අලුත් විදුලි පනතට එරෙහිව විදුලිය පාවිච්චි කරන්නන්ගෙන් මානව හිමිකම් පැමිණිල්ලක්

52
පැමිණිල්ල භාරදීමෙන් පසු විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා මාධ්‍යයට අදහස් දැක්වූ අයුරු.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත යෝජිත නව විදුලි බල පනත මගින් විදුලි පාරිභෝගිකයාගේ ආරක්ෂාව තහවුරු කර නැතැයි චෝදනා කරමින් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය මානව හිමිකම් කොමිසමට ඊයේ (22 දා) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඇතුළු එහි නියෝජිතයෝ පිරිසක් ඊයේ එම පැමිණිල්ල භාර දුන්හ. ප්‍රධාන කරුණු පහක් යටතේ එහි කරුණු ඉදිරිපත් කර ඇත.

නව පනත් කෙටුම්පත මගින් පිහිටුවනු ලබන ජාතික විදුලිබල උපදේශක සභාව, ජාතික පද්ධති ක්‍රියාකරු, ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සැපයුම්කරු, ක්ෂේත්‍රබල ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව යන සියලුම ආයතන අමාත්‍යවරයාගේ බලතල යටතට හසුකොට ඇති බවත් එය විදුලි පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම්වලට තර්ජනයක් බවත් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය කියයි. එම බලතල මෙතෙක් කල් පැවතියේ මහජන උපයෝගිතා කොමිසමට බවද ඔවුන්ගේ පැමිණිල්ලේ සඳහන්ය.

නව විදුලි බල පනත මගින් විදුලි බල කර්මාන්තයේ සුවිශේෂ බලතල ද (බලාගාර සඳහා දී ඇති බලපත්‍ර අවලංගු කිරීම ආදී) විෂය භාර අමාත්‍යවරයා වටා ඒකරාශී කොට ඇති බවත් මෙතෙක් එම බලතල පැවතියේ මහජන උපයෝගීතා කොමිසමට බවත් එම සංගමය එකී පැමිණිල්ලෙන් කියයි.

විදුලි ගාස්තු අය කිරීමද නව පනත මගින් සිදු කෙරෙනුයේ සාධාරණ පිරිවැය මත නොවන බවත් එය සාධාරණ ලාභයක් යන පදනම මත බවත් එය විදුලි පාරිභෝගිකයන්ට අසාධාරණයක් බවත් පැමිණිල්ලේ සඳහන්ය.

නව පනත මගින් පාරිභෝගික ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන නොමැති බවත් මාර්ගා අවසරය ලබාගැනීමේ ක්‍රියාපටිපාටිය ප්‍රායෝගික නැති මෙන්ම ව්‍යාකූල බවත් අදාළ පැමිණිල්ලේ සඳහන්ය.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment