අවසානයේදී ගල්පර සේම රටක් ම වියැකී යන්නේද?

243

නවකතාවක් ගැන යමක් ලිවීමට නවකතාවේ අවසාන පිටුවෙන් වාක්‍යයක් මා උපුටා ගන්න පළවෙනි අවස්ථාව මෙය වේ. එය එසේ වන්නේ එසේ කිරීමට තරම් ප‍්‍රබලත්වයක් එහි ඇති බැවිනි.

එම වාක්‍ය නම් මෙසේය: “We are only what we remember” nothing more… all we have is the memory of what we have done or not done¦ whom we might have touched even for a moment …”

”අපි කියලා කියන්නේ අපිට මතක දේවල්වලින් හැදුන අය විතරයි… අපිට තියෙන්නේ අපි කරපු දේවල් සහ නොකරපු දේවල්වල; එක නිමේෂයකට හරි අපි ස්පර්ශ කරපු කෙනෙක් ගැන මතක විතරයි.”

මෙම වැකිය මාග‍්‍රට් ඇට්වුඞ් ඇගේ Moral Disorder and Other Stories කෘතියෙහි දි ලියන, ‘in the end” we all become stories’ හෙවත් ‘අවසානයේදී අපි සියල්ලෝම කතන්දර බවට පත්වන්නෙමු’ යන වැකිය ද සිහිගන්වයි.

අවසානයේදී ගල්පර සේම රටක් ම වියැකී යන්නේද?

මෙම නවකතාව 1994 වසරේදී බුකර් ත්‍යාගයට කෙටි ලැයිස්තුගත වූ Reef නම් නවකතාවයි. එහි රචකයා වන්නේ ශ‍්‍රී ලංකාවේ උපත ලබා පසුව එක්සත් රාජධානිය වෙත සංක‍්‍රමණය වූ රෝමේෂ් ගුණසේකර ය. නවකතාව නිකුත් වී වසර විසිපහකටත් පසුව මෙම නවකතාව කියවන්නට මට බලපෑ ආසන්නතම හේතුව මෙවර බුකර් ත්‍යාගයට අනුක් ගේ කෘතිය කෙටි ලැයිස්තුගත වීම හරහා ලංකාවේ උපත ලබා බුකර් ත්‍යාගයට කෙටි ලැයිස්තු ගතවූ මයිකල් ඔන්ඩච්චි (1992) සහ අනුක් (2021) අතරමැද තවත් ලංකාවේ උපත ලැබූ ලේඛකයෙකු සිටින බව දැනගැනීම නිසා ය.

නවකතාව ආරම්භවන්නේ පොතේ කතා නායකයා වන ට‍්‍රයිටන් සිය මැදිවියේදී එංගලන්තයේ ඉන්ධන අලෙවිසලකට ඉන්ධන ලබාගැනීම සඳහා යන අවස්ථාවකිනි. එතැනදී ඔහුට හමුවන්නේ යුද්ධය නිසා සරණාගත වීසා ලබාගෙන එංගලන්තයට පැමිණි තරුණයෙකි. තමන්ට නුපුරුදු දේශයක, නුපුරුදු භාෂාවකින් වැඩ කරන්නට සිදු වූ තරුණයාගේ තිගැස්ම තුළින් ට‍්‍රයිටන් තමන්ගේ අතීතයට පියමං කරයි. 1961 දී වයස අවුරුදු එකොළහක් වූ ට‍්‍රයිටන් ට නිවස අතහැර එන්නට වන්නේ පාසලේ මඩුවකට ඔහු අතින් වැරදීමකින් ගිනි ඇවිලීම නිසා ය. පියාගේ දඬුවමින් ගැලවෙන්නට සිය මාමා සොයා යන ඔහුව මාමා විසින් කොළඹ ජීවත් වූ

සල්ගාදු නම් සාගර ජීව විද්‍යාඥයා ගේ නිවසේ නවතයි. නිවසේ සුළු සුළු වැඩ කරගෙන ඉන්නට ඔහුට අවස්ථාව හිමිවෙයි. නිවසේ වෙසෙන්නේ ජෝසප් නම් වැඩිමහලූ සේවකයෙක්, ඉවුම් පිහුම් කළ ලූඅම්මා නම් වයසක කාන්තාවක් සහ සල්ගාදු මහතා පමණි. අම්බලන්ගොඩ ගමක උපන් ට‍්‍රයිටන් සිය ජීවිතයේ ලෝකය දැක තිබුණේ සීමිතව ය. සල්ගාදු මහතාගේ ගෘහය ඔහු දැක ඇති විශාලතම නිවස ය. ක‍්‍රමයෙන් එහි සේවය කරන්නට පටන් ගන්නා ට‍්‍රයිටන් සල්ගාදු ගේ හිත දිනාගන්නට සමත් වෙයි. එහෙත් ජෝසප් උත්සාහ කරන්නේ ට‍්‍රයිටන් ව පන්නා දැමීමට ය. සියලූ කාරණා අතරේ ට‍්‍රයිටන් ගේ ලෝකය බවට මෙම නිවස පත්වෙයි.

නවකතාවේ සුවිශේෂිතාවය වන්නේ, කතුවරයා ගොඩනගන එක් විශේෂ සංකල්පයකි. එනම්, පවුල් ඒකකයකට කොටුව ඇති මිනිස් සමාජය තුළ සෑම නිවසක් තුළම ඔවුනට ආවේණික ලෝකයක් ගොඩනැගෙන බව ය. එම ලෝකය සහ පිටත ලෝකය සමඟ ඡේදනය වන ප‍්‍රමාණය සහ ආකාරය මත පවුල්වල සතුට, දුක රඳා පවතින බව ය. ට‍්‍රයිටන් වැනි ගමකින් පැමිණෙන කොල්ලෙකුට සල්ගාදු ගේ නිවස යනු මුළුමහත් ලෝකයම වෙයි. ඔහුගේ ලෝකය පිටත ලෝකය හා ඡේදනය වන්නේ නිවසට භාණ්ඩ විකුණන්නට එන පිරිස, සල්ගාදු ගේ මිතුරන් සහ නිලී හරහා ය. එහෙත් මෙම ක්ෂුද්‍ර ලෝකයේ ඔහුට දිගටම රැඳී සිටිය නොහැකි ය. මන්ද එම ක්ෂුද්‍ර ලේකය නිලී ගේ පිටවීමත් සමඟ බිඳවැටෙන්නට පටන් ගන්නා නිසා ය. එමෙන්ම පිටත ලෝකයද, අවිචාරවත් පාලන සමය, කැරලි නිසා ඉරි තලමින් ඇත. ට‍්‍රයිටන් ගේ ඉරණම කුමක් වේද? තමන් ගේ ක්ෂුද්‍ර ලෝකය තුළ කොල්ලෙකු ලෙස රැදී සිටි ට‍්‍රයිටන් පිටත ලෝකයට පා තබා පිරිමියෙකු බවට පත්වන්නේ කෙසේද? මේ සියල්ල Reef නවකතාව තුළින් අපට සමීප කරයි. ඒ සඳහා ඔබ මෙය කියවිය යුතු ය. පොත කියවීමට ආසා ඇතිකරන සැහැල්ලූ එහෙත් ගැඹුරු චින්තාවන් මතු කරන එකකි.

”මෙච්චර ලෝකේ දියුණු වුණත් පොල්ගෙඩියක් හොඳද කියලා දැනගන්න අපිට තාමත් ඒක හොල්ලලා බලන්න වෙනවා.”

රශ්මික මණ්ඩාවල

advertistmentadvertistment
advertistmentadvertistment