අවුරුදු දෙකක්ම – වෙසක් ඉවරයි, පොසොන් ඉවරයි, ඇසළ පෝයත් ලගයි – මල් වෙළදාමත් ඉවරයි….

289

* මහනුවර ,කැළනිය ,බෙල්ලන්විල,කතරගම මල් වෙළෙදුන්ට මොකද වෙන්නේ ….
* මල් මිලදී ගන්න කවුරුත් නෑ
* විශාල පිරිසකට  රැකියා  අහිමි වෙලා
* වන්දනාකරුවන් අඩුයි

කොවිඞ්වල බරපතළකම තදින්ම දැනුණේ ස්වයං රැුකියාවක් කරමින් හෝ සුළු ව්‍යාපාරයක් කරමින් එදාවේල අමාරුවෙන් ගැටගසා ගත් මිනිසුන්ටය. අප මෙවර බොහෝ දුෂ්කරතා මැද මලින් ජීවිතය වර්ණවත් කරගත් මිනිසුන් සොයා ගියෙමු.

වෙනදාට වෙසක් පොසොන් කාලයට අනුරාධපුර, කැලණිය, කතරගම, බෙල්ලන්විල, මහනුවර ආදී බෞද්ධ සිද්ධස්ථාන මෙන්ම කෝවිල්, දේවස්ථාන ආදිය ද බැතිමතුන්ගෙන් පිරී ඉතිරී ගොස්ය. පාස්කු ප‍්‍රහාරය හා කොරෝනා වසංගතය නිසා නිසා වසර දෙකකට වැඩි කාලයක් ලංකාවේ මිනිසුන්ට නිදහසේ වෙසක් පොසොන් සමරන්නට ඉඩ නොලැබුණි.

අවුරුදු දෙකක්ම - වෙසක් ඉවරයි, පොසොන් ඉවරයි, ඇසළ පෝයත් ලගයි - මල් වෙළදාමත් ඉවරයි....

වෙසක් පොසොන් පමණක් නොව අනෙකුත් පොහොය දිනවල ද, සාමාන්‍ය දිනවලද අතුරු සිදුරු නැතිව පිරී යන අනුරාධපුර, කතරගම, කැලණිය ආදී ඉහතින් සඳහන් කළ පූජා බිම් අද පාළුවට ගොසිනි. කිහිපදෙනකු පූජා භූමිවල රැුඳී සිටියද නිදහසේ ආගමික වතාවත්වල නිරත වන්නට මිනිස්සුන්ට තවමත් අවස්ථාව නැත. එලෙසම වන්දනාවේ පැමිණෙන පිරිසට මල් පහන් ආදිය අලෙවි කළ බොහෝ වෙළෙඳුන්ට ද තවමත් තම ව්‍යාපාරය නැවත ආරම්භ කරන්නට තරම් යහපත් වටපිටාවක් නිර්මාණය වී නැත.

මල් නෙළමින්, විකුණමින් සිය ජීවිතය මලින් ගොඩනංවා ගත් එවන් මිනිසුන් බොහෝ දෙනකු තවමත් බුදුන් දෙවියන් ගැන විශ්වාසය තබමින් කොරෝනා නැත්තටම නැතිව යන තුරු බලා සිටියි.

රටපුරා බෞද්ධ පූජා ස්ථාන පන්සියයකටත් වැඩි ප‍්‍රමාණයක් ආශ‍්‍රිතව සහ අනෙකුත් දේවස්ථාන කෝවිල් ආශ‍්‍රිතව කුඩා මල් වෙළෙඳසල් පවත්වාගෙන ගිය පිරිසට කොවිඞ් නිසා සිය ආදායම් මාර්ග අහිමිවී ඇත.

හිස් තැනක් නැතිව පිරීගිය ආගමික ස්ථාන අද නිහඬය. නිස්කලංකය. සිතට ගතට ගෙන එන්නේ මානසික සුවයක් වුවද ඒ නිහඬ බව නිස්කලංක බව පිටුපස බොහෝ මිනිසුන් සුසුම් හෙළන බව අමතක කළ යුතුව නැත. එවන් මිනිසුන් සොයා අපි සංචරණ සීමා නීති රීති වලට හා සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවේදවලට යටත්ව අනුරාධපුර පූජා නගරයට ගියෙමු. ප‍්‍රදේශවාසීන් කිහිපදෙනකු රුවන්වැලිසෑය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්වල යෙදෙනු දැකගත හැකි විය.

වෙනදාට මහා සෑය පේනතෙක් මානයේ මල්කඩ විස්සක් තිහක් පමණ විවෘතව පවතී. නමුත් සංචරණ සීමා පැනවීමත් සමඟ ඒ සියල්ල වසා දැමුණි. ටිකෙන් ටික රට විවෘත කළ ද වෙනදා තරම් උද්යෝගයෙන් වෙළෙඳාම් කරන්නට මල් කඩ හිමියන්ට නොහැකිය. රුවන්වැලි මහා සෑයට නුදුරින් අඩක් විවෘත කළ වෙළඳසල් දෙක තුනක් දැක ගත හැකි විය. වෙනදාට වට්ටි පුරවා තබා ඇති ඕලූ නෙළුම් මානෙල් ආදී විචිත‍්‍රවත් මල් අද එහි නැත. ජලය පිරවූ බඳුනක නෙලූම් මල් මිටි දෙක තුනක් මහනෙල් මල් කිහිපයක් තබා තිබූ අතර හඳුන්කූරු සුවඳ කුඩු පහන්තිර පොල්තෙල් ආදිය පසකින් ගොඩ ගසා තිබුණි.

‘‘අපි අවුරුදු ගාණක් මල් විකුණලා ජීවත් වුණ මිනිස්සු. වෙනදාට අනුරාධපුරය මල් කඩ වලින් පිරිලා යනවා. ඒත් දැන් වන්දනාමාන කරන්න මිනිස්සු එන්නෙ නෑ. දවසකට දහ පහළොස් දෙනෙක් වගේ ඇවිදින් වැඳලා යනවා. මමත් දැන් දවස් තුනක් කඬේ විවෘත කරනවා. ඒත් වෙනදා වගෙ මල් විකිණෙන්නේ නෑ. ඒ නිසා සිල්ලර බඩු ටිකක් මල් කඬේ පැත්තකින් තියලා විකුණන්න තීරණය කළා.”

පසෙකින් ගොඩ ගසා තිබූ පොල්, හාල් පරිප්පු ආදී සිල්ලර බඩු පෙන්වමින් සමන්ති පවසයි. ඇය වසර හතරකටත් වැඩි කාලයක් සිය දරු පවුල රැුක ගෙන ඇත්තේ අනුරාධපුරයට වන්දනාවේ පැමිණෙන පිරිසට මල් විකිණීමෙන් ලබන ආදායමෙනි. නමුත් කොවිඞ් නිසා මල් වෙළඳාම පාඩු ලබන විට මල් කඩයේ පසෙකම සිල්ලර බඩු විකුණන්නට ඇය තීරණය කර ඇත.

මල් කඩ හිමියන් මෙන්ම මල් වෙළඳ සල් වලට මල් සපයන පිරිස ද මේ වනවිට අසරණය. අනුරාධපුරයේ පිහිටි වැව් වලින් නෙළුම්, ඕලූ, මානෙල් වැනි මල් නෙළාගෙනවිත් වෙළඳසැල් වලට ලබාදුන් පියසිරි සොයා සමන්ති පැවසූ මාර්ගය දිගේ අපි ඇවිද ගියෙමු. දරුවන් තිදෙනකු හා බිරිඳ ජීවත් කරන්නට පියසිරි වසර පහකටත් වැඩි කාලයක් අනුරාධපුරය හා ඒ අවට වැව් වලින් මල් නෙළාවිත් අලෙවි කිරීම සිදු කරයි .

‘‘සමහර කඩවල අය නම් එයාලම වැව් වලට ගිහින් මල් කඩාගෙන ඇවිත් විකුණනවා. ඒත් වැව් වලට ගිහින් මල් කඩන්න බැරි පිරිසකුත් ඉන්නවා. ඒ අය අපෙන් මල් මිලදී ගන්නවා. මලක් රුපියල් තුනට හතරට වගේ තමයි අපි විකුණන්නේ. අපිට හිතෙන විදිහට වැව් වලට බැහැලා මල් කඩන්න අවසර නෑ. මාළු අල්ලන වැව් වල මල් කඩන්න බෑ. මාළු අල්ලන අය ධීවර සංගම් වලින් වැව් බදු අරගෙන තියෙන්නේ. බදු ගන්න අයටත් මුදලක් දීලා තමයි අපි මල් ටිකක් කඩා ගන්නෙ. අනික මල් කඩන්නත් විශාල පිරිසක් ඉන්නවා. වේලාසනින් ගියොත් විතරයි ටිකක් වැඩිපුර කඩා ගන්න පුළුවන් වන්නේ. ඒත් කොරෝනා හින්දා දැන් අපිට මල් කැඩුවා කියලා විකුණගන්න පුළුවන් කමක් නෑ. සමහර දවස්වලට කුලී රස්සාවක් හොයා ගත්තෙත් අමාරුවෙන්.”

වැස්සට පිරී ඉතිරී යන, අව්වට හිඳී යන ස්වභාවික සම්පතක් වන වැව වුවද රිසිසේ භාවිත කිරීමට ඔවුන්ට නොහැකි ය. බොහෝ පිරිසක් පාන්දර 2 ට පමණ වැව්වලට බැස ඕලූ, නෙළුම්, මානෙල් මල් නෙළා ගෙනවිත් උදෑසන වන විට පූජා භූමිවල පිහිටි මල් වෙළෙඳ සල්වලට ලබා දීම සාමාන්‍ය සිරිතයි.

‘‘සමහරු ඔරුවලින් ගිහින් මල් කඩනවා. අපේ තාත්තා නං ටියුබ් එකකින් ගිහින් තමයි මල් කඩන්නේ. නෙලූම් මල් වගේම නෙලූම් බට්ටොත් කඩාගෙන ඇවිත් අපි විකුණනවා. කොළඹ වගේ පැතිවල ඉඳලා එන අය නෙළුම් ඇට, ඕලූ ඇට කෙකටිය වගේ දේවල් මිලදී ගන්නවා. අම්මා එක්ක මමත් ඉස්සර මල් විකුණන්න රුවන්වැලිසෑය ළඟට යනවා. සමහර දවස්වල පාන්දර වැවට බැස්සාම තාත්තට අසනීප වෙනවා. අම්මා එතකොට මල් ගේන වෙන කෙනෙක්ගෙන් මල් අරගන්නවා” බසවක්කුලම වැවෙන් මල් කඩා විකුණන සමන්ගේ දියණිය පැවසුවේ අව්‍යාජ සිනහවකින් මුව සරසා ගනිමිනි. එහෙත් ඒ සිනහව යට ඕනෑ තරම් කඳුළු සැඟවී ඇතැයි මට සිතුණි.

අනුරාධපුරයෙන් නෙළා ගන්නා මල් කැලණිය, කතරගම, මහනුවර ආදී පූජා ස්ථානවලටද ලබාදෙන බවත් සමන් පවසයි.

වෙසක් පොසොන් කාලයට අපිට කොහොමත් සරුයි. මල් විකුණලා පහළොස් දාහක් විසිදාහක් හොයාගන්න දවස් තිබුණා. අනිත් දවස්වල රුපියල් දාහක දෙදාහක බිස්නස් තිබුණා. මල් කඩාගෙන විකුණුවොත් රුපියල් පහක් හයක් ලාභ තියෙනවා. ඒත් මේ කොරෝනා හින්දා ඒ හැමදේම නැතිවෙලා ගියා.

සුදු නෙළුම් වට්ටියක් රුපියල් 200ට, රත් නෙලූම් මල් හයක් සීයට, මානෙල් වට්ටියක් 250ට විකුණූ කාලයක්ද තිබූ බවට කාන්ති පැවසුවේ අතීතය සිහිපත් කරමිනි.

ඕලූ, නෙළුම්, මානෙල් වලට අමතරව දහස් පෙති, ඉද්ද, පිච්ච, නිල් කටරොලූ, වැටකෙයා වැනි මල් ද විකුණා දවසේ වියදම පියවා ගන්නට ඔවුන්ට හැකිව තිබුණි.

මහනුවර ප‍්‍රදේශයේද ගැටඹේ පන්සල, දළදා මාළිඟාව ආදී ස්ථාන අද පාළුවට ගොසිනි. දළදා මාලිගාව ඉදිරිපිට පිහිටා තිබූ විස්සකටත් වැඩි මල් කඩවලින් මේ වන විටත් විවෘතව ඇත්තේ මල් කඩ දෙක තුනක් පමණි. පාළුවට ගිය මල් කඩ දැක දැකම මේ දවස්වල බිස්නස් කොහොමද ප‍්‍රියන්තගෙන් අහන්නට අපිට හිත දුන්නේ නැත.

‘‘වෙනදාට මේ මල් කඩ විස්ස විසිපහ නිසා ජීවිත කීයක් රැුකෙනවද? දරු පවුල් කීයක් මේ රස්සාවෙන් ජීවත් වෙනවාද? ඒත් අද වෙනකොට අපිට මල් විකුණන එකත් ලොකු ප‍්‍රශ්නයක් වෙලා.

හඳුන්කූරු පහන්තිර වැනි දේ කොරෝනා කාලය අතරතුර මිලට ගත් ඒවාය. එහෙත් ඒවා අලෙවි වන්නේද කලාතුරකිනි. රජරට වැව් ආශ‍්‍රිතව ජීවත්වෙන මිනිස්සු තමයි වැඩිපුරම නෙළුම්, ඕලූ, මානෙල් මල් ගෙනල්ල දෙන්නේ. ඊට අමතරව නුවර, නුවරඑළිය වගේ පැතිවල වතුසුද්ද පිච්ච වගේ මල් වගා කරන පිරිසකුත් ඉන්නවා. මේ වෙද්දි ඒ මිනිස්සුන්ටත් කොරෝනා හින්දා රැුකියාව අහිමි වෙලා. මල් විකුණන දවස් වලත් අපිට ලොකු ආදායමක් එන්නෙ නෑ. මල් කඩන අයට, ඒවා ප‍්‍රවාහනය කරන අයට අපට ලැබෙන ආදායම බෙදිලා යනවා. ඒත් අපිට ජීවිත ගැට ගහගෙන ඉන්න පුළුවන් තත්ත්වයක් තිබුණා. දැන් ඒකත් නෑ ලෙස ප‍්‍රියන්ත වැඩිදුරටත් පවසයි.

බුදුන්ට දෙවියන්ට පුදන්නට මෙන්ම සැරසිලි උත්සව සඳහාද මල් අලෙවි කළ පිරිසක් සිටිති. නුවරඑළිය වැනි ප‍්‍රදේශවලින් වෙනදාට මීගමුව කොළඹ වැනි ප‍්‍රදේශවලට විසිතුරු මල් අලෙවි කළ ද දැන් මලක් විකුණන්නේ කලාතුරකින් බව නුවරඑළියේ මාලතී මහත්මිය කියා සිටියාය.

‘‘වෙනදාට මීගමුව ඒ වගේම කොළඹට ලිලී, කානේෂන්, රෝස වගේ මල් ගෙනියනවා. දේවස්ථානවල කෝවිල්වල හොටෙල්වල උත්සවවලට අපෙන් මල් අරන් යනවා. ඒත් දැන් අපට ඕඩර් එන්නේ නැහැ.”

මල් සමග ජීවිතය ගැට ගැසූ මිනිසුන්ගේ ජීවිත මල් තරම්ම වර්ණවත් නැත. සුන්දර නැත. වෙනදාට නවගමුව, මෝදර, රත්නපුර මහ සමන් දේවාලය ආදී ස්ථානවල වෙළෙඳසල්වල එල්ලා ඇති දහස්පෙති පිච්ච කටරොලූ මල් මාලා අද නැත. පලතුරු පූජා වට්ටි තැබූ තැන් හිස්ය. කැලණිය ගංගාරාමයද එලෙසය.

වෙනදාට මලින් පිරී ගිය කැලණියේ මල්කඩ සංචරණ සීමා සමඟ වසා දැමූ අතර ඒවා තවමත් පාළුවට ගොසිනි.

‘‘වෙසක් පොසොන් තමයි අපේ වෙළෙඳාමට වාසනාවන්තම කාලය. ඒ වුණත් අනෙක් දවස් වලත් කැලණි විහාරයට බැතිමතුන් විශාල ප‍්‍රමාණයක් එනවා. කිහිප දෙනෙක් හැරෙන්නට බොහෝ දෙනෙක් අපෙන් මල් සුවඳ දුම් පහන් තිර ආදිය මිලට ගන්නවා. ඒත් සංචරණ සීමා පැනවීමත් එක්ක අපි මල්කඩ වහල දැම්මා. මිනිස්සුන්ට එළියට බහින්න විදියක් නැති වෙද්දී අපේ බිස්නස් නැති වෙලා ගියා. දැන් ටිකෙන් ටික රට විවෘත කරත් තවමත් අපට ජීවිතය ගැන තියෙන්නේ බයක්. අපි ගොඩක් දෙනෙක් ණය වෙලා එහෙම නැත්නම් තියෙන දෙයක් උගස් කරල තමයි මේ කාලේ ජීවත් වුණේ. බුදුන්ගේ දෙවියන්ගේ සරණින් ඉක්මනින්ම නරක කාලේ ගෙවිලා යන්න කියලා තමයි අපි ප‍්‍රාර්ථනා කරන්නේ”

කැලණිය රජ මහා විහාරයේ පියගැටපෙළ අබියස විවෘතව තිබූ මල් කඩයේ හිමිකාරිය රංජනී එලෙස පැවසුවාය.

මල් විකිණීමෙන් බොහෝ ආදායමක් තිබෙන බව පිටත සිට බලා ඉන්නා අයෙකුට සිතුනද සැබෑවටම වෙළඳසල්වලට කුලිය ගෙවූ පසු, තොග වශයෙන් මල් මිලදී ගත් පසු වෙළෙන්දන්ට ලැබෙන්නේ ඉතා සුළු මුදලක් බව බොහෝ දෙනකු පැවසුවේ කොවිඞ් නිසා ඒ ආදායමද නොලැබෙන බව සිහිපත් කරමිනි.

බාරහාර වෙන්නට පුද පූජා කරන්නට දහස් ගණන් මිනිසුන් ඇදුණු කතරගම පූජා භූමිය ද පාළුවට ගොසිනි. පරම්පරාවෙන් පරම්පරාවට ලැබුණු දායාදයක් ලෙස මල් විකුණූ බොහෝ දෙනකු ද ජීවිතය ගැට ගහ ගන්නේ අසීරුවෙනි.

මල් මෙන්ම පලතුරු වට්ටි විකුණමින් නොනැවතුන මිනිසුන් වන්දනාවේ පැමිණෙන සැදැහැවතුන්ට නවාතැන් සපයමින්, වාහන ගාල් කරන්නට ස්ථාන සපයමින්, තේ කෝපි අලෙවි කරමින් මුදල් ඉපයූ බව රහසක් නොවේ. නමුත් ඒ සියල්ල මේ වන විට නතර වී ගොසිනි.

‘‘අවුරුදු විස්සකට වැඞී මම කිරිවෙහෙර ළඟ මල් විකුණන්න පටන් අරගෙන. මුල් කාලයේ අපි ඉටි මල් මාල විකුණුවා. පස්සේ වන මල් විකුණුවා. මිනිස්සු අපෙන් නිල් කටරොළු, නිල් මානෙල්, වරා වගේ මල් වැඩිපුර මිලදී ගත්තා. වැඩිපුරම දෙවියන්ට බාර හාර වෙන්න තමයි කතරගමට එන්නෙ. පලතුරු වට්ටි මල්මාලා වගේ දේවල් හොයාගෙන අපි ගාවට යනවා. ඒත් දැන් ඉස්සර වගේ බැතිමතුන් එන්නේ නෑ. එක්කෙනෙක් දෙන්නෙක් ආවත් වෙනදට වගේ බිස්නස් නෑ. ඒ හින්දා සල්ලි දීලා මල් අරගෙන විකුණුනේ නැත්තං අපිට අතිනුත් පාඩුයි. ඒ නිසා අපි ළඟ පාතින් හොයාගන්න පුළුවන් මල් වලින් මල් වට්ටි දෙක තුනක් හදලා විකුණන්න තියනවා. ඒවත් හවසට ගොඩක් වෙලාවට විසි කරන්න තමයි සිද්ධවෙන්නේ. මල්, පහන්තිර, සුවඳ දුම් වලට අමතරව පැමිණි පිරිසට නවාතැන් සපයමින්, වාහන ගාල් කරන්නට ස්ථාන නිර්මාණය කරමින් මෙන්ම කුඩා තේ කඩ පවත්වා

ගනිමින් සිටි පිරිස ද මේ ලෙස අසරණ ඇත.

බෙල්ලන්විල පූජා නගරය අවට තත්ත්වයද එලෙසමය. එමෙන්ම මෑතකදී බොහෝ පිරිසක් බලගන්නට ගිය නෙල්ලිගල පූජා භූමිය තුළ ඉදිකළ මල් වෙළෙඳසැල් සියල්ලම තවමත් වසා දමා ඇත.

දඹුලූ රජමහ විහාරය අවට ද බොහෝ දෙනකු ජීවිතය රැුක ගෙන ඇත්තේ මල් නෙළා විකිණීමෙනි. මල් විකිණීමට ඉඩකඩ තිබූ කාලයේ වුවද ඔවුන්ට දුක්ගැහැට වල අඩුවක් තිබී නැත. මල් ටික කඩාගන්නට වැවට බසින්නේද ජීවිතය ගැන පවා නොසිතමිනි. එයට හේතුව දඹුල්ල අවට බොහෝ වැව්වල කිඹුලන් බහුල වීමයි. නමුත් තමන්ගේ හෙට දවස වෙනුවෙන්, දුවා දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ජීවිතය ගැන නොසිතා මල් නෙළා විකිණූ මිනිසුන්ද යළිත් නිදහසේ නොබියව තම ජීවිකාව කරගැනීමට ඉඩකඩ නිර්මාණය වන තෙක් ඇඟිලි ගනිමින් බලා සිටියි.

මල් නෙළන්නට ගොස් කිඹුලෙකුට බිලිවී අතක් අහිමිව සිටි සෝමදාස මහතා දඹුල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.

‘‘කාටවත් ඇස් දෙකට පේන්නෙ නැති වෛරසයක් මේ වෙද්දි අපි හැමෝගෙම ජීවිත එක්ක සෙල්ලම් කරන්න පටන් අරගෙන. මේ දවස් දවස්වල හාල් හුණ්ඩුවක්, පරිප්පු සීයක්, කරවල කෑල්ලක් කියන්නේ අපේ දරුවන්ට මහමෙරක් තරම්. දඹුලූ රජමහා විහාරය අවට මල් විකුණලා ජීවත් වුණු අපි වගේ පවුල්වලට පන්සලෙන් වගේම විවිධ දානපතියන්ගෙන් ආධාර හම්බවුණා. ඒවගෙන් තමයි අපි ගොඩ දෙනෙක් ජීවිතය ගැටගහ ගත්තේ”

දඹුල්ලේ මෙන්ම බොහෝ ප‍්‍රදේශවල මෙලෙස ස්වයං රැුකියා මඟින් ජීවිතය ගැටගසාගත් පිරිසට රජයෙන් මෙන්ම වෙනත් ක‍්‍රම වලින් ද වරින් වර සහන ලබාදීම සිදුකර තිබුණ ද ඒවා නොලැබුණු පිරිසක් ද සිටින බව සිහිපත් කළ යුතුය.

බුදුන්ට දෙවියන්ට පුදන්නට මල් මිලදී ගත් පිරිසට බොහෝ පින් සිදුවන්නට ඇති බව මට සිතුණේ මල් විකුණා ලැබෙන ආදායමෙන් කීදෙනකු ජීවත් වනවාදැයි අවබෝධ වූ විට ය.

කෙසේ වෙතත් ලංකාවේ සඳහන් නොකළ පූජාභූමි, දේවස්ථාන, කෝවිල් ආශ‍්‍රිතව සිය ජීවිකාව නිර්මාණය කරගත් පිරිසගේ තත්ත්වය ද මීට වෙනස් නැත.

නිදහසේ මලක් පහනක් පූජා කරන්නට දිනයක් උදා වී අතුරු සිදුරු නැතිව පූජා භූමි වෙත සෙනඟ ඇදෙන තුරු මලින් ජීවිත හැඩ කරගත් බොහෝ දෙනකු දෑස් දල්වා බලා සිටියි.

*  නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment