අලූත උපන් දරුවාට ඇතිවිය හැකි ගැටලූ

647

 බොහෝ අලූත උපන් දරුවන් ඉඳහිට වමනය දැමීම සාමාන්‍ය තත්ත්වයකි. එයට ප‍්‍රධාන හේතුව වන්නේ කිරි සමඟ පිටවන හුළං හරිහැටි ඉවත් නොවීමය.
 
 මවක් දරුවකු බිහිකරන්නේ බලාපොරොත්තු රැසක් පොදි බැඳගෙනය. නමුත් අලූත උපන් දරුවකු රැකබලා ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන බව දරුවන් සිටින මව්වරු හොඳින් දනිති. විශේෂයෙන් පළමු දරුවා රැුකබලා ගැනීම මවකට විශාල අභියෝගයකි. එබැවින් අලූත උපන් දරුවකුට මුහුණදිය හැකි ගැටලූ කිහිපයක් පිළිබඳව අවධානය යොමුකිරීම මව්වරුන්ට වැදගත්ය.
 
 මව්කිරි දීමේ ගැටලූ හා නිසිලෙස බර වැඩි නොවීම
 
 දරුවකු ඉපදී පළමු දිනය තුළ මවගේ පියයුරෙන් කිරි ස‍්‍රාවය වන්නේ සුළු ප‍්‍රමාණයකි. එම කිරි වතුර වැනි ස්වභාවයක් පෙන්නුවද ඉන් ලැබෙන පෝෂණය අලූත උපන් දරුවාට ප‍්‍රමාණවත්ය.
 
 කිරිදෙන මවක් සමබර ආහාර වේලක් ගත යුතුය. දියර වර්ග හොඳින් පානය කළ යුතුය. එසේම ධනාත්මක සිතුවිලි වලින් යුක්තව සිටීමද මව්කිරි හොඳින් ස‍්‍රාවය වීමට ප‍්‍රයෝජනවත්ය. දරුවාට ප‍්‍රමාණවත් අයුරින් කිරි නැති බව සිතමින් සෘණාත්මක සිතුවිලි ඇතිකර ගැනීම නිසා මව් කිරි ස‍්‍රාවය තවත් අඩුවිය හැකිය.
 
 අලූත උපන් දරුවකුට ප‍්‍රමාණවත්ව කිරි ලැබෙනවා දැයි දැන ගැනීම
 
 * දරුවා මව්කිරි බීමෙන් පසු තෘප්තිමත්ව හොඳින්  නිදාගනී.
 
 * දරුවා දිනකට වාර 7 ක් 8 ක් පමණ හොඳින් මුත‍්‍රා පිටකරයි.
 
 * දරුවා දිනපතා මළපහ පිට කරයි.
 
 * දරුවාගේ බර වැඩිවීම හොඳින් සිදුවෙයි.
 
 දරුවාගේ සෞඛ්‍ය වර්ධන සටහනේ ඇති ප‍්‍රස්ථාරයෙන් එය දැනගත හැකිය.
 
 දරුවකුට මව්කිරි දීමට මවක් දරුවා ඉපදීමට පෙර සිටම සූදානම් විය යුතුය. පියයුරුවල පිහිටීම් අසාමන්‍යතා සකස් කර ගැනීමට පවුල් සෞඛ්‍ය සේවිකාවගේ උපදෙස් ලබාගත හැකිය.
 
 අලූත උපන් දරුවකුගේ බර උපතේ සිට දින කිහිපයක් යනතුරු අඩුවේ. නැවත දින 10 ත් 14 අතර උපත් බර වෙත ළඟාවේ.
 
 ඉන්පසු දිනකට ග‍්‍රෑම් 25-30 පමණ ප‍්‍රමාණයකින් බර වැඩිවේ.
 
 සාමාන්‍ය උපත් බර ඇති දරුවකුගේ බර පළමු මාසය අවසන් වනවිට ග‍්‍රෑම් 500-600 පමණ ප‍්‍රමාණයකින් වැඩිවී තිබිය යුතුය. මාස 5-6 ක් පමණ වනවිට දරුවාගේ බර උපත් බර මෙන් දෙගුණයක් වේ.
 
 පළමු අවුරුද්ද අවසන්වන විට එය උපත් බර මෙන් තුන්ගුණයක් බවට පත්වේ.
 
 අලූත උපන් දරුවාගේ මව්කිරි දීමේ ගැටලූ ඇතිවිට ප‍්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාව හමුවී හෝ ළඟම ඇති රෝහලේ මව්කිරි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ගොස් උපදෙස් ලබාගත හැකිය.
 
 විෂබීජ ශරීර ගතවීම
 
 අලූත උපන් දරුවකුගේ ප‍්‍රතිශක්තිය අඩු මට්ටමක පවතී. එබැවින් විෂබීජ ශරීරගතවීමට වැඩි අවධානමක් ඇත. මවගේ පවතින උණ, විෂ බීජ ශරීර ගතවීම, කලින් හෝ දිගු වේලාවක් කලලය වටා ඇති තරලය පිටවීම වැනි හේතු විෂබීජ අවදානම තවත් වැඩි කරයි.
 
 අලූත උපන් දරුවකුට විෂබීජ ශරීර ගතවූ විට
 
 * මව්කිරි උරාබීම අඩුවෙයි.
 
 * නිදිමත බවක් පෙන්වයි.
 
 * ශරීරයේ උෂ්ණත්වය වැඩිවීම හෝ අඩුවීම සිදුවේ.
 
 * ශරීරයේ පැහැය වෙනස් වේ.
 
 මෙවැනි ලක්‍ෂණ සහිත දරුවකු වහාම රෝහල්ගත කළ යුතුය. නොපමාව ප‍්‍රතිජීවක ඖෂධ ලබාදීම කළ යුතුය.
 
 මෙවැනි දරුවන්ට වහා ප‍්‍රතිකාර ලබානොදීමෙන් තත්ත්වය උග‍්‍රඅතට පත්වී දරුවා මියයාමට ඇති අවදානම ඉතා ඉහළ යයි.
 
 අලූත උපන් දරුවා කහවීම
 
 අලූත උපන් දරුවා කහ පැහැවීමට බලපෑ හැකි හේතු රාශියක් ඇත. මවගේ හා දරුවාගේ ලේ වර්ග නොගැලපීම, විෂබීජ ශරීරගතවීම, කිරි බීම අඩුවීම, ජානගත රෝග ප‍්‍රධාන තැනක් ගනී.
 
 දරුවකුගේ සිරුර කහ පැහැවන විට අනිවාර්යයෙන් ඇස් කහ පැහැගැන්වේ. තත්ත්වය උග‍්‍රවන විට කහ පැහැය දෙපා දෙසට පැතිර යයි. යටි පතුලද කහවී ඇත්නම් දරුවාගේ කහ ගතිය ඉතා උග‍්‍ර තත්ත්වයකට පත්ව ඇත.
 
 එවැනි දරුවන් වහා රෝහල්ගත කළ යුතුය.
 
 තම දරුවාගේ ශරීරයේ කහ පැහැය පිළිබඳව සැකයක් මවකට ඇතිනම් දරුවා පවුල් සෞඛ්‍ය නිලධාරිනියකට හෝ වෛද්‍යවරයකුට පෙන්වා උපදෙස් ලබාගත හැකිය.
 
 දරුවාගේ හුස්ම ගැනීමේ අපහසුතා
 
 අලූත උපන් දරුවකුගේ ස්වසන වේගය වැඩිමහල් දරුවකුගේ ස්වසන වේගයට වඩා වැඩිය. එම වේගය විනාඩියකට 60 වාරයක් දක්වා වැඩිවීම සාමාන්‍ය තත්ත්වයකි.
 
 දරුවකුගේ ස්වසන වේගය වැඩිවීම හෝ හුස්ම ගැනීමේ අපහසුතා වැඩිවීම පෙනහළුවල ආබාධ, හෘද රෝග හෝ උත්පත්තියෙන් පිහිටන අසාමාන්‍යතා ආදිය ද බලපෑ හැකිය.
 
 අඩු වයසින් උපන් දරුවන්ගේ පෙනහළු හරිහැටි වර්ධනය නොවී තිබීම නිසා ස්වසන අපහසුතා ඇතිවේ.
 
 එවැනි අවස්ථාවලදී දරුවාගේ ස්වසනය පහසු කරවීමට ඖෂධ ස්වසන මාර්ගයට ඇතුළු කිරීම සිදුකරයි.
 
 දරුවාට ඉපදීමට පෙර මලපහ පිටව තිබීම සහ ඒවා ආග‍්‍රාහණය වුවහොත් දරුවාගේ පෙනහළුවලට බලපෑම් ඇතිවිය හැකිය.
 
 උත්පත්තියෙන් පිිහිටන හෘද රෝගද ස්වසන ආබාධ ලෙස පෙන්නුම් කළ හැකිය. මෙවැනි දරුවන්ගේ්
 
 ශරීරය නිල් පැහැවී දැකිය හැකිය. මෙවැනි තත්ත්ව කලින් හඳුනාගැනීම සඳහා සෑම දරුවකුම රෝහලෙන් පිටවයෑමට පෙර අත් හා කකුල් වල ඔක්සිජන් මට්ටම පරීක්‍ෂා කිරීම කරනු ලබයි.
 
 දරුවා කිරිබීමේදී හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීම, නිල් පැහැය වැඩිවීම මෙන්ම නලලට දහඩිය දැමීමද හෘද රෝගයක ලක්‍ෂණ විය හැකිය.
 
 ළදරුවකුගේ පෙනහළුවල උත්පත්තියෙන් පිහිටන ගැටිති හෝ මහා ප‍්‍රාචීරයේ ඇති සිදුරු නිසාද ස්වසන අපහසුතා ඇතිවිය හැකිය. මීට අමතරව දරුවකුට විෂබීජ ශරීරගතවීම හෝ උත්පත්තියෙන් පිහිටන පරිවෘත්තිය කි‍්‍රයා ආශ‍්‍රිත ආබාධ නිසාද හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවිය හැකිය.
 
 වමනය දැමීම
 
 බොහෝ අලූත උපන්්් දරුවන් ඉඳහිට වමනය දැමීම සාමාන්‍ය තත්ත්වයකි. එයට ප‍්‍රධාන හේතුව වන්නේ කිරි සමඟ පිටවන හුළං හරිහැටි ඉවත් නොවීමය. එවැනි තත්ත්වයක් වැලැක්වීමට දරුවාට මව්කිරි දීමෙන් පසු කරමත තබා හෝ ඇඳමත හිඳුවා පෙවී ඇති වාතය ඉවත් කළ යුතුය.
 
 ඇතැම් දරුවන් වැඩිපුර කිරි බීම නිසාද වමනය ඇතිවේ.
 
 එවැනි දරුවන්ගේ බර හොඳින් වැඩිවී ඇති බව වර්ධන සටහන අනුව පෙනේ.
 
 දරුවාගේ ආහාර මාර්ගයේ පවතින අවහිරතා නිසාද වමනය ඇතිවිය හැකිය. එවැනි දරුවන්ට අදාළ මූලිික පරීක්‍ෂණ හා ප‍්‍රතිකාර සිදුකිරීම සඳහා ළමා ශල්‍ය වෛද්‍යවරයකු වෙත යොමුකරනු ඇත.
 
 සති කිහිපයක දරුවකු කිරි බී වහාම වමනය කරයි නම් හා නැවත බඩගිනිවී කෑ ගසයි නම් ආමාශය අග කොටසේ ඇතිවන අවහිරතා ගැනද සොයාබැලිය යුතුය. මෙවැනි දරුවන්ගේ බර වැඩිවීම අඩාල වේ.
 
 ඇතැම්විට මෙම තත්ත්වය ජාන ආශ‍්‍රිත රෝග සමගද දැකිය හැකිය.

අලූත උපන් දරුවාට ඇතිවිය හැකි ගැටලූ
advertistmentadvertistment
advertistmentadvertistment