අවුරුදු එකොළහක් බාල බෙහෙත් බී “ලෙඩ වූ” ජාතියක්!

224

● ඉදිරිය තවත් අවදානම්

● සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ගැන කතා නැහැ

● ඒ බරයි ඩොලර් බරයි දෙකම ජනතාවට

සෞඛ්‍ය සේවාව තුළින් ලංකාව අන්තර් ජාතික සම්මානයට පාත්‍ර වූ රටකි. එවන් සෞඛ්‍ය පද්ධතියක් තිබූ රටකට අද අත් වී ඇති කඩා වැටීම අතිශය ඛේදනීය තත්ත්වයකි. මේ කඩා වැටීම අදක ඊයේක ඇති වූ තත්ත්වයක් නොවේ. එහෙත් රටේ අනෙකුත් ක්‍ෂේත්‍රවල පිරිහීමේ ක්‍රියාවලියට වඩා සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ පිරිහීම රටකට තදින් දැනෙන දෙයකි. නිරෝගීමත් සම්පත යනු රටක සංවර්ධනයෙහිලා වැදගත් සාධකයකි. එහෙයින් සෞඛ්‍ය යනු රටක ජීවන දර්ශකයකි. මේ තත්ත්වය ඉඳුරාම වෙනස්වන තොරතුරක් පසුගියදා කෝප් කමිටුව හෙළි කර තිබිණි. මේ කියන්නට යන්නේ ඒ කතාවය. මෙහි වඩාත්ම ඛේදනීය ශෝකජනක තත්ත්වය වන්නේ රටේ ආර්ථිකය හා සමගාමීව සෞඛ්‍ය ක්‍ෂේත්‍රයෙහි බිඳ වැටීම කොතරම් දැයි කල්පනා කරන විටය. මේ කතාව ඔබ සිහියෙන් යුතුව විමසා බැලිය යුත්තේ එහෙයිනි.

කෝප් කමිටුව හෙළිකර ඇති පරිදි නියමිත ලෙස ඖෂධ ගබඩා නොකිරීම නිසා 2011 වසරේ සිට 2020 වසර දක්වා රුපියල් මිලියන 6259 ක ඖෂධ තත්ත්වයෙන් අසමත් වී ඇති අතර එම ඖෂධ තත්ත්වයෙන් අසමත් (Quality fail) බව හඳුනා ගන්නා විටත් ඉන් 99% ක් රෝගීන් වෙත ලබා දී ඇති බවද සඳහන් වේ.

එම ඖෂධ පිරිවැය සැපයුම්කරුවන්ගෙන් අයකර ගැනීමට ද නොහැකි වී ඇති බවත් නිසි ලෙස ඖෂධ ගබඩා නොකිරීම හේතුවෙන් මෙලෙස තත්ත්වයෙන් අසමත් වී ඇති බවත් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී වැඩිදුරටත් අනාවරණය වී ඇත. මහජනතාවට ඖෂධ හිඟයට පමණක් මුහුණ දීමට වඩා මෙතෙක් ලබා දී ඇති ඖෂධ ප්‍රමිතියෙන් තොර බව මින් පෙනී යයි. ඔවුන් හැම පැත්තෙන්ම පීඩාවට පත් වෙයි. ජනතාව ගැන කිසිදු තැකීමක් නොමැති වගකීමක් නොමැති පාලකයන් පිරිසක් නිසා ඉදිරියේදී ජනතාව පත්වන ඉරණම කුමක් වෙයිද?

මහජනතාව සති ගණනක් තිස්සේ ගෑස්, කිරිපිටි ඇතුළු ඖෂධ ද්‍රව්‍ය හිඟයට එරෙහිව වීදි බැස විරෝධතා දක්වමින් සිටින අතර සෞඛ්‍ය සේවකයෝ ඖෂධ හිඟය සම්බන්ධයෙන් දිගින් දිගටම අරගල කරමින් සිටිමි.

අද පිළිකා රෝග, වකුගඩු රෝග, හදවත් රෝග, ළමා රෝග, තැලසීමියා රෝගීන්, ප්‍රතිජීවක ඖෂධ දරුවන් මෙන්ම විවිධ සංකූලතා ඇති රෝගීන් සඳහා අත්‍යවශ්‍ය වන ඖෂධ හිඟතාවක් මේ වෙන විට රෝහල් පද්ධතිය තුළ දක්නට ලැබේ. මේ හිඟය හේතුවෙන් ශල්‍යකර්ම, වෛද්‍ය පරීක්‍ෂණ ආදිය සීමා කිරීමට සිදුව ඇති අතර සෞඛ්‍ය සේවය මුළුමනින්ම අඩපණ වී ඇත. මෙම තත්ත්වය අලුත උපන් බිලිඳුන්ගේ පටන් වයස්ගත පුද්ගලයන් දක්වා බලපෑ ඇත. කොරෝනා වසංගතය සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණ පවා විදේශ විනිමය අර්බුදය විසින් අඩාල කොට ඇත. මෙරට රජයේ රෝහල් පමණක් නොව පෞද්ගලික රෝහල්වලටද මේ ඖෂධ හිඟය දැඩිව බලපා ඇත.

දිවයින පුරා රෝහල්වල දැඩිසත්කාරක ඒකක සහ අධිසත්කාරක ඒකකවල රුධිර වායු විශ්ලේෂණ යන්ත්‍ර සඳහා භාවිත කරන ප්‍රතික්‍රියක නොමැතිවීම හේතුවෙන් රෝහල් බලධාරීන් බරපතළ අර්බුදයකට මුහුණ දී සිටී. මෙම තත්ත්වය මත දැඩි සත්කාර ඒකක සහ අධිසත්කාරක ඒකක වසා දැමීමට සිදුවීමේ අවදානමක්ද මතුව තිබේ.

රටේ පවතින ඩොලර් හිඟය නිසා අද රජයේ රෝහල් පමණක් නොව පෞද්ගලික රෝහල්ද ඖෂධ හිඟය හේතුවෙන් මහත් අර්බුදයකට මුහුණ පා ඇත. රෝහල්වල ජීවිතාරක්‍ෂක ඖෂධ හා ශල්‍ය ද්‍රව්‍ය හිඟතාව නිසා රෝගීන් ජීවිතයත් මරණයත් අතර සටනක සිටී.

පොළොන්නරුව මහ රෝහලේ ඖෂධ තැබීමට ප්‍රමාණවත් ස්ථානයක් නොතිබීම හේතුවෙන් රුපියල් මිලියන 44.18 ක් වටිනා ඖෂධ තොගයක් ගබඩාවෙන් පිටත අනාරක්‍ෂිත ලෙස තබා ඇත. එම ගබඩාවෙ පඩි පෙළේ සහ ඒ අවට ඖෂධ පෙට්ටි අසුරා තිබිණි. එම ඖෂධ තොගය සඳහා අවශ්‍ය උෂ්ණත්වයට වඩා ඉහළ උෂ්ණත්වයක ඖෂධ ගබඩා කර තිබිණි. 2020 වර්ෂය තුළදී රුපියල් මිලියන 14.38 ක් වූ තත්ත්වයෙන් අසමත් ඖෂධ වර්ග 13 කින් ඒකක 609.561 ක් පොළොන්නරු රෝහලට ලැබී තිබිණි. එයින් ඒකක 529,433 ක් සියයට 86.85 ක් රෝගීන් වෙත ලබා දී ඇත. එහෙත් මෙම ඖෂධ භාවිත කළ රෝගීන් ගැන මෙතෙක් කිසිදු පරීක්‍ෂණයක් සිදු කර නොමැත.

එමෙන්ම පේරාදෙණිය ශික්‍ෂණ රෝහලේ ඖෂධ තැබීම සඳහා ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොතිබීම නිසා රෝහලේ කොරිඩෝවේ, අධ්‍යක්‍ෂ නිල නිවාසයේ කොටසක, වෛද්‍ය නිලධාරී නේවාසිකාගාර බිම් මහලේ සහ මුළුතැන්ගෙයි කොටසක ඖෂධ මෙන්ම ශල්‍ය පරිභෝජන ද්‍රව්‍ය 4 ක් අක්‍රමවත් ලෙස තබා තිබිණි. සෙල්සියස් අංශක 25 සිට අංශක 30 දක්වා උෂ්ණත්වයකින් තිබිය යුතු ඖෂධ 14 ක්ද එහි ඇතුළත්ය.

තත්ත්වයෙන් බාල මෙම ඖෂධ වර්ග අතර බොහොමයක වීදුරු කැබලි, දෘශ්‍ය අංශු තිබූ බවත්, මියගිය කැරපොත්තෙකු සිටි බවද විගණනය මගින් අනාවරණය කර ඇත. මේ හේතුවෙන් පෙති කැඩීයෑම, වර්ණය වෙනස්වීම බි්‍රතාන්‍ය ඖෂධවේදී පිරිවිතරයන්ට අනුකූල නොවීම දක්නට ලැබිණි. එමෙන්ම මෙම අහිතකර ඖෂධ හේතුවෙන් මරණ 3 ක් සිදු වී ඇත. එමෙන්ම ක්ෂුද්‍රජීවී දූෂණය ආදී කරුණු හේතුකොට ගෙන මෙම ඖෂධ භාවිතයෙන් බැහැර කොට තිබුණි.

වත්මන් ආණ්ඩුව විසින් මහජනතාව මත පටවමින් සිටින ආර්ථික අර්බුදයේ බර දෛනික ජීවිතය තුළ විවිධ පැතිකඩවලින් ප්‍රකාශයට පත් වෙමින් පවතී. එහි රුදුරුම ප්‍රකාශනය බවට පත්ව ඇත්තේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රය තුළ මතුව ඇති ඖෂධ ඇතුළු වෛද්‍ය උපකරණ හිඟය සහ ඒවායේ මිල ඉහළ යෑමයි.

විදෙස් සංචිත සිඳී යෑමත් ඩොලර් හිඟයත් හේතුවෙන් ඖෂධ සහ වෛද්‍ය උපකරණ ගෙන්වා ගැනීම බරපතළ ගැටලුවක් වී ඇති අතර මේ හේතුවෙන් ලංකාවේ සමස්ත රෝහල් පද්ධතියම දැඩි අර්බුදයකට මුහුණ දී තිබේ. ශ්‍රී ලංකාව තුළ වර්තමානයේදී මතු වී ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් රෝහල්වල ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟයක් පවතින බවද ඒ නිසා රෝගී ජීවිත අනාරක්‍ෂිත තත්ත්වයකට පත්ව ඇත.

පවතින මේ අර්බුදය හමුවේ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා කීවේ මෙවැනි අදහසකි.

“හිඟ ඖෂධ අඩු තරමින් පෞද්ගලික අංශයේවත් නොමැත. අත්‍යවශ්‍ය ඖෂධ 200 ක් පමණ වෛද්‍ය සැපයුම් අංශයේ නොමැත. බහුල වශයෙන් භාවිත වන ඖෂධ 50 කට වැඩි ප්‍රමාණයක් රෝහල් තුළ හිඟ වෙමින් පවතින අතර නිරන්තර භාවිතය සඳහා අවශ්‍ය ශල්‍ය උපාංග 2048 න් 1155 ක් මේ වන විටත් හිඟයක් පවතින බවද ඔහු සඳහන් කරයි.

රාජ්‍ය ඖෂධ සංස්ථාව මෙරටට ආනයනය කළ ඖෂධ සඳහා මාස හතරකින් ගෙවීම් සිදුකර නැත. මේ හේතුවෙන් අදාළ ආනයනකරුවන් අසාදු ලේඛනගත කිරීමට විදේශ ඖෂධ සමාගම් විසින් කටයුතු කරමින් සිටිනවා. ඒක අපි හදාගත්තු සෞඛ්‍ය සේවාව අපකීර්තියට පත් කිරීමක්, වසර 50 ක්වත් යාවි අපිට ඒ කළු පැල්ලම් මකා ගන්න.

රසායනාගාර සේවාව 40% කින් (බයෝගෑස් ඇනලයිස්) වායු විශ්ලේෂක යන්ත්‍ර නඩත්තු කරගන්න බැරිවෙලා තියෙනවා. ප්‍රතික්‍රියක ටික ගන්න බැරිවෙලා තියෙනවා. බහුල වශයෙන් පාවිච්චි වන ඖෂධ 50% ක් විතර රෝහල්වලට නැහැ. අත්‍යවශ්‍ය ඖෂධ ගණනාවක් රෝහල්වල නැහැ. මේ තත්ත්වය තුළ ෂක්‍ඹ ටික පාලනය කරන්න බැරි වෙලා. සාමාන්‍යයෙන් සැපයුම් 2500 කට අධිකව අපට අවශ්‍ය වෙනවා. සැපයුම්වලින් 2200 විතර අපිට නැහැ. ඕක තමයි සෞඛ්‍ය සේවාවේ ඇත්ත තත්ත්වය.

මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන යෝජනා සියල්ලම බොහෝ කාලයක් තිස්සේ එතරම් සැලකිල්ලක් නොදක්වා සිටි කාරණා බව පෙනෙන්නට තිබේ. එහෙත් වර්තමානයට නොසැලකිල්ලේ ප්‍රතිඵල විඳින්නට සිදුව ඇත්තේ අසරණ රෝගීන්ටය. මේ තත්ත්වය ඉදිරියේදී මීටත් වඩා දරුණු විය හැකි බව පමණක් සටහන් කර සිටිමු.

සුජානි ගුරුගේ

advertistmentadvertistment
advertistmentadvertistment