අලුතෙන් දැමූ බාර් එකට විරෝධය පා කතරගම භික්‍ෂුන් වහන්සේලා පාරට වඩිති

55

ආණ්ඩුව, ප්‍රාදේශීය ලේකම්, සුරාබදු කොමසාරිස් සල්ලිවලට යටවෙලා
කපුගම සරණතිස්ස නාහිමි
වැඩිහිටි කන්ද මායිමේ බාර් දාන්න දෙන්න අපි ඉඩ තියන්නේ නැහැ
හිල්ලේ ඥානානන්ද නාහිමි

කතරගම නව බාර් (වයින් ස්ටෝස්) ආයතනයක් දැමීමට විරෝධය පා කතරගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ හිමිවරු සහ ප්‍රදේශවාසිහු ඉකුත්(14)දින විරෝධතාවක් පැවැත්වූහ.

කතරගම පූජා භූමියක් ලෙස නම් කර ගැසට් කර තිබියදී පූජා භූමියට ලංව මෙම බාර් බලපත්‍රය හම්බන්තොට දිස්ත්‍රික් නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා වෙත ලබාදී ඇති බව කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකම් කතරගම ශ්‍රී අභිනවාරාම විහාරාධිපති ශාස්ත්‍රපති කපුගම සරණතිස්ස හිමියෝ සඳහන් කරනු ලැබූහ.

මෙම බලපත්‍රය නීති විරෝධී ලෙස ලියකියවිලි සකස් කර තිබේ.

අලුතෙන් දැමූ බාර් එකට විරෝධය පා කතරගම භික්‍ෂුන් වහන්සේලා පාරට වඩිති

කතරගම පොලිස් බල ප්‍රදේශයෙන් ලබාගත යුතු අවසර පත ඇඹිලිපිටිය පොලිසිය මගින් ගෙන ඇති බව තහවුරු වේ. කතරගම පූජා භූමි ලෙස ගැසට් මගින් සඳහන් කර ඇත්තේ ගම්උදා හංදියේ බවත් එම නීතිය උල්ලංඝනය කර නගරය ආසන්නයේ මෙම බාර් එක පිහිටවා තිබේ.

මෙම නව බාර් එකට විරෝධය පා කතරගම විහාස්ථාන රැසක හිමිවරුසහ ප්‍රදේශයේ ජනතාව විරෝධතාවක් පවත්වා මෙම බාර් එක ඉවත් කරන ලෙස ඉල්ලා සිටියහ.

ශාස්ත්‍රපති කපුගම සරණතිස්ස හිමියන් සඳහන් කළේ ‘කතරගම කියන්නේ පූජා භුමියක්. කතරගම බැතිමතුන් එන්නේ වන්දනා කරන්න මිසක් බීලා නටන්න නෙවෙයි. ආණ්ඩුව, කතරගම ප්‍රාදේශීය ලේකම්, සුරාබදු කොමසාරිස් සල්ලිවලට යටවෙලා මේ බලපත්‍රය හදලා දීලා. මෙය නතර නොකළොත් අපි සියලු‍ පන්සල් එකතු වී දැඩි තීන්දුවක් ගන්නවා.

වැඩසිටි කන්ද රාජමහා විහාරාධිපති ශාස්ත්‍රපති හිල්ලේ ඥානානන්ද හිමියන් සඳහන් කළේ ‘මේ බාර් එක තියෙන්නේ පාසල් අසළ. බුද්ධ ප්‍රතිමාවක් අභියස. තව ටික දිනකින් පාසල් ළමයින් මේ බාර් එකට ඇවිත් බීලා යයි. වැඩිහිටි කන්ද මායිමේ බාර් දන්න දෙන්න අපි ඉඩ තියන්නේ නැහැ.

මේ සම්බන්ධයෙන් කතරගම හිටපු ග්‍රාම සේවා නිලධාරි අනුර වික්‍රමසිංහ හතා සඳහන් කළේ කතරගම නගරයේ සහ සෙල්ල කතරගම ඇතුළු හෝටල්වල බාර් තියෙනවා. ඒවා සංචාරක බලපත්‍ර. නමුත් විවිධ ක්‍රමවලට හොර අරක්කු හදලා අධික මිලකට විකිණීම කරනවා. මෙයට අමතරව ගම්වල අහිතකර ලෙස කසිප්පු හදලා අඩු මිලකට විකිණීම. මේ නිසා මිනිසුන් රෝගි වෙනවා. මේවට රජය ප්‍රතිකාර සඳහා වියදමක් දරනවා.

රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශ්‍රී අභිනවාරාම විහාරාධිපති ශාස්ත්‍රපති කපුගම සරණතිස්ස හිමියන් සහ වැඩසිටි කන්ද රාජමහා විහාරාධිපති ශාස්ත්‍රපති හිල්ලේ ඥානානන්ද හිමියන් මේ සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස්වරයා වෙත ජංගම දුරකතන මගින් කතා කර විරෝධය පා මෙය නවතා නොදැමුවොත් මාරන්තික උපවාසක් දක්වා ⁣රැගෙන යන බව සඳහන් කරනු ලැබූහ.

මෙම අවස්ථාව සඳහා සෙල්ල කතරගම මහසෙන් රාජමහා විහාරාධිපති පූජ්‍ය බඩල්ගම ජනානන්ද හිමි, සෙල්ල කතරගම වතුරැවා රාජමහා විහාරාධිපති ආචාර්ය හේමරතන හිමි, මල්ලිකාරාම විහාරාධිපති ආචාර්ය හබරාදූවේ ඥානමොලි හිමි. වල්ලිමාතා රාජමහා විහාරාධිපති ඇත්තඳුරේ විපුලභද්‍ර හිමි ඇතුළු සංඝයා වහන්සේලා පැමිණ විරෝධය පානු ලැබූහ.
කතරගම – කේ.ඩී. දේවප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment