ලංකාවේ වැදි සමූහය ගැන ග‍්‍රන්ථ කීපයක්ම රචනා කළ ආර්.එල්.ස්පිටල් ට අනුව ගල්ගෙය තාවකාලික නවාතැනකි. ආහාර එකතු කිරීම සඳහා වනාන්තරේ තැනින් තැන ගිය කල්හි නවාතැන් ගැනීමට යොදා ගත් ගල්ලෙන් ගණනාවක්ම තිබුණු බව මැකී ගිය දඩමං වන සරන වැනි කෘතිවල විස්තර වෙයි. වතුර සොයා ගැනීමට තිබෙන පහසුව මත ඇතැම්විට මේ නවාතැන තීරණය වෙයි. පාහියංගල වැනි ගල්ලෙනකින් හමුවූ ඇතැම් පැරණි අවශේෂ තුළින් ගම්‍ය වන්නේ මේ ආදි මානවයා මුහුදුකරය දක්වා ගමන් ගත් ආකාරයයි. ඇතැම්විට නැෙඟනහිර සීමාවේ සිටි මුහුදු වැද්දන් ගේ සංක‍්‍රමණයන්ද මේ ගල්ලෙනවලට සිදු වන්නට ඇතැයි අනුමාන කළ හැකිය. මෙවැනි ගල්ලෙන් රාශියක්ම ලංකාවේ බොහෝ තැන්වල පිහිටා තිබේ.නමුත් කැණීම් සිදුකොට ආදි මානව අවශේෂ පිළිබඳ පර්යේෂණ සිදු කර තිබෙන්නේ ඉන් කීපයක පමණි. දහනව වැනි සියවසේ සිට පාර්සන්ස් හාට්ලි වැනි යුරෝපීයන් ද පී.ඊ.පී.දැරණියගල මහතා ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ශිරාන් දැරණියගල මහාචාර්ය විජේපාල යන මහතුන් විසින්ද කරන ලද ගවේශන සහ කැණීම් පිළිබඳ ඉතිහාසය පිරික්සන්නෙකුට පැරණි ගල් ආයුධ සහ මානව අවශේෂ ගැන සම්පූර්ණ අවබෝධයක් ලබා ගත හැකිය. කිතුල්ගල බෙල්ලෙන කුරුවිට බටදොඹලෙන සහ පාහියංගල කූරගල වැනි ගල්ලෙන් වලින් හමු වූ විවිධ දේ අතරට ආභරණ පවා දැක ගන්නට හැකිය. පාහියංගල මානව සංස්කෘතිය වසර 5400 සිට 40000 ක් පමණ කාලයකට දිව යයි. කූරගලින් හමුවූ මානව ඇට සැකිල්ල වසර අටදහසක් පමණ පැරණියයි කියති. ඉතාමත් මෑත කාලයේ දී හල්දුම්මුල්ල
බළංගොඩ සහ ඕපනායක අසල ගල්ලෙන් තුළ සිදු කළ කැණීම් පරියේෂණ මගින් විශාල මානව ඉතිහාසයක් මතු කරගන්නට මහාචාර්ය රාජ්සෝමදේව මහතා සමත්ව ඇත. මිනිස් අතින් නිමැවූ වියමනක් පවා එහිදී හමු වීම විශේෂයකි. මේ ගල්ලෙන අතර පාහියංගල ඉතා සුවිශේෂීය. පහතරට තෙත්කලාපයත් සපරගමුවත් පෑහෙන ගල් පර්වතයක මේ ලෙන පිහිටා තිබේ. මේ ලෙන අවට වනාන්තරය තුළින හමුවන ශාක විශේෂ සහ පාහියංගල මානාවයා අතර තිබූ සම්බන්ධය පිළිබඳ තවමත් නිසි පිරික්සුමක් කර නැත. කෙසේ වෙතත් බළංගොඩ නිම්න භූමිවල ජීවත් වෙමින් විටෙක සංක‍්‍රමණය වෙමින් දිවි ගෙවූ මේ මානවයා ගේ සංස්කෘතික රටාව වෙනසකට ලක් වන්නේ වනුයේ ඉබේ හැදී වැඩුණු ගස් වැල් ගෘහස්ථකරණයෙනි.
ලංකාවේ ගල්ලෙන් සංස්කෘතය ආදි මානවයාගෙන් නතර වන්නක් නොවේ. පසු කාලීනව මහරහතුන් වහන්සේලාට වැඩ සිටීමට හැකිවන පරිද්දෙන් කටාරම් කොටවා පූජා කළ ගල් ලෙන් රාශියක් සෙල් ලිපි සමගින්ම හමු වීම භාග්‍යයකි. මේ ලෙන් ලිපි දහස් ගණනක් හමු වී ඇත. තවමත් සැඟව ගිය තැන්වල ගල්ලෙන් හමුවේ. සෙල් ලිපි ද හමුවේ. සෙල් ලිපිවලින් කියැවෙන අපූරු ප‍්‍රවෘත්ති මත ගල්ලෙන් වල වැඩ සිටි සංඝයා වහන්සේලා ගැන තොරතුරු මතුකර ගත හැකිය. මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන් මෙම ලෙන් ලිපි අලලා සංගෘහිත කරන ලද ග‍්‍රන්ථය අදටත් විද්‍යාර්ථීන් අතර සාම්භාවනාවට පාත‍්‍රව වේ. බත හා බරතවරුන් ගේ පූජාවන් මේ ලෙන් ලිපි අතර ප‍්‍රකටය. ඊට අමරතරව පරුමකවරුන් විසින් කොටවන ලද ලිපි රාශියකි. ගල්ලෙනේ කාටාරම යනු සෙලි ලිපි කොටවන ස්ථානයයි. කටාරම සකස් කිරීම දැඩි ආයාසකර වන්නට ඇත.
පොළවේ සිට ඉතා උස් කඳු බෑවුම්වල පවා තිබෙන ගල්ලෙන්වල කාටාරම් කොටවා ඇති බැවින් මේ ලෙන් සංස්කෘතියේ අපූර්ත්වය මොනවට පැහැදිලි වේ. ඇතැම් අය කියන පරිදි මෙම කටාරම කෙටවීම පිණිස ගල මෙලෙක් කරවා තිබේ. ගල මෙලෙක් කරවීමට නොයෙකුත් ශාක වර්ගවල කොළ පොතු යොදා ගන්නට ඇතැයි පළ කරන මතය ලෙහෙසියෙන් ඉවත හළ නොහැකිය. එසේම ගල විදීමද ගල් පියන් යොදා ගල පෑස්සීමද සිදු වූ බව චිත‍්‍ර ශිල්පීන් ගේ පුස්කොළ ලේඛන අතර හමුවන බෙහෙත් වට්ටෝරුවලින් දත හැකිය. මේ ගල් ලෙන් බිත්තියේ ඇතැම් තැන්වල සිතුවම් ඇඳ තිබේ. ප‍්‍රාග් මානවයා විසින් ඇඳි සිතුවම් තිබෙන ගල්ලෙන් රාශියකි. කුරල්ලන් ගල ඒ අතරින් සුවිශේෂතාවයක් ගනී. මීට වසරකට පමණ පෙර බළංගොඩ මැදබැද්ද ගම්මානයේ වෙහෙර ගල පර්වතයේ තිබූ ගල් ලෙනක් සොයා ගන්නට යෙදිණ. එහිද චිත‍්‍ර සටහන් කර තිබුණි. ඒවා වර්ණ චිත‍්‍රය. දෑත් අහසට දිගු කරගත් මානවයෙක් මේ චිත‍්‍රයෙන් නිරූපණය වේ. දෑත් ඉදිරියේ ඉර සහ සඳ සටහන් කර තිබේ. අතීතයේ සිටම සූර්යයා සහ චන්ද්‍රයා වන්දනා මාන කරමින් තිබූ හෙළ සංස්කෘතියක යටගියාව මින් නිරූපණය වන්නේ යැයි මහාචාර්ය සෝමදේව මහතාගේ අදහසයි. ඉරට වැඳල ඉරුදෙවි අවසර ගන්නේ සඳට වැඳල සඳ දෙවි අවසර ගන්නේ යනුවෙන් කියැවෙන ජන කවි සිංහල ජන වහරට එක් වන්නට ඇත්තේ අතීත මානවයා විසින් පෝෂණයකර ගත් සංස්කෘතිය අවිච්ඡුින්නව පැවැති පැමිණි බැවිනි. මේ සංස්කෘතිය තුළ දැනුම කලා ශිල්ප සාර ධර්ම පූජා විධි මානව සබඳතා සහ බුදු සසුන කෙරෙහි පැවැති ගෞරව භක්තිය කැටිවී පවතින්නට ඇතැයි සිතිය හැකිය.
මේ ගල්ලෙන් සංස්කෘතියට එකතු වූ නව ලෙනක් පිළිබඳ වාර්තාවක් පසුගිය සතියේ විද්‍යුත් මාධ්‍යවල පළ විය. මේ වැදගත් සොය ගැනීම සිදු කරන ලද්දේ ස්වාධීන ගවේශකයන් පිරිසක් විසිනි. කොවිඞ් වසංගත තත්ත්වය යටතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අකර්මණ්‍ය වී තිබෙන නමුත් පැරණි තැන් සොයා බලා වාර්තා කරන දේශ හිතෛෂීන් සිටින බවට මේ සොයා ගැනීම තුළින් දැක්විය හැකිය. මොනරාගල දිස්ත‍්‍රික්කයේ වැල්ලවාය සහ ආඳාවෙලයාය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අතර මැද පිහිටා තිබෙන කිරිමැටි ආර කන්ද නමින් වූ ගල් පර්වතයක මේ ගල් ලෙන් සංකීර්ණය සොයා දැන ගෙන ඇත. එසේම පැරණි බෞද්ධ ආරාමයක නටබුන් රාශියක් පීළිබඳ වාර්තා වීම ද කුහුල දනවන්නකි. මෙහි ආරාම කුටි හතක් පවතින බව සැල වී තිබේ. ඒ අතර එක් ගල්ලෙනක පරුමක නමින් වූ ලෙන් ලිපියක් පිහිටා තිබේ. ඒ අනුව මම ලෙන් සංකීර්ණය ක‍්‍රි.පූ. යුගයේ දී බෞද්ධ ආරාමයක් බවට පත් වූ ආකාරය පැහැදිලි වේ. මෙවැනි ගල් ලෙන මේ රටේ ජාතික අභිමානය ලොවට හෙළි කළ හැකි සාධකයන් වෙති. ඛේදජනක කාරණය නම් විවිධ සංවර්ධන ව්‍යාපෘතිවලට අවශ්‍ය ගල් කැඞීමට මේ අගනා උරුමයන් විනාශ කර දැමීමයි. ඉතා ඉක්මනින් මෙම ස්ථාන වාර්තා ගත කර සංරක්ෂණයට කටයුතු සිදු කිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වග කීමක් ලෙසට මෙහිදී සඳහන් කළ යුතුයි.