අවුරුදු කෑම මේසය සරසන අපේ කැවිලි පෙවිලි

209

කැවුම් වූ කලී අවුරුදු කෑම මේසයට නැතිවම බැරි කෑම විශේෂයකි. කැවුම් පිසීම ගජරාමෙට කෙරෙන්නේද සිංහල අවුරුදු කාලයටය. සිංහල කැවිලි වර්ගවලට ඇත්තේද ඉතා දිගු ඉතිහාසයකි. කැවිලි වර්ග වැඩි වශයෙන්ම දක්නට ලැබී ඇත්තේ නුවර යුගයේදීය. ද්‍රවිඩ ආශ‍්‍රය මෙන්ම පෘතුගීසි, ලන්දේසි සම්බන්ධතා මෙයට හේතුවන්නට ඇත. මුල් යුගයේදී ඉන්දියාවෙන් මෙරටට පුරුදු වූ කැවිලි වර්ග පොලොන්නරු යුගයේද තිබෙන්නට ඇති බවට විශ්වාස කෙරේ.

නුවර යුගයේ කැවිලි වර්ග අන් සෑම වකවානුවකටත් වඩා වැඩි වුවද ඒවා එකවර රට පුරා පැතිර ගියේ නැත. ඉංග‍්‍රීසීන් ගේ පැමිණීමත් සමග අලූත් ආහාර වර්ග සිංහලයන් අතර ප‍්‍රචලිත වීම මෙයට හේතුවන්නට ඇත. කෙසේ වුවද සිංහලයන්ගේ කැවිලිවලින් ඉතාම මිහිරි ආහාරය කැවුම් යෑයි රොබට් නොක්ස් සඳහන් කරයි. සිංහලයන්ගේ රස කැවිලි පිළිබඳ රොබට් නොක්ස් විසින් තම ලංකා ගමනය පිළිබඳ එදා හෙළ දිව ග‍්‍රන්ථයේ මෙසේ සඳහන් කොට ඇත්තේය.

‘ඔවුන්ගේ රස කැවිලි විවිධය. ඒ රස කැවිලි අතර ප‍්‍රධානත්වයක් ගන්නා කැවුම් සහල් පිටියෙන් හා පැණියෙන් සාදා ගනු ලැබේ. සහල් පිටි අනා ගුලි ගසා කොළපතක තබා ඇඟිල්ලෙන් පැතලිකොට පැහෙන තෙල් ඇතිලියේ බහා පදමට කරවූ පසු තෙලෙන් එළියට ගනිති. ඕලන්දකාරයන් ලංකාවට පළමුකොට පැමිණි අවධියේ ඔවුන්ට රාජකීය සංග‍්‍රහයක් කරනු කැමති වූ කන්දේ රජු ඔවුන්ට කැවුම් පිස යවන ලෙස රාජ පුරුෂයන් හට නියම කළේය. එම කැවුම් කා පුදුමයට පත්වූ ලන්දේසීහු එපමණ ප‍්‍රණීත ආහාරයක් මිනිස් අතකින් නම් සෑදිය නොහැකි යෑයි සිතා මේවා ගස්වලින් කඩාගන්නා දෙයක්ද? යි ඇසුවේලූ.’

අපේ සිංහල කැවිලි අතර තිබූ අග්ගලා ගැන ද රොබට් නොක්ස් සඳහන් කරයි. අග්ගලා නමින් තවත් අලූමුසුවක් වෙයි. බැදි හාල්පිටි, පැණියෙන් අනා ගම්මිරිස්, කරදමුංගු හා කුරුඳු පොතු මඳ වශයෙන් මුසුකොට මෙම ගුලි සාදා ගනු ලැබේ. මේ ගුලි ගුලි කිරීමෙන් පසු තද වෙති. අග්ගලා දීර්ඝ කාලයක් තිස්සේ වෙනස් නොවී ප‍්‍රයෝජනයට ගත හැකි ආහාරයකි.

මෙම කැවිලි වර්ගය දඹදිව බෙහෙවින් පැතිරී තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. එදා ජනී ජනයා ගමන් බිමන් ගියේ පා ගමනිනි. දින ගණනාවක් පා ගමනින් යා යුතු නිසා අතර මගදී ආහාර සොයා ගැනීම ද අපහසුය. මේ නිසා අග්ගලා සාදාගෙන යෑමේ පුරුද්දක් ඇති විය. අග්ගලා දුප්පත් පොහොසත් කොයි කවුරුත් ආහාරයට ගත් කැවිලි වර්ගයකි. එදා තිබූ කැවිලි වර්ග අතුරින් රොබට් නොක්ස්ගේ සිත්ගත් තවත් කැවිලි වර්ගයකි ”යක් පැටිය.” අද නම් මේ කෑම වර්ගය ඉතා දුර්ලභය. මෙය නුවර යුගයේ ඉතා ජනප‍්‍රියව පැවතියේය.

යක්පැටි නම් තවත් අහරක් වෙයි. හාල්පිටි, පොල් හා හකුරුවලින් සාදනු ලබන මෙය රස අහරකි. හාල්පිටි පැණි මුසුකොට අනා ගුලිකොට කොළයක ලා වණ්ඩුවේ තම්බා ගනියි. ඉතා මොළොක් වූ මෙය බුදිනවිට හකුරු සමග සුදු පාන් කන බවක් හැඟෙන්නේය. ”යක්පැටි ගැන රොබට් නොක්ස් එසේ සඳහන් කොට තිබිණි. ගණ දෙවියන්ගෙන් නුවණ ඉල්ලා යදින කුඩා දරුවා පවා දෙවියන්ගේ සිත් ගන්නට සැරසෙන්නේ අතිරස අග්ගලා යක්පැටි පුදමී යනුවෙන් සඳහන් කිරීමෙනි. ගණදෙවි හෑල්ලේ ද යක්පැටි ගැන සඳහන් වේ. ගණ දෙවියන්ට පිදූ කැවිලි හා පලතුරු වට්ටෝරු කවියෙන් මෙසේ දක්වා ඇත.

අග්ගලා කොමලී නා

තල කැරලි විළ දී නා

මල් කැවුම් රොට් යෙ නා

වෙල්ල වැසිමුත් ත නා

පුලූබී බෝජන තනා

ලාලූ යක් පැටි යෙනා

කිරි උණ්ඩ පු තනා

අක්සුණු ද ඉසි මිනා

අවුරුදු කෑම මේසය සරසන අපේ කැවිලි පෙවිලි

එදා දෙවියන්ට පිදූ කැවිලි වර්ග සියල්ලම මෙහි දක්නට ඇත. අග්ගල තල කැරලි, විළඳ මල්කැවුම්, රොටි, වෙල්ල වැහුම් පුලූබි, බෝජන ලාලූ යක්පැටි කිරි උණ්ඩ ඒ කැවිලි වර්ගයන්ය. කැවිලිවර්ග අතුරින් අතිරස ද ඉතා මිරිහි කෑමක් බව සිංහලයන් අතර ඉතා ප‍්‍රසිද්ධය. අතිරස තිත්ත රසයි පැමිණි දුක් පැණි රසයි යනුවෙන් කියා ඇත්තේද ඒ නිසාය. අලූත් අවුරුද්ද ලැබීමට පෙර සෑම ගෘහණියක්ම වාගේ කැවුම් අතිරස, ආදී කැවිලි වර්ග කලින්ම සකස් කොට තබති.

නා නා මාදිලියේ කැවිලි වර්ග අපේ ගැමි කාන්තාවන් විසින් සාදයි. කැවුම් සෑදීමට යොදාගන්නා ද්‍රව්‍ය අනුව කැවුම්වලට විවිධ වූ නම් ලැබී තිබේ. නාරං කැවුම්, සීනි කැවුම්, පැණි කැවුම්, මුං කැවුම් ආදී කැවුම් වර්ග රාශියකි. වලස්මුල්ල ප‍්‍රදේශයටම ආවේණික කැවුම් වර්ගයක්ද ඇත්තේය. එවා හඳුන්වන්නේ මුකුදු යනුවෙනි. අවුරුද්දට ඉතා දුප්පත් ගෙදරක වුවද කැවුම්, කිරිබත් පිළියෙල කරන අතර අලූත් ඇඳුම් පැළඳුම් ගෙන ඒමට අමතක නොකරති. එමෙන්ම ගෙවල්වලට කැවිලි පෙවිලි ගෙන යෑම ද සිරිතකි. මේ නිසා එකිනෙකා අතර හොඳ හිත සමගිය ද ඇතිවේ. නොහොඳ නෝක්කාඩු දිගින් දිගටම ඇති වන්නේද නැත.

සැබවින්ම රස කැවිලිවලට හොඳ ඉල්ලූමක් ඇතිවන්නේද සිංහල අවුරුදු කාලයට ය. ගම්බද කෙතරම් අගහිඟකම් ඇති ගැමි නිවසක වුවද ගැමි ලිය කැවුම් ඉවීමට අමතක නොකරති. නාගරික ප‍්‍රදේශවල නම් කැවුම් ගෙඩිය පවා කඩයෙන් ගෙන ඒමට අපේ ඇත්තෝ පුරුදුව සිටිති. අපේ ගැමි ලඳුන් විසින් සාදන කැවිලි පෙවිලි ඉතා රසවත්ය. එදා රොබට් නොක්ස් පවා අපේ රටේ ලඳුන් විසින් සාදනු ලැබූ රස කැවිලි අනුභව කොට රස කැවිලිවලට වශී වී තිබේ. කැවුම් නිසා අපේ සිංහල බස්වහර ද පෝෂණය වී තිබේ. ‘සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා’ මේ එවැනි ජනවහරකි. සිංහලයා කොයිදේට අදක්ෂ වුවත් කැවුම් කෑමට ශූරයකු බව මේ ජනවහරින් පැහැදිලි වන්නේය. එකල ගම්වල කොල්ලො කුරුට්ටෝ පවා අප්පුඩි ගසමින් අප්පුඩි පුඩි පුවත්තා කැවුම් දෙකක් දියත්තා යනුවෙන් කැවුම් ඉල්ලූහ. අලූත් අවුරුදු කාලයට පමණක් නොව සිංහලයන්ගේ සෑම උත්සවයකදීම පවා කැවිලි පෙවිලිවලට හිමිවන්නේ වැදගත් ස්ථානයකි.

කෙසේ වුවද අලූත් අවුරුදු කාලයට සිංහලයාට නැතුවම බැරි කැවුම් ගෙඩිය අද වෙළෙඳ භාණ්ඩයක් බවට පත්ව ඇත්තේය. ඒ විතරක් නොව සීනි, පොල්තෙල් ආදි අමුද්‍රව්‍යවල මිල ඉහලයෑම නිසා මෙවර සිංහල අලූත් අවුරුද්දට කැවුම් ඉවීම ද බරපතල ගැටලූවක් වී ඇත.

ගාල්ල ඕපාත උළුවිටිකේ පදිංචි එස්.ඒ. උදුලාවති මහත්මිය කැවුම් ඉවීමට දක්ෂ තැනැත්තියකි.

මෙදා සිංහල අලූත් අවුරුද්දට කැවුම් ඉවීම තබා තෙල් තාච්චියක්වත් ලිපේ තියා ගැනීමට නොහැකි තත්ත්වයක් තමයි උදාවෙලා තියෙන්නේ. කැකුළු සහල් කිලෝවක් රුපියල් 200ට නැගලා, සීනි, පොල්තෙල්, මිල අහස උසට නැගලා. කැවුම් ගෙඩියක් රුපියල් 75කටවත් දෙන්න ඕන. ඉස්සර නම් අපි පොල්කොලපු දමලා දර ළිපේ තමයි කැවුම් ඉවීම කළේ. දැන් ඉතින් හැමදෙයක්ම නවීකරණය වෙලා නිසා ගෑස් ළිපේ තමයි කැවුම් උයන්නේ. ගෑස් හිඟයකුත් තියෙනවා නේ. ඇත්තටම අලූත් අවුරුදු කාලයට කෝදුරුවෝ ද රෑංපිටින් නිවෙස්වලට ඇදී එනවා. ඒ කාලයේ කොඳුරුවෝ කැවුම්වලට ඇදී එන එක නතර කිරීම සඳහා ගැමි කතුන් කෝඳුරුවන් සඳහා කෝඳුරු කැවුමක් හදලා ගෙයි එල්ලා තැබුවා. කැවුම් ඉවීම සඳහා තෙල් වළං ළිපේ තියා මුලින්ම සාදනු ලබන කැවුම තමයි කෝඳුරු කැවුම. අන්තිමට සාදනු ලබන කැවුමට කියන්නේ දිය කැවුම කියලා. අපේ කාන්තාවන් මේවා ගැන දන්නේ නැහැ. කැවුම් ගෙඩියක් උයාගන්නවත් බැරි ළඳුන් අපේ කොයි තරම් ඉන්නවාද උදුලාවතී මහත්මිය කීවාය.

අක්මීමන බදුන්ගොඩ ඒ. කේ. නන්දාකාන්ති (60) මහත්මිය කැවුම් ඉවීමට දක්ෂ කාන්තාවකි. ඇය අපිට කීවේ මෙවැනි කථාවකි.

අම්මාගෙන් තමයි කැවුම් ඉවීමට ඉගෙන ගත්තේ. දැනට වසර 20ක පමණ කාලයක ඉඳලා ඇණවුම්වලට කැවුම් උයලා දෙනවා. වෙනදා මාර්තු මාසය වනවිට කැවුම්, ආස්මි, කොකිස්, දොදොල් හදලා දෙන්න කියලා ඇණවුම් ලැබෙනවා. සීනි, හාල්, පොල්තෙල්, මාදුරු වැනි අමුද්‍රව්‍යවල මිල දෙතුන් ගුණයකින් වැඩිවෙලා. මේ අලූත් අවුරුද්දට කිසිදු ඇණවුමක් ලැබුණේ නැහැ. කොවිඞ් වසංගතය නිසා ගිය වර්ෂයෙත් කැවුම් හා රසකැවිලි සඳහා ලොකු ඉල්ලූමක් තිබුණේ නැහැ. මේ අවුරුද්දේ ජනතාව කැවුම් හදාවි ද කියලත් සැකයක් තියෙනවා. රසකැවිලි සඳහා ඇති ඉල්ලූම අඩුවෙලා යැයිද ඇය කීවාය.

අවුරුදු කෑම මේසය සරසන අපේ කැවිලි පෙවිලි

විචිත‍්‍රා මිහිරාණි විසිනව හැවිරිදි වියේ පසුවන යුවතියකි. ඇය දික්කුඹුර අහංගම ප‍්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය ද කැවුම් ඉවීමට හපන්නියකි.

දැනට වසර දෙක තුනක සිට ඇණවුම්වලට කැවුම් හදලා දෙනවා. මගේ මහත්තයාගේ අම්මාගෙන් තමයි කැවුම් ඉවීම ඉගෙන ගත්තේ. කැවුම් ගෙඩියක් රුපියල් 75කට දුන්නත් මදි යැයි ඇය කීවාය.

කලාවිදු, කලාභූෂණ, දේශශක්ති යන සම්මානවලින් පිදුම් ලැබූ කොට්ටව සිරිසේන රාළහාමි අප සමග කථාබහට වැටෙමින් මෙසේ කීවේය.

අලූත් අවුරුදු කාලයට ගමේ පිරිමි දරුවන් කජු අහුලන්න යනවා. කජු අහුලන්න යන්නේ වවුල් පළවල්වලට.

ගම්වල වවුල් පළවල් තිබුණා. මාත් ගමේ කොලූ ගැටවුත් එක්ක කජු ඇහිඳින්න ගිහින් තියෙනවා… වවුලෝ කජු පුහුලන් කාලා කජු ඇට මේ තැන්වලට ගෙනවිත් දමනවා. උදේ රැයින් තමයි කජු ඇහිඳින්න යන්නේ. ගොක්කොළ වලින් හදපු පෙට්ටියක තමයි කජු ඇට දමන්නේ. වළ කජු ගහන්නත් කජු ඇට ගන්නවා. ඒ විතරක් නෙවෙයි කැවුම් හදනකොටත් කජු මද දමනවා… යැයි කොට්ටව රාළහාමි කීවේය.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment