“අවිචාරවත් ලෙස සන්නිවේදන තාක්‍ෂණය භාවිත කිරිම සංස්කෘතියට හානියක්” – මහාචාර්ය විමල් දිසානායක

761

ආසියාතික සන්නිවේදන විෂය ක්ෂේත‍්‍රයෙහි සුවිශේෂී මෙහෙවරක් සිදුකළ මහාචාර්ය විමල් දිසානායක මහතා හට ආසියාවේ හොඳම සන්නිවේදන විද්‍යාඥයාට හිමි ජාත්‍යන්තර සම්මානය පසුගියදා හිමි විය. එම සම්මාන ප‍්‍රධානෝත්සවය නොවැම්බර් 04 දා සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිතය. ආසියාතික සන්නිවේදන සිද්ධාන්ත සහ ආසියාතික සිනමාව පිළිබඳ ජාත්‍යන්තර කීර්තියට පත් ශී‍්‍ර ලාංකිකයකුට අමතරව හේ මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයෙහි සන්නිවේදන විෂය සංස්ථාපනය කිරීමෙහිලා පුරෝගාමී මෙහෙවරක් සිදුකර ඇත. ඇමරිකාවේ හවායි හි පිහිටි ඊස්ට් වෙස්ට් මධ්‍යස්ථානයෙහි පර්යේෂකයකු මෙන්ම එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා වශයෙන් වසර
15 ක් කටයුතු කර ඇති මහාචාර්ය විමල් දිසානායක මෙවර අකුරු දිගේ සාහිත්‍ය සංවාදය සමඟ එක්වෙමින් පළ කළ අදහස් පහත පළවේ.

ආසියානු ජනසන්නිවේදන තොරතුරු හා පර්යේෂණ මධ්‍යස්ථානය (AMIC‍) විසින් පිරිනමන ලද ජාත්‍යන්තර සම්මානයකින් පසුගිය දිනක ඔබ සම්මානිත වෙනවා. එය ශ‍්‍රී ලාංකික අපට ආඩම්බර විය හැකි ප‍්‍රවෘත්තියක්. ඒ පිළිබඳ කෙටි හැඳින්වීමක් සිදු කරමින් මේ කතාබහ ආරම්භ කරනවා නම්,

ඔව්… එය ඉතා වැදගත් සම්මානයක් Asian Communication Award යනුවෙන් හඳුන්වනු ලබන මෙම ජාත්‍යන්තර සම්මානය පිරිනමනු ලබන්නේ ආසියාතික සන්නිවේදන ක්ෂේත‍්‍ර‍්‍රයට විශිෂ්ට මෙහෙයක් කළ ආසියාතික සන්නිවේදන විදඥයන්ටයි.

එම සම්මානයට නිර්දේශවීම පිණිස විමර්ශනයට ලක් කරන ලද නිර්ණායකයන් සහ සන්නිවේදන විෂය ක්ෂේත‍්‍ර‍්‍රයෙහි මෑතකදී ඔබ විසින් දරන ලද මැදිහත්වීම් මොනවාද?

මා ක්ෂේත‍්‍ර‍්‍ර දෙකක් තුළ ජාත්‍යන්තර කීර්තියක් දිනාගෙන සිටිනවා. පළමුවැන්න ආසියාතික සන්නිවේදන සිද්ධාන්ත පිළිබඳවයි. දෙවැන්න ආසියාතික සිනමාව පිළිබඳවයි. මෙම විෂය ක්ෂේත‍්‍ර‍්‍රයන් දෙක සම්බන්ධයෙන් ඉංග‍්‍රීසි භාෂාවෙන් ශාස්ත‍්‍රීය ලිපි 75ක් පමණ ලියා තිබෙනවා එමෙන්ම ඔක්ස්ෆර්ඞ්, කේම්බි‍්‍රජ් සිසුන් වැනි ලෝකප‍්‍රකට විශ්වවිද්‍යාලීය ප‍්‍රකාශන ආයතන මගින් පළ කරන ලද මගේ ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථ විශාල සංඛ්‍යාවක් තිබෙනවා. ඉහත සඳහන් කරන ලද සම්මානය මට ප‍්‍රදානයකොට ඇත්තේ මෙම ක්ෂේත‍්‍ර‍්‍රයන් තුළ මගෙන් ඉටුවූ සේවාවට ගරු කිරීමක් වශයෙනි.

ඇමෙරිකාවේ හවායි හි පිහිටි ලෝකප‍්‍රකට ඊස්ට් – වෙස්ට් විද්‍යායතනයෙහි සන්නිවේදන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා ලෙස වසර 15 ක් තිස්සේ කටයුතු කරන ඔබට එහිදී පැවරී තිබෙන කාර්යභාරයේ ස්වරූපය කවරක්ද?

ඊස්ට් වෙස්ට් මධ්‍යස්ථානයෙහි පර්යේෂකයෙකු වශයෙන් මෙන්ම නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා ලෙසත් කටයුතු කළා. මේ කාලය තුළ ආසියාවට අදාළ සන්නිවේදන පර්යේෂණ ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කළා. ඉන් එකක් ආසියාතික සන්නිවේදන සිද්ධාන්ත පිළිබඳවය.ි අනෙක ආසියාතික සිනමාව පිළිබඳවයි. මා ඊස්ට් වෙස්ට් මධ්‍යස්ථානයට බැඳුණු අලූත ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථ හා පර්යේෂණ ලිපි විශාල සංඛ්‍යාවක් පළ කළා. මීට අමතරව ශාස්ත‍්‍රපති හා ආචාර්ය උපාධිය සඳහා සූදානම්වන ශිෂ්‍යයන්ගේ නිබන්ධ විශාල සංඛ්‍යාවක් අධීක්‍ෂණය කළා.

ගෝලීය සන්නිවේදන ඉතිහාසය ගත්විට විවිධ අවධීන් පසුකළ අප අද ඉන්නෙ ඩිජිටල් යුගයක. මේ කියන ඩිජිටල් අවකාශය තුළ ශ‍්‍රී ලාංකික අප ස්ථානගතව ඉන්නෙ මොනව ගේ තැනකද?

ඩිජිටල් තාක්‍ෂණය නිසා සන්නිවේදන ක්ෂේත‍්‍ර‍්‍රය මහත් පරිවර්තනයකට ලක්වෙලා තිබෙනවා. පරිගණක විද්‍යාවෙහි විස්මයාචාර්මය වර්ධනයන් නිසා ඩිජිටල් තාක්‍ෂණය පෙරට ගොස් තිබෙනවා. ඇනලොග් තාක්‍ෂණය අභිබවා ඩිජිටල් තාක්‍ෂණය ඉදිරියට ගමන් කර ඇතත් යම් යම් අංශ අතින් ඇනලොග් තාක්‍ෂණය තවමත් වැදගත්. ශ‍්‍රී ලංකාව ඩිජිටල් තාක්‍ෂණික ශක්‍යතාවලින් තවමත් පරිපූර්ණ පළ ලබා නැහැ.

මෑත කාලීනව මෙරට සන්නිවේදන ක්ෂේත‍්‍ර‍්‍රය තුළ දකින්නට ලැබෙන සාධනීය හා නිශේධනීය ලක්‍ෂණ පිළිබඳව ඔබගේ විග‍්‍රහය මොනවගේද?

මෙරට සන්නිවේදන ක්ෂේත‍්‍ර‍්‍රයෙහි සාධනීය ලක්‍ෂණ මෙන්ම නිෂේධනීය ලක්‍ෂණද දක්නට ලැබෙනවා. උදාහරණයක් වශයෙන් සමාජ මාධ්‍ය ගෙන බලමු. මේවා අවිචාරවත් ලෙස උපයෝගී කර ගැනීම නිසා අවභාවිතය නිසා සමාජයට හා සංස්කෘතියට මහත් හානියක් සිදුවෙනවා. අනෙක් අතට තාක්‍ෂණයෙහි ශීඝ‍්‍ර වර්ධනය නිසා සන්නිවේදන මාධ්‍යයන්ට වඩා සුඛනම්‍යතාවන් හිමිවී තිබෙනවා. එමෙන්ම සන්නිවේදන ක්ෂේත‍්‍ර‍්‍රයෙහි පිළිගත් ප‍්‍රමිති අඩු නිසා භාෂාව හා සංස්කෘතිය කෙරෙහි අනර්තකර බලපෑම් ඇතිවන ආකාරය දැක ගන්නට පුළුවන්.

එම නිශේධනීය සාධකයන් වැඩිවීමත් සමග අපේ අභිමතාර්ථයන්, සංස්කෘතික ලක්‍ෂණයන් යම් පසුබෑමකට ලක්වෙමින් පවතිනවා. ඒ මතය සමග ඔබ එකඟද?

තාක්‍ෂණය හා සංස්කෘතිය අතර ඇත්තේ ඉතා සංකීර්ණ සම්බන්ධයක්. සංස්කෘතියික අභිවර්ධනය සඳහා ඵලදායී ලෙස තාක්‍ෂණය උපයෝගී කර ගන්නට පුළුවන්. අනෙක් අතට අවිචාරවත් ලෙස තාක්‍ෂණය භාවිත කිරීම නිසා සංස්කෘතියට මහත් හානියක් සිදු කරන්න පුළුවන් . මාර්ෂල් මැක්ලූගන් මාර්ටින් හයිබෙනර් වැනි චින්තකයන් තාක්‍ෂණයත් සංස්කෘතියත් අතර සම්බන්ධය විවිධ දුෂ්ටි කෝණවලින් විග‍්‍රහ කොට තිබෙනවා. මිනිසා තාක්‍ෂණයෙහි වහලෙකු විය යුතු නැහැ. තාක්‍ෂණය මිනිසාගේ වහලෙකු විය යුතුයි.

දේශීය කවිය, ගීතය, සිනමාව සමීපව ඇසුරු කළ ඔබ දුරු රට සිට තවමත් ඒ පිළිබඳ විමසිලිමත්ද?

මා දුර රට සිටියත් ශ‍්‍රී ලංකාවේ සාහිත්‍ය කලා ශිල්පවල ප‍්‍රවර්ධන පිළිබඳ මහත් විමසිල්ලෙන් සිටිනවා. අපේ සාහිත්‍ය කලා අතර ජාත්‍යන්තර මට්ටමකින් තුළනය කළ හැකි තත්ත්වයක පවතින්නේ කෙටිකතාවයි. ගුණදාස අමරසේකර වැනි ජ්‍යෙෂ්ඨ ලේඛකයෙකු හැරුණුවිට ප‍්‍රතිභා සම්පන්න කෙටිකතාකරුවන් ගණනාවක් අප අතර සිටිනවා. සිනමාව ගැන තතු විමසනවිට ප‍්‍රසන්න විතානගේ, අසෝක හඳගම, විමුක්ති ජයසුන්දර, වැනි අධ්‍යක්‍ෂවරු ජාත්‍යන්තර කීර්තියක් දිනාගෙන සිටිනවා. මගේ නිර්මාණ කටයුතු ද මා නොකඩවා කරගෙන යනවා. ජයසිරිගේ සමුගැනීම ඉතිහාසය සිනාසෙයි වැනි කාව්‍ය ග‍්‍රන්ථ මා මෑතකදී පළ කළා.

එදාට සාපේක්‍ෂව අද වනවිට දේශීය කවිය, ගීතය සිනමාව පවතින්නෙ මොනවගේ මට්ටමකද? ජාත්‍යන්තරය තුළ ඒ සඳහා ඉඩකඩක් පවතිනවාද?

අපේ ඇතැම් කලාවන් ජාත්‍යන්තර මට්ටමකින් සලකා බලනවිට සෑහීමකට පත් වන්නට පුළුවන් මා මුලින් කියූ පරිදි කෙටිකතා ක්ෂේත‍්‍ර‍්‍රයෙහි වර්ධනයක් දක්නට ලැබෙනවා. එමෙන්ම ගවේෂණාත්මක චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරුන් කීප දෙනෙකුන් අප අතර සිටිනවා. පොදුවේ සලකා බලන විට අපගේ කලාවන්හි කාලානුරූප ප‍්‍රගතියක් ඇති වීමට නම් සාරවත් විචාර සංස්කෘථියක් බිහිවිය යුතුයි. නූතන සිංහල කාව්‍ය විචාරය අද පවතින්නේ තරමක් දුර්වල තත්ත්වයකයි.

ඒ තත්ත්වයෙන් මිදීම පිණිස ඔබ ඇතුළු ප‍්‍රවීණයන් විසින් දක්වන ලද දායකත්වය ප‍්‍රමාණවත්ද?

මේ තත්ත්වයෙන් මිදීම සඳහා අප පියවර කිහිපයක් ගත යුතුයි. පළමුවැන්න විශ්ව සංස්කෘතියෙහි නව ප‍්‍රවණතා හා වර්ධන පිළිබඳ අවබෝධයක් සිංහල පාඨකයාට ලබා දිය යුතුය. දෙවැන්න කල්ලි වාදයන්ට ගොදුරු නොවී අපක්‍ෂපාතීව නිර්මාණාත්මක කෘති ලෙස සාහිත්‍ය රචනා අගය කිරීමට අප උත්සාහ දැරිය යුතුය. තෙවැන්න අප ගේ විශ්වවිද්‍යාලවල හා උසස් අධ්‍යාපන ආයතනවල සාරවත් ප‍්‍රතිෂ්ඨා මත පිහිටා සාහිත්‍යවේදය විධිමත්ව ඉගැන්විය යුතුයි.

ජනසන්නිවේදන විෂය මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ස්ථාපිත කිරීම පිණිස පුරෝගාමී මෙහෙවරක් සිදු කළ ඔබ ඉන් වසර කීපයකට පසු විදේශගත වෙනවා. ඔබ විසින් එදා ගත් තීරණය නිවැරදිද?

මා ගත් එම තීරණය පිළිබඳ මා තුළ ඇත්තේ කුකුසකි. කෙනෙක් රට හැර පිටරට යන්නට තීරණය කරන්නේ දැඩි මානසික අරගලයකට පසුවයි. මෙය දෙපැත්තක් තියෙනවා. එක් පැත්තකින් සන්නිවේදන විද්‍යාව සාහිත්‍ය විද්‍යාවට වඩා ගැඹුරු ලෙස අධ්‍යයනය කිරීමට මා තුළ දැඩි අභිලාෂයක් තිබුණා. මේ නිසා හවායි විශ්වවිද්‍යාලයට බැඳී අවුරුදු ගණනාවක් පශ්චාත් නූතනවාදය හා ඉතිහාස වාදය වැනි විචාර ගැඹුරු ලෙස හැදැරුවා. ඊට අනතුරුව එම විෂයයන් පිළිබඳව ඉංග‍්‍රීසි හා සිංහල භාෂාවලින් විචාර ග‍්‍රන්ථ පළ කළා. මෙය සාධනීය ලක්‍ෂණයක්.

අනෙක් අතට ඔබ කියන පරිදි සන්නිවේදන විෂය අන් අයගේ උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍ර‍්‍රයෙහි සංස්ථාපනය කිරීම සඳහා මා පුරෝගාමීයකු වශයෙන් කටයුතු කළා. එම කාර්යභාරය තව දුරටත් ඉදිරියට ගෙන යන්නට නොහැකි වීම ගැන මා දුක් වෙනවා. කෙසේ වුවත් දුරු රට සිට පවා සිංහල පාඨකයාට ප‍්‍රයෝජනවත් විය හැකි පශ්චාත් නාට්‍යවාදය නම් විචාර සංකල්පය නිසයි නිම් වළල්ල වින්දනය හා චින්තකයකු සිරිත හා අරුත වැනි ග‍්‍රන්ථ පළ කළා. එමෙන්ම සිංහල හා ඉංග‍්‍රීසි පුවත්පත්වල සතිපතා සාහිත්‍ය කලා හා සන්නිවේදනය පිළිබඳ තීරු ලිපි පළ කළා.

ඔබට අලූතෙන් පිරිනැමෙන මෙම ජාත්‍යන්තර සම්මානය ආසියාතික සන්නිවේදන විද්‍යාඥයෙකු ලෙස ඔබ කළ සේවාවට ගරු කිරීමක් වශයෙන් ලැබුණ සම්මානයක්. මෙවැනි තවත් ගෞරව ඔබට ලැබී තිබෙනවාද?

ඔව්… මීට වසර කිහිපයකට ඉහතදී ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස්හි පිහිටි ශ‍්‍රී ලංකා පදනම් ආයතනය මගින් පරිනැමෙන ජීවකාල සම්මානය මට ලැබුණා. එමෙන්ම ලෝකය පුරා රටවල ඇමෙරිකාව, ජපානය, ඉන්දියාව, තායිවානය, හොංකොං, පිලිපීනය, සිංගප්පූරුව, දකුණු අප‍්‍රිකාව, මැලේසියාව ශ‍්‍රී ලංකාව, වැනි රටවල ශාස්ත‍්‍රීය සම්මන්ත‍්‍රණවල ප‍්‍රධාන දේශකයා KEYNOTE ලෙස ආරාධනා ලැබ තිබෙනවා. එමෙන්ම මෙවර සම්මාන ප‍්‍රදානෝත්සවය තිබෙන්නේ දෙසැම්බර් සතර වැනිදායි. එම අවස්ථාවට ගරු කිරීමක් වශයෙන් මගේ ග‍්‍රන්ථ කීපයක් අභිනව සංස්කරණයෙන් දොරට වඩිනවා.

සාකච්ඡා කළේ – රුවන් ජයවර්ධන

"අවිචාරවත් ලෙස සන්නිවේදන තාක්‍ෂණය භාවිත කිරිම සංස්කෘතියට හානියක්" - මහාචාර්ය විමල් දිසානායක
advertistmentadvertistment
advertistmentadvertistment