අලුත් පාලකයා තෝරාගන්නට අවස්ථාවක් එන තුරු ජනතාව බලා ඉන්නවා

269

මේ වන විට රට තුළ උග්‍ර ආර්ථික අර්බුදයක් නිර්මාණය වී ඇත. ජනතාව නොයෙකුත් තාඩන පීඩනයන්ට ලක් වී ඇත. බඩු මිල අහස උසට ඉහළ ගිහින්. හැමතැනම පෝලිම්, උද්ඝෝෂණ, ඇණකොටා ගැනීම් ය. මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඉවත් වෙලා. අලුත් අගමැතිවරයෙක් පත් කරල තියෙනවා. මේ වෙනස්කම් සමඟ රටේ දේශපාලන ආර්ථිකයට කුමක් සිදු වේද යන්න පිළිබඳ දැඩි අවිනිශ්චිත බවක් තිබෙනවා. මේ සම්බන්ධයෙන් සාකච්ඡාවකට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ආනන්ද ජයවික්‍රම මහතා අප සමඟ සම්බන්ධ විය. මේ අපගේ ප්‍රශ්නවල ඔහු දැක්වූ ප්‍රතිවාරයයි.

අලුත් පාලකයා තෝරාගන්නට අවස්ථාවක් එන තුරු ජනතාව බලා ඉන්නවා
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ආනන්ද ජයවික්‍රම

රට තුළ මේ වන විට ඇති දේශපාලන ආර්ථික තත්ත්වය ඔබ දකින්නේ කෙසේ ද?

ගෝඨාභය රාජපක්ෂ 2019 දී 69 ලක්ෂයකට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන මෙරට ජනාධිපතිවරයා ලෙස තේරී පත් වුණා. එය රට බේරාගැනීමට රාජපක්ෂවරුන්ට දුන් සිංහල ජනතා වරමක් වුණා. ඉන් පසු වසංගතය මැද 2020 පැවැත්වූ මහා මැතිවරණයෙන් ද පොහොට්ටු පක්ෂය ඡන්ද ලක්ෂ 68කට වඩා ලබාගනිමින් පාර්ලිමේන්තු ආසන 148ක් පමණ සහිතව ආණ්ඩු බලය ලබාගත්තා. එය 2/3ට ඉතාම ආසන්න වූ බලයක්. ජනවරමෙහි උණුසුම මැකී යෑමටත් මත්තෙන් විවිධ කණ්ඩායම්වල මන්ත්‍රීවරු එකතුකර ගනිමින් ආණ්ඩුව 2/3 බලය සාදාගත්තේ රාජපක්ෂවරුන්ගේ පාලනය නැවත සෙළවිය නොහැකි ආකාරයටය. 20 වන සංශෝධනය හරහා විධායකය වටා අසීමාන්තික ලෙස බලය කේන්ද්‍ර කරගනිමින් පාලනයේ සෑම ඉසව්වකම රාජපක්ෂවරු පෙළ ගස්සවමින් කිසිදා නොතිබුණු ආකාරයේ පවුල් හා ආඥාදායක පාලනයකට මාවත විවෘත කළා. නමුත් වසර දෙකහමාරක් යන විට එම පාලනය අද නන්නත්තාර වී ඇත. ජනාධිපතිට ගෙදර යන ලෙස බලකරමින් රට පුරා පැවැත්වෙන උද්ඝෝෂණවල අඩුවක් නැත. තුනෙන් දෙකක බලය තිබුණු මහින්දට අද අගමැති ධුරයත් නැත.

රාජපක්ෂ පාලනය ජනතා සිතුම් පැතුම්වලින් ඉවත්ව ගොස් ඇත. ඉතාමත් අදූරදර්ශී ආර්ථික කළමනාකරණය නිසාත් දූෂණ හා වංචාවන්ට මුල් තැන දුන් ආර්ථික වැඩසටහන් නිසාත් අද වන විට ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයට රට මේ වන විට මුහුණ දී ඇත. බඩු මිල අහස උසට නැඟ ඇත. වෙළෙඳපොළේ උග්‍ර භාණ්ඩ හිඟයක් පවතී. මේ වන විට මෙරට ආර්ථික අර්බුදය රටේ සියලුම ජනතාව තළාපෙළමින් හාමතේ මියයන මරණ මංචකය වෙත ඔවුන් ඇදගෙන යමින් ඇත. ජනතාවගේ ඉල්ලීම මත බලය අතහැර යෑමට පාලකයා සූදානමක් නොමැති බවත් ඒ වෙනුවට තව තවත් තම බලය ශක්තිමත් කරගැනීමට උත්සාහ දරන බවත් පෙනී යනවා. මේ තුළ විශාල දේශපාලන අරාජිකත්වයක් නිර්මාණය වී ඇත. එම අරාජිත්ත්වය තුළ රට කුමන දිසාවට ගමන් කරන්නේද යන්න පිළිබඳව මේ වන විට වැටහීමක් කාටවත් නොමැත.

තමන්ගේ බලය තවදුරටත් ශක්තිමත් කරගැනීමේ රාජපක්ෂවරුන්ගේ උත්සාහය පසුගිය දින කිහිපය පුරා සිදු වූ දේවල්වලින් පෙනී යනවා. ගෝඨාභය රාජපක්ෂට ඉවත් වෙන ලෙස ඉල්ලමින් රට පුරා පැවති උද්ඝෝෂණ අගමැතිවරයා හා පාර්ලිමේන්තුව දෙසට හරවා යැවීම ඉතාමත් කූට ආකාරයෙන් සිදු කළා. තම බල ව්‍යුහය පවත්වා ගෙන යෑමේ දී වඩාත් වැදගත් වන්නේ අගමැතිකම රැකගැනීම නොව තමන් සතු ජනාධිපතිධුරය රැකගැනීම බව සිතන්නට ඇත. රට තුළ නිර්මාණය කළ අරාජිකත්වය හරහා ඒ වන විට රාජපක්ෂවරුන්ට විරුද්ධව තිබුණු ජනතා විරෝධය සූක්ෂම ලෙස ජනතාව එකිනෙකා මරාගන්නා තත්ත්වයක් දක්වා වර්ධනය කළා. එමෙන්ම අගමැතිවරයාට තම තනතුරු අතහැර යෑමට බලකිරීම හරහා ජනාධිපතිවරයාට දේශපාලනික වශයෙන් නැවතත් ස්ථාවර වීමේ වටපිටාව සාදා ගෙන ඇත.

මේ වන විට නව අගමැතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතාව පත් කරලා තියෙනවා. ඔබ මේ වෙනස දකින්නේ කෙසේ ද?

ඔව්, අද වන විට රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට පත් කරලා තියෙනවා. හැබැයි මෙම පත්කිරීම හරහා රටේ ප්‍රජාතත්ත්‍රවාදී ක්‍රියාදාමයට හා රාමුවට දැඩි අතුල් පහරක් එල්ල කරලා තියෙනවා. සාමාන්‍යයෙන් අගමැති පත් කරන්නේ ජනතාව විසින්. ඒ පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි පක්ෂයේ නායකයා හෝ නම්කරන්නා වශයෙන්. නමුත් මෙවර රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට ජනාධිපති විසින් පත් කරන්නේ ජනතාව විසින් ඔහු සෘජුවම පරාජය කොට ගෙදර යවා තිබුණු වටපිටාවක. ජාතික ලැයිස්තුව හරහා රනිල් වික්‍රමසිංහ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු වශයෙන් පාර්ලිමේන්තුවේ අසුන් ගත් අයෙකි.

කවුරුත් පුදුමයට පත් වන කරුණ වන්නේ මෙම පත් කිරීම හරහා ජනතාවගේ ඕනෑඑපාකම් සහ රටෙහි ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දක්වන ආකල්පයයි. රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා ගන්නා තීරණයත් එසේ පත්කිරීමත් ප්‍රජාතන්නත්‍රවාදී ක්‍රමවේදයට අතිශයින්ම පටහැනියි. අගමැතිවරයා යනු බහුතර මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය දිනාගත හැකි ජනතා නියෝජිතයෙකි. රනිල් වික්‍රමසිංහට එම හැකියාව තිබෙනවාද යන්න පිළිබඳ සොයා බැලීමට හෝ ජනාධිපතිවරයා උත්සුක වී නොමැත. අගමැති ධුරය කිසිම ආකාරයකින් ජනාධිපතිවරයා ලබාදෙන ත්‍යාගයක් නොවන අතර එය ජනතා පරමාධිපත්‍යය පිළිබිඹු කරන ධුරයකි. රනිල් වික්‍රමසිංහට අගමැති ධුරයට පත්වීමට නියමිත ජනතා පරමාධිපත්‍යය බලය නොමැත. මෙය ඉදිරියේදී තවත් දේශපාලන අර්බුදයක් නිර්මාණය කිරීමට සමත් වනු ඇත. විශේෂයෙන්ම පාලකයන් තම හිතමිතුරුන් සමඟ එකතු වී ජනතා පරමාධිපත්‍යය බලය කොල්ලකෑමක නිරත වන්නේ නම් ජනතාව තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය විශ්වාස නොකරන මට්ටමට පත්වනු ඇත. පවතින ආර්ථික අර්බුදය විසඳීමේදී ඒ සඳහා ජනතාව ලබාදෙන සහාය අතිශයින්ම වැදගත් වනු ඇත. ජනතාව විශ්වාස නොකරන ජනතාවගේ විශ්වාසය දිනාගත නොහැකි කණ්ඩායමක් විසින් රැගෙන එනු ලබන කුමන ආකාරයේ හෝ විසඳුම් යෝජනාවලියක් සාර්ථක වීමේ ශක්‍යතාව ඉතාමත් අඩුය. මෙම ආර්ථික අර්බුදය විසඳීමේ දී එහි ප්‍රතිවිපාක ජනතාව කොතරම් උසුලනවා ද යන්න මත විසඳුම හා ලැබෙන ප්‍රතිඵල ලබාගැනීමට ගත වන කාලය තීරණය වනු ඇත.

සමහර අය චෝදනා කරනවා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අගමැතිකම භාරගැනීමෙන් කර ඇරියා කියාලා. ඇයි සජිත් ප්‍රේමදාස මේ අවස්ථාවේ අගමැතිකම එපා කිව්වේ?

අපිට අවබෝධයක් තියෙන්න ඕන මේ සිද්ධිදාමය කොහොමද ආරම්භ වුණේ කියලා. මං කලින් කිවුව විදිහට ජනතා විරෝධය මතු වුණේ ජනාධිපතිවරයාට විරුද්ධව. ආර්ථිකය ආකාර්යක්ෂමව කළමනාකරණය, ගත් තීරණවල තිබුණු වැරදි බව සහ එම තීරණ නිවැරදි කිරීමට දැක්වූ මැළිකම නිසා ජනතාව ජනාධිපතිවරයා ප්‍රතික්ෂේෂ කිරීමට පටන් ගත්තා. අද මේ රට මුහුණ දී ඇති මෙම උග්‍ර අර්බුදයේ මැවුම්කරුවා වෙන අයෙකු නෙමෙයි ජනාධිපතිවරයායි. එම තීරණ එසේම තියාගෙන එම පුද්ගලයා යටතේ සජිත් ප්‍රේමදාස නෙමෙයි වෙන කවුරු ආණ්ඩු හැදුවත් මේක ආපසු හරවන්න බෑ. විශේෂයෙන්ම දැන් රනිල්ට උදව් කරන ආකාරයෙන් සජිත්ට රාජපක්ෂවරු හා පොහොට්ටු පක්ෂය උදව් කරන්නේ නෑ. ඒ වගේ වටපිටාවක යම් යම් කරුණු සම්බන්ධ ක්‍රියාකාරි එකඟතාවක් නොමැතිව ගෝඨාභය රාජපක්ෂ යටතේ අගමැතිකම භාරගෙන තමන්ට වරප්‍රසාද ලබාගන්න සජිත්ට තිබුණා. නමුත් ජනතාව ඉල්ලන වෙනස්කම් කිරීමට අවශ්‍ය බලය සජිත්ට ලැබෙන්නේ නෑ. ඒක රාජපක්ෂවරු දෙන්නෙත් නෑ.

ඇතැම් අය කියනවා සජිත් පරක්කු වුණා. කොන්දේසි දැම්මා. අවස්ථාව නැති කරගත්තා. මනමාලි වුණේ නෑ කියලා. කරුණාකරලා බලන්න මේ කාගේ මනමාලි වෙන්නද කියන්නේ කියලා. දැන්ම එළියට බැහැල පලයන් කියලා ජනතාව කෑමොර දෙන චෞරයෙකුගේ මනමාලි වුණේ නෑ කියලා කවුරු හරි සජිත්ට චෝදනා කරන්නේ නම් ඒ වෙන කවුරුවත් නොව සජිත්ගේ දේශපාලන විනාශය ඉතසිතින් පතන කෙනෙක් ම විය යුතුයි.

සජිත් අවසානයට ඉදිරිපත් කළ කොන්දේසි මුල් කොන්දේසිවලින් තරමක් ළිහිල් කළ ඒවා. එම කොන්දේසි මඟින් පෙන්නුම් කළේ ජනතා සංවාදය තුළ ඇති ආණ්ඩුකරණයට අදාළ වෙනස්කම් සිදු කරගැනීමේ පූර්ව එකඟතාවක් ඇති කරගැනීම ය. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක ඡන්දයකින් තොරව අසම්මත ආකාරයෙන් බලය මාරුවීමක් සිදුවන්නේ නම් එවැනි පූර්ව ගිවිසුමක අවශ්‍යතාව කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකිය. විශේෂයෙන්ම ජනතා උදහසට ලක් වූ ආඥාදායකයෙකු යටතේ අන්තර්කාලීන පාලන බලය ලබාගැනීමට කටයුතු කරන්නෙකු එවැනි මූලික එකඟතාවකින් තොරව බලය ලබාගැනීම අතිශයින්ම භයානයකය.

නමුත් එය සජිත්ට එසේ කළ නොහැකිය. එයට හේතුව තම තීරණ ගැනීමේ මූලික සිද්ධාන්තය වන්නේ ජනතා පරමාධිපත්‍යයය හා ජනතා නිදහස සුරැකීමයි. මා දකින ආකාරයට මෙම අවස්ථාවේ දී සජිත් සහ සජබය පක්ෂ සන්ධානයක් වශයෙන් තම තීරණය ගැනීමේදී ජනතාව පැත්තෙන් හිටගෙන මෙම තීරණය ගෙන ඇත. මේ ආකාරයේ තීන්දුවක්ම තමයි ජවිපෙ හා එහි නායකයාත් සිටින්නේ. ඒ නිසා සජිත් ප්‍රේමදාස අගමැතිකම භාරගැනීමෙන් කර ඇරියා කියන අදහසට මම එකඟ වෙන්නේ නෑ.

මෙම සිදුවීම මෙරට දේශපාලනයේ නව වෙනසක් ඇති කරයි ද? රනිල් වික්‍රමසිංහ ඉස්මතු වීම තුළින් සජිත්ට හා සජබයට හානියක් විය හැකි ද?

මේ ප්‍රශ්නයට පිළිතුර අද අපි තීරණ ගන්නා සංසිද්ධි එක්ක විතරක් කියවීම නිවැරදි නොවිය හැකියි. අපි දන්නා කාලයේ දේශපාලනයට ගියොත් 1977 දේශපාලන පෙරළිය, 1994 දේශපාලන පෙරළිය, 2015 දේශපාලන පෙරළිය, 2019 දේශපාලන පෙරළිය ආදී ඒ ඒ සිද්ධීන්වලට පාදක වූ හේතු සාධක තියෙනවා. දැන් එවැනි තත්ත්වයක් නැවත ඇති වෙලා. විශාල ජනමතයක් රට තුළ ඇති වී තිබෙනවා මෙම පාලනය අවසන් කළ යුතුයි කියලා. ගොවීන් කම්කරුවරුන් ඇතුළු සමස්ත ජනතාවට තමන්ගේ පාලකයා කවුද කියන එක තීරණය කිරීමට අවස්ථාවක් ලැබෙන තුරු බලාසිටින බවක් පෙනී යනවා.

තම නායකයාගෙන් සජබ සාමාජිකයන් කරන එදා කරන ලද සහ අදටත් කරන ඉල්ලීම වන්නේ දූෂිත රාජපක්ෂවරු සමඟ ඩීල් දේශපාලනය එපා යන්නයි. එතැනට සජිත් හා සජබය තල්ලු වී නොයන තාක් කල් සජිත් ට හා සජබයට ඇති ජනමතය ගරා නොවැටෙනු ඇත. ගෝඨාභය මහින්ද රනිල් සිදු කරන ඩීල් දේශපාලනයට ඉදිරි මැතිවරණයක දී පිළිතුරු ලැබෙනු ඇත.

සාකච්ඡා කොට සකස් කළේ
සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment