අවයවයක් අහිමි කරවමින් කළ පහර දීම පරීක්ෂණ සීඅයිඩීයට පවරන්න – පොලිස්පතිට නියෝග

154

පොලිස් නිලධාරීන් දෙදෙනා 24 තෙක් යළි රිමාන්ඩ්

මැදවච්චිය ඕඅයිසීගේ ක්‍රියාකලාපය ගැනත් වාර්තාවක් ඉල්ලයි

නිරීක්‍ෂණ පාර්ශ්වයක් ලෙස නීතිඥ සංගමයත් මැදිහත් වෙයි

රථවාහන පරීක්ෂාවකදී ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් 23 හැවිරිදි තරුණයකුට තදබල ලෙස පහරදී සුළු හා බරපතළ තුවාල සිදු කර ඔහු ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනකුට එරෙහිව කැබිතිගොල්ලෑව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් සිදු කෙරෙන සියලු විමර්ශන කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙස මැදවච්චිය මහෙස්ත්‍රාත් ඉමේෂා ධර්මදාස මෙනවිය ඊයේ (16දා) පොලිස්පතිවරයාට නියෝග කළාය.

මෙම සිද්ධියේදී මැදවච්චිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර ඊට අදාළ වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද මහෙස්ත්‍රාත්වරිය උතුරු මැද දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කළාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින මැදවච්චිය පොලිසියේ රථවාහන අංශයේ පොලිස් සැරයන්වරයා සහ කොස්තාපල්වරයා තවදුරටත් මේ මස 24 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ද නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය එදිනට සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා සූදානම් කරන ලෙස අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළාය. මෙලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකළේ මැදවච්චිය පොලිසි ස්ථානයේ රථවාහන අංශයට අනුයුක්තව රාජකාරී කළ සැරයන්වරයකු සහ කොස්තාපල්වරයෙකි.

මෙහිදී නිරීක්ෂණ පාර්ශ්වයක් ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞශල්‍ය නවරත්න මහතා ඇතුළු විශේෂ නීතිඥ කණ්ඩායමක් අධිකරණය හමුවේ පෙනී සිටීම විශේෂත්වයක් විය.

අවයවයක් අහිමි කරවමින් කළ පහර දීම පරීක්ෂණ සීඅයිඩීයට පවරන්න - පොලිස්පතිට නියෝග

යුක්තිය ඉෂ්ට වීමට මෙවැනි අවස්ථාවලදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය අධිකරණයට සහාය වීමට නිරීක්ෂණ පාර්ශ්වයක් ලෙස මෙම නඩුවට මැදිහත් වන බවත් ඊට අධිකරණයේ අවසරය ලබා දෙන ලෙසත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මෙහිදී නිරීක්ෂණ පාර්ශ්වයක් ලෙස පෙනී සිටින ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජ්‍ය සභාපති ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා අධිකරණයට කියා සිටියේ මෙම පහරදීම සිදුව තිබෙන්නේ රියැදුරු පොලිසිය භාරයේ සිටියදී බවයි.

පහර දීමට සම්බන්ධ පොලිස් නිලධාරින් දෙදෙනාගේ සහ වැටලීමට සහාය වූ අනිත් පොලිස් නිලධාරීන් හතරදෙනාගේ මැදවච්චිය පොලිසියේ ඇති පැමිණීමේ පිටවීමේ සටහන් තොරතුරු පොත් සහ සාක්කු සටහන් පොත් නඩු භාණ්ඩ ලෙස නම් කරන ලෙසද ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

තම සංගමය මෙවැනි සිද්ධීන්වලට නිරීක්ෂණ පාර්ශ්වයක් ලෙස මැදිහත් වන්නේ කිසිවකුට පුද්ගලිකව පහර දීමේ හෝ අපහසුතාවට ලක්කිරීමේ අදහසකින් නොවන බව අවධාරණය කළ ජනාධිපති නීතිඥවරයා, මෙවැනි මැදිහත්වීම් තුළින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අරමුණ වන්නේ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීම සහ පුරවැසි අයිතිවාසිකම් ආරක්ෂා කිරීම බව පැවසීය.

පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් කැබිතිගොල්ලෑව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල සමන් වික්‍රමනායක මහතාගේ උපදෙස් මත අධිකරණයට කරුණු දක්වමින් හොරොව්පොතාන සහකාර පොලිස් අධිකාරි එස්.පී. එදිරිසිංහ මහතා පැවසුවේ එම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සියලු විමර්ශන කටයුතු මේ වන විට අපක්ෂපාතීව විධිමත්ව, මනා විනිවිද භාවයකින් සිදු කෙරෙමින් පවතින බවත් එකී විමර්ශන යම් ප්‍රමාණයක් මේ වන විට අවසන්ව ඇති බවත්ය.

පැමිණිල්ල වෙනුවෙන් කැබිතිගොල්ලෑව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල සමන් වික්‍රමනායක මහතාගේ සෘජු අධීක්ෂණ යටතේ අධිකරණයට කරුණු දැක්වීමට හොරොව්පොතාන සහකාර පොලිස් අධිකාරී එස්.පී. එදිරිසිංහ මහතා සහ කැබිතිගොල්ලෑව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා පෙනී සිටියහ. සැකකරුවන් වෙනුවෙන් නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත් මහතා සමග නීතිඥවරියන් වන නදීශා ජයසේන සහ මාරි සෙනෙවිරත්න මහත්මිය පෙනී සිටියාය.

නිරීක්ෂණ පාර්ශ්වයක් ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් එහි සභාපති ජනාධිපති නීතිඥ කෞශල්‍ය නවරත්න, නියෝජ්‍ය සභාපති ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස, අනුරාධපුර නීතිඥ සංගමයේ සභාපති නීතිඥ කාලිංග රවීන්ද්‍ර හා අනුරාධපුර නීතිඥ සංගමයේ උප සභාපති නීතිඥ චතුර ධනංජය රණතුංග මහත්වරුන් ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටි අතර, අගතියට පත් පාර්ශ්වයේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ අරවින්ද හබක්කල සහ නීතිඥ අනුෂ්කා දන්තනාරයන මහත්මිය පෙනී සිටියාය.

සැකකාර පොලිස් නිලධාරීන්ගේ පහරකෑමට ලක් වූ රථ රියදුරා වන විසිතුන් හැවිරිදි තරුණයා රෝහලෙන් පිටව යෑමෙන් අනතුරුව මේ වන විට යළිත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අතර ශල්‍යකර්මයකට ලක් කිරීමෙන් ඔහුගේ වෘෂණ කෝෂයක් ඉවත් කර ඇත.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment