අවුරුද්ද සිංහල බෞද්ධයාගේද?

667

අවුරුද්ද නිර්වචනය වී ඇත්තේ ‘‘අව්ව සැර දවස්’’ ලෙසට ය. පෘථිවිය හිරුට ආසන්නව ගමන් කිරීම ය. ජ්‍යොතිෂය නැමැති මිථ්‍යාව පිළිගන්නා අදහන අයට අවුරුද්ද මනෝමය චිකිත්සාවකි. මානසික විශෝධන කි‍්‍රයාවලියකි. වසරක් පුරාවට නොවිඳින සතුට එක් දිනයකට පමණක් වින්දනය කිරීමට සම්මුති කරගත් දිනයකි. මුළු වසර පුරාවට ම විසිරී තිබූ අපේකම – ලෙංගතුකම – නැදෑකම එදාට පමණක් රඳවා ගැනීමකි. කොහා ගේ නාදයන් – එරබඳු මල් පිපීම එම සංසිද්ධිය සංකේතවත් කෙරේ.

භක්ඛන්තං පතිමා නෙත්තං
අත්තෝධාලං උපච්චගා
අත්ථෝ අන්ථස්ස
භක්ඛන්තං කිං කරිස්සෙන්ති
– බුදුන් වහන්සේ

‘‘නැකත් බලමින් කළයුත්ත පසු කරන්නා මෝඩයකි. බලාපොරොත්තු ඉටුකර ගැනීමට ඉලක්කයක් හා දැක්මක් තිබේ නම් නැකත – ග‍්‍රහ හා රාහු කාලය කිමකට ද?’’

නැකත් සිරිත් පවතින්නේ බුදු දහමටත් පෙර සිට ය. මෙය බෞද්ධ චාරිත‍්‍රයක් නොවේ. ද.ඉන්දීය ගෝත‍්‍රික චාරිත‍්‍රයකි. වසර ලක්‍ෂ ගණනක් පැරණි ගෝති‍්‍රක චාරිත‍්‍ර මහා සම්ප‍්‍රදායක් බවට පත්වීමකි. පසුව එය සම්මුති සත්‍යයක් බවට පරිවර්තනය වී ඇත. පදනම හිරු, සඳු වන්දනාව ය. ආදි කල්පිත මිනිසා බිය නිසා හිරු – සඳු – පර්වත – ප‍්‍රතිමා වන්දනා කළහ. සූර්ය වන්දනවා – බෝධිපූජා – චෛත්‍ය ප‍්‍රතිමා වන්දනා බවට පසුකාලීනව එය විකාශනය වී ඇත.

තරු පිහිටීම අනුව එඬේරුන් – දඩයක්කරුවන් විසින් රාශි චක‍්‍රය සම්මත කරගෙන ඇත. වේද යුගයේ සිට පැවතෙන අවුරුදු සිරිත් පසුකාලීනව එයට ගළපා ගෙන ඇත. පුරාතන යුගයේ අවුරුද්ද පැවතියේ ‘‘කාමෝදවීපන’’ උත්සවයක් ලෙසට ය. සම්මත ක‍්‍රීඩා හා අවුරුදු කුමරිය තේරීමේ තරග සංවිධාන කර ඇත්තේ එම අරමුණ වෙනුවෙනි. මිනිසා ශිෂ්ට වීමත් සමග ම පිළිගත් චාරිත‍්‍ර එකම දිනකදී ඉටුකිරීමේ සම්ප‍්‍රදාය ඇති විය. වෛදික යුගයේ පැවතෙන චාරිත‍්‍රවලට බෞද්ධ ආලේපනයක් ඇතිවිය. කාම උත්සවයට ආගමික හා ජාතික ආදේශනයක් ඇතිවිය. කිරි ඉතිරවීම ද හින්දු චාරිත‍්‍ර අනුගමනය කිරීමකි. එයට භාවිත කළ යුත්තේ එළකිරි මිස පොල්කිරි නොවේ.

බුද්ධ පරිනිර්වාණයෙන් පසුව අනුරාධපුර යුග යේ අවසානය දක්වා ලංකාවේ පැවතියේ බෞද්ධ – සිංහල (ආර්යය) සංස්කෘතියකි. ජනතාව වාර්ෂිකව සැමරුවේ වෙසක් මංගල්‍ය සහ අලූත් සහල් මංගල්‍යය පමණි.

මාඝ (දෙමළ) ආක‍්‍රමණය එතෙක් පැවැති සිංහල බෞද්ධ – කෘෂිකාර්මික සමාජ ආර්ථික ක‍්‍රමය උඩුයටිකුරු කළේය. විහාරස්ථාන – චෛත්‍ය විනාශ කළේය. මනුෂ්‍ය ඝාතන ඇතිවිය. වෙළෙඳ ආධිපත්‍ය ආරම්භ කළේය. හිරු සඳු වන්දනාව (නූතන අවුරුද්ද) ප‍්‍රචලිත කළේය. කාලි, ස්කන්ද, විෂ්ණු – ලක්‍ෂමී වැනි දෙමළ – හින්දු මිත්‍යා දෘෂ්ටික දේව වන්දනාව – බිලි පූජාව සහ දේවාල මත පදනම් වූ අබෞද්ධ – අසිංහල සංස්කෘතියක් රෝපණය කළහ.

ශීල – සමාධි – ප‍්‍රඥා මත පෝෂණය වුණ බෞද්ධ මංගල්‍යය වෙනුවට හින්දු -දෙමළ චාරිත‍්‍ර ඇදහිලි අනුගමනය කරන නූතන සිංහල යැයි කියාගන්නා අවුරුද්ද ආරම්භ විය.

සිංහල ජාතියේ සහ බෞද්ධ ආගමේ මළගම සිංහල අවුරුද්ද සැමරීමයි. වසර 1500 පුරාවට මෙය වෙනස් කිරීමට සැබෑ සිංහල බෞද්ධ බලවේග කොතෙක් උත්සාහ ගත්තද මේ දක්වා එය අසාර්ථක විය. ජනවාරි 1 දාටත් – අපේ‍්‍රල් සිංහල අවුරුද්දටත් ශුභ අවුරුද්දක් පතන මුග්ධ – පරගැති සිංහලයන් සිටින රටක අපි ජීවත් වෙමු. පාරම්පරිකව – ජානගතව මිනිසුන් තුළ නිධන් ගතව පවතින ඇදහිලි – විශ්වාස වෙනස් කිරීමට අපහසුය. වර්තමානයේ අනුගමනය කරන චාරිත‍්‍ර පමණක් ශේෂ වී ඇත්තේ සිංහල – බෞද්ධ බලපෑමේ යහපත් ප‍්‍රතිඵලයක් නිසා ය. මිනිසා සොබාදහම සද්ධර්මය ජ්‍යොතිෂය ආයුර්වේදය හා විශ්ව ධර්මතාවය අතර පවතින අවියෝජනීය සම්බන්ධතාවය සම්මුති සත්‍යයක්වන බෞද්ධ හින්දු අවුරුද්දෙන් ගම්‍ය වේ. නැකත යනු වෙලාවට වැඩක් කළ නොහැකි මුග්ධ මිනිසුන් ආත්ම වාසියට ගළපා ගන්නා මුසාවකි. බුද්ධ ධර්මය හා සැසදීමේදී පිං සිතුවිලි පහළ වන මොහොතය. පුණ්‍ය කාලය ඊනියා ජ්‍යොතිෂය අනුව වසරකට එක් වරක් උදාවීම අතාර්කිකය. සූර්ය වන්දනාව ආදි කල්පිත ගෝත‍්‍රික ප‍්‍රාග් වැදි මිනිසුන්ගේ චාරිත‍්‍රයකි. බෞද්ධකම තවරාගත් සමහර පවුල් නිවස ඉදිරිපිට මල්පැළ සිටුවන්නේ නිවස තුළ කිරි උතුරුවන්නේ කුමන පරමාර්ථයෙන් ද? විෂ්ණු – කාලි – ඊශ්වර – ලක්‍ෂ්මී – නාථ යන මිත්‍යා දේව ඇදහිලි ශීල – සමාධි – ප‍්‍රඥා වෙනුවට ආදේශ කරගෙන ඇති මුග්ධ සිංහල බෞද්ධයා පත්තු කරන රතිඤ්ඤා හඬින් ගිගුම් දෙන්නේ පිළිස්සෙන බෞද්ධකමය!

මිනිසා ක‍්‍රියාකරන්නේ පිළිගත් මතවාද සම්ප‍්‍රදායයන් සහ සම්මුතිවලට එකඟවය. අවුරුද්දේ ජීවවිද්‍යාත්මක පදනමක් නැත. සොබාදහමේ පිබිදීමක් (ගස්-වැල් මලින් ඵලවලින් පිරී ඉතරී යෑම ) ඇත. මෙය සමාජ හා ජීවිත ප‍්‍රතිසංස්කරණ – පුනර්ජනනීයවන උත්සවයක් ලෙසට නිර්වචනය කළ හැක. තව ග‍්‍රහයන්ගේ පරිභ‍්‍රමණය අනුව සෑම වසරකම 13-14 දෙදින නියතයක් ලෙසට අවුරුද්ද සැමරීමට යොදා ගැනීම මුග්ධ කි‍්‍රයාවකි. සෑම දෙසැ.25 දිනයම නත්තල ලෙසට පිළිගැනීමට ගළපා ගැනීමකි. සත්‍ය වශයෙන් වෙසක් පොහොය වෙනස් වේ. එය ප‍්‍රායෝගිකය. චන්ද්‍ර මාස ක‍්‍රමය අනුව සැබෑ සිංහල බෞද්ධයා සැමරිය යුත්තේ වෙසඟ පමණි. උපන් දිනය හා අවුරුද්ද පරගැති – විජාතික මතවාද පිළිගැනීමකි.

අවුරුදු සිරිත් එක් දවසක් නොව, සෑම දිනයකදීම අනුගමනය කළ යුතුය.

පවුලේ සියලූම අය මහ ගෙදරට පැමිණීම

පවුලේ සැවොම සුහද පිළිසඳර

නිවස මුළුතැන්ගෙය ගෙවත්ත පිරිසිදු කිරීම (සිත තුළ පවතින කෙලෙස් ඉවත් කිරීම)

අලූත් ඇඳුම් – උපකරණ පාවිච්චිය

එක්ව ආහාර ගැනීම

ආගමික කටයුතුවල නිරත වීම

ගෘහස්ත – එළිමහන් ක‍්‍රීඩාවල නිරත වීම

දෙමවුපිය – වැඩිහිටි සත්කාර නමස්කාරය

නෑදෑ මිතුරන් හමුවීමට යෑම

පැවැති අමනාපකම් අත්හැර ලෙංගතුවීම

බාහිර සැරසිලි නොව, අධ්‍යාත්මය (සිතුවිලි)

අනාගත ඉලක්කගත අධිෂ්ඨානයෙන් පියමං කිරීම

හඳහනේ කොටු 12 සඳහන් කර ඇති මිත්‍යා අදහස් පිළිනොගෙන ඉහතින් සඳහන් කර ඇති මානව සාරධර්ම – චාරිත‍්‍ර විධි වසරකට වරක් නොව, සෑම දිනයකදීම පිළිගැනීමට අනුගමනය කිරීමට අධිෂ්ඨාන කරගැනීම සැබෑ සිංහල බෞද්ධයාගේ පරම අභිලාෂය විය. වසරකට දවසක් නොව, සෑම දවසක්ම ශුභ දවසක් ලෙසට සිතන්නට ප‍්‍රාර්ථනා කරන්නට කි‍්‍රයාත්මක වෙන්නට අධිෂ්ඨාන කර ගන්න. සිංහල බෞද්ධයාට උරුම සංස්කෘතික හා අධ්‍යාත්මික විමුක්තිය ඇත්තේ වෙසක් පොසොන් හා ඇසළ සමය තුළය.

බුද්ධෝත්පාද කාලයේ නොපැවැති එහෙත් 1886න් පසුව ආරම්භ වූ අවුරුදු (දෙසතියක්ම රටේ ආර්ථික – සමාජ ජීවිත අකර්මණ්‍යකරන) සැණකෙළි නිසා මිනිසාගේ කාලය මුදල් ශ‍්‍රමය විනාශ වේ. පරගැති මිනිසුන් කන්නේ අඳින්නේ එකිනෙකා හමුවන්නේ ක‍්‍රීඩා කරන්නේ විනෝද චාරිකා යන්නේ කෙළිදෙලෙන් සතුටුවන්නේ වසරකට එක් දවසක් විතරක්ම ද? පොලොන්නරු යුගයේදී ‘මාඝ’ නැමති දෙමළ ඝාතකයා එදා බුදු සසුනට හා සිංහල බෞද්ධයාට කළ කෲර සංහාරය අවිඥානිකව මෙදා සිදුවෙනවා ද? සිහිපත් කරනවා ද?

ප‍්‍රාග් ඓතිහාසික යුගයේ යක්‍ෂ නාග රාක්‍ෂ දේව යන සිව්හෙළයන් විසින් නැකත් උත්සවයක් ලෙසට (ඉර – ජලය – ගින්න – රාගය මුල්කරගෙන) පවත්වාගෙන ආ පසුව බෞද්ධ හා හින්දු මිශ‍්‍රණයකින් සිංහල – හින්දු අවුරුද්ද ලෙසට විකාශනය වී ඇත.

නූතන මිනිසා ජීවත්වෙන්නේ පැරණි සංස්කෘතික සළුපිළි (අවුරුදු සිරිත් – ආමිස පූජා නැකත් උපන් දින උත්සව) දවටාගෙන පෞරාණික සංස්කෘතියේ ශේෂ වී ඇති හරය භුක්ති විඳිමිනි. අතිශය රෞද්‍ර සිතිවිලි සඟවා ගෙන පංචකාමයේ ප‍්‍රතිබිම්බයක් ලෙසට (ආත්මයම මුදලට අලෙවි කරමින්) මෘග සංඥා සක‍්‍රීය වෙන වත්මන් යුගයේ හැඩතලය මෙයට වසර 2600කට පෙර ගෞතම බුදුන් විසින් දේශනා කළ ‘‘චක්ක වත්ථි සීහනාද සූතයෙන්’’ නිරවුල්ව විවරණය කර ඇත.

පංචාංගය (ආයුෂ – වර්ණ – සැප – බල – ප‍්‍රඥා) සහ ඉෂ්ට දේවතාවන්ගේ (අම්මා තාත්තා) ශක්තිය ලබාගෙන මනස පුබුදුවා ගන්න. ආදරය – සෙනෙහස හා ලෙන්ගතුකමින් නිර්වාන පුෂ්පය විකසිත කරගන්න.

මීන රාශියෙන් මේෂ රාශියට පිවිසීමේ මතය බිය හා අවිචාරවත් බව නිසා පිළිගත් මිත්‍යා විශ්වාසයක් පමණි. විශ්ව ධර්මතාවය (ශක්තිය) පටිච්ඡ සමුප්පාදය හා සිතුවිලි (මනස) අතර පවතින අවියෝජන සබඳතාව අවුරුදු (හෙළ) චාරිත‍්‍රවල අන්තර්ගතව ඇත.

උග්ගල්බඩ අමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment