අවසන් ගමන් ගිය තීරු ලිපියේ කිංබානට්

282

ප්‍රවීණ මාධ්‍යවේදී හරිත් ගුණවර්ධන දැන් අප අතරින් සමුගෙන බොහෝ දුර බැහැර ගමනක් ගොස් හමාරය. ගමන යළි එන්නට නොව, නොඑන්නම සමුගෙන ගොස් අවසන්ය. ඔහුගේ එම සමුගැන්ම අභියස බොහෝ දෙනා බොහෝ දෑ ලියා ඇති බව මට පෙනෙයි. තවත් සමහරු බොහෝ දෑ කියමින් සිටින බවද ඇසෙයි.

ඒ ඔවුන් හරිත්ව පාසල් මිතුරකු ලෙස ඇසුරු කළ නිසා වන්නට ඇත. විශ්වවිද්‍යාල සමකාලීනයකු නිසා ද වන්නට ඇත. නොඑසේ නම් එකම ආයතනයේ එකට වැඩ කළ මාධ්‍ය සගයෙකු, දැන්වීම් ප්‍රචාරක ආයතනයක නිර්මාණශීලී පිටපත් රචකයකු, රූපවාහිනී දේශපාලන කාටූන තිර පිටපත් රචකයකු නිසා ද වන්නට ඇත. ඒ සියල්ල නැතිනම් හරිත්ගේ හොඳ පාඨකයකු හෝ රසිකයකු නිසාය. ඒ මොන පැත්තෙන් ගත්තත් හරිත් ගැන සුවිශේෂී ලෙස කියන්නට ලියන්නට ඔවුන්ට බොහෝ දේ ඇති බව මම දනිමි.

එහෙත් ඔහු ගැන කියන්නට මා සතුව ඇති සුවිශේෂි මතකය ඒ සියල්ලට වඩා ඉඳුරා වෙනස්ය. මේ සංක්ෂිප්ත සටහන මා මෙසේ ලියා තබන්නට කල්පනා කළේ එකී සුවිශේෂී බව නිසාය.

හරිත් මාධ්‍යවේදියකු ලෙස මාධ්‍යකරණයට අත්පොත් තබන්නේම කොළඹ ආනන්ද විද්‍යාලයෙනි. 1987 හෝ 88 දී කලා අංශයෙන් උසස් පෙළ සමත්ව හරිත් 1989 දී කොළඹ විශ්වවිද්‍යාලයේ කලා පීඨයට ඇතුළත් වෙයි.

ඒ වූ කලී මුළු රටේම තාරුණ්‍යයට ඉමහත් අසීරු අපල අවාසනාවන්ත සමයක් බව මා අමුතුවෙන් මතක් කර දිය යුතු නැත. 88/89 භීෂණය නිසා හැටදහසක් තරුණ තරුණියන් ජීවිතවලින් ටයර්සෑ මත වන්දි ගෙවමින් සිටියහ. කුමක්දෝ වාසනාවකට ජීවිත බේරුණු අපි විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වන්නේ වසර දෙකක උසස් පෙළ සමතුන් සියල්ල එකට කැලතූ එකම කණ්ඩායමක් ලෙසටය.

එවකට මේ රටේ අන් බොහෝ දෙනකුගේ මෙන්ම අපේ ද ජනප්‍රියම පුවත්පත ඉරිදා දිවයිනයි. දිවයිනේ දයාසේන ගුණසිංහලා සුනිල් මාධවලා ගාමිණීලා කසුරිලා දොඩන්ලා ජයන්ත චන්ද්‍රසිරිලා කටුදෙනියලා වැන්නවුන්ගේ ලියවිලි නිසා මේ රටේ තරුණ පරපුර මහත් ආශ්වාදයෙන් දිවයින හා හදවතින් බැඳී සිටියහ.

ඒ දිවයිනේ ආදි ආනන්දීයයන් ගණනාවක් සිටියහ. සුනිල් මාධව, ගයිරුක පේරුසිංහ, ජටිල වැල්ලබඩ, ධර්මන් වික්‍රමරත්න, ශාන් විජේතුංග සිසිර පරණතන්ත්‍රී වැනි ජවසම්පන්න ආදි ආනන්දීය තරුණ ලේඛක ගොන්නට දුහුණකු ලෙස එවකට හරිත්ද එක්ව සිටියේය.

විශ්වවිද්‍යාලයේ අපේ අවුරුද්දේ දිවයිනේ වැඩ කළ දෙදෙනකු සිටියා මට මතකය. එක් අයෙක් හරිත්ය. දෙවැන්නා මා අදටත් ගරු කරන කාටුන් ශිල්පියකු වූ දර්ශන කරුණාතිලක ය. දිවයිනේ නිසා අප අතර හරිත්ට ලොකු පිළිගැනීමක් තිබුණු බව මට මතකය.

හරිත් විවිධ මාතෘකා ඔස්සේ එවකට පෑන හැසිරවූ බව මම දනිමි. දේශපාලනය, තත්කාලීන සමාජ සංස්කෘතික ගැටලු, කලාව සාහිත්‍යය හා ක්‍රීඩාව ඔහුගේ විෂය පථයන් වූහ. වරද දුටු තැන කිපෙන, කිපී ඊට දැඩිව පහර දෙමින් ලියන විවේචනාත්මක පිළිවෙතක ඔහු එදා පටන්ම සිටියේය.

හරිත්ගේ ජීවිතයේ ඔහුට සිටි එකම එක පෙම්වතිය, පසු කලෙක දයාබර බිරිඳ නිශානි ද අප කණ්ඩායමේම සාමාජිකාවක වූවාය. හරිත් පළමු වසර අධ්‍යයන කටයුතු අවසානයේ ගෞරව උපාධිය සඳහා සිංහල තෝරා ගත්තේය. මා ද එම සිංහල කණ්ඩායමේ ය. ලියනගේ අමරකීර්ති, කරුණාරත්ත පරණවිතාන ස්වර්ණ ගුණවර්ධන විපුලී නිරෝෂිනී හෙට්ටිආරච්චි, ඉන්දු රාමනායක, ප්‍රීතිකා හේවාවසම්, අනුර, සමරේ, ගුණවර්ධන, කුමුදු, චන්දිමා, අනුරා, වසන්ති, මල්ලිකා, සුසන්ත, අමිතා, දිස්නා, ශාන්, ගංගා, චමිලා, සුජීවා, පත්මිනී ආදී අප සමග එකම පංති කාමරේ එකට වාඩි වී ශාස්ත්‍ර හැදෑරූ සමකාලීනයින් වූහ. ඒ වන විට හරිත් මිතුරු මිතුරියන් අතර සුහද, ජනප්‍රිය, ප්‍රසිද්ධ චරිතයක්ව සිටියේය.

88/89 භීෂණයෙන් පසු අපේ රටේ තරුණ දේශපාලනය විශ්වවිද්‍යාල රාමුව තුළින් අතුගා දමන්නට එවක පාලකයන්ට අවශ්‍ය වූහ. භීෂණය සෑම තන්හිම ක්‍රියාත්මක වීය. එවකට එම භීෂණයට එරෙහිව සටන් කරමින් සිටි මහාචාර්ය නලින් ද සිල්වා කොළඹ විශ්වවිද්‍යාල අභ්‍යන්තරයේ දේශපාලන කතිකාවක් පටන් ගත්තේය. ජාතික චින්තනය නමින් ආරම්භ වූ එම කතිකාවේ සමාරම්භකයන් ලෙස ආචාර්ය ගුණදාස අමරසේකර, මාදුළුවාවේ සෝභිත හිමි, සූරිය ගුණසේකර (ලන්ඩන් ගිය බණ්ඩා) අධිනීතිඥ එස්. එල්. ගුණසේකර, අධිනීතිඥ ගාමිණී ඊරියගොල්ල, ගාමණි ජයසූරිය ආදි චින්තකයන් විශ්වවිද්‍යාලයට නිතර නිතර යන්න එන්නට වූහ. අපි හරිත්ලා වැනි සමකාලීනයින් බොහෝ දෙනෙකුගේ සමාජ දේශපාලන චින්තනය මුවහත් වූයේ ඔවුන්ගේ එම දේශන හා ඇසුර නිසා වන්නට ඇත. මහාචාර්ය ජේ.බී. දිසානායක හරිත්ට ළඟ ඇසුරක් තිබූ ගුරුවරයකු ලෙස මට මතකය.

වසර හතරක් එසේ කාලය අප පසු කරමින් වේගයෙන් ගෙවී යද්දී 1993 වසරේ දිනක ඔහු මට සුභාරංචියක් ගෙනාවේය.

“දිවයිනෙන් විනී (හෙට්ටිගොඩ) අස්වෙලා. අකුරු අඳින ආටිස් කෙනෙකුට පත්තරේ චාන්ස් එකක් තියෙනවා. එනවනං වරෙන්. රස්සාව හදලා දෙන්නම්…” හරිත් මට කතා කළේය.

හරිත් මාව දිවයිනට රැගෙන ගියේය. එවකට ඉරිදා දිවයිනේ කතුවර ගාමිණී සුමනසේකරයෝ නොමසුරුව මා වෙත දයාබරත්වය අත දිගු කළේය. එවකට විශ්වවිද්‍යාලයේ මාසිකව ලැබෙන ශිෂ්‍යාධාරය රුපියල් 250කි. සිකුරාදා දින හතර පමණක් වැඩ කළ විට දිවයිනෙන් යෝජිත ප්‍රතිලාභය රුපියල් 1000කි. මම නොපැකිලව රැකියාව භාර ගතිමි. හරිත්ට සහ ගාමිණී සුමනසේකරයන්ට පින් සිදුවන්නට අදටත් මා පත්තරකාරයෙකි.

හරිත් පත්තර කලාවේ මහැදුරු එඩ්මන්ඩ් රණසිංහයන් සෙවණේ බොහෝ දේ උගත්තේය. ඔහුගේ විචාරාක්ෂිය අන් අයට වඩා සුවිසල් සුවිශේෂි පුළුල් එකක් වූයේය. පත්තර කලාවේදී ඔහු සිංහල බෞද්ධ සංස්කෘතියේ, පුරාවිද්‍යාවේ, සිංහල ජාතික අනන්‍යතාවයේ, දේශීය කලාවේ මුරපල්ලාගේ කාර්යභාරය මැනවින් ඉටු කළේය. ඉහත කී විෂය පථයන්ට හානි කරන කවරෙකුට වුව ඔහු සිය පෑන නමැති කගපතින් පන්න පන්නා පහර දුන්නේය. ඔහුගේ විවේචන අතිශයින් දයාවිරහිත විය. නිර්දය කර්කශ කර්ණකටුක විය.

හරිත් කලාව හා සාහිත්‍යය ගැන ලියූ සමහර දේ අතිශයින් සෞම්‍ය විය. වරක් ක්ලැරන්ස් විජේවර්ධනගේ සංගීතය ගැන ඔහු අපූරු වචන වියමනක් මීවිත අතිරේකයට ලිව්වා මට මතකය. “ගුඳ ගුඳ ගුඳ ගතිත ගතිත” දේශීය බෙරතාලයේ පදනම මත පිහිටා ක්ලැරන්ස් “සුරඟන වෙස් වලා . සලා උකුළු තලා” ගීය නිර්මාණය කළ අයුරු ඔහු වචනවලින් සිත්තම් කළ අයුරු හරි අපූරුය. එවන් ලියවිලි තවමත් මා මතකයේ තිබේ.

හරිත් පත්තර ලෝකයේ අනන්‍යතාවක් ගොඩනඟා ගත්තේ තීරු ලිපි ඔස්සේය. ඔහු ආනන්ද විද්‍යාලයේ සිටියදී රඟදැක්වූ “ඕල්වේස් බ්‍රේක් ඩවුන්” නැමති ප්‍රහසන නාට්‍යයේ ආකෘතිය ඔස්සේ යමින් තීරු ලිපියක් රචනා කළේය. එහි කිංබානට්, ඇනිබල්, කිරිබර්ටි ජලාහුටාන් ආදී චරිත ඔහු රටේ තත්කාලීන දේශපාලන බලවතුන්ගේ චරිත හා සමපාත කළේය.

ඒ අතරින් කිංබානට් නම් චරිතය අළලා ලියූ “කිංබානට්” තීරුලිපිය දිවයින ඔස්සේ වඩාත් ජනප්‍රිය වූයේය. තීරු ලිපියෙන් ඔහු රටේ පවතින බොහෝ සමාජ දේශපාලන ප්‍රස්තුත සාකච්ඡාවට ලක් කළේය. කිංබානට් අතිශයින් සමාජ දේශපාලනික අතිශය විවේචනාත්මක ලියවිල්ලක් විය. සුමුදු සුමට හාස්‍ය නොව, කර්කශ හාස්‍යය එහි ආත්මය විය.

ඔහු ඇතැම් විට දේශපාලනඥයන් කලාකරුවන් හා සමාජ ක්‍රියාකාරීන් විවේචනයට ලක් කළේ කිං බානට් නමැති තම මුඛ්‍ය තීරුලිපි ලියවිල්ලේ චරිතයක් බවට පත්කරවමිනි. ඇතැම් විට එය කියවන දේශපාලනඥයාට පවා මේ කියා ඇත්තේ, මේ විවේචනය කර ඇත්තේ තමන්ව බව වැටහෙන්නේ කාලයක් ගිය පසුවය. හරිත් තීරු ලිපිය තම සමාජ දේශපාලනික හතුරන්ට පමණක් නොව, මිතුරන්ට පවා නෙළන්නට ආයුධයක් කර ගත් අවස්ථා එමටය.

එම නිසා හරිත්ට බොහෝ මිතුරන් සිටි බව ඇත්තය. එහෙත් ඔහුට මිතුරන්ට වඩා සතුරන් සිටි බව මම දනිමි. ඔහුගේ විවේචන සීමාව ඒ තරම් පෘථුල විය. හරිත් රට විකුණන එන් ජී ඕ කාරයන්ට, ජාතියේ සම්පත් විකුණන්නන්ට, ආගමට ජාතියට රටට සතුරුකම් කරන්නන්ට පන්න පන්නා බැටේ දුන්නේය. එවන් ආස්ථානවලදී හරිත්ට සතුරන් මිතුරන් කියා කිසිවෙක් වෙන් වෙන්ව සිටියේ නැත. හරිත්ගේ මෙම ලක්ෂණය ඇතැම් අවස්ථාවාදී දේශපාලනඥයන් තම වාසි ප්‍රයෝජනයට යොදාගත් අවස්ථාද ඇත්තේ නැතුවාම නොවේ.

පුවත්පතට කොතරම් ලිපි ලීවත් විවේචන ලීවත් තීරුලිපි ලීවත් 1994දී රැකියාව ස්ථිර කරන විට ස්ථීර සේවකයකු ලෙස දිවයිනට බැඳෙන්නට ඔහුට වුවමනාවක් තිබුණේ නැත. ඔහු ඒ ඉඩ ප්‍රස්තාව මා හට සලසා දුන්නේ නිර්ලෝභීවය.

“මට තියෙන ඩිග්‍රියම මටත් වඩා හොඳ ක්ලාස් එකකින් බුලිතට තියනවා. මාව නෙවෙයි, එයාව පර්මනන්ට් කරන්න…” හරිත් එවකට පුවත්පතේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයාව සිටි එඩ්මන්ඩ් රණසිංහ මහතාට කීවා මට හොඳට මතකය. හරිත් සාමාන්‍යයෙන් කෙනෙකුට ලෙහෙසියෙන් උදව්වක් කරන්නේ නැත. එහෙත් ඒ දුලබ වාසනාව මට හිමිවූ බව කියන්නට මා මැලි වන්නේ නැත.

එසේ දිවයිනට නොබැඳුණු ඔහු එවකට සුප්‍රකට වෙළඳ දැන්වීම් ආයතනයක් වූ “ග්‍රාන්ට්” සමාගම හා බැඳී වැඩ කළේය. ඉන් පසුව “ෆීනික්ස්” ආයතනය සමඟ එක් වූයේය. වෙළෙඳ දැන්වීම් ලෝකයේ ඉහළම නමක් දිනූ පිටපත් රචකයින් අතර හරිත්ට මුල් පෙළේ නමක් දිනා ගන්නට වැඩි කලක් ගත වූයේ නැත. ඒ තුළින් ඔහු වෙළෙඳ දැන්වීම් නිමවුම් ක්ෂේත්‍රයේ හිනිපෙත්තටම පා තබමින් සුප්‍රකට “ක්‍රියේටිව් ඩිරෙක්ටර්” කෙනෙකු වූයේය.

ඒ අතර ඉඩක් ලද හැම වේලාවේම ඔහු මාධ්‍ය සමග බැඳී සිටියේය. ඕල්වේස් බ්‍රේක්ඩවුන් ඔහු පුංචි තිරයට ගෙනාවේය. රටේ සුප්‍රකට දේශපාලනඥයින් කීපදෙනෙකුගේ මුහුණු මපට් මගින් ප්‍රතිනිර්මාණය කර විවිධ දේශපාලන ප්‍රස්තුත සාකච්ඡා කරන්නට පුංචි තිරයට ගෙනාවේය. එමගින් ඔහු මතු කළ හාස්‍යය හා විවේචනය ඔබට ආගන්තුක නැති බව මම දනිමි. ඔහුගේ හැකියාව උපරිමයෙන් යම් යම් වෙබ් අඩවි තුළින්ද එළියට ආවේ “ඇටමැස්සා” යන අන්වර්ථ නාමයෙනි.

මේ සියල්ල අවසන ඔහු පරිපාලනයටත් සම්බන්ධ වූ අවස්ථා කිහිපයකි. අවසානයේ හරිත් “සැලසිනේ” ආයතනයේ සභාපති බවට පත්වූයේය.

හරිත් වැඩිපුර මිතුරන් ඇසුරු කළේ නැත. මිතුරන් වුවත් දුරින් තබාගන්නට ඔහු වග බලා ගත්තේය. මේ සටහන ලියන මාගෙන් පවා ඔහු කලක් ඈත්ව සිටියේය.

පසුගිය දිනක විපුලී නිරෝෂණී හෙට්ටිආරච්චි නම් අප සමග සිටි කිවිඳිය මියගිය අවස්ථාවේ ඔහු මට මුහුණට මූණ හමුවිය. අපේ පැරණි හිතවත්කම් සියල්ල අලුත් වූයේ කලකට පසු ඒ අවස්ථාවේය. ඇත්තෙන්ම හරිත් අවංකයෙකි. ඔහුට බොහෝ දෙනකුගේ සංකීර්ණ මානව ලක්ෂණ තේරුම් ගන්නට ඉවසීමක් නැත. ඔහු සියල්ල සුදු කළු ලෙස දෙකකට බෙදුවේය. සුදු මිනිසුන්ට ගරු කළේය. කළු මිනිසුන් උචිත පිළිකුලෙන් විවේචනාත්මකව බැහැර කළේය. ඒ හරිත් ගේ හැටිය.

අවුරුදු 55 පිරී තිබියදී හරිත් අපි කිසිවෙක් නොසිතූ ලෙස අවසන් ගමන් ගියේය. ඔහු මියගිය බවට මට මුලින්ම ආරංචිය ගෙනාවේ සුධර්මන් රදලියගොඩ ය. ඒ අතර මගේ විශ්වවිද්‍යාල සගයා අනුර වීරසේකර මට කතා කළේ ද ඒ කනගාටුදායක ආරංචිය කියන්නටය. කරුණාරත්න පරණවිතාන සුපුරුදු ලෙන්ගතුකමින් whatsapp ඔස්සේ හැමෝම සමඟ තොරතුරු හුවමාරු කර ගත්තේය.

හරිත් මියගියේ රාජකාරිය සඳහා යන අතරමග ඇති වූ හෘදයාබාධයකින් හදිසියේ දෙල්කඳ ප්‍රදේශයේ මහ පාර අද්දරය. එහිදී ප්‍රදේශවාසීන් රැසක් ඔහු වටා රොක් වී ඔහුව බේරාගන්නට බලවත් පරිශ්‍රමයක් දරා ඇති බව පැහැදිලිය. එහිදී ඔහුගේ කරෙහි හා අතෙහි තිබූ ඇතැම් වටිනා ආභරණ අවසාන මොහොතේ ඔහුට බරක් යයි සිතාදෝ, ශරීරයෙන් ඉවත් කරන්නට උත්සුක වූ එක්කෙනෙක් දෙන්නෙක් ද සිට ඇත. දුරකථනය හා මුදල් පසුම්බිය පමණක් ඔහු සන්තකයේ තබා යන්නට තරම් කාරුණික වීම පිළිබඳ ඔවුන්ට ස්තුතිය පළ කරනවා විනා කළ හැකිවක් අප සතුව නැත.

හරිත්ගේ මරණය ජීවත් වන අපට බොහෝ පාඩම් කියාදුන් මරණයක් බව මම සිතමි. හරිත් බොහෝ රජුන් තනන්නට වෙහෙස වූ බව දනිමි. බොහෝ දේශපාලන ව්‍යාපෘති හා වාණිජ ව්‍යාපෘති දියුණු කරන්නට සිය හැකියාව උපරිමයෙන් වැය කළ බවද මම දනිමි. එහිදී ඔහු උපයා සපයා ගත් හොඳ දේ පමණක් රැගෙන මහ මඟ අයිනේ ඔහු නිදහසේ අවසන් ගමන් ගියේ අප අදහනා ආගමේ අනිත්‍යය මොනවට අප වෙත පැහැදිලි කර දෙමිනි.

හරිත් ඉතින් ඔබට ජයශ්‍රී.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment