ඇෆ්ගනිස්තානයේ සිටි අවසන් ඇමරිකානු හමුදා භට කණ්ඩායම ඊයේ (31දා) උදෑසන කාබුල් ගුවන්තොටුපළෙන් සිය රට බලා පිටත්වීමත් සමගම තලිබාන් අන්තවාදීහු කාබුල් ගුවන්තොටුපළේ බලය තහවුරු කරගනිමින් එම අවස්ථාව සැමරූ බව විදෙස් මාධ්‍ය පවසයි. කාබුල් නගරයේ සිටි අවසන් ඇමරිකානු හමුදා භට කණ්ඩායම ඇමරිකාව බලා පිටත්ව යෑමෙන් පසු තලිබාන් අන්තවාදීහු 20 වසරක් ඇෆ්ගනිස්තානයේ පැවති යුද්ධය අවසන් වීමේ ප‍්‍රීතිය සැමරීම සිදු කර ඇත්තේ අහසට වෙඩි තබමිනි.

2001 වසරේ සිට තලිබාන් අන්තවාදීන්ට එරෙහිව ඇෆ්ගනිස්තානයේ රජයේ හමුදාවන් හා බටහිර හමුදාවන් සටන් වැදුණු අතර එදාට වඩා මෙම වසර වන විට තලිබාන් අන්තවාදීහු රටේ පාලන බලය අල්ලා ගැනීමට තරම් බලවත් වී තිබීම කැපී පෙනුණු බව දේශපාලන විචාරකයෝ පවසති. ඇමරිකාව විසින් පෙරේදා (30දා) දිනය අවසන් වන විට 20 වසරක් මුළුල්ලේ ඇෆ්ගනිස්තානයේ රැුඳී සිටි සියලූම ඇමරිකානු හමුදා භටයන් මෙන්ම එරටින් යෑමට කැමැත්තෙන් සිටි සිවිල් වැසියන් එක් ලක්ෂ විසි දහසකට අධික පිරිසක් එරටින් ගුවන් යානා මගින් ඉවත් කරගෙන තිබිණි. කෙසේ වුවද රටින් පලා යෑමට කැමැත්තෙන් සිටි තවත් ඇෆ්ගන් ජාතිකයන් දහස් ගණනකට ඊයේ වන විටද රටින් පිටව යෑමට නොහැකිව ගුවන්තොටුපළේ සිරව සිටි බව වාර්තා වී තිබේ.
මේ අතර බටහිර රටවල් හා මූල්‍ය සංවිධානයන් විසින් ඇෆ්ගනිස්තානයට සපයන ආධාර කපා හැර තිබීම හේතුවෙන් ජනතාව මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින අතර සිය දෛනික අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහා ඔවුන් කාබුල් නගරයේ බැංකු හා ඒ ටී එම්’ මධ්‍යස්ථාන ඉදිරිපිට ඊයේ දිනයේ පෝලිම් ගැසී සිටි බව වාර්තා වේ. රටේ බැංකු සේවාවන් අඩාල වී තිබීම හේතුවෙන් විදෙස් රටවල සිටින ඇෆ්ගන් ජාතිකයන්ට සිය රට සිටින පවුලේ සාමාජිකයන් වෙත මුදල් යැවීමටද නොහැකි තත්ත්වයක් උද්ගතව පවතී. තලිබාන් අන්තවාදීන් විසින් ඇෆ්ගනිස්තානයේ පාලන බලය අල්ලා ගැනීමත් සමගම බටහිර රටවල් විසින් එරටට සපයන මූල්‍ය ආධාර කපා හැරීම නිසා එරට ආර්ථිකය කඩා වැටී ඇති අතර ආහාර මිල ගණන් ශීඝ‍්‍රයෙන් ඉහළ යමින් තිබේ.