්නේ වෙනත් දේශපාලන අරමුණකින් බවද ඇමැතිවරයා කීවේය.

ජනාධිපති රනිල් මෙහිදී යළිත් අවධාරණය කළේ රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට ගත යුතු සෑම පියවරක්ම ගෙන ඇති බවය.

● වසර 28කට පසු ආ එ ජා ප ජනාධිපති…

එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරයකු පත්වුණේ වසර 28 කට පසුවය. ඒ අනුව ජනාධිපති ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ සිරිකොත පක්ෂ මූලස්ථානය වෙත ගියේ කාර්ය මණ්ඩලය මුණ ගැසීම උදෙසා ය.

ජනාධිපතිවරයා පිළිගැනීම වෙනුවෙන් චාම් උත්සවයක් සිරිකොත කාර්ය මණ්ඩලය විසින් සූදානම් කර තිබුණේ ඔවුන් කාලයක් තිස්සේ බලාපොරොත්තු වූ පැතුම ඉටු කළ නායකයා පිළිගැනීමට ය.

“දිගින් දිගටම මට ලබා දුන් සහයෝගයට ගොඩක් ස්තූතියි. ඉදිරියටත් පක්ෂය වෙනුවෙන් සහාය දෙන්න.” නායකයා කියද්දී කාර්ය මණ්ඩල නිලධාරීන් එක හඬින් කීවේ සර් ට වගේම පක්ෂයටත් අපි ආදරෙයි.” කියාය.

නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, ජාතික සංවිධායක සාගල රත්නායක, සභාපති වජිර අබේවර්ධන, මහලේකම් රංගේ බණ්ඩාර ආදී පක්ෂ නිලධාරීන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. එහිදී නායකයා පැමිණ සිටි පිරිස අමතමින් රටේ පවතින ආර්ථික තත්ත්වය ගැනත් අරගලකරුවන් ගැනත් විශේෂ ප්‍රකාශයක් කළේය.

තේ පැන් සංග්‍රහය අතරතුර දී කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනෙක් ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේ ආර්ථික අර්බුදය ගැනය. එසේම රටේ නීතිය ස්ථාපිත කිරීම ගැන ද ඔවුන් විමසා සිටියේය.

“සර් මේ ආර්ථික ප්‍රශ්නය විසඳුවොත් ඇති. ජනතාව ඇත්තටම අරගල කළේ ජීවත් වෙන්න බැරිවුණ හින්දා මිසක් රටේ කැරැල්ලක් ඇති කරන්න නොවෙයි.” කාර්ය මණ්ඩල සාමාජිකාවක ජනාධිපතිවරයාට කීවාය.

“ඔව් මම ඒක දන්නවා. ආර්ථික ප්‍රශ්නය අපිට අමාරු තැනක තියෙන්නේ. අපිට විතරක් නොවෙයි දකුණු ආසියාවේ රටවල් කිහිපයක් ආර්ථික අර්බුදයකට යනවා. අපි මෙතනින් කොහොම හරි ගැලවෙන්න ඕනා.” ජනාධිපති රනිල් කීවේ නළල රැළි ගන්වමිනි.

“කොහොම හරි රටේ නීතිය නැවත ස්ථාපිත කරන්න ඕනේ. නැත්නම් අපිට ජිවත් වෙන්න රටක් නැති වෙනවා.” කාර්ය මණ්ඩල සාමාජිකයකු තවත් පැනයක් මතු කළේය.

“ඒක අපි අරගලකරුවන් සමඟ සාකච්ඡා කිරීමෙන් පස්සේ ක්‍රමානුකූලව කරමු.” ජනාධිපතිවරයා කීවේය.

“ජනතාව දැන් ඇත්ත තත්ත්වය තේරුම් ගනිමින් ඉන්නේ. හදිසි නීතිය ගැනත් ජනතාව දැන් දන්නවා. අනෙක රාජ්‍ය දේපොල විනාශ කළොත් ඇප නෑ. ඒ වගේම රජයේ රැකියාවක් ගන්නත් බැරිවෙනවා. මේ නිසා ජනතාව දැන් දේශපාලන පක්ෂවල අවශ්‍යතාවය ඉටු කරන්නේ නෑ.” රංගේ බණ්ඩාර ද කතාවට හවුල් වූවේ එලෙසිනි.

මේ අතර ජනාධිපතිවරයා පසුගිය සතියේ කරන ලද එක්තරා කටයුත්තක් බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක් වූහ. ජනාධිපතිවරයා අපේ රටේ සිටින විදේශ තානාපතිවරු රැසක් පසුගිය සතියේ හමුවී කතාබහ කළේය. ජනාධිපතිවරයා ඔවුන්ට පැහැදිලි කළේ අර අරගලකරුවන්ගේ ක්‍රියාකලාපය ගැනය. තානාපතිවරුන් අරගලකරුවන් වෙනුවෙන් පෙනී සිටීම ගැන ජනාධිපති සිය විමතිය පළ කරමින් කතා කළේය.

“ඔයගොල්ලොන්ගේ රටවල්වල කැරලිකරුවෝ ඇවිල්ලා රාජ්‍ය ආයතන, ජනාධිපති කාර්යාල, පාර්ලිමේන්තුව බලෙන් අත්පත් කරගෙන ඉන්නකොට, ජාතික දේපල, රාජ්‍ය දේපල විනාශ කරන කොට ඕගොල්ලො කොහොමද ඒව මුදා

ගන්නේ…. මම උදාහරණ කියන්නම්. අන්න ඒ විදියටම තමයි අපි කටයුතු කළේ. රටේ ජනතාව අපි හැමෝම නීතියට යටයි. රටේ නීතිය, ව්‍යවස්ථාව අපි ආරක්ෂා කරන්න ඕන. ඒක කාටවත් කඩා දාන්න දෙන්න බෑ…”

විශේෂයෙන්ම ඔහු ඇමරිකානු තානාපතිවරියට මේ ගැන කීමේදී ඇමෙරිකාව අරගලකරුවන් මර්දනය කරන්නට ඉතිහාසයේ ක්‍රියා කර ඇති ආකාරය පෙන්වා දුන්නේ උදාහරණ ද සහිතවය. තානාපතිවරිය නිරුත්තර විය.

ඒ අතර තවත් සංවේදී කතාවක් කීවේය.

“අරගලකරුවන්ට පහර දුන්නයි කියල ට්විටර් පණිවිඩ නිකුත් කරමින් මේ තානාපතිවරු කනගාටුව පළ කළා… හැබැයි මේ එක තානාපතිවරයෙක්වත් මේ රටේ වැඩ බලන ජනාධිපතිවරයාට තිබිච්ච එකම පුද්ගලික දේපල, පුද්ගලික නිවස ගිනි තබා විනාශ කරන කොට ඒක දැක්කෙ නෑ… කිසිම ට්විටර් පණිවිඩයක් ඒ සඳහා නිකුත් කළේ නෑ.”

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment