අවිද්‍යාව අමනාප කරගන්නට ඇති අකමැත්ත…

179

පිංවත, බලාපොරොත්තු කඩවීම් දෝරෙගලා යද්දී, අපේ ජීවිත ඇලීම් සහ ගැටීම් අතර සිරවෙලා. මොකක්ද මේ ලෝකයට සිද්ධවෙන්නේ. මේ සිදුවන සිදුවීම් අරුමයක්ද, පුදුමයක්ද, එසේත් නැතිනම් ලෝකයේ සැබෑම අර්ථයද. පිංවත් ඔබගේ සිතට විවේකයක් අවශ්‍යයි, ඉහත ප‍්‍රශ්නයට සාධාරණ පිළිතුරක් ලබාගන්නට. අපි අපේ මස් ඇසින් දකින ලෝකයට වඩා, අපි සද්ධර්මයේ ඇසෙන් දකින ලෝකය, අහසයි පොළවයි වගේ වෙනසක් තිබෙනවා. භික්ෂුව ලෝකය දකින්නේ සද්ධර්මයේ ඇසින්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කැඩෙන, බිඳෙන, විසිරෙන යම් ස්වභාවයක් වේද, එය ලෝකයයි කියලා.

පිංවත, කුමක්ද කැඩෙන්නේ, බිඳෙන්නේ, විසිරෙන්නේ. රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයෝ කැඩෙමින්, බිඳෙමින්, විසිරෙමින් පටිච්චසමුප්පන්නව, ලෝකය දුකෙන් සංවර්ධනය කරනවා. භාග්‍යවතුන් වහන්ස, කොරෝනා අකුසලයෙන් වර්තමානයේ කැඩෙන, බිඳෙන, විසිරෙන ලෝකය තුළ, නුවණැත්තෝ දකින්නේ, භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සම්මා සම්බුද්ධ ඥානයේ ආශ්චර්යමයි. ඔබ වහන්සේ දේශනා කොට වදාළ උතුම් ශ‍්‍රී සද්ධර්මයේ ආශ්චර්යමයි. ඒ ආශ්චර්යමත් භාග්‍යවතුන් වහන්සේ සරණ ගොස්, ලෝකයෙන් මිදී, පිරිනිවීමෙන් නිවීගිය, මහා සංඝරත්නයේ ආර්ය විමුක්තියේ අසිරිමත්භාවයමයි. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පිරිනිවන්පාන්නට මොහොතකට පෙරාතුව, ආනන්ද ස්වාමින් වහන්සේට දේශනා කරනවා, ආනන්ද, මගේ ඇවෑමෙන් ශාස්තෘන්වහන්සේ බවට පත්වෙන්නේ උතුම් ධර්ම, විනයයි කියලා. ඒ ජීවමාන ශාස්තෘවහන්සේ මේ නිමේෂයේදී අපේ දෑස් ඉදිරිපිට සිංහ සෙයියාවෙන් වැඩසිටිනවා. පිංවත, මෛත‍්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වනතෙක් ඉන්න අවශ්‍ය නැහැ. පිංවත් ඔබේ දෑස් ඉදිරිපිට මේ නිමේෂයේදිත් කැඩෙන, බිඳෙන, විසිරෙන ලෝකයේ ඇත්ත ඇති සැටියෙන් පහදාදෙන, ජීවමාන ශාස්තෘන් වහන්සේ වැඩසිටිනවා. අතීතයේ රාහුල පුංචි පුතා, අප්පච්චි, මට දායාද දෙන්න, මට දායාද දෙන්න කියලා, බුදුරජාණන් වහන්සේගේ සුළඟිල්ලේ දැවටුනා සේ, ගෞරවණීය පිංවත, මේ මොහොතේ ඔබ ඉදිරියේ වැඩසිටින ධර්මවිනය නැමති ජීවමාන ශාස්තෘන්වහන්සේගේ සුළඟිල්ලේ දැවටී, ඒ උතුම් දායාදයන් ඉල්ලා ගන්න. මේ නිමේෂය කොරෝනා අකුසලය හේතුවෙන් හඬන, දුක්වෙන බලාපොරොත්තු කඩකර ගන්න නිමේෂයක් නොව, සදහටම දුකෙන් මිදෙනා, චන්දය ඇතිකොට ගන්නා නිමේෂයක් බවට පත්කොට ගන්න.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්නේ ප‍්‍රමාදි සත්වයාට සංස්කාර නැලවිලි ගීත කියලා දෙන්න නොවේ, පිංවත් ප‍්‍රමාදි අපිට සංසාර බිය, සංසාර දුක, සංසාර ගැඹුර මතුකොට, අපි තුළ පංචඋපාදානස්කන්ධ ලෝකය කෙරෙහි සතිසම්බොජ්ජංගය මෝදුකොටදීම සඳහාමයි. නමුත් මම යන්නේ කොයි පාරේ, වසවර්ති මාරයා ගිය පාරේ යැයි, යම් පිංවතෙකුට සැකයක් තිබෙනවා නම් වහ වහා නිවැරදි වෙන්න මීට වඩා හොඳ අත්දැකීමක් සහ අවස්ථාවක් නැවත ඔබට නොලැබෙන්න පුළුවන්.

අවිද්‍යාව අමනාප කරගන්නට ඇති අකමැත්ත…

ලෝකයේ ආගම් සිය ගණනක් තිබුණත්, තෘෂ්ණාව හේතුවෙන් සකස් වෙන මේ ජාති, ජරා, ව්‍යාධි, මරණ, දුක නිරෝධය කිරීමේ මාර්ගයක් දේශනා කරන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පමණක්මයි. ලක්ෂ ගණනින් අහිංසක ජනතාව කොරෝනාවෙන් මියගියත්, ලක්ෂ ගණනක් ජනතාව රෝගීභාවයන්ට, මරණ බියට, ආර්ථික අගහිඟකම් වලට ලක්වී අප‍්‍රමාණ දුකට පත් වුණත්, ධර්මානුකූලව ලෝකයේ කොතනකවත් අසාධාරණයක් නම් සිද්ධවෙලා නැහැ. සංස්කාරයන්ට අදාළව ක‍්‍රියාත්මක වෙන සර්ව සාධාරණ ලෝකයක් අපි ඉදිරියේ තිබෙන්නේ. සංස්කාරයන්ට අදාළවයි ලෝකය පවතින්නේ. මෙය සටහන් තබන භික්ෂුවගේ ජීවිතය පවතින්නේ, භික්ෂුවගේ අතීත පටිච්චසමුප්පන්න කුසල් සහ අකුසල් සංස්කාරයන්ට අදාළවයි. බාහිර කිසිම ධර්මතාවයකට එම සංස්කාර ක‍්‍රියාන්විතයට ඇඟිලි ගහන්න බැහැ. ඒ නිසාමයි භික්ෂුව ඉහතින් සටහන් තැබුවේ, ලෝකයේ කොතනකවත් වරදක් සිදුවෙලා නැහැය කියලා. අපි වපුරපු දෙය, අපේ අස්වැන්න වෙලා තිබෙනවා. හෙට දවසේ භික්ෂුවගේ අපවත්වීම සිදු වුණොත්, එහි කිසිම වරදක් හෝ අසාධරණයක් නැහැ. එම අපවත්වීම, පටිච්චසමුප්පන්නව, භික්ෂුවම, අතීතයේ වැපුරූ වැරදි බීජයන්ගේ අස්වැන්නක්මයි. සර්ව සාධාරණ සංස්කාර ලෝකයක් ඉදිරියේ, අපේම අකුසල් ධර්මයන්ගේ වැරදි අනුන් මත පැටවුවොත්, අපේම අකුසල්වලට තවත් අකුසල් එකතුකොට ගැනීමක් පමණක්මයි සිද්ධවෙන්නේ. පංචඋපාදානස්කන්ධ මාරයා තම කුල පරම්පරාව ශක්තිමත් කොටගන්න, ඵස්සය ඇලීම් සහ ගැටීම් වලින් පොහොසත් කරද්දී, අපි තවමත් ධර්මයේ උපේක්ෂාවෙන් ලෝකය දෙස නොබලන්නේ, උතුම් සම්මා දිට්ඨියේ සහ සම්මා සංකප්පයන්ගේ දුර්වලභාවයන් නිසාමයි.

ගෞරවණීය පිංවත අපිම පටිච්චසමුප්පන්නව රැස්කොටගත්, කුසල් සහ අකුසල් සංස්කාරයන්ට අදාළවයි ලෝකය සෑම මොහොතකම පවතින්නේ. එයයි උතුම් ශ‍්‍රී සද්ධර්මයේ අර්ථය. වර්තමානයේ පවතින ජරා, ව්‍යාධි, මරණ, ශෝක පරිදේවයන්ගෙන් පිරි ලෝකයට, ඔබ අකමැති නම් කරුණාකර, ඔබේ පංචඋපාදානස්කන්ධ ලෝකය ඔබ, අකුසලයෙන් බැහැරකොට කුසල් ධර්මයන් තුළ ශක්තිමත් කොටගන්න. ඔබේ ඵස්සයේ ජනෙල් කවුළුවෙන්, අවිද්‍යාව එබී බැලූවොත්, ඇයත් සමඟ පෙම්බස් දොඩන්න යන්න එපා, ඇයට කියන්න ඔබට ආදරය කරන්නට ගොස්, මම වින්දාවූ ජරා, ව්‍යාධි, මරණ, දුක් දැන් හොඳටෝම ඇතිය කියලා.

සමහර පිංවතුන්ලා අවිද්‍යාව තරහා කරගන්න හරිම අකමැතියි. ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක පරිදේව, ප‍්‍රියයන්ගෙන් වෙන්වීම්, අප‍්‍රියයන් හා එක්වීම කියන කිලිටි ඇඳුම් දරාගෙන, ඇඟක් පතක් සෝදන්නේ, නාන්නේ නැතුව, පංචනීවරණ සුවඳ විලවුන් තවරාගත් අවිද්‍යාවට, මම, මගේ, මගේ ආත්මය කියලමයි කතා කරන්නේ. පුදුම පටිච්චසමුප්පන්න බැඳීමක්. ඇස, කන, නාසයේ, දිව, ශරීරයේ, මනසේ, ඵස්සයෙන්, ඇය එනතුරා මග බලාගෙන සිටිනවා, ඇලීම්, ගැටීම් සහ උපේක්ෂාවන් සමග ආදරබස් දොඩන්න. ඉන් පස්සේ සංස්කාර දරු මුණුබුරන් හදලා, අවිද්‍යාව තුළ, සැඟවුණ අමුත්තා වන පටිච්චසමුප්පන්න විඤ්ඤාණයට සිත් සේ ආහාර සොයාදෙන්න. පිංවත ලෝකය කොතැනකවත් වැරදි නැහැ. ලෝකය වැරදියි අසාධරණයි යැයි ඔබට සිතෙනවා නම් කරුණාකර, ඔබ නිවැරදි වෙන්න, ඔබ උතුම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයට සර්ව සාධාරණය ඉෂ්ට කරන්න.

දැන් වෙලාව සවස හයට පමණ ඇති. පරිසරය හරිම නිහඬයි. ලා අඳුරට මුහුවුණ බැසයන ලා හිරු එළිය, භික්ෂුවගේ උපේක්ෂාසහගත සිතට, ලැබුණු රාත‍්‍රී ආහාරයක් වගේමයි. ඒ ආහාරය වළඳද්දී, භික්ෂුවට සංස්කාරයන්ගේ අනිත්‍ය රසය, භික්ෂුවගේ, ඵස්සය ඉදිරියේ තෙරපෙනවා, භික්ෂුව වඩන වේදනානුපස්සනාවට බියෙන්, සියල්ල අවසානයේ, අහිංසක, නිහඬ, ලස්සන, පරිසරයේ අසිරිය නවතින්නේ ධම්මානුපස්සනාව තුළමයි. දැන් දැන් අඳුර වැටෙනවා, අකුරු ලියන්න පේනවා අඩුයි. තනිරූල් පොත වසා පැත්තකින් තියන්න සිතුවත්, පිංවත් ඔබේ මතකය, භික්ෂුව ඉදිරියේ තාමත් දිගහැරී තිබෙනවා. ඒ මතකයන් උතුම් ධම්මානුපස්සනාවටම භාරදීලා, හෙට කියලා දවසක් උදාවුණොත්, අපි නැවත හමුවෙමු. භික්ෂුවට හෙට කියන දවස උදාකොටදෙන්නේ, හෙට උදෑසන මෝදුවෙන හිරු නොව, අපගේ පටිච්චසමුප්පන්න අතීත සංස්කාරයෝ විසින්මය. තෘෂ්ණා කටුඅකුලේ පැටළුන පටිච්චසමුප්පාද නූල් බෝලය, අපි ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ඇසෙන් නොපැටලෙන්නම ලිහාගත්තොත් ලෝකය හරිම නිරවුල් වෙනවා.

උදෑසන පටන්ම ගස්කපන යන්ත‍්‍රයක හඬක් ගම්මානය දෙසින් ඇසෙනවා. කොරෝනාව මතුකොටදුන් ආර්ථික දුර්වලතාවයන් නිසාම, සමහර පිංවතුන් ගෙවතුවල තිබෙන වැඩුන ගස් ලී මුදලාලිට විකුණනවා. අජීවී වුණත් ගසක් කපා දමලා, ලැබෙන මුදලින් සජීවී අපි ජීවත්වෙනවා. ගසකට අයිතියක් තිබෙන්නට ඕනේ, එයා නිදහසේ හැදී වැඩුනාසේම, නිදහසේම ස්වභාවිකවම මැරිලා යන්න. බුදුරජාණන් වහන්සේ පැනවූ උතුම් ප‍්‍රාතිමෝක්ෂ ශීලයේ පමණක්මයි, ගසකට නිදහසේ ජීවත්වී නිදහසේ මැරිලා යෑමේ අයිතිය ලබාදීලා තිබෙන්නේ. උපසම්පදා භික්ෂුන්ට ගසක කොළයක් කඩන්නවත් බුදුරජාණන් වහන්සේ අවසරදීලා නැහැ. මනුෂ්‍යයාට සේම සතාසිවුපාවාටත්, පරිසරයටත් සත්පුරුෂ ධර්මයක්මයි, උතුම් ශ‍්‍රී සද්ධර්මය. තමන්ගේ කටයුතු වලට අනතුරුදායක ගසක් ඉවත් කළාට ප‍්‍රශ්නයක් නැහැ. තමන්ගේ පාඩුවේ, ස්වෝත්සහයෙන් වැඞී ලොකු මහත්වුණ ගසක් කපා විකුණලා අපි ජීවත්වෙනවා නම් අනාගත භවගමනේ අපිට කාන්තාර පරිසරවල උපදින්නට සිද්ධවෙන්න පුළුවන්.

භික්ෂුවගේ කුටිය අවට කොලපාට වියනක් සේ දිස්වෙන ගස්කොළන්, නිහඬව භික්ෂුව සමග කතා කරනවා. හරිම අහිංසක මිතුදමක්. ඔබ වහන්සේ නිදහසේ වැඩසිටින්න. අපිත් නිදහසේම වැඩෙනවා.

ගස්කොළන් ඔබට නොතේරෙන බසකින් භික්ෂුවට කියනවා. පරිසරය සමග නිදහසේ කථා බහ කරන්න නම්, නිශ්චල වූ සිතක් තිබෙන්නටම ඕනේ. සිත චංචල නම් පරිසරයත් පරිසරය සේම ඔහේ සිටීවි.

මේ දිනවල කොරෝනා ඇඳිරි නීතිය නිසා, ගම්වාසි පිංවත් ජනතාව, උදෑසන පිණ්ඩපාත දානයට පූජා කරන්නේ වසවිස මුකුත්ම නැති ගෙවත්තේම එළවළු, පලතුරු වර්ග. ඒ නිසාම මේ දිනවල පිණ්ඩපාතය, අහිතකර ආහාර වලින් වැළකිලයි තිබෙන්නේ. දානයන්ගේ අග‍්‍රම දානය මහා සංඝරත්නය අරමුණුකොට පූජා කරන දානයයි. දානයක් පූජා කරගනිද්දී, පිංවත් ඔබ තුළ තෙරුවන් කෙරෙහි ශ‍්‍රද්ධාව, ගරුත්වය, කර්මය කර්මඵල විශ්වාසය, සකසා සියතින් දන්දීම, ප‍්‍රනීතභාවයෙන් දන්දීම කියන අර්ථයන් පරිපූර්ණවෙලා තිබෙන්නට ඕනේ.

ඉහත දානයේ අර්ථයන් දුර්වල කොටගෙන ඔබ දානය පූජා කළොත්, ඔබ පෙරළා දානයෙන් ලබන ආනිශංස වන වර්ණය, සැපය, බලය අභියෝගයන්ටම ලක්වෙනවා. පිංවත් ඔබ රටක රජවුණත් ඔබේ ”බලයට’’ අභියෝගයන්මයි එල්ලවෙන්නේ. විරුද්ධවාදීන් අතොරක් නැතිව නැඟීසිටිනවා. අතීතයේ ඔබ හවුලේ දන් පූජා කළ නිසාම, ඔබට ජනතා ප‍්‍රසාදයෙන් රජකම ලැබුණත්, එම දානයන්ගේ අර්ථයන් දුර්වලව තිබීම නිසාම, රජකම නිදහසේ, සතුටින්, භුක්ති විඳින්න ලැබෙන්නේ නැහැ. මේ ආනිශංසයත් ජීවමානව අපිට දකින්නට තිබෙනවා. ගෞරවණීය පිංවත, ඔබේ බලයට මේ අභියෝග කරන්නේ, විරුද්ධවාදී පිංවතුන් නොව, ඔබලාම සිදුකොටගත් අතීත දානයේ දුර්වලතාවයන්මය. එම නිසා කරුණා කර විරුද්ධවාදී පිංවතුන්ට මෙත් සිතින් අධිෂ්ඨානශීලීව මුහුණ දෙන්න. හැකිතාක් දානයේ අර්ථයන් පෝෂණය කොටගෙන දන් පූජා කරන්න. සද්ධර්ම ශ‍්‍රවණය තුළින් ලෞකික ප‍්‍රඥාව ශක්තිමත් කොටගන්න.

ශාරිපුත්ත මහෝත්තමයන් වහන්සේ තුළ යම් වර්ණයක්, සැපයක් තිබුණා නම්, ඊට අභියෝග කළ හැකි වූයේ, පටිච්චසමුප්පන්නව අතීතයෙන් මතුවී පැමිණි ජරා, ව්‍යාධි, මරණ, සංස්කාරයන්ට පමණක්මයි. නමුත් සාරිපුත්ත මහෝත්තමයන් වහන්සේ සද්ධර්මය තුළින් ගොඩනගාගත් යම් බලයක් තිබුණා නම්, එම බලයට අභියෝග කිරීමට වසවර්ති මාරයාටවත් හැකියාවක් ලැබුණේ නැහැ. යම් පිංවතෙක් භික්ෂුවකගේ බලයට අභියෝග කළොත්, එම අභියෝගයන් කෙටි කාලයකින් පෙරළා තමන් කරාම එනවා. උතුම් සංඝයාගේ මේ බලයට, ජවය දෙන්නේ උන්වහන්සේලා අතීත ගිහි ජීවිතවල පූජා කරගත් අර්ථයන්ගෙන් පරිපූර්ණ දානයන් සහ මේ ජීවිතයේදී ලැබුවා වූ, නොසැලෙන බලය වූ ආර්ය ප‍්‍රඥාවයි. ඉහත සටහන වැරදි ඇතොත් පිංවත් ඔබට නිවැරදිවීම සඳහා පමණක්මයි.

පූජ්‍ය රාජගිරියේ
අරියඥාන ස්වාමින්වහන්සේ

advertistmentadvertistment
advertistmentadvertistment